summary
stringlengths
5
1.45k
text
stringlengths
173
24.8k
(බීබීසී පුවත් සේවයේ අයේෂා පෙරේරා සකස් කළ වාර්තාවක සිංහල පරිවර්තනයකි.)
පාස්කු ඉරිදා දිනයේ දී සිදුවූ ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාරවලින් කුඩා දරුවන් රැසක් ජීවිතක්ෂයට පත් වූහ. සිය දේවස්ථානයේ පැවැත්වෙන වඩාත් ම වැදගත් දේව මෙහෙයකට සහභාගි වීම සඳහා තමන්ට ඇති හොඳ ම ඇඳුමින් සැරසී එසේ පැමිණියේ දශකයක කාලයක් පුරා ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක හැදී වැඩුණු දරුවන්ය. ඔවුන්ගේ කතා මෙම ප්‍රහාරයේ තරම වටහා ගැනීමට මග විවර කරනු ඇත. සුරතල් දැරියක වූ ස්නේහා සවින්ද්‍රි ප්‍රනාන්දු පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගි වීම සඳහා මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය වෙත ගොස් තිබිණි. ඇය සති කිහිපයක් පුරා සතුටින් සැලසුම් කරමින් සිට ඇත්තේ, සිය 13 වන උපන් දිනය සැමරීම ගැනය. එහෙත්, ඒ දිනය සැමරීමට ඇයට අවස්ථාවක් හිමි නොවිණි. ස්නේහා තවත් සති කිහිපයකින් සිය 13 වන උපන් දිනය සැමරීමට සැලසුම් කරමින් සිටියාය. "එයා පුංචි කිරිල්ලියක් වගේ හිටියේ. එයා නැටුම්වලට ගොඩක් කැමැත්තෙන් හිටියා. ඕන දේකට එයා නැටුවා. කවුරු හරි එයාට නටලා පෙන්නන්න කිව්වොත්, එයා සාරියක් හරි දිග සායක් හරි ඇඳගෙන නටලා පෙන්නනවා," ස්නේහාගේ මව වන නිරාශා ප්‍රනාන්දු පැවසීය. ස්නේහා, ඇගේ මව, ඔවුන්ගේ අසල්වාසීන් වන ගයානි සහ ටිරෝන් දේවස්ථානය වෙත ගියේ ටිරෝන්ගේ ත්‍රිරෝද රථයෙනි. එහෙත්, යළි පැමිණියේ, ස්නේහාගේ මව වන නිරාශා පමණි. කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ ළමුන් රැසක් අතර ස්නේහා ද වූවාය. දේවස්ථාන සහ හෝටල්වලට එල්ල වූ සෙසු මරාගෙන මැරෙන ප්‍රහාරවල ද තත්ත්වය එසේ ම විය. ප්‍රහාර එල්ල වූ දේවස්ථාන වෙත ළඟා වූ සැණින් ඒවායෙහි රැඳී සිටි පුද්ගලයින් මා සමග පළමුවෙන් ම පැවසූ කරුණ වූයේ, ජීවිතක්ෂයට පත්වූවන් අතර කුඩා ළමුන් විශාල පිරිසක් වන බවය. ප්‍රධාන ආගමික උත්සවයක් වෙනුවෙන් පැවති උදෑසන දේව මෙහෙය මෙන්ම ශ්‍රී ලාංකීය වූ උදෑසන ආහාරය වෙනුවෙන් පවුල් එක්රැස් වන හෝටල්, බෝම්බකරුවන්ගේ ඉලක්කය වීමෙන් මේ කුඩා දරුවෝ ද එම ඉලක්කයට ගොදුරු වූහ. ස්නේහාගේ මව, නිරාශා ඇයගේ දියණියගේ ඡායාරූපය දෙස වේදනාවෙන් බලා සිටී. බෝම්බයක කැබැල්ලක් ඇයගේ උඩු තොල මත ඇති කළ කැළල, ඇයට අහිමි වූවන් සදා මතකයට නගන ස්ථිර ශරීර සලකුණක් වනු ඇත. "අපි එයාට ගෙදරට කිව්වේ දෝණි කියලා. එයා මගේ පළවෙනි දරුවා. මම එයාව උකුළේ තියාගෙන නිදි කළා. මගේ අත්වලින් වඩාගෙන හැදුවා. මම එයාව හැදුවේ වැඩුවේ ගොඩක් ආදරයෙන්. ඒත් දැන් එයා මාව දාලා ගිහින්." බෝම්බය පුපුරන අවස්ථාවේ ඔවුන් දේවස්ථානයේ තුන් වන බංකු පේළියේ අසුන්ගෙන සිට ඇත. සනේහාගේ සිරුරට බෝම්බ ප්‍රහාරයෙන් දැඩි හානි සිදුව තිබූ අතර, ඇයගේ මෘත දේහය නිවසට රැගෙන එන ලද්දේ මුද්‍රා තැබූ පෙට්ටියකය. "මට මගේ දුවගේ මූණ දැකගන්නවත් බැරි වුණා," නිරාශා හිස් බැල්මකින් පැවසීය. බෝම්බයක කැබැල්ලක් ඇයගේ උඩු තොල මත ඇති කළ කැළල, ඇයට අහිමි වූවන් සදා මතකයට නගන ස්ථිර ශරීර සලකුණක් වනු ඇත. මීගමුවේ තවත් නිවසක දරාගත නොහැකි දර්ශනයක් දැකගත හැකි විය. එකිනෙකට සමීපව මෘත දේහ හතරක් තබා තිබිණි. ඉන් මෘත දේහ තුනක් දරුවන්ගේය. රෂිනි ප්‍රවීෂා (අවු: 14), ෂැලෝමි හිමායා (අවු: 09) සහ ෂැලෝම් ෂතිස්ක (අවු: 07) එම දරුවන්ය. ඔවුන්ගේ ඥාතීන් වැළ නොකැඩී නිවසට පිවිසෙන්නේ, ඇදහිය නොහැකි මේ සත්‍යය තහවුරු කර ගැනීමට මෙනි. එහි පැමිණි වැඩිමහල් කාන්තාවක හිටි හැටියේ වේදනාවෙන් කෑගැසුවේ, අවසිහියෙන් මෙනි. "ෂැලෝම්! ෂැලෝම්! අපේ පොඩි ම පුතා, අපේ පුතා," ඇය කෑගසයි. ඇය එම පුතණුවන්ගේ මෘත දේහය තැන්පත් කර තිබූ පෙට්ටිය මතට වැටී සිටී. "හැම තිස්සේ ම ඔයා දඟ වැඩ කළා. නැගිටින්න මගේ පුතේ, අනේ නැගිටින්න!" ඇය කෑගසද්දී ම ඥාතීන් කිහිප දෙනෙක් පැමිණ ඇය වත්තම් කරගෙන ගියහ. ශ්‍රී ලංකාවේ තවත් පැත්තක පිහිටි මඩකලපුවේ තත්ත්වය ද එසේ මය. මීගමුවේ මෙන් මඩකලපුවේ ද මිය ගිය අය ස්මරණය කරමින් ලෙල දෙන කොඩි සහ පුවරුවලින් පිරී තිබේ. එහි ද දරුවන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබිණි. 'එයා වතුර බොන්න ගියා' එම පුවරු අතර 13 හැවිරිදි ජෝන් ජේසුරන් ජයරත්නම් නමැති දරුවා වෙනුවෙන් සැකසූ පුවරුවෙහි, ඔහු රතු පැහැති කමිසයකින් සැරසී සිටියේය. ඔහු ඉරිදා දහම් පාසල නිම කර දේවස්ථානයේ රැඳී සිට ඇත. ඔහුගේ මව බීබීසී පුවත් සේවයට පැවසුවේ, පාස්කු දේව මෙහෙයට සහභාගි වීම සඳහා සියොන් දේවස්ථානයට පිවිසීමට සිය දරුවා සමග එහි රැඳී සිටි බවය. ඇගේ දරුවා ඇයගේ අවසරය පිට පිපාසයට ජලය පානය කිරීම සඳහා ගොස් තිබිණි. ඇය සිය දරුවා දුටු අවසන් මොහොත එය විය. ජෝන්ගේ නිවසින් පිටත බිත්තියකට සවි කර ඇති පැසිපන්දු වළල්ලක් සුළඟට පැද්දෙමින් තිබේ. 13 හැවිරිදි ජෝන් ජේසුරන් ජයරත්නම් නමැති දරුවා වෙනුවෙන් සැකසූ පුවරුවෙහි ඔහු රතු පැහැති කමිසයකින් සැරසී සිටියේය. "පුතා බාස්කට්බෝල්වලට ගොඩක් කැමැත්තෙන් හිටියා. එයා මෙතන ඉඳගෙන සෙල්ලම් කරන හැටි බලාගෙන ඉන්න මම පුරුදු වෙලා හිටියා," ඔහුගේ මව සාලයේ ජනේලයෙන් පිටත බලාගෙන පැවසීය. ඇගේ දරුවන් තිදෙනාගෙන් බාලයා වූ ජෝන් දේව මෙහෙයන්වලට නිරන්තරයෙන් සහභාගි වූ දරුවෙකි. මෙම ප්‍රහාරයේ විශේෂ කරුණක් වූයේ, ශ්‍රී ලාංකිකයින්ට දරුවන් විශාල පිරිසක් අහිමි වීමයි. මේ වන විට කතාබහට ලක්වන්නේ බෝම්බකරුවන්ට වඩා කුඩා දරුවන් ගැනය. ප්‍රහාර එල්ල වීමෙන් දින කිහිපයක් ගත වෙද්දී දරුවන් සම්බන්ධයෙන් සිදු කෙරුණු වැඩසටහන් පිළිබඳව වට්ස්ඇප් සහ ෆේස්බුක් ඔස්සේ හුවමාරු වීම ආරම්භ විය. ඒවායෙහි, ජීවිතක්ෂයට පත්වූ දරුවන් පිළිබඳ කතා අන්තර්ගත විය. ඒවාහි සඳහන් වූයේ, බෝම්බ පිපිරීම් සිදු වන අවස්ථාවේ දරුවන් ඉදිරියට ගෙන ආශීර්වාද කරමින් සිට ඇති බවය. නැතහොත් ගීතිකා කණ්ඩායම දේව ගෘහය ඉදිරියේ රැස්ව සිටි අවස්ථාවේ බෝම්බ පුපුරා ගිය බවය. මේ තොරතුරු තහවුරු කිරීම දුෂ්කරය. එහෙත්, ඇතැම් කතාවලට යම් පදනමක් ඇති බව පෙනේ. මීගමුව ප්‍රහාරයෙන් දිවි බේරා ගත් පුද්ගලයෙකු මා සමග පැවසුවේ, කාන්තාවන් සහ දරුවන් වැඩි වශයෙන් මිය යාමට හේතුව ඔවුන් දේවස්ථානය තුළ අසුන්ගෙන සිටි නිසා බවය. දේවස්ථානය තුළ විදුලි පංකා ඇති හෙයින් පිටතට වඩා ඇතුළත යම් සිසිල්බවක් තිබුණ නිසා පිරිමි පුද්ගලයින් පිටත අසුන්ගෙන සිට ඇත. කෙසේ වෙතත්, දරුවන් පිළිබඳ කතා ව්‍යාප්ත වීම තවදුරටත් සිදු වෙයි. පළමු 'අහිංසක' පරම්පරාව උපදේශන මානෝ චිකිත්සක නිවේන්ද්‍ර උඩුමාන් පවසන්නේ, දරුවන් පිළිබඳ කතා විවිධ හේතු මත ගොඩ නැගෙන බවය. අර්බුදයක් පවතින අවස්ථාවක යම් සහනයක් ළඟා කර ගැනීමට එය ප්‍රයෝජනවත් බව ඔහු පවසයි. හේතුව කුමක් වුව ද, ඒවා මහජන අවධානය යොමු වුණු අහිංසකත්වයේ සංකේත විය. මෙම දරුවන් ශ්‍රී ලංකාවේ පළමු "අහිංසක" පරම්පරාව නියෝජනය කළ අය වූහ. යුද්ධය, බෙදීම් සහ කෲරත්වය ඔවුන්ගේ දෛනික ජීවිතයට බද්ධ වී නොතිබිණි. රජයේ හමුදා සහ බෙදුම්වාදීන් අතර වසර 30ක් පුරා පැවති සිවිල් යුද්ධය නිමවී 10 වන වසර සැමරීමට තිබුණේ, තවත් සති කිහිපයකි. කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන පවසන්නේ, පසුගිය දා එල්ල වූ බෝම්බ ප්‍රහාරය අතීතය අමිහිරි මතක ආවර්ජනයක් බවය. "මේ ඔක්කොම දරුවන්. ඔවුන්ට ජාතියක් හෝ ආගමක් නැහැ. අපි අවුරුදු 30ක යුද්ධයකට මුහුණ දුන්නා, ඒ වගේ ම සුනාමිය. අපි ගොඩක් අමිහිරි දේවල්වලට මුහුණ දුන්නා. අපි හැම අවස්ථාවක ම ඉවසීමෙන් අපේ රෝගීන් වෙනුවෙන් හැකි උපරිමය කළා. අපිට කරන්න පුළුවන් එපමණයි." රෝහල් වාට්ටු තුළ තත්ත්වය ද එලෙස ම සංවේදී වේ. "මට මේවා හුරුයි. ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ජීවිත අහිමි වන මිනිස්සු ගැන අපි මාධ්‍යවලින් දැකල තියෙනවා. ඒත් මම මේක මගේ දරුවාට පැහැදිලි කරන්නේ කොහොම ද? එයා මේවා දරා ගන්නේ කොහොම ද?," සිය දරුවා රෝහල් ඇඳක තබාගෙන බලා සිටින වසන්තා ප්‍රනාන්දු මගෙන් ඇසීය. 7 හැවිරිදි අකලංක මීගමුව ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවෙකි 7 හැවිරිදි අකලංක මීගමුව ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවෙකි. යකඩ බෝලයක් ඔහුගේ පාදය පසාරු කරගෙන ගොස් මාංශ පේශීවල සිර වී තිබේ. එහෙත්, තමන් රෝහල තුළ ප්‍රතිකාර ලබන්නේ, ඇයි ද යන්න පිළිබඳව එම දරුවාට පැහැදිලි අදහසක් නැත. "අපි බෝම්බය කියන වචනය කියනව එයාට ඇහිලා තියෙනවා. එයා අහනවා ඒ වචනේ තේරුම මොකක් ද කියලා. මම කිව්වා ඒක රතිඤ්ඤා වගේ ගොඩක් සද්දය ඇහෙන දෙයක් කියලා. එයා දන්නේ නෑ, ඒකෙන් මිනිස්සුන්ට තුවාල වෙන බව හෝ මැරෙන බව. ඒත් මට මොනවා හරි කියන්න වෙනවා. මොකද, එයාගේ යාළුවෝ ගොඩක් දෙනෙක් ඒ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියා," වසන්තා ප්‍රනාන්දු පවසයි. කට කතා නිසා දරුවන්ට බිය මෙවැනි ප්‍රහාරයන්ගේ කෲරත්වයට මුහුණ පෑ ජනතාවක් මුහුණ දෙන දෙවන බරපතළ අභියෝගය මෙය වේ. ඔවුන් සිය දරුවන්ට මෙය පැහැදිලි කර දෙන්නේ කෙසේ ද? මඩකලපුව රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ගදම්බනාදන්, ප්‍රහාරය එල්ල වී සුළු මොහොතකට පසු, තුවාල ලැබූ දරුවන් බැලීමට ගොස් තිබිණි. ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් හදිසි අභියෝග රැසක් හඳුනාගනු ලැබ තිබිණි. කලබලයට පත්ව සිටීම, නිදා ගැනීමට දුෂ්කර වීම, තුවාල නිසා මුහුණේ ඇති වූ කැළැල් පිළිබඳව කනගාටු වීම, දරුවන් අහිමි වීම නිසා දුකෙන් තැවෙමින් සිටින දෙමාපියන්ගේ සෙසු දරුවන් හුදෙකලා වීම එවැනි අභියෝග කිහිපයකි. මෙවැනි සිද්ධිවලදී එය දරුවන්ට පහදා දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශන මාලාවක් යුනිසෙෆ් ඇතුළු ආයතන රැසක් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. මේ සම්බන්ධයෙන් දෙමාපියන්, රෝහල් සේවකයින් මෙන් ම ගුරුවරුන් ද දැනුවත් කර තිබේ. දරුවන් යළි පාසල් පැමිණි පසු ඔවුන්ට සහය වීමට ගුරුවරුන්ට අවස්ථාවක් සැලසෙන බව විශේෂඥයෝ පවසති. කොළඹ පිහිටි පාසලක අවුරුදු 7 සහ 12 අතර දරුවන්ට ඉගැන්වීමේ කටයුතුවල නිරත ගුරුවරියක වන දයානි සමරකෝන් සිය දරුවන් යළි පාසල් පැමිණි පසු ඔවුන්ට සහය වන ආකාරය සැලසුම් කරමින් සිටී. "ගොඩක් කුඩා දරුවන් දන්නේ නෑ මොකක් වුණා ද කියලා. මම ඔවුන්ගෙන් අහනවා, මොනවා ද වුණේ කියලා. සමහර අය ඇත්ත සිද්ධිය කියයි. සමහර අය තමන්ට ඇසුණ දේවල් කියයි. ඒත් වැදගත් ම දේ තමයි ඔවුන්ගේ බියට ඇහුම්කන් දෙන එක," ඇය පැවසුවාය. 'එක් කෙනෙකුටවත් ඉන්න බැරි වුණේ ඇයි?' මේ අතර, අහිමි වීම් සහ අවමංග්‍ය උත්සව තවමත් සිදු වෙමින් පවතී. මීගමුව දෙසට යළි හැරෙමු. කාන්තාවක් වේදනාවෙන් සිය පපු ප්‍රදේශයට දෑතින් ගසා ගනිමින් කෑගසයි. ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ ප්‍රහාරයෙන් ඇයට සිය සැමියා පමණක් නොව දරුවන් සියලු දෙනා ද අහිමි වී තිබේ. ඇයගේ දියණිය සචිනි අප්පුහාමි 21 හැවිරිදි වූ අතර, පුත්‍රයා වූ විමුක්ති 14 හැවිරිදි වියේ පසු විය. සචිනි සහ විමුක්ති කුඩා කාලයේ ගත් ඡායාරූපයක් ඇයගේ ස්වාමියාගේ සොහොයුරා වන ජූඩ් ප්‍රසාද් පැවසුවේ, එම දරුවන් ඉගෙනීමෙහි දක්ෂතා දක්වමින් සිටි බවය. "ඒ දරුවන්ව ක්‍රීඩාවලට යොමු කරන්න ගොඩක් උත්සහ කළා. ඒත් ඒගොල්ලෝ කැමැත්තක් දැක්වූවේ පොත්වලට," ඔහු පැවසීය. කෙසේ වෙතත්, විමුක්ති සංගීතය දැඩි ඇල්මක් දැක්වූ බව ඔහු සඳහන් කළේය. "5 වසර ශිෂ්‍යත්ව විභාගය පාස් වුණාට පස්සේ එයා තාත්තාගෙන් ඉල්ලුවා මෙන්න මේක," ඔහු ඩ්‍රම්ස් වාදන කට්ටලයක් පෙන්වමින් පැවසීය. "මගේ සහෝදරයයි මමයි වෙන්නප්පුවට ගියා ඒක ගේන්න. එයා ඒකට ගොඩක් කැමති වුණා." ඒ මොහොතේ, නිවස තුළට පිවිසි තවත් ඥාති කාන්තාවක් බිත්තියේ සවි කර තිබූ ඔවුන්ගේ පවුලේ ඡායාරූපයක් වෙත ඇවිද ගියාය. ඇය එම දරුවන් කුඩා කල ගන්නා ලද ඡායාරූපයක එම දරුවන්ගේ මුහුණු අත ගාමින් සිටියාය. "ඔයාලාගේ අම්මා වෙනුවෙන් එක් කෙනෙකුට හරි ජීවත් වෙන්න බැරි වුණේ ඇයි පුතේ? ඇයි එක් කෙනෙක්වත් හිටියේ නැත්තේ?," ඇය කෑගසා හඬන්නට වූවාය. (මඩකලපුවේ සිට වැඩි විස්තර ලබා දෙන ලද්දේ බීබීසීයේ රාජිනි වෛද්‍යනාදන් විසිනි.)
ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පිළිබඳව ආණ්ඩුව සමඟ පමණක් සාකච්ඡා කිරීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය (එජාප) පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරයා විවේචනයට ලක් කරයි.
සමුළුවට සත්කාරකත්වය දක්වන්නේ ආණ්ඩුව පමණක් නොව ශ්‍රී ලංකාව බව එජාපය පවසයි සමුළුවට සත්කාරකත්වය දක්වන්නේ ආණ්ඩුව පමණක් නොව ශ්‍රී ලංකාව බව පවසන එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ විපක්ෂය සහ සිවිල් සංවිධාන සමඟද සාකච්ඡා කිරීම පොදු රාජ්‍ය මණ්ඩලයේ වගකීමක් බවයි. සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව තම පක්ෂයේ කිසිදු විරුද්ධත්වයක් නැති බව අවධාරණය කරන ඔහු, කෙසේ නමුත් සමුළුවට මුවාවී සුඛෝපභෝගී වාහන ගෙන්වීම ඇතුළු ජාතික ධනය වියදම් කරමින් නාස්තිය "බරපතල ප්‍රශ්නයක්" බවද පවසයි. පළාත් සභා ඡන්දයට 'බයයි' මේ අතර සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත උතුරේ පළාත් සභා ඡන්දයට "බියෙන්" එය කල් දමා ගැනීම පිණිස ආණ්ඩුව විමල් වීරවංශ වැනි ඇමතිවරුන් යොදාගෙන "බළලුන් ලවා කොස් අට බාවමින්" සිටින බවද තිස්ස අත්තනායක කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය. උතුරු පළාත් සභා මැතිවරණය රට බෙදීමේ උත්සාහය පියවර ලෙසින් හඳුන්වාදෙන වීරවංශ අමාත්‍යවරයා එම ඡන්දය පැවැත්වීමට පෙර පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කළ යුතු බව පවසයි. එහෙත් පාලක සන්ධානයේ හවුල්කාර ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය එම ඉලීමට දැනටමත් විරෝධය පළ කොට තිබේ.
අලුත්ගම ගැටුම්වලින් මියගිය පුද්ගලයකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මතභේදයට ලක් කොට ඇති නිසා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කොට තිබේ.
නීතිඥයන් විසින් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේ කැපුම් තුවාල වලින් එම පුද්ගලයා මිය ගිය බවට අධිකරණ වෛද්‍ය නිලධාරියා සිය වාර්තාවේ දක්වා ඇතත් ඔහු වෙඩි ප්‍රහාරවලින් මිය ගොස් ඇති බවට ලක්ෂණ ඇති බවයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය පැවසුවේ මළ සිරුර ගොඩ ගන්නා ලෙසට අධිකරණයෙන් ඉල්ලා ඇති බවයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය පශ්චාත් මරණ පරීක්ෂණය නිරීක්ෂණය කළ බව පැවසූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය, අධිකරණ වෛද්‍යවරයා විසින් මිය පුද්ගලයකු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව එම පුද්ගලයාගේ පාර්ශවය විසින් මතභේදයට ලක් කොට ඇති බවයි කියා සිටියේ.
ඉන්දියානු මහ මැතිවරණයේ දෙවැනි අදියරේ ඡන්ද විමසීම් ආරම්භ කෙරිණ.
නාගලන්ත, මනිපූර්, අරුනාචල් ප්‍රදේශ් සහ මේඝාලයා යන ඊශාන දිග ඉන්දියාවේ ප්‍රාන්ත හතරේ මැතිවරණ කටයුතුයි මෙම දෙවැනි අදියරට අයත් වන්නේ. එම ප්‍රාන්ත හතරේ ඡන්ද කොට්ඨාශ හයක ඡන්දදායකයන් අද බදාදා සිය ඡන්ද පාවිච්චි කළ බව වාර්තා වෙයි. මේ සතියේ සඳුදා ආරම්භ කෙරුණ අදියර නවයකින් සමන්විත මෙවර ඉන්දීය මහ මැතිවරණය නිම වන්නේ මැයි මාසයේ දොළොස් වෙනි දිනයි. මාඕවාදී විරෝධය මෙම මහ මැතිවරණයේදී පාලක කොංග්‍රස් පක්‍ෂය හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයෙන් එල්ල කෙරෙන දැඩි අභියෝගයකට මුහුණ දී ඇති බවයි, ඉන්දීය මැතිවරණ වාර්තා මගින් පැවසෙන්නේ. මධ්‍යම ඉන්දියාවේ චට්ටිස්ගාර් ප්‍රාන්තයේ දී යුද හමුදා සෙබළුන් සහ මාඕවාදී කැරලිකරුවන් අතර ඇති වූ වෙඩි හුවමාරුවක දී සොල්දාදුවන් තුන් දෙනකු මරා දමනු ලැබීමේ පුවතක් ද මේ අතර වාර්තා වෙයි. එම ගැටුම සිදුව තිබෙන්නේ චට්ටිස්ගාර් ප්‍රාන්තයේ ඡන්දය විමසීම ආරම්භ කරනු ලැබීමට දවසක් තිබියදී. ඉන්දීය මාඕවාදීන් කියා සිටින්නේ මැතිවරණය වර්ජනය කරන ලෙසයි.
ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක හිලරි ක්ලින්ටන්ගේ සිරියාව සම්බන්ධයෙන් පවතින විදේශ ප්‍රතිපත්ති සැලැස්ම තුන්වෙනි ලෝක යුද්ධයකට හේතු විය හැකි බව රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට එම ධුරයෙන් ඉවත්වන ලෙස බල කරනවා වෙනුවට ඇමරිකාව කළ යුත්තේ එරට ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානය පරාජය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම බව ජනාධිපති අපේක්ෂක ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය. සිරියානු ගුවන් ප්‍රදේශය තුළ පියාසර මුක්ත කලාපයක් ඇති කිරීමෙන් මිනිස් ජීවිත ආරක්ෂාකර ගැනීමටත්, යුද්ධයට කඩිනම් අවසානයක් ගෙනදිය හැකි බවටත් හිලරි ක්ලින්ටන් යෝජනා කරන්නීය. එම ප්‍රතිපත්තිය රුසියානු ප්‍රහාරක යානා සමග ගැටුමකට මුල පිරීමකට හේතු විය හැකි බව විවේචකයෝ පවසති.
චීනයේ ක්සින්ජියැන් පළාතේ වීදි පොලක සිදු වූ බෝම්බ පිපිරීමකින් තිස් දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්‍ෂයට පත් වී ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.
තුවාල ලබා ඇති පිරිස අනූවක් පමණ වන බවයි වාර්තා වන්නේ. වාහන දෙකක් මෙම වීදි පොලට කඩා වැදී ඇති අතර ඒ තුළ තිබූ පුපුරන ද්‍රව්‍ය පිටතට විසි කර තිබේ. ඉන් එක් වාහනයක් ද පුපුරා ගොස් ඇති බව වාර්තා විය. ප්‍රාදේශීය බලධාරීන් කියා සිටින්නේ මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවයි. ක්සින්ජියැන් ප්‍රදේශයේ බහුල වශයෙන් ජීවත් වන්නේ උයිඝර් මුස්ලිම් වාර්ගිකයන්.
කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව මහ විරු දින සැමරුම ශ්‍රී ලංකාවේ තහනම් කොට තිබෙන නමුත් ලන්ඩනයේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක පැවැත්වුණු මහ විරු දිනය සැමරීමේ උත්සවයකට දහස් ගණනක් ශ්‍රී ලාංකික දෙමළ ජනතාව රැස් වී සිටියහ.
'එල්ටීටීඊය එක විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් අපිට ඔවුන් නිදහස් සටන් කාමියෝ' "ලෝකේ මිනිස්සු එල්ටීටීඊය එක විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් අපිට ඔවුන් නිදහස් සටන් කාමියෝ," බවයි, උත්සවයේ සංවිධායකයකු වන කේ රාජමනෝහරන් බීබීසී සංදේශයට කියා සිටියේ. එල්ටීටීඊය සමරන අතරවාරයේම, ප්‍රහාරවලින් මිය ගිය සහ තුවාල ලැබූ සිංහල ජනතාව සම්බන්ධයෙන් කනගාටුව පළ නොකරන්නේ මන්දැයි සංදේශය ඔහුගෙන් ප්‍රශ්න කළේය. යුද අපරාධ "ආණ්ඩුවක් දිගින් දිගටම මිනිස්සු මරණ කොට, තරුණ කොටස් ආයුධ අතට ගන්න එක සාමාන්‍ය දෙයක්. අපි දන්නවා සමහර මිනිස්සු ඒ ප්‍රහාරවලින් පීඩා විඳින්න ඇති," යන්න ඒ ප්‍රශ්නයට රාජමනෝහරන් පළ කළ ප්‍රතිචාරයයි. කෙසේ නමුත් එල්ටීටීඊ ය සාමාන්‍ය වැසියන් පලිහක් වශයෙන් යොදා ගත් බවත්, බරපතල යුද අපරාධ කළ බවත් අසත්‍යයක් නොවන බව පෙන්වා දුන් සංදේශය, එම වැරදි පිලි නොගෙන ඔවුන් අනුස්මරණය කිරීම කෙතරම් යෝග්‍ය දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, දෙපාර්ශවය විසින්ම සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බවයි. මහ විරු දින සැමරුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන ශ්‍රී ලංකා ආණ්ඩුව පවසන්නේ බෙදුම්වාදී මතවාද පැතිරීමට ගන්නා උත්සාහයන් වලට ඉඩ නොදෙන බවයි. දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවේ එම ස්ථාවරයට සිය විරෝධය පල කොට තිබේ.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා හදිසි කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ජනාධිපතිවරයාට ලබා දෙන බවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
මෙම අභියෝගය යළිත් ප්‍රසිද්ධියේ ම ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය මේ බව මීට පෙර පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කළ බවත් මෙම අභියෝගය යළිත් ප්‍රසිද්ධියේ ම ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බවත් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය. හදිසි කැබිනට් රැස්වීමක් මෙය හදිසි කෙටුම්පතක් ලෙස උසාවියට ඉදිරිපත් කළ හැකි බවත් ඒ සඳහා හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීමට ජනාධිපතිවරයාට බලය තිබෙන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය. ජාතික හෙළ උරුමය යෝජනා කර ඇති දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනය ඒ ආකාරයට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ නම් කිසිදු විවාදයකින් තොරව එය සම්මත කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ලබා දෙන බවයි රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ ප්‍රතිඥාවක් දෙමින් කියා සිටියේ.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව පිළිබඳ ව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය සඳුදා කරන ලද ප්‍රකාශයන් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර සිටින බව පවසමින් අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
මේ අතර නිවේදනයක් නිකුත් කළ කර්මාන්ත සහ වාණිජ අමාත්‍ය රිශාත් බදියුද්දීන් පවසන්නේ ශ්‍රී ලංකාව පුරා වෙසෙන සියලු මුස්ලිම් වරුන් ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශය තරයේ හෙළා දකින බවයි. ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතා වෙනුවෙන් කැප වන්නාවූ රජයක් සියලු ජාතීන් ගේ උන්නතිය වෙනුවෙන් කටයුතු කල යුතු බව පවසන අධිකරණ අමාත්‍යවරයා තවදුරටත් පවසන්නේ වර්ගවාදී පටු අදහස්, සුළු ජාතීන් අතරට පමණක් සීමාවූ අදහසක් හෝ මහා ජාතියට ආසාදනය නොවූ පිළිලයක් ලෙස සැලකීමට නොහැකි බවයි. මුස්ලිම් ජනතාවට එරෙහිව මෙන්ම ඔවුන්ගේ පුද බිම් වලටත් ලබ්ධියටත් එරෙහිව වසරකට වැඩි කාලයක් දිගින් දිගටම එල්ල කෙරෙමින් ඇති ප්‍රකෝපකාරී ප්‍රහාර හමුවේ මුස්ලිම් වර්ගයා දක්වන උපේක්ෂා සහගත බව ඔවුන් ගේ චර්යාව ප්‍රදර්ශනය කරනු ලබන බවද කර්මාන්ත සහ වාණිජ අමාත්‍ය රිශාත් බදියුද්දීන් ප්‍රකාශ කරයි.
හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය නීති විරෝධී බවට අභියාචනාධිකරණය දුන් තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වීමට අවසර දෙන ලෙස විදේශීය සංවිධාන දෙකක් කළ ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
විදේශීය සංවිධාන වලට මෙවැනි නඩු විභාගයකට මැදිහත් වීමට නොහැකි බව නීතිපතිවරයා කියා සිටියේය. පොදුරාජ්‍ය මණ්ඩලීය නීති සංගමය සහ වේල්සයේ සිට ක්‍රියාත්මක වන මානව හිමිකම් නීතිවේදී කමිටුව විසින් මේ ඉල්ලීම ඉදිරිපත් කෙරිණි. බ්‍රිතාන්‍ය ක්‍රමය ඉහළ අධිකරණවල විනිශ්චයකාර වරුන් ඉවත්කිරීමේ ක්‍රියාදාමය පිළිබඳව පසුගිය දෙදහස් පහ වසරේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මගින් නීති මාලාවක් සම්පාදනය කල බව මෙම සංවිධාන විසින් අධිකරණයට පෙන්වාදෙනු ලැබූ අතර ශ්‍රී ලංකාව තුලද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය ක්‍රියාත්මක වන බැවින් ඉහළ අධිකරණවල විනිශ්චයකාර වරුන් ඉවත්කිරීමේ ක්‍රියාදාමය පිළිබඳව කරුණු දැක්වීම සඳහා අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීමට විරෝධය පලකළ නීතිපති වරයා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බාහිර විදේශීය සංවිධාන වලට මෙවැනි නඩු විභාගයක් සඳහා මැදිහත් වීමට නීතියෙන් අවසරයක් නොමැති බව කියා සිටියේය. ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයේ රටක් වුවද මෙවැනි ඉල්ලීම් තුලින් රටේ ස්වෛරී භාවයට හානි සිදුවන බවයි නීතිපතිවරයා පැවසුවේ. නීතිපති වරයාගේ විරෝධතාව පිළිගත් විනිසුරු සලීම් අර්ෂුත් ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අදාල විදේශීය සංවිධාන ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන කරුණු මෙම පෙත්සම් විභාගය සඳහා අදාල නොවන බව සඳහන් කළේය. අනතුරුව අදාල ඉල්ලීම් ඒකමතිකව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
වෙඩි හඬ නිහඬ වී ගතවූ කාලය වසර හතරක්.
ඒ හා සමාන කාලයකට ඉහතදී ශ්‍රී ලංකාවේ බීබීසී වාර්තාකරු ලෙසින් පත්ව කොළඹ ආ චාල්ස් හැවිලන්ඩ් උතුරු කරයට ආගිය වාර ගණන දස වතාවක් තරම්. ඒ වකවානුව තුලදී භෞතික හා ආර්ථික වශයෙන් පළාත අත් කොට ගෙන තිබෙන්නේ සැලකිය යුතු වෙනසක්. ජනාකීර්ණ යාපනයේ ප්‍රවර්ධනයට විදේශගත දෙමළ ප්‍රජාව එවන මුදල්ද එක් සාධකයක්. යාපනය අවට උතුරේ අනිකුත් පළාත් වල ද අලුතින් ඉදිවූ කඩසාප්පු, බැංකු, පාරවල්, පාලම් දැකගත හැකියි. ඒ අතින් උතුරේ සිදුවී ඇත්තේ ලොකු විපර්යාසයක් බවයි බීබීසීය වෙනුවෙන් වාර්තා චිත්‍රපටයක් පටිගත කරද්දී ඔහු දුටුවේ . කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ රජය හා දෙමළ විමුක්ති කොටි හමුදා අතර යුද්ධයෙන් මියගිය සාමාන්‍ය වැසියන් අති මහත් සංඛ්‍යාව උතුරු කරයේ ඉතිරි කොට තබා ගොස් ඇත්තේ මහා විස්සෝපයක්. ගුවන් ප්‍රහාරයකින් පුතා, ලේලිය හා මුණුපුරන් දෙදෙනා මරුමුවට පත්වූ දේවී ඥානම්මා දිවි ගෙවන්නේ ශෝකයේ අඳුරු සෙවනැල්ලේ. ඒ ප්‍රහාරය පතිත වූයේ යුද්ධය බිහිසුණු ලෙස ඇවිල ගිය 2009 පෙබරවාරි මාසේ විසි හතර වැනිදා. මරණයේ දුගඳ "ඉස්සෙල්ලාම මුණුපුරාගේ බඩ තුවාල වෙලා බඩවැල් ඔක්කොම එලියට ඇවිත්. මම ඒක තද කරලා වෙලුවා. පුතාටත් තුවාලයි. සිහි කල්පනාව නැහැ. ඒ දෙන්නම බිම දිගා කරලා අනිත් දෙන්නා හොයන්න ගියා. බලනකොටම කෆීර් එකෙන් ඇවිත් ගහලා දරුවාගේ බෙල්ල ගැලවිලා ගියා. ඒ දෙන්නත් එතනම අන්තරා උනා." සියල්ල සිදුවුයේ දේවීගේ ඇස් ඉදිරිපිට. එදා මතකය අදත් සිත කය පාරවන්නක්. "එකපාරටම මට මහ අමුතු ගඳක් දැනෙනවා. එතකොට සිහි කල්පනාව නැතිවෙලා මං ඉන්නේ කොහෙද කියලවත් තේරෙන්නේ නැතිව යනවා. හරිම බයක් දැනෙනවා. කොයි වෙලාවෙත් ළමයි ගැනමයි සිහි වෙන්නේ." උතුරු කරය පුරා කියැවෙන එවැනි කතා, ගණනින් දහස් සංඛ්‍යාතයි. අතුරුදහන් යුද්ධයේදී මනුෂ්‍ය වර්ගයාට එරෙහිව සිදු කැරුණු අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මානව හිමිකම් සංවිධාන රජයට එල්ල කර තිබෙන චෝදනා ඉතා බරපතලයි. අතුරුදහන් කිරීම් ඉන් එක් අපරාධයක්. අතුරුදහන් කරනු ලැබුවන්ගේ තොරතුරු එක්රැස් කරමින් සිටියදී කුහන් මුරුගනාදන් සිය සගයා ලලිත් කුමාර් වීරරාජ් සමගින් 2011 දෙසැම්බරයේදී, අතුරුදහන් දහස් ගණන අතර සැඟව ගියේ උතුරුකරයේදී. කුහන්ගේ බිරිඳ ජනාතා අද පදිංචිව ඉන්නේ අඩක් බැඳ වැඩ නවතා දැමූ නිවෙසක. ඇගේත් දස හැවිරිදි දියණියගෙත් ජීවිත ඒ නිවහන විලසින්ම අතරමග ඇන හිටි සෙයක් හැඟෙනු වලක්වනු බැහැ. “එයා අප්පට හරි ආදරෙයි. හැමදාම අප්පා කිය කියා අඬනවා. දරුවට අප්පා නැතිව හරි අමාරුයි.” කුහන් සොයා දෙන ලෙස රජයට බලකරන මෙන් ඉල්ලා කුහන්ගේ ක්‍රියාකාරී සගයෝ නඩු පැවරූහ. එහෙත් නඩුව විභාගයට ගැනීමට කලින් දා රාත්‍රියේ වෙස් මුහුණු ලාගත් සිව් දෙනෙක් ජනාතා සහ දියණිය වෙසෙන ගෙදරට කඩා වැදුනෝය. “උසාවි ගියොත් එහෙම අප්පා නැති වුනා වගේ දුවට අම්මත් නැති වෙයි කියල බය කළා. ඊට පස්සේ මම උසාවි ගියේ නැහැ. කවුරුත් මෙහෙ ඉන්නේ බයෙන්. උස්සන් ගියේ කවුද කියල දැනගත්තත් කවුරුවත් කියන්නේ නැහැ. ඒ අයටත් ඒ දේම වෙයි කියලා.” අධිකරණයෙන් පිහිටක් වෙතැයි හෝ කුහන් ආපසු ගෙදර එතැයි හෝ ජනාතාට විශ්වාසයක් නැත. මාධ්‍ය වේදියකුගේ ඝාතනය ලාල් වික්‍රමතුංග, චාල්ස් හැවිලන්ඩ් කැඳවාගෙන ගියේ 2009 අවුරුද්ද මුල මහ දවාලක කොළඹ තදාසන්නයේ සිය සොයුරු සන්ඩේ ලීඩර් කතුවර ලසන්ත වික්‍රමතුංග මරා දමනු ලැබූ තැනට. ඝාතනයට වග කිව යුත්තේ කවුද යන්න ගැන ඔහු තුළ සැක සංකාවක් නැහැ. "මං දන්නවා. රටේ තොටේ මිනිස්සු ඉවෙන් වගේ දන්නවා. ඒ වගේම මමත් දන්නවා. නිශ්චිත සාක්ෂි උසාවියක ඉදිරිපත් නොවුනොත්, අපිට හැඟෙන දේ තමයි, මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේදීයි ලසන්ත වික්‍රමතුංග මරා දැමුවේ කියන එක." ජනපති පුත් නාමල් රාජපක්ෂ චාල්ස් හැවිලන්ඩ් සමග සාකච්ඡාවකට එක්වුයේ උතුරේ යුද පීඩිතයන් කිලිනොච්චියේ නැවත පදිංචි කිරීමේ උළෙලකට සහභාගී වෙමින් සිටියදී. ගුවන් බෝම්බ පහරට ගොදුරුවී පවුලේ සාමාජිකයන් සිව් දෙනකු මියගිය දේවී වැනි දස දහස් ගණනක් උතුරේ පමණක් නොව දකුණේද සිටින බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයා අවධාරණය කළේ. "ඉස්කෝල වලට බෝම්බ දාපු එක ගැන මොකද කියන්නේ? එල්ටීටීඊ එක ලෝක බැංකුවට බෝම්බ දැම්ම එක ගැන මොකද කියන්නේ? දකුණේ ආගමික සිද්ධස්ථාන වලට එල්ටීටීඊ එක බෝම්බ දාපු එක ගැන මොකද කියන්නේ? ඇත්තටම අපි දන්නේ නැහැ ෂෙල් ගැහුවෙ ආණ්ඩුවද එල්ටීටීඊ එකද කියන එක." උතුරේ සාමාන්‍ය ජනතාවගේ අපේක්ෂා භංගත්වය හා කම්පාව තම රජය නොතකා හැර ඇතැයි යන්න නාමල් රාජපක්ෂ විසින් ප්‍රතිෂේප කැරිණ. එමෙන්ම අතුරුදහන් වීමක් ගැන පැමිණිල්ලක් ඇත්නම්, පොලිසිය නිසියාකාර පරීක්ෂණ සිදු කරනු ඇති බවට ජනාධිපති පුත්‍රයා විශ්වාසය පළ කළේය. එමෙන්ම පුද්ගලයන් අතුරුදහන් වනු දකින්නට කිසිවෙකුත් කැමති නැති බවත් රාජපක්ෂ තරුණ මන්ත්‍රී වරයා ප්‍රකාශ කරයි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි සිදුවීම්ද තමන් පමණක් නොව රටේ කවර අයකුවත් අනුමත නොකරන බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් චාල්ස් හැවිලන්ඩ් හා කියා සිටියේ.
මාතලේ සමූහ මිනී වල සම්බන්ධයෙන් වගකිව යුතු පිරිස් හෙළිදරව් කිරීමට රජය ප්‍රමාණවත් ලෙස උනන්දු නොවෙන හෙයින් එක දහස් නවසිය අසු හය සිට අනුව කාලවකවානුව තුළ අතුරුදහන් වූ පිරිස් වල ඥාතීන් හට දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කිරීමට සිදුවී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මාතලේ දී ප්‍රකාශ කළේය.
අනුර කුමාර දිසානයක මන්ත‍්‍රී වරයා "ලංකාවේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්යතුමා, අධිකරණ වෛද්‍ය නිළධාරීතුමා ඇතුළු පරීක්‍ෂණ කණ්ඩායම් විසින් තහවුරු කරලා තිබෙනවා මෙම සිරුරු අයත් නිෂ්චිත කාල වකවානුව 1986 - 1990 කියලා. දැන් නිශ්චිත ලෙස සිරුරු ලැබිලා තිබෙනවා. නිශ්චිත ලෙස කාල වකවානුවක් ලැබිලා තිබෙනවා. ඒ නිසා රජය විසින් මේ පරීක්‍ෂණ සිදුකොට වගකිව යුතු අය එළිදරව්‍ කළ යුතුව තිබුණා. නමුත් ඒ සඳහා රජය දක්වන්නේ ඉතාමත් ඈලි මෑලි ස්වභාවයක්". යැයි අනුර කුමාර දිසානයක මන්ත‍්‍රී වරයා කියා සිටියේය. මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ අද (බදාදා) විභාග වූ නඩුවට පෙත්සම් කරුවන් දහතුන්දෙනෙක් දෙනෙක් දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කළහ. මෙම පෙත්සම් කරුවන් දහතුන් දෙනා නඩුවේ පාර්ශවකරුවන් ලෙස භාරගන්නා බව මාතලේ මහේස්ත‍්‍රාත්වරිය ප්‍රකාශ කළාය. අතුරුදහන් වූ තම නෑ සියන් ගේ අස්ථි කොටස් මාතලේ සමූහ මිනී වළෙහි ඇති බවට සැක කරන බැවින් එම ක්‍රියා වන්ට වගකිවයුතු පිරිස් නීතිය හමුවට පමුණුවා තමන්ට සාධාරණයක් ඉටු කරවා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බව පෙත්සම් කරු වෙක් වෙනුවෙන් පෙනී සිටී නීතීඥය සුනිල් වටගල ප්‍රකාශ කළේය. තම පුතු එනතුරු මඟ බලා සිටිනා එක් පෙත්සම්කාරියක් මාතලේ රොසලින් නෝනා. මාතලේ රොසලින් නෝනා "අසූ නවයේ දහවැනි මාසේ හයවෙනිදා නාඳුනන පිරිසක් විසින් තමයි අරන් ගියේ. කවුරු අරන් ගියාද දන්නේ නෑ. අද වෙනකම් කිසිම තොරතුරක් නෑ. තොරතුරක් සොයා දෙන ලෙස තමයි ඉල්ලා සිටින්නේ." පෙත්සම්කරුවන් දහතුන් දෙනාගෙන් ප‍්‍රකාශ සටහන් කරගන්නා ලෙස රහස් පොලීසියට නියෝගයක් නිකුත් කල මාතලේ මහේස්ත‍්‍රාත්වරිය දිවුරුම් පෙත්සම් පිළිබඳව සලකා බලා ජුනි මස දහවන දින තීන්දුවක් ලබා දෙන බව ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවේ බෞද්ධ බලවේගය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන සමග එක් වීම ඉදිරි මැතිවරණ ක්‍රියාදාමය තුළ සියළු දෙනාට දැක ගත හැකි බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පවසයි.
අද කොළඹදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන සහභාගිවූ පොදු විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනුයි රතන හිමියන් මෙම අදහස් පළ කලේ. බොදු බල සේනා සංවිධානය ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දීමට ගත් තීරණය පිළිබඳව බිබිසිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතරු දෙමින් රතන හිමියන් පැවසුවේ කුමන සංවිධාන කාට සහය පළ කළත් ශ්‍රී ලංකාවේ බෞද්ධ සමාජය තම ව්‍යාපාරය සමග පෙළ ගැසෙනු ඇති බවයි. " සමාජ ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් බෞධයන්ගේ නැගිටීමක් ඉතිහාසයේම තිබුනා. ඒ නිසා ඉදිරියේදී දැකගන්න පුළුවන් බෞද්ධ සමාජය මේ කරණයේදී ඉදිරියට එන්නේ කියලා" යනුවෙන් උන්වහන්සේ පැවසුවේය. බොදු බල සේනාව වැනි සංවිධානවලට තමන් කැමති කෙනෙකුට සාහය දීමට අයිතියක් ඇති බව පැවසූ අතුරලියේ රතන හිමියන් ඔවුන් ජනාධිපති මහින්ද රාජපක්ෂට සහායදීම එතරම් ගැටළුවක් නොවන බවයි පැවසුවේ. ජාතික හෙළ උරුමය ඉදිරි දින කිහිපයේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන සමග සම්මුතියක් ඇති කරගැනීමට නියමිත බවයි රතන හිමියන් කියා සිටියේ. " විශේෂයෙන්ම අපට අවශ්‍යවන්නේ අධිකරණ ස්වාධිනත්වය, පාර්ලිමේන්තුවේ ස්වාධිනත්වය වැනි කරුණු ගැන සම්මුතියක්, එක ගැන අපි ඉදිරියට කියන්නම්"
රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය රිය අනතුරක් සේ සලකා පරීක්ෂණ පවත්වන මෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක පොලිසියට නියෝග කර ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධ පරීක්ෂණ යටපත් කිරීමට උත්සාහ කළ බවට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණු බව ජනමාධ්‍ය වාර්තා කරයි එමගින් ඔහු සාක්ෂි වසන් කිරීමට කටයුතු කර ඇති බවද හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය පැවසීය. මියගිය රග්බි ක්‍රීඩකයාගේ මුදල් පසුම්බිය කිරුපලන ප්‍රදේශයෙන් සොයා ගත් නමුත් ඒ පිළිබඳව පරීක්ෂණ නොපවත්වන මෙන් පොලිසියට බලපෑම් කිරීම සැකකරුට එරෙහිව පොලිසිය එල්ල කළ තවත් චෝදනාවක්. වසීම් තාජුදීන්ගේ රිය ගිනි ගෙන සුළු වේලාවකින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිවිල් ඇඳුමින් සැරසී ඒ අසල ගැවසුන බවට සාක්ෂි ලැබී තිබෙන බවත් පොලසිය අධිකරණයට දැනුම් දුන්නේය. හදිසි අනතුරක් හේතුවෙන් රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් මරුමුවට පත් වූ බව පසුගිය රජය සමයේ පැවැත්වූ පරීක්ෂණවල නිගමණය වී තිබුණු නමුත් එය මිනීමැරුමක් බව අධිකරණය පසුගියදා තීන්දු කළේය.
බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනගේ බාල පුත්, එඩ්වඩ් කුමරු, ලබන පෙබරවාරි 04 වෙනි දින පැවැත්වීමට නියමිත නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වීමට නියමිතය.
ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස් දින උත්සවය වෙනුවෙන් ජනවාරි 31 වෙනි දින දිවයිනට ලඟා වන එඩ්වඩ් කුමරු පෙබරවාරි 05 වෙනි දින පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය බීබීසී සිංහල සේවයට තහවුරු කළේය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටක් බවට පත් වූ අතර, 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කරන තුරුම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායිකාව වූයේ ද පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය හොබවන එලිසබෙත් රැජිනය. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු, එලිසබෙත් රැජින නියෝජනය කරමින් 1998 දී පැවති 50 වෙනි නිදහස් උත්සවයට සහභාගි විය. සබැඳි යොමු:
"මගේ කලින් මහත්තයා තීන්ත බාස් කෙනෙක්. එයා හැමදාම හවසට බීලා ඇවිත් මට ගහනවා. අපි දෙන්නා කාලයක් ආදරෙන් හිටියා. පළවෙනි බබා ලැබුණාට පස්සේ ඒ වගකීම බෙදා ගන්න බැරුව සෑහෙන්න රණ්ඩු වෙන්න ගත්තා."
"පසුව ඒ ප්‍රශ්න වැඩි වෙලා අවුරුද්දක් විතර උසාවි ගිහින් අපි දික්කසාද වුණා. මටයි දරුවටයි නඩත්තු ලැබෙනවා. වෙන මොනවා නැතත් අද මට මරණ බය දැනෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්," මානෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වන සජිනි අධිකාරි පැවසුවාය. වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයේ බොහෝ දෙනෙකු තමන් අදහන ආගම අනුව සියලු චාරිත්‍ර ඉටු කර අති උත්කර්ෂවත් මංගල උත්සව පවත්වා විවාහ දිවියට ඇතුළු වුවද දික්කසාද වීම් විශාල ලෙස වැඩි වෙමින් පවතින බව දත්ත, වාර්තා සහ අදාළ කරුණ සම්බන්ධයෙන් පළ වන විශේෂඥ මත අනුව පෙනී යයි. සමාජීය සාරධර්ම, සංස්කෘතිය මෙන්ම පවුල් සබඳතා පිළිබඳ තැකීමේ දී දික්කසාද වීම් වැඩි වීම එතරම් සුභදායී නොවන බව සමහරෙක් පවසති. නමුත් විවාහ දිවියේ අතිශය කටුක අත්දැකීම්වලට මුහුණ දී මේ වන විට දික්කසාද වී සිටින පුද්ගලයන්ගෙන් බීබීසී සිංහල සේවය කළ විමසුමක දී බොහෝ දෙනෙක් සිය දුෂ්කර දිවි පෙවතින් මිදීම ගැන සතුට පළ කළහ. දික්කසාද වීම්වල වැඩිවීමක් දිනකදී ශ්‍රී ලංකාවේ විවාහක යුවළ 300ක් පමණ දික්කසාද වන බව සංඛ්‍යාලේඛන ඇසුරින් පෙනී යන්නේ යැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල ප්‍රනාන්දු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති Art Of living (ජීවත් වීමේ කලාව) නම් රසවින්දන වැඩසටහනේදී පැවසුවාය. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ දත්තවලට අනුව ද, දික්කසාදවීම්වල වැඩි වීමක් ඇති බව එයට අනුබද්ධ 'ආලෝකා' උපදේශන සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ භද්‍රා උඩවත්ත බීබීසී සිංහල සේවයට පැවසීය. මේ අතර, කොළඹ අලුත්කඩේ සහ අවට අධිකරණවල දික්කසාද නඩුවලට පෙනී සිටින නීතිඥවරු පස් දෙනෙකු පැවසුවේ වසර දහයක කාලයක සිට දික්කසාද වීම සඳහා නීති උපදෙස් ලබා ගැනීමට තමන් වෙත පැමිණෙන පිරිසේ "විශාල" වැඩිවීමක් ඇති බවය. "මම දැන් නිදහස්" "මගේ නෝනා මට අතට අහු වෙන එකෙන් ගහනවා. කිසිම හේතුවක් නැතුව කුණුහරුපෙන් බනිනවා. කෑමට කෙළ ගහලා දෙනවා. මේ දේවල් නිසා මම වෙනම ජීවත් වෙන්න ගත්තා. මම සතියක් ඒ ගෙදරින් එළියට ගිහින් හිටිය වෙලාවක එයා ගේ ඇතුළට ඇවිත් ටැප් ඇරලා, ලයිට් දාලා ගිහින් තිබුණා මට පාඩු කරන්න." "අන්තිමට අපි ඩිවෝස් වුණා. සාධාරණ තීන්දුවක් ලැබුණ නිසා මම දැන් නිදහසේ ජීවත් වෙනවා," නම හෙළි කිරීමට අකමැති වූ හැට එක් හැවිදිරි කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු පැවසීය. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක විවාහ නීතිය ඇතුළු නීති රැසක මූලාරම්භය යටත්විජිත යුගය තෙක් දිව යයි. 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ ආඥා පනත විවාහ සහ දික්කසාද සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීතියයි. උඩරට හා මුස්ලිම් පුද්ගලයන්ගේ විවාහ සහ දික්කසාද නීතිය 1952 අංක 44 උඩරට විවාහ හා දික්කසාද ආඥා පනත සහ 1951 අංක 13 මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනත අනුව ක්‍රියාත්මක වේ. සාමාන්‍ය නීතිය යටතේ විවාහ යුවළක් දික්කසාද වීමේ ක්‍රියාවලිය තරමක් දීර්ඝ වන අතර, ඒ සඳහා අධිකරණයේ නඩුවක් ගොනු කර විත්තිකාර පාර්ශවයේ 'වරද' ඔප්පු කළ යුතුය. "ඛේදජනක තත්ත්වයක්" දික්කසාද නඩු සඳහා නීති උපදෙස් පතා එන සේවාදායකයන්ගෙන් 80%ක් පමණ කාන්තාවන් බව නීතීඥ මධූෂා විරාජිනී හෙට්ටිගේ බීබීසී සිංහල සේවය වෙත පැවසීය. "පැමිණිලි පාර්ශවය වැඩි හරියක් එන්නේ කාන්තාවන්. අපි දැන් දකින තවත් විශේෂත්වයක් තමයි බොහෝ කාන්තාවන් ගෙදර දොර වැඩ සියල්ල කරළා, දරුවොත් බලාගෙන, රැකියාවට ගිහින් සැමියාටත් එක්ක කන්න බොන්න, අඳින්න දෙන එක. පවුලේ සියලු බර බිරිඳගේ කර මත දාලා, සැමියන් බීමට ඇබ්බැහි වෙලා, පසුව පවුලේ අයට ගහනවා, බනිනවා. මේක හරිම ඛේදජනක තත්වයක්." "ගොඩක් කාන්තාවන් සෑහෙන්න ඉවසනවා. හැබැයි අවසානයේ සැමියා දරුවන්ටත් කරදර කරන්න පටන් ගත්තාම, ඔවුන්ගේ ඉවසීමේ සීමාව පනිනවා. අවසානයේ අපි හරහා උසාවි යනවා." නීතිඥවරිය පැවසුවාය. නීතීඥ මධූෂා විරාජිනී හෙට්ටිගේ සාමාන්‍ය නීතිය තුළ චෝදනා තුනක් යටතේ දික්කසාද නඩු ගොනු කළ හැකිය. ඒවා නම්; මෙය කොටස දෙකකි, එනම්: "එයා කැමති වුණේ අසාමාන්‍ය කායික සම්බන්ධතාවකට" "මම කසාද බැදලා අවුරුද්දක් හිටියා හැබැයි තවමත් කන්‍යාවියක්. බැන්ද දවසේ රෑ ඉදන් අපි දික්කසාද වෙනකම් එයා කැමති වුණේ අසාමාන්‍ය කායික සම්බන්ධතාවකට විතරයි. මම කායිකව වගේම මානසිකවත් සෑහෙන දුකක් වින්දා. අපි යාළු වෙලා බැන්දේ." "ලංකාවේ පවතින සංස්කෘතික ප්‍රශ්න නිසා අපිට බඳින්න කලින් කායික සම්බන්ධකමක් තියාගන්න ඉඩ ලැබුණේ නැහැ. එක අතකට එහෙම තිබුණානම් මගේ ජීවිතේ මේ වගේ විනාශ වෙන්නේ නැහැ," විසිපස් වියැති තරුණියක බීබීසී සිංහල සේවයට පැවසීය. උඩරට නීතිය සාමාන්‍ය නීතියට වඩා උඩරට සහ මුස්ලිම් නීති යටතේ විවාහ වූ යුවළකට දික්කසාදය ලිහිල් සහ වියදම් අවම ක්‍රියාවලියකි. උඩරට නීතිය යටතේ දික්කසාද වීමේ චෝදනා පුළුල් ලෙස අර්ථකථනය කළ හැකි ආකාරයට පනතට ඇතුළත් කර ඇත. මේ සඳහා අධිකරණයේ නඩුවක් ගොනු කිරීම අනවශ්‍ය වන අතර, අදාළ උඩරට ප්‍රදේශයේ දිස්ත්‍රික් විවාහ රෙජිස්ටාර්වරයා වෙත දික්කසාද වීමට හේතු දක්වමින් ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය. "ලිබරල් සංස්කෘතියක්" ජයසේන ජයකොඩි රචනා කළ 'බැද්දේ ගෙදර' කෘතියේ සඳහන් 'එක ගෙයි කෑම' යන සංකල්පය හුවා දක්වමින් මානව හිමිකම් සහ සමාජ සේවා ක්‍රියාකාරිනියක වන නදීෂා පලිහවඩන බීබීසී සිංහල සේවයට සිය අදහස් දැක්වීය. අතීත ශ්‍රී ලංකාවේ විවාහ උත්සවයක සිතුවමක් "අපි බොහොම ලිබරල් සංස්කෘතියක් තිබුණ රටක්. පැරණි ලියවිලිවල සඳහන් වෙලා තිබෙන විදිහට අතීතයේ දී විවාහය කියන සම්බන්ධය ඉතා සුන්දර ඒ වගේම අන්‍යෝන්‍ය අවබෝධය මත සිදු වූ එක්වීමක් විදියට සලකා තිබෙනවා. දැන් වගේ නීති රීතිවලින් බැඳ දමාපු දෙයක් නෙමෙයි." "ඒ වගේම ලිංගිකත්වය ගැන ඉතා විවෘත මනසකින් බලලා තිබෙනවා. බැද්දේ ගෙදර වගේ පොත්වල තිබෙන එක ගෙයි කෑම වැනි සංකල්පවලින් ඒ ගැන ඔප්පු වෙනවා. නමුත් බටහිර ලෝකයට මේවා ගෝත්‍රික දේවල් විදිහට පෙනුණ නිසා අපිට ඔවුන්ගේ නීති රීති සහ සම්ප්‍රදායන් හඳුන්වා දීලා තිබෙනවා. " "හැබැයි දැන් බටහිර රටවල් ඔවුන්ගේ නීති රීති වර්තමානයට ගැලපෙන විදිහට වෙනස් කරළා, බොහොම ලිහිල් සම්ප්‍රදායන් අනුගමනය කරනවා. අපි තවමත් ඔවුන් කලින් දීලා ගිය ගතානුගතික සම්ප්‍රදායන්,වික්ටෝරියානු සංස්කෘතිය අනුගමනය කරමින් විඳවනවා," ඇය තවදුරටත් පැවසුවාය. මුස්ලිම් නීතිය විවාහය මෙන්ම දික්කසාදය අදාළ යුවළ අයත් වන මුස්ලිම් නිකායේ නීති ප්‍රකාරව කටයුතු කළ යුතු බව මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනතේ 98(2) වගන්තිය සඳහන් වේ. ඔවුන්ට දික්කසාද ලබා ගැනීම කිහිප ආකාරයකින් සිදු කළ හැකිය. මෙහි තවත් කොටස් දෙකක් තිබේ: පනතේ සඳහන් වන කාර්ය පටිපාටිය අනුගමනය කරමින් කාති අධිකරණයක් තුළ දී දික්කසාද විය යුතුය. "හඳහන් ගැලපුනා" "අපේ අම්මලා සෑහෙන්න හඳහන් විශ්වාස කරනවා. ඒක නිසා මම යාළු වුණ කිසි කෙනෙකුට ඒ අය කැමති වුණේ නැහැ. අන්තිමේ දී ඒ අය හොයලා දුන්න කෙනෙක් මම බැන්දා. ඒ මනුස්සයා සෑහෙන ලෝබ කෙනෙක්. අවුරුදු තුනක් යනකම් කෑමකටවත් මාව එළියට එක්කගෙන ගිහින් නැහැ. කිසිම විනෝද ගමනක් ගිහින් නැහැ." "මම යාළුවෝ එක්ක එළියට යන්න ඇහුවොත් බනිනවා. දවසක් හොඳටම ගැහුවා ඇඳුම් ගන්න සල්ලි වියදම් කළා කියලා. මම එයාව අතහැරලා අම්මලා ගාවට ආවා. හැබැයි ගෙදර අයට ලැජ්ජා කළා කියලා ආයේ බැනුම් ඇහුවා. ගැහැණියක් වුණාම ඉවසන්න ඕනේ කියලා ඒගොල්ලෝ කියන්නේ." "මහත්තයා මාව ඩිවෝස් කළා ද්වේශ සහගත අතහැර යෑම යටතේ. ඇත්තටම අසරණ වුණත්, තනියම වන්දි ඉල්ලලා සටන් කරන්න මට ශක්තියක් තිබුණේ නැහැ. ආයේ මම කවදාවත් කසාද බදින්නේ නැහැ කියලා තීරණය කරළා ඉවරයි," දුලක්ෂිනී අමරතුංග බීබීසී සිංහල සේවයට පැවසුවාය. මේ තොරතුරුද කියවන්න: "කලියුග කාලය" බීබීසී සිංහල සේවය කළ විමසුමක දී ආයුර්වේද වෛද්‍ය සහ ජෝතිෂ්‍යවේදී ඩී දමිත් කරුණාතිලක පැවසුවේ, පොරොන්දම් ගැළපීමෙන් පමණක් විවාහය සාර්ථක නොවන බවය. "දැන් විවාහ වෙන අයගෙන් 50%ක් විතර පොරොන්දම් බලලා විවාහ වෙනවා. ඕක දකුණු ඉන්දියාවෙන් ආපු ක්‍රමයක්. පොරොන්දම්වලින් 100%ක් විවාහය තීරණය කරන්නේ නැහැ. දෙන්නෙක්ගේ උප්පත්තියෙන් එන ග්‍රහ පිහිටීම් ගැනයි බලන්න ඕනේ." "කොහොම වුණත්, කෙන්දරේට සියල්ල තීරණය කරන්න බැහැ. දැන් සමාජය තුළ දික්කසාද වැඩි වන්න බාහිර දේවල් සෑහෙන්න බලපාලා තිබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල සහ තාක්ෂණය." "මේක කලියුග කාලය. මිනිස් හැසිරීම් වෙනස් වෙලා," ඔහු පැවසුවේය. "එළි වෙනකම් සිංදු කිව්වා" "මට කසාද බඳින්න උවමනාවක් තිබුණේ නැහැ. හැබැයි අම්මලා බලෙන්ම වගේ පත්තරේ මංගල යෝජනාවලට අයැදුම් කළා. කේන්දර ගැළපෙන අය බලන්නත් ගියා. අන්තිමේ දී ගෙදරින් හොයලා දීපු කෙනාව බැන්දා," කුලියාපිටියේ පදිංචි සුමින්ද රත්නවීර පැවසීය. "පළවෙනි දවසේ රෑ එයාව අල්ලනවටවත් කැමති වුණේ නැහැ. ඒ වෙනුවට එයා තනියම සිංදු කියන්න පටන් ගත්තා. රෑ එළි වෙනකම් කිව්වා. මම ඇත්තටම බයත් වුණා. දෙවෙනි, තුන්වෙනි දවසෙත් ඒ දේම වුණා." "පසුව දැනගත්තා එයාට තදබල මානසික ආබාධයක් තියෙනවා කියලා. අන්තිමේ දී අපි බැඳලා සතියෙන් වෙන් වුණා. මට ජීවිතය ගැන මහා කලකිරීමක් ඇති වුණා. අපිට කැමති විදියට නිදහසේ ජීවත් වෙන තත්වයක් මේ රටේ තවමත් ඇති වෙලා නැහැ කියලා මට හිතෙන්නේ," ඔහු තවදුරටත් පැවසීය. "හිරිහැර විඳගෙන ජීවත් වෙන්න ඕනේ නැහැ" දික්කසාද වීමේ සඳහා පැමිණෙන බොහෝ පිරිස වයස 30-40ත් අතරේ පසුවන අතර, විවාහ වී මාස කිහිපයකින් දික්කසාද වන පිරිස ද වැඩි වී ඇති බව නීතිඥ මධූෂා විරාජිනී හෙට්ටිගේ තවදුරටත් පැවසීය. "සමහරු අවුරුදු 19 විතර කසාද බැඳලා, අවුරුදු 22 වෙනකොට දික්කසාද වෙලාත් ඉවරයි. ඒ වගේම චාරිත්‍රානුකූලව කැන්දන් යන්න කලින්ම දික්කසාද වෙන අයගෙත් වැඩි වීමක් තිබෙනවා." "කොහොම වුණත් හිරිහැර විඳගෙන එකට ජීවත් වෙන්න ඕනේ නැහැ. ඒ වගේ අවස්ථාවක රටේ නීතිය අනුව වෙන් වීම සුදුසුයි. සමහරු රණ්ඩු නොකර බොහොම සාමදානයෙන් වෙන් වෙනවා. දික්කසාද වෙන්න අධිකරණයට එන්නෙත් හිනා වේගන. හැබැයි සමහරු ගොඩක් කල් නඩු කියනවා." "දරුවෝ ඉන්න අය තමන්ගේ වැරදි හදාගන්න උත්සහ කරළා, ඉවසීමෙන් කටයුතු කළොත් හොඳයි. දරුවෝ මේ ප්‍රශ්නවලට මැදි වෙලා සෑහෙන්න විඳවනවා අපි උසාවිවල ඕනෑ තරම් දැකලා තියෙනවා. සමහරු දරුවෝ නිසා සියලු කරදර ඉවසගෙන නීතියෙන් වෙන් නොවී, දෙන්නා දෙපැත්තට වෙලා ජීවත් වෙන අයත් ඉන්නවා." "මොනවා වුණත් නීතියෙන් බඳින්න කලින් එකට ජීවත් වෙලා බලන (Living together) බටහිර රටවල තියෙන සංස්කෘතිය මම අගය කරනවා. ඒ දෙයින් අනවශ්‍ය ප්‍රශ්න ගොඩක් වැළකෙනවා," ඇය තවදුරටත් පැවසුවාය. උපදේශන සේවා දෙදෙනකු විවාහ වීමට පෙර මෙන්ම විවාහ වූ පසුව ඔවුන්ට ඇති වන ගැටලු සාකච්ඡා කර විසඳා ගැනීමේ වැඩසටහන් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් ක්‍රියාත්මක කරන බව එයට අනුබද්ධ 'ආලෝකා'උපදේශන සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ භද්‍රා උඩවත්ත සඳහන් කළාය. සිය උපදේශන සේවාවලින් ගැටලු විසඳීම මෙන්ම පවුල් දිවියක් පවත්වාගෙන යෑම පිළිබඳ උපදෙස් ලබා දීම ද කෙරෙන අතර, දික්කසාද වීමට ගිය යුවළ අධිකරණයෙන් සිය සංවිධානය වෙත යොමු කරන බව ද ඇය පැවසුවාය. "විවාහ වෙලා බොහොම ටික කාලයකින් දෙන්නා වෙන් වෙන තත්වයක් දැන් දකින්න පුළුවන්. ඉවසීම සහ එකිනෙකාට ගෞරව කිරීම අඩු වීම මෙයට හේතු වෙලා තිබෙනවා. සෑහෙන්න ණය වෙලා මහා විශාල විවාහ උත්සව ගන්න බොහෝ දෙනෙක් පෙලඹිලා ඉන්නවා. පසුව විවාහ ජීවිතය පටන් ගන්නේ ණය ගෙවා ගන්න බැරුව රණ්ඩු කරගෙන." "එක ගෙදර එක ඇඳේ නිදාගෙන හිටියත් සිතින්, කයෙන් වෙන් වෙලා ජීවත් වෙන අයත් බොහොමයක් දැන් දකින්න ලැබෙනවා. අවසානයේ ඒ අය අධිකරණයෙන් නවතින්නේ. අපේ පැරණි සංස්කෘතිය අනුව බොහෝ දෙනෙක් ඉවසන්න පුරුදු වෙලා හිටියත්, නූතන පරම්පරාවේ විවාහ යුවළ අතර ඒ දේ දකින්න නැහැ." "පොඩි රණ්ඩුවක් වුණත් බොහෝ දුරක් ගෙනියන්න මේ අය පෙලඹිලා ඉන්නවා. බෙදා ගැනීම්, දෙන්නා කතා කරලා එකඟතාවන්වලට එන එක විශාල විදියට අඩු වෙලා තිබෙනවා. ඒ වගේම බිරිඳ සහ සැමියා වෙනත් පිටස්තර පුද්ගලයන් සමග රහස් සම්බන්ධතා පවත්වන එක සෑහෙන වැඩි වෙලා තිබෙනවා." "අපි යම් දුරකට හෝ මෙම තත්ත්වය සමනය කරන්න පුළුවන් ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. උසාවියෙන් අපි ළඟට යොමු කිරීමට අමතරව, ඕනෑම කෙනෙක්ට අපි ළඟට පෞද්ගලිකව පැමිණ උදව් ලබා ගන්න පුළුවන්. කතා බහ කර විසඳන්න පුළුවන් ප්‍රශ්නයකට පවා උසාවි ගිහින් දික්කසාද වීම නෙමෙයි අපි කළ යුත්තේ," ඇය පැවසුවාය. තවත් තොරතුරු:
ඇමෙරිකා එක්සත් ජනපද ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝට් හුඩ් යුධ හමුදා කඳවුර තුළ හමුදා සොල්දාදුවෙකු සිදු කළ විවෘත වෙඩි තැබීමකින් තිදෙනෙකු මියගොස් තවත් දහසය දෙනෙකු තුවාල ලබා තිබේ.
සොල්දාදුවා ද එම ගිනි අවියෙන් ම තමාට වෙඩි තබා ගෙන අනතුරුව සොල්දාදුවා ද එම ගිනි අවියෙන් ම තමාට වෙඩි තබා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. ෆෝට් හුඩ් කඳවුර එක්සත් ජනපදයේ විශාලතම යුධ හමුදා කඳවුරයි. වර්ෂ 2009 දීද ෆෝට් හුඩ් කඳවුරේ මෙවැනිම වෙඩි තැබීමක් සිදු විය ආයුධ සන්නද්ධ පුද්ගලයා 2011 වසරේ දී සොල්දාදුවෙකු ලෙස ඉරාකයේ සේවය කළ අයෙකු බවයි වාර්තා වන්නේ. ඔහු විසින් යුධ හමුදා කඳවුරට ගෙනෙන ලද අර්ධ ස්ව‍යංක්‍රීය පිස්තෝලයක් උපයෝගී කර ගනිමින් යුධ හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයේදී තම සේවා සාමාජිකයන් හට විවෘත වෙඩි තැබීමක නිරත වී තිබේ. සොල්දාදුවා ඒ වන විට මානසික අවපීඩනය සහ භ්‍රාන්තිය ආදී ව්‍යාදීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටි බවයි වාර්තා වන්නේ. වර්ෂ 2009 දී යුධ හමුදාවේ විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු අතින්ම දහතුන් දෙනෙකුට මරු කැඳවමින් සහ තිස් දෙනෙකුට අධික පිරිසකට තුවාල සිදු කරමින් ඇමෙරිකානු ඉතිහාසයේ විශාලතම විවෘත වෙඩි තැබීම සිදු වූයේද මෙම ෆෝට් හුඩ් යුධ හමුදා කඳවුරේදීයි.
සති අන්තයේ සංචරණ සීමා පැනවීමක් නොමැති අතර, ජනතාව රැස්වන ස්ථාන මඟහරිමින්, වගකීමෙන් කටයුතු කරන ලෙස අද දින (අප්‍රේල් 23) පැවැති මාධ්‍ය හමුවක දී යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. යම් ප්‍රදේශයක සැලකිය යුතු රෝගීන් වාර්තා වුවහොත් හුදකලා කිරීමට පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
"අලුත් අවුරුද්දට පෙර ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණේ කොවිඩ් රෝගීන් 150කට අවම ප්‍රමාණයක්. නමුත් අවුරුද්ද නිමා වෙනවත් එක්ක එය දෙගුණයක් වුණා. ඊයේ දින වන විට රෝගීන් 600කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ තත්ත්වය පාලනය කරගන්න ජනතාව අනිවාර්යයෙන්ම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීය යුතුයි." අප්‍රේල් 21 වෙනි දින තුළ දී පමණක් කොරෝනාවෛරස ආසාදිතයන් 561ක් වාර්තා වීමත් සමග නැවතත් 'දැඩි ක්‍රියාමාර්ග හා තීන්දු තීරණ ගැනීමට' සිදුවන බව රජය පවසයි. "රට තුළ නැවතත් කොරෝනාවෛරසය පැතිරයාමක් තිබෙනවා. පසුගිය උත්සව සමයේ ජනතාව හැසිරුණු ආකාරය මෙයට හේතු වෙලා තිබෙනවා. ඒ අනුව ජනතාව විශාල වශයෙන් එකතු වෙන උත්සව නැවැත්වීමට තීරණය කර තිබෙනවා. මැයි රැළි, වෙසක් වෙනුවෙන් පවත්වන උත්සව සියල්ල නතර කිරීමට සිදු වෙනවා. රටේ ආර්ථිකමය වශයෙන් වැදගත් රැස්වීම් හැර අනෙක් සියල්ල නවතා දමන්න සිදුවෙනවා," වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුගත් සමරවීර බීබීසී සිංහල සේවයට පැවසීය. වෙනත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද වෛරසය වේගයෙන් පැතිර යෑමක් දක්නට ඇති බව අධ්‍යක්ෂවරයා පැවසුවේය. කොරෝනාවෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි දැඩි ක්‍රියාමාර්ග හා තීන්දු ගන්නා බව අප්‍රේල් 21 වෙනිදා පැවති විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටු රැස්වීමේ දී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසීය. එමෙන්ම විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන්ගේ නිරෝධායන කාලය නැවතත් සති දෙක දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ එම රැස්වීමේ දී පැවසුවාය. රටවල් පුරා ව්‍යාප්ත වන නව කොවිඩ් ප්‍රභේද හේතුවෙන් මෙම තීරණය ගත් බව රාජ්‍ය අමාත්‍යවරිය තවදුරටත් පැවසීය. "විදෙස් රටවල සිට පැමිණෙන අයට අපි නිරෝධායන නීති ලිහිල් කරලා තිබුණේ. නමුත් පවතින තත්ත්වය මත නැවතත් සති දෙකක නිරෝධායනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එන්නත් දෙකම ලබා ගෙන රටට පැමිණෙන අයගේ පීසීආර් පරීක්ෂණය නෙගටිව් නම් අපි ඔවුන්ට රට තුළට යන්න දුන්නා. නමුත් දැන් ඒකත් නතර කර ඒ අයවත් සති දෙකක කාලයක් නිරෝධායනයට යොමු කරන්න තීරණය කර තිබෙනවා,"වෛද්‍ය සුගත් සමරවීර පැවසීය. විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන්ගේ නිරෝධායන කාලය නැවතත් සති දෙක දක්වා දීර්ඝ කෙරෙයි. 'හුදෙකලාවට' කුරුණෑගල, තිත්තවැල්ගාල ප්‍රදේශයේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් සියයකට වැඩි කෝවිඩ් ආසාදිතයන් හඳුනා ගැනිණි. ඒ අනුව, තිත්තවැල්ගාල ප්‍රදේශයේ පුද්ගලයින් 1,320 දෙනෙකුට අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර තිබේ. "සමහර පුද්ගලයින් මේ ප්‍රදේශයෙන් හොරෙන් එළියට ගිහින් නිරෝගි පුද්ගලයින් සමග කටයුතු කරනවා. මේක පොලීසියට විතරක් තනියම කරන්න බැහැ. අවශ්‍ය පහසුකම් සියල්ල සපයනවා. මම බොහෝම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ප්‍රදේශයෙන් බැහැරට නොගොස් රෝගයෙන් ආරක්ෂා වෙන්න උදව් කරන්න," මාධ්‍යට අදහස් දැක්වූ තිත්තවැල්ගාල මහජන සෞඛ්‍ය පරීක්ෂක සිසිර බණ්ඩාර බස්නායක පැවසුවේය. මේ අතර, කුලියාපිටිය පොලිස් වසම අප්‍රේල් 22 මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍යට නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. එම ප්‍රදේශයෙන් කොරෝනාවෛරස රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසීය. දිවුලපිටිය ප්‍රදේශයෙන් ද දින දෙකක් තුළ සියයකට ආසන්න කොරෝනාවෛරස ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත. ජනතාවගේ නොසැලකිලිමත්කම නිසා "තුන්වෙනි කොවිඩ් රැල්ලක්" ආරම්භ වී ඇතැයි එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්ඒයූටී කුලතිලක මාධ්‍යට පැවසීය. 'එක්රැස් වෙන්න එපා' පවතින තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් හැකිතාක් නිවෙස්වලට වී සිටින ලෙසත් මිනිසුන් විශාල ප්‍රමාණයක් ඒකරාශී වන ස්ථාන වලට නොයා සිටින ලෙසත් ඉල්ලා සිටින බව වෛද්‍ය සුගත් සමරවීර බීබීසී සිංහල සේවයට පැවසීය. "විශාල උත්සව පමණක් නෙමෙයි, නිවෙස් වල පුද්ගලයන් එක්රැස් වන උත්සවවලට පවා නොයා ඉන්න. අනවශ්‍ය සාප්පු සවාරි යන්න එපා. ඒ වගේම පිටතට යනවානම් මුහුණු ආවරණ පැළඳීම සහ දුරස්ථ භාවය පවත්වා ගැනීම අනිවාර්යයෙන් සිදු කළ යුතුයි. අපි ප්‍රවේසම් වෙලා, පුද්ගලයන්, රටේ ආර්ථිකය වගේම දරුවන්ගේ අධ්‍යාපනය ද රැකගන්න අවශ්‍යයි." "කැස්ස, උණ තත්ත්වයක් තියෙනවානම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න, ඒ වගේම පීසීආර් පරීක්ෂණයක් සිදු කර ගන්න. කොරෝනාවෛරස පාලනය අපිට තනියම කරන්න බැහැ. මෙයට ජනතාවගේ පූර්ණ සහයෝගය අවශ්‍යයි," වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මේ අතර, සති අන්තයේ විනෝද චාරිකා යෑමෙන් ද විවිධ උත්සව සංවිධානය කිරීමෙන් ද වැළකී සිටින්නැයි ද යුද හමුදාපතිවරයා අප්‍රේල් 22 පැවති මාධ්‍ය හමුවක දී ජනතාවට දැනුම් දුන්නේය. එදින කොවිඩ් -19 වෛරසය ආසාදිතයන් 520 දෙනෙකු වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 98,570ක් දක්වා ඉහළගොස් තිබෙන බව ද හමුදාපතිවරයා පැවසීය. මේ තොරතුරු ද කියවන්න: දැඩි ක්‍රියාමාර්ග විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටු රැස්වීමේ දී පැවසූ පරිදි කොරෝනාවෛරසය පාලනය සඳහා ඉදිරියේ දී අනුගමනය කරන පියවර: "විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ නැහැ" රටේ පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශයේ උපදෙස් අනුව සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීම තවත් සති දෙකක් දක්වා කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් අප්‍රේල් 22වෙනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. අප්‍රේල් 27 දින සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට සැලසුම් කොට තිබූ නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත පවතින කොවිඩ්19 තත්ත්වය සළකා මෙම පියවර ගැනීමට කටයුතු කළ බව අමාත්‍යවරයා පැවසීය. සංචාරක බුබුළක් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර යෝජිත සංචාරක ගුවන් බුබුළ අත්හිටුවා නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි. දෙරට අතර සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් එය ක්‍රියාත්මක කරන බවට අමාත්‍යවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පවසා තිබේ. සංචාරක ගුවන් බුබුළ යටතේ දෙරට අතර නැවත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීම මෙහි අරමුණයි. තවත් තොරතුරු:
ශ්‍රී ලංකාවේ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මෙවර සම්මානයට පත් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්.
සඳුදා (19) සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදීයි මැතිව්ස් එම උපහාරය ලද්දේ. 2015 වසරේ ජනතා ක්‍රීඩකයා හැටියට සම්මානයට පත් වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර. වසරේ නැගී එන ක්‍රීඩකයා හැටියට කුසල් ජනිත් නම් කෙරුණි. නැගී එන ක්‍රීඩකයා - කුසල් ජනිත් පෙර්රා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම සම්මාන උළෙල පවත්වන ලද්දේ ‘ඩයලොග්’ අනුග්‍රහයෙනි.
පසුගිය දා කිලිනොච්චියේදී පොලිසිය විසින් හතර දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීම පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව මන්නාරම රදගුරු රායප්පු ජෝශප් හිමිපාණෝ පවසති.
මන්නාරම රදගුරු රායප්පු ජෝශප් හිමිපාණෝ ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රස්ත මර්දන ඒකකය විසින් ජෙයකුමාරී සහ ඇගේ දියණිය වන විභූශිකා අත්අඩංගුවට ගැනීම සාපරාධී සහ අසාධාරණ ක්‍රියාවක් වන අතර මව සහ දියණිය වෙන් කිරීම සදාචාර විරෝධී ක්‍රියාවක් බවයි මන්නාරම රදගුරු තුමා කියා සිටියේ. යුද්ධය අවසානයේ හමුදාවට භාර වූ සිය පුතා අතුරුදහන්ව සිටින බව පවසන ජයකුමාරි, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් යාපනයේ සංචාරයක යෙදුණ අවස්ථාවේ උද්ඝෝෂණය කළ පිරිස අතර පෙරමුණේම සිටි කාන්තාවක්. මේ පිළිබඳව සොයා බැලීමට කිලිනොච්චියට ගිය මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පියතුමා අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ වන විට නිදහස් කර ඇතත් මානව හිමිකම් ක්‍රියාධරයන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය බව රදගුරු හිමිපාණෝ පවසති. රායප්පු ජෝශප් රදගුරු තුමා මේ බව කියා සිටියේ මන්නාරමේ පැවති උපවාසයකදී.
මාලේ අගනුවර ප්‍රධාන ගුවන් තොටුපොළේ පාලනය, මාල දිවයිනේ බලධාරීන් අතට ගනු ලැබ තිබේ. ගුවන් තොටුපොළේ පාලනය ඉන්දියාවේ ජී එම් ආර් සමාගම අත පැවැති අතර, එම සමාගමත් සමඟ ඇතිකර ගෙන තිබුන ගිවිසුමක් අවලංගු කරනු ලැබීමෙන් පසුවයි, එවැනි පියවරක් ගනු ලැබුනේ.
එම ක්‍රියාවලිය කිසිදු බාධා කිරීමකින් තොරව ඉතාම පහසුවෙන් සිදු වූ බවයි මාල දිවයින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙක් කියා සිටියේ. මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොල සංවර්ධනය කිරීම සඳහා GMR සමාගමත් සමඟ ඇතිකර ගෙන තිබුන ආයෝජන ගිවිසුමක් අහෝසි කිරීමට මාල දිවයින් සමුහාන්ඩුවේ බලධාරීන් පසුගියදා පියවර ගත් අතර, එය මුල්කර ගෙන ඉන්දියාවත් සමඟ ආරාවුලක් මතුවයි තිබුනේ. එවැනි පියවරක් ගනු ලැබීම මාල දිවයිනේ සිදුකෙරෙන ආයෝජන වලට බලපෑමක් ඇතිවිය හැකැයි ඉන්දියාව ප්‍රකාශ කර තිබුණි. ඉන්දියානු සමාගමත් සමඟ ඇතිකර ගෙන තිබුන ගිවිසුම අවලංගු කරනු ලැබීමට එරෙහිව සිංගපූර් උසාවියක් තහනම් නියෝගයක් නිකුත් කර තිබුනත් මාල දිවයින් බලධාරීන් කියා සිටියේ ඔවුන්ගේ තීරණයේ කිසිදු වෙනසක් එමගින් සිදු නොවන බවයි. සබැඳි තේමා
අලුත්ගම සහ බේරුවල හට ගත් ගැටුම්වලින් මරුමුවට පත්වූවන් ගේ මරණ පරීක්ෂණ වාර්තා පිළිබඳ බරපතළ සැක පවතින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය පවසයි.
වෙඩි වැදී මියගිය පුද්ගලයන් පිහි ඇනුම් හේතුවෙන් මිය ගිය බව මරණ පරීක්ෂණ වාර්තාවල සඳහන් වන බව පවසන මුස්ලිම් කොන්ග්‍රසයේ මහ ලේකම් එම්ටී හසන් අලි, පොලිස් පරීක්ෂණ පිළිබඳව තමන්ට විශ්වාසයක් නැති බවද බීබීසී යට කියා සිටියේය. බලපිටියේ රෝහලට ඇතුළත් කළ සියලු දෙනා වෙඩි ප්‍රහාරයන්ට ලක්ව සිටි බව තමා රෝහලේ කළ සංචාරයකදී දැන ගන්නට ලැබුන බවද ඔහු සඳහන් කළේය. ගැටුම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිණිස ජනාධිපති කොමිසමක් පත් කරන මෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි. සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතීන් තුනට අයත් සාමාජිකයන් එම ජනාධිපති කොමිසමට ඇතුළත් කළ යුතු බව ද මුස්ලිම් කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා පවසයි.
කොරෝනා වෛරසයට එරෙහිව සොයාගනු ලැබූ විවිධ එන්නත් ඇතැම් රටවල් මේ වන විට තම ජනතාවට ලබාදීම ආරම්භකර ඇති අතර එක්සත් රාජධානිය ෆයිසර් සමාගම නිපැයූ එන්නත ලබාදුන් පළමු රට බවට පත්විණි.
'කොරෝනා මර්දන පැණි' දේශපාලකයින් විසින් ඔසවා තබන බවට හැගවෙන කාටුනයක් අවන්ත ආටිගල විසින් සිත්තමට නගා ඇති අයුරු එහෙත් එවැනි කිසිදු එන්නතක් අනයනය කිරීමට හෝ කොරෝනා වෛරසයට එරෙහි ඖෂධයක් දේශීයව නිෂ්පාදනය කිරීමට අදාළ කිසිදු විධිමත් සැලැස්මක් මෙතෙක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් වෙතින් හෙළි වී නැත. එවන් පසුබිමක ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට උචිත යැයි සඳහන් වූ විවිධ දේශීය බෙහෙත් වට්ටෝරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින අතරේ විවිධ ආයුර්වේද මෙන්ම 'හෙළ වෛද්‍යවරුන්' යැයි පැවසෙන පුද්ගලයින් කොරෝනා වෛරසය මර්දනය කිරීමට හෝ රෝගය සුව කිරීමට ඖෂධ සොයා ගත බවට ප්‍රචාරය වීමෙන් ජනතාව මහත් අනාරක්ෂිත බවකට පත්ව සිටින බවට ඇතැම් සෞඛ්‍ය නිලධාරීහු චෝදනා නගති. රජය හා සෞඛ්‍ය බලධාරීන් අවශ්‍ය පරීක්ෂණ නොකිරීම හා ඒ පිළිබඳව මුනිවත රැකීමෙන් ජනතාව අනාරක්ෂිත බවට පත්වෙද්දී ඇතැම් දේශපාලකයන් විසින් මෙම තත්ත්වය තමන්ගේ ප්‍රචාරණය සදහා යොදාගනු ලැබීම ඉතා භායනක බවට ඔවුන් ගේ අදහසය. "දේශපාලකයන්ගේ පැත්තෙන් මේ සමහර උත්ප්‍රේරණයක් කරන්නේ මේ පැණි ගැන එහෙම නැත්තම් මේ ඖෂධ ගැන නිවැරදි සොයාබැලීමක් කරලා නෙමෙයි. ඔවුන් මේ සම්බන්ධයෙන් අර දේශීයත්වය උඩට ඉලිප්පුවහම තමන්ට දේශපාලන වාසියක් ඇතිවෙනවා කියන කාරණාව මුලික කරගනිමින් සමහර අය මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒකනිසා ඖෂධයක් විදිහට කෙනෙකුට දෙනවනම් පළමුවෙනි එක තමයි රෝගය සුව කරන එක කෙසේවෙතත් ඒ ඖෂධය නිසා දීර්ඝ කාලින හා කෙටි කාලිනව මිනිස්සුන්ට ඇතිවෙන්නට පුළුවන් සංකුලතා සම්බන්ධයෙන් මිට වඩා විධිමත්ව විමර්ශනය කරන්නට පුළුවන්," යැයි වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදී සංගමයේ සභාපති රවී කුමුදේශ් බීබීසී සිංහල සේවය සමග පැවසීය. "අපිට ඕන එකක් බොන්නට පුළුවන් අඩුම තරමේ අපිට හානියක් වෙන්නේ නැත්නම්. මේවා සම්බන්ධයෙන් රටේ මිනිස්සු අයාලේ යන්න ඉඩ දීම බරපතල සෞඛ්‍ය වැරැද්දක් විදිහට අපි පෙන්නලා දෙනවා. ඒවගේම මේ සම්බන්ධයෙන් විධිමත්ව ක්‍රියා කරනකන් ඒ ප්‍රචාරණය විශේෂයෙන්ම අමාත්‍යංශය, කැබිනට් ප්‍රකාශකයෝ, පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් දෙන ප්‍රචාරණය කිසියම් අත්හිටුවිමක් කරන්නට කියල අපි පැහැදිලිවම රජයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලනවා." මේ අතර මහත් කතාබහකට ලක්වූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් සාදන ලද බව කියන කොරෝනා වෛරසය මැඩලීමට හඳුන්වා දී ඇති ඖෂධය වතුපිටිවල රෝහලේදී නිල වශයෙන් පරීක්ෂාවකට ලක්කර නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය. අදාළ රෝහලේ අධ්‍යක්ෂවරයා ඒ බව සනාථ කරන බව කී එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසන්නේ එහිදී සිදු වී ඇත්තේ යමෙකුගේ පෞද්ගලික උවමනාවට වූ දෙයක් ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ය. "මේ පිළිබඳව යම් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න එක හොදයි රටක් විදිහට. නමුත් අවසන් විග්‍රහයේදී විද්‍යාත්මක පරීක්ෂණ ක්‍රමවේදයක් හරහා මේක හරියට සනාථ වෙනකම් මේ පිළිබඳව අනවශ්‍ය බලාපොරොත්තු තබල කටයුතු කිරීම හරහා ඉතාම භයානක ප්‍රතිඵල එන්න පුළුවන්. මොකද ජනතාවට ඇත්තටම අනුගමනය කළ යුතු පුරුදු අමතක වෙන්න පුළුවන්. මේ වගේ සමහර දේවල් එල්ල එහෙම වෙන්නේ නැතිව මේවා සාර්ථක වෙලා ප්‍රතිඵල සනාථ වෙලා ඒ පිළිබඳ නිල ප්‍රකාශයක් ඉදිරිපත් වන තාක්කල් අපි මේ දක්වා අනුගමනය කරපු මුලික සෞඛ්‍ය පුරුදුත් එක්ක ඉස්සරහට ගමන් කිරීම තමයි සිදුවිය යුත්තේ. එහෙම උනොත් විතරයි අපිට රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් කම ලැබෙන්නේ," යැයි වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය. "හෙළ ඔසුවක් කියපු පමණින් කලබල වෙන පිරිසකුත් ඉන්නවා. ඒ පිරිසගේ මතයට සවන්දෙනවට වඩා මේ විද්‍යාත්මක පදනමක් සහිතව මේ දේවල් පරික්ෂා කළ යුතුයි කියන කණ්ඩායමත් එක්ක එකතුවෙලා ඒ අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා මේකේ යම් ප්‍රතිඵලයක් තියෙනවා නම් එක රටට අරන් දෙන්න කණ්ඩායමක් විදියට රටක් විදිහට අපි ක්‍රියාත්මක විය යුතුයි කියල තමයි අපි විශ්වාස කරන්නේ," යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද යම් කණස්සල්ලක් පළ කරති. "මේ විදිහට විවිධ බෙහෙත් තියෙනවා කියල ප්‍රචාරණය විමෙන් ජනතාව තුළ මේ රෝගයට තියෙන භීතිය නැතිවෙලා මෙතෙක් අනුගමනය කරපු නියම සෞඛ්‍ය පුරුදු අතහැරලා කටයුතු කරන්න ගියොත් බොහොම භයානක තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්." යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය බීබීසී සිංහල සේවය සමඟ පැවසීය. "රජය විසින් මැදිහත් වෙලා මේ පිළිබඳව විධිමත්ව සායනිකව හා විද්‍යාත්මකව පරීක්ෂණයක් කරලා හරි දේ ඔප්පුකරගෙන ජනතාවට හරි දේ කියන්න ඕන. නමුත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ප්‍රතිඵල එනතුරු ජනතාව මූලික සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුයි." "අපිට ගැටලුවක් නෑ බටහිර උනත් දේශීය උනත් එත් මේක තවම සියයට සීයක්ම සනාථ වෙලා නැති නිසා මේක නිසා ගැටලුවක් මතුවෙන්න පුළුවන්," යැයි ද කී මහජන සෞඛ්‍ය පරේක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ලෙස මේ මත කෙරෙහි විශ්වාසය තබා කටයුතු නොකරන ලෙසය. අනුමත නොකළ ඖෂධ පිළිබඳ හිටපු අගමැති කළ ප්‍රකාශයක් කෙසේවෙතත්, කොවිඩ් -19 සම්බන්ධයෙන් දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ සම්බන්ධ විද්‍යානුකූල තහවුරු කිරීම් කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජාතික පර්යේෂණ සභාවට පසුගිය දා දැනුම් දුන් බවට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් පැවසීය. කොළඹ විශ්වවිද්‍යාලයේ නිර්දේශිත දේශීය වෙදකමක්, ආචාර්ය හර්ෂ සුබසිංහ සහ ඉන්දික ජාගොඩ ගේ මුලිකත්වයෙන් සැකසූ කොවිඩ් සදහා විශේෂිත වූ දේශීය ප්‍රතිකාර ක්‍රම හා කෑගල්ලේ ධම්මික බණ්ඩාර ගේ ඖෂධ පැණිය වැඩිදුරටත් විද්‍යානුකූල පරීක්ෂණයකින් තහවුරු කිරීමට අග්‍රාමාත්‍යවරයා ජාතික පර්යේෂණ සභාවට නිර්දේශ කර ඇති බව එහි දැක්විණි. නිවේදනයෙන් තවදුරටත් කියා සිටියේ කෑගල්ල ධම්මික බණ්ඩාර ගේ පැණිය පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන්ගේ මැදිහත්වීමෙන් ඉදිරිපත් කෙරෙන අතර ඒ පිළිබඳ පර්යේෂණ සඳහා මෙරට සියලුම වෛද්‍ය විද්‍යාල නියෝජනය වන පරිදි කායික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුම සපිරි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් පස් දෙනෙකු සහ ජාතික පර්යේෂණ සභාව වෙනුවෙන් එහි සභාපති ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහල යොමු වී සිටින බවය. මේ අතර රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් හෙන්දවිතාරණ මාධ්‍ය හමුවේ පැවසුවේ "සාදික්කා අධිමාත්‍රාවක් ශරීරගතවීම විෂ සහිත වන බවකි. "මේ වගේ ඖෂධ ඔබ හිතු මනාපේ ගන්න යන්න එපා. මේවා අධිමාත්‍රාව අනිවාර්යයෙන්ම ශරීරයට හානිකරයි. විවිධ ඖෂධ සමහරු ගෙදර හදාගන්නේ කොහොමද කියල දාල තියෙනවා. මේවා නිසි ක්‍රමවේදයෙන් පරිභාහිරව හදන්න ගිහිල්ල ඇතිවන සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් පැහැදිලිවම වගකීම ඔබ විසින් භාරගත යුතුයි. මේවා එකපාරටම ඇත්තටම වෛද්‍ය අචාරධර්ම වලට අනුව උනත් තමා ඖෂධයක් හොයාගත්තා හෝ මේකට ඖෂධයක් කියල එහෙම ඉදිරිපත් කරන්න බෑ." යැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් හෙන්දවිතාරණ කීය. මේ අතර දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ අන්තර්ජාලය තුළ සංසරණය වන ඖෂධ වට්ටෝරු භාවිත නොකරන ලෙසය. "කොවිඩ් 19 රෝගී තත්ත්වය සඳහා ගුණදායක බව පවසමින් දේශීය වෙදකම් තුළ භාවිතාවන අමුද්‍රව්‍ය සහිත වට්ටෝරු අන්තර්ජාලයේ මෙම දිනවල විශාල වශයෙන් සංසරණය වීමක් දක්නට ලැබේ. මෙම ඖෂධ අත්හදා බැලීම සිදු නොකරන ලෙසට සමස්ත මහජනතාව චෙත කාරුණිකව දන්වා සිටිමි," ලේකම්වරිය නිවේදය කළාය. "ආයුර්වේදයේ හා දේශීය වෙදකම තුළ රෝගයක් සඳහා ඖෂධ සකස් කිරීමේදී ඊට යොදා ගනු ලබන අමුද්‍රව්‍ය පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය කරුණකි. එම ඖෂධය සඳහා භාවිතා කරන්නේ ශාකමය අමුද්‍රව්‍යක් නම් එසේ භාවිතා කළ යුත්තේ එම ශාකයේ කුමන කොටසද යන්න පිළිබඳ නිශ්චිත අවබෝධයක් ලබා ගැනීම ඉතාමත් වැදගත් වේ. යම් ඖෂධයක් සකස් කිරීම සඳහා ශාකයක පොතු යෙදිය යුතු අවස්ථාවක එම ශාකයේ ඵල යොදාගැනීම එම ඖෂධ වට්ටෝරුවෙහි නියමිත ගුණය නොලැබෙන අතර ඒ තුළින් ශරීරයට අහිතකර සංයෝගයන් ඇතිවීමට පවා අවස්ථාව ඇති විය හැකිය," යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසීය. මේ ගැනත් දැනගන්න:
නිල ඡන්ද පත්‍රිකාවක් නැතිව වුනත් ඡන්දය පාවිච්චි කල හැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අද කොළඹ පැවැත්වුන ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අවධාරණය කළේය.
ඡන්දය සම්බන්ධයෙන් පැතිර යමින් ඇති කටකතා වලට නො රැවටෙන ලෙසයි කොමසාරිස්වරයා ඉල්ලා සිටින්නේ. ඡන්ද දායකයකු නොවන දේශපාලනඥයන්ට හෝ වෙනත් බලවතකුට කිසිසේත්ම ඡන්ද මධ්‍යස්ථාන වලට ඇතුළු වීමට අවසර නැති බවත් මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කළේය. මැතිවරණය සඳහා යුද හමුදාව යොදවන ලෙසට තමා මේ වන තෙක් කිසිදු ඉල්ලීමක් කර නැති බවද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය තවදුරටත් කියා සිටියේය.
බංග්ලාදේශයේ ආරක්ෂක වාතාවරණය පිළිබඳව පවතින බිය සැක හේතුවෙන් එංගලන්ත එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ඔයින් මෝගන් සහ පිතිකරු ඇලෙක්ස් හේල්ස් බංග්ලාදේශ සංචාරයෙන් ඉවත් වී තිබේ.
එංගලන්ත එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ඔයින් මෝගන් පසුගිය ජුලි මාසයේදී ඉස්ලාමීය කැරලිකරුවන් විසින් ඩකා අගනුවර ආපන ශාලාවකට එල්ල කරන ලද ප්‍රහාරයට ගොදුරු වී විසි දෙනකු මරුමුවට පත් වූ අතර ඉන් වැඩි දෙනෙක් විදේශිකයෝ වෙති. ප්‍රහාරයට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද සැඟ වී දිවි බේරා ගැනීමට සමත් වූහ. ඇලෙක්ස් හේල්ස් නායක ඔයින් මෝගන් සහ පිතිකරු ඇලෙක්ස් හේල්ස් බංගලාදේශ සංචාරයට සහභාගි නොවීම සම්බන්ධයෙන් කළමනාකරණය කනගාටුවට පත් වන නමුත් ඔවුන්ගේ තීරණයට ගරු කරන බවයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂක ඇන්ඩෲ ස්ට්‍රෝස් පවසන්නේ. බංග්ලාදේශ සංචාරය සඳහා පවතින ආරක්ෂක විධිවිධාන පිළිබඳව ක්‍රීඩකයන් සමග විවෘතව කරුණු සාකච්ඡා කළ බවත් තවත් ක්‍රීඩකයන් සංචාරයෙන් ඉවත් නොවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති සංගණනයේ ප්‍රතිඵල දැන් නිකුත් වී තිබේ.
මෙල්බෝර්න් නගරය ඕස්ට්‍රේලියාවේ බොහෝ අංශ සම්බන්ධයෙන් පැහැදිලි චිත්‍රයක් මේ ප්‍රතිඵල මගින් ගම්‍ය වන අතර, ඕස්ට්‍රේලියාවේ ජනගහනය යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් සමන්විත බව එම සංගණනය මගින් අනාවරණය වූ එක් ප්‍රධාන කරුණකි. සංක්‍රමණිකයන් ගෙන් සැදුම්ලත් නූතන ඕස්ට්‍රේලියාවේ ජනගහණයෙන් 49% ක්ම විදේශයන්හි උපත ලැබූවන් හෝ විදේශයන්හි උපත ලැබූ එක් දෙමාපියකුගේවත් දරුවෙකි. 1979 දක්වා බලපැවැත්වුනු "සුදු ඕස්ට්‍රේලියාව" ප්‍රතිපත්තිය ඕස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයන් බහුතරය යුරෝපා වැසියන් වුවත් අලුත්ම සංගණනය අනුව වර්තමානයේ එහි වෙසෙන සංක්‍රමණිකයන් අතරින් බහුතරය යුරෝපීයයන් නොවේ. විදේශයන්හි උපත ලැබූ ඕස්ට්‍රේලියානුවන් ගෙන් 40% ක් ආසියාවේ උපත් ලැබූවන් බව සංගණනයෙන් හෙළි විය. 2001 දී විදේශයන්හි උපත ලැබූවන් අතරින් ආසියානුවන් සිටියේ 24%කි. ඒ අතර යුරෝපයේ උපත ලැබූ ඕස්ට්‍රේලියානුවන් පිරිස 52% සිට 34% දක්වා පහල වැටී තිබේ. ඕස්ට්‍රේලියාවේ වෙනස් වෙන මුහුණුවර රටවල් වෙන් වෙන්ව සලකා බලන විට විදේශයන්හි උපත ලැබූවන් අතරින් වැඩිම පිරිස, එනම් 15% ක් සංක්‍රමණය වී තිබෙන්නේ එංගලන්තයෙනි. චීනයේ සිට 8.3%ක් සහ ඉන්දියාවේ සිට 7.4% ක් මෑත වසරවලදී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබේ. පහත දැක්වෙන්නේ සංගණනයේ තවත් විශේෂ ලක්ෂණ කිහිපයකි: 'ආගමක් නෑ' ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ පළමු වතාවට වැඩිම පුරවැසියන් පිරිසක් (29.6%)ක් තමන්ට ආගමක් නොමැති බව පවසා තිබේ. එය 2001 සංගණනයට වඩා 16% කින් වැඩිවීමකි. ඉන් අනතුරුව ආගම අනුව සලකා බලන විට වැඩිම පිරිස කතෝලිකයෝය. එය 22.6% කි. එංගලන්ත සභාවේ භක්තිකයන් 13.3% ක්, කිසිවක් සඳහන් නොකළ 9.6% ක්, ඉස්ලාම් භක්තිකයන් 2.6% ක්, බෞද්ධයන් 2.4% ක් සහ හින්දු භක්තිකයන් 1.9% ක් ද එරට වෙසෙන බව සංගණනයෙන් හෙළිවිය. මෙල්බෝර්න් 'විශාලම නගරය වේවි' ජනගහනය සලකා බලන විට ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධම නගරය වන සිඩ්නි නුවරට වඩා ඉතා ඉක්මනින්ම මෙල්බෝර්න් නගරයේ ජනගහනය ඉහල යාමේ හැඩක් දක්නට ලැබේ. මේ වනවිට සිඩ්නි නුවර ලක්ෂ 48 ක ජනකායක් වෙසෙන අතර ලක්ෂ 44 ක් වෙසෙන මෙල්බෝර්න් නුවර ජනගහනය ඉතා ඉක්මනින් වර්ධනයවෙමින් පවතී. සිඩ්නි නුවරට වඩා මෙල්බෝර්න් නුවර නිවාස කුලියට ගැනීම ලාභදායක වීම එයට එක් හේතුවක් විය හැකිය. භාෂා 300 ක් ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය පිරිනැමීම සඳහා පැවති උත්සවයක් ඕස්ට්‍රේලියාවේ නිවාස තුල 300 කට වැඩි විවිධ භාෂා භාවිතවන බව ද සංගණනයෙන් හෙළි වී තිබේ. ඒ අනුව රටවැසියන්ගෙන් විශාල පිරිසක් (22.2% ක්) සිය නිවසේදී ඉංග්‍රීසි භාෂාව කතා නොකරන අතර, රටේ බහුලවම භාවිත වන විදේශීය භාෂාව (2.5% ක්) මැන්ඩරීන්ය. අරාබි භාෂාව රටවැසියන්ගෙන් 1.4% ක් භාවිත කරන අතර, කැන්ටනීස්, වියට්නාම සහ ඉතාලි භාෂා රටවැසියන් අතරින් 1.2% බැගින් සිය නිවෙස් තුළ භාවිත කරති.
ඇමෙරිකානු ජාතික ආරක්ෂක ආයතනය භාරතීය ජනතා පක්ෂය පක්ෂය(BJP) සම්බන්ධයෙන් ඔත්තු බලන ලද බවට පළ වූ වාර්තාවක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා ඉන්දියාව ජ්‍යෙෂ්ඨ ඇමෙරිකානු තානාපති නිලධාරීන් කැඳවන ලද බවක් වාර්තා වෙයි.
එම ඔත්තු බැලීම් සිදු කරනු ලැබ තිබෙන්නේ භාරතීය ජනතා පක්ෂය විපක්ෂයේ සිටියදී . එකී වාර්තා මගින් එල්ල කෙරෙන චෝදනා අනුමත කළ නොහැකි බව කියා සිටි ඉන්දියානු නිලධාරීන් එවැනි දේ යළි සිදු නොකරන බවට සහතික වීමක් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ. ඉහත කී ඔත්තු බැලීම් පිළිබඳ චෝදනාවලට පදනම් වන්නේ “වොෂිංටන් පෝස්ට්” පුවත්පතේ පළ කෙරුණ වාර්තාවක්. එඩ්වර්ඩ් ස්නෝඩන් ඇමෙරිකාවේ හිටපු ඔත්තු බලන්නකු වූ එඩ්වර්ඩ් ස්නෝඩන් විසින් හෙළිදරව් කරනු ලැබුණ තොරතුරකුයි “වොෂිංටන් පෝස්ට්” පුවත්පතේ පළ කරනු ලැබ තිබුණේ. ඇමෙරිකානු ජාතික ආරක්ෂක ආයතනය විසින් ඔත්තු බැලීම සඳහා ඉලක්ක කර ගත් විදේශීය ආයතන අතර භාරතීය ජනතා පක්ෂය පක්ෂයත් වූ බවයි, එඩ්වර්ඩ් ස්නෝඩන් ප්‍රකාශ කර තිබෙන්නේ. භාරතීය ජනතා පක්ෂය පසුගිය මැයි මාසයේ පැවැත්වුන ඉන්දීය මහමැතිවරණයෙන් ජය ගත් අතර එතැන් පටන් බරක් ඔබාමා පරිපාලනය ඉන්දියාවත් සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට උත්සාහ දරමින් සිටින බවයි වාර්තාකරුවන් පවසන්නේ.
කෙන්යාවේ නෛරෝබි නුවර ළදරුවන් විකිණීමේ ජාවාරමක් පිළිබඳව බීබීසී 'Africa Eye' ඔස්සේ පසුගිය මාසයේ දී හෙළිදරව් කෙරුණි. මෙම හෙළිදරව්වෙන් පසුව එරට පොලිසිය පුද්ගලයන් හත් දෙනෙකු සැක පිට අත්අඩංගුවට ගෙන තිබුණි. නමුත් මෙම ජාවාරමේ අනෙක් පස සිටිනා කාන්තාවන් ගේ තත්වය කෙසේද? තමන්ගේ දරුවා බ්‍රිතාන්‍ය පවුම් 70ක් වැනි මුදලකට විකුණා දැමීමට මවක පෙළඹෙන්නේ ඇයි? මෙය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් පහළොස් දාහකට මඳක් වැඩි මුදලකි.
"මගේ ජීවිතය ගොඩාක් අමාරු වෙන්න පටන් ගත්තා" -ඇඩමා දෙමාපියන්ගේ සෙවනේ සිටි කාලයේ දී තම ජීවිතය පහසුවෙන් ගෙවී ගිය බව ඇඩමා පවසන්නීය. මිල මුදල් හිඟ වුවද අවශ්‍යතා සරල වූ හෙයින් ජීවිතය යම් පිළිවෙලකට ගෙවුණි. ඇය අකුරු කරන්නට පාසල් ගියාය. සිය පාසල් ජීවිතයට ඇඩමා දැඩි ඇල්මක් දැක්වූවාය. නමුත් දෛවය ඇයට කුරිරු විය. ඇඩමාට දොළොස් විය එළඹෙද්දී පියා ජීවිතයෙන් සමු ගත්තේය. තවත් වසර කීපයකින් මව ද මිය ගියාය. "මගේ ජීවිතය ගොඩාක් අමාරු වෙන්න පටන් ගත්තා." ඇය පැවසුවාය. "පාසල අතැර දාල මට ජීවිතය රැක ගන්න ක්‍රමයක් සොයා ගන්න වුනා." කෙන්යාවේ බටහිර කලාපයේ ඈත පිටිසර ගම්මානයක ජීවත්වන ඇය ප්‍රකාශ කළාය. වයස අවුරුදු 22 වන විට ඇයට හමුවූ පුරුෂයෙකු නිසා ඇය ගැබ්බර විය. ඇයගේ කුළුඳුල් දරුවා දියණියකි. ඇය මෙලොවට බිහි වී දින තුනකින් ඇඩමා ගේ පුරුෂයා මිය ගියේය. ඇය තනි විය. දියණිය ද අසනීප තත්වයේ පසු වූ හෙයින් ඇයට සාත්තු සප්පායම් කිරීම ද සිදු වූයේ ඇඩමා ගේ අතින් පමණි. ඇය සනීප කර ගැනීමට මාස 18ක් ගත විය. අනතුරුව දියණිය ජීවත් කරවීම සඳහා ඇඩමාට ස්ථිර ආදායම් මාර්ගයක් සොයා ගැනීමට අවශ්‍ය විය. අනතුරුව ඇඩමා සිය මිත්තනියගේ සහාය පැතුවාය. දියණිය මහළු මිත්තනිය ළඟ තමා රැකියාවක් සොයා ගැනීම සඳහා ඇඩමා නයිරෝබි නුවරට පැමිණියාය. "මතක තියා ගනින් උඹ යන්නේ දරුවා ජීවත් කරවන්න යමක් හොයා ගන්න කියල" ඇඩමා ගේ මිත්තනිය පැවසුවාය. ඇඩමා ගේ නයිරෝබි නුවර දිවිය ආරම්භ වුයේ පදික වේදිකාවේ කොමඩු විකිණීමෙනි. ඉන් සරි කරගන්නා මුදල ප්‍රමාණවත් නොවිණි. යමක් ඉතිරි කර තමන් නැවතී සිටි කාමරයේ තැබුවා නම් එහි සිටි තම යෙහෙළිය එය සොරකම් කළාය. නගරයේ ජීවිතය ඇයට දුෂ්කර වූවාය. ඇයගේ නළල මත කැපුම් කැළලක් ද පවතී. ඒ අවි දැරූ පිරිමි කීප දෙනෙකුගෙන් බේරී යාමට ඇය සටන් කළ මොහොතේ ඇති වූ කැපුමක ප්‍රතිඵලයකි. ඇය කොමඩු විකිණීම අතහැර දමා ගොඩනැගිල්ලක් ඉදි කෙරෙන බිමක වැඩට ගියාය. ඇයට එතැනින් සතයක්වත් නොලැබුණි. අනතුරුව ඇඩමා රාත්‍රී සමාජ ශාලාවක සේවයට ගියාය. ඉන් ලැබෙන වැටුප කෙලින් ම තම මිත්තනියට යවන ලෙස ඇය එම ආයතනයේ ප්‍රධානියාගෙන් ඉල්ලා සිටියාය. ටික කලකට පසුව එම වැටුපෙන් කොටසක් ඇයගේ අතට ගැනීමට තීරණය කළාය. එය ඉතිරි කර ගැනීමෙන් නගරයේ වාසය සඳහා කුඩා නිවසක් කුලියට ගැනීමට ඇයට හැකිවිය. තවත් ඉදිකිරීම් වැඩ බිමක සේවය කිරීමට ඇයට අවස්තාව ලැබුණි. එම වැටුප තරමක් හොඳ විය. එම වැඩබිමේ සිටි තරුණයෙකු හා හාද විය. දෙදෙනාගේ ඇසුරට ටික කලක් ගත වෙමින් තිබිය දී තමන්ට දරුවෙකු හැදීමට අවශ්‍ය බව එම පුරුෂයා පවසා ඇත. ඇඩමා යෝජනාවක් කළාය. තමන්ගේ දියණිය නගරයට රැගෙන විත් තිදෙනාට ම එකට ජීවත් විය හැකිනම් තවත් දරුවෙකු ගැන සිතිය හැකි බව ඇය එම පුරුෂයාට පැවසුවාය. ඔහු එකඟ විය. ඇඩමා යළි ගැබ් ගත්තාය. පළමු මාස පහ ඇතුළත නිවසේ කුලිය පුරුෂයා විසින් ගෙවන ලදි. ආහාර පාන ද සැපයින. සිය මිත්තනිය ළඟ සිටින දියණිය නගරයට ගෙන ඒමට සුදුසු දිනයක් එළැඹෙන තුරු ඇඩමා බලා සිටියාය. නමුත් එම පුරුෂයා හිටි හැටියේ අතුරුදහන් විය. ඔහු යළි පැමිණියේ නැත. කෙන්යාවේ දිළිඳු මවකට ජීවිතය ගැටගසා ගැනීම සඳහා විකල්ප මාර්ග අවමය තනි දරුවෙකු ජීවත් කරවන්නට තරම් ආදායමක් නොමැති ගැහැනියක තවත් දරුවෙකු ලොවට බිහි කරන්නට සිටිය දී ඇතිවන ආතතිය ගැන ඕනෑම කෙනෙකුට සිතා ගත හැකිය. නමුත් තමන්ගේ දරුවා විකුණා දැමීමට බොහෝ දෙනෙකු නොපෙළඹෙනු ඇත. නමුත් කෙන්යාවේ දිළිඳු මවකට ජීවිතය ගැටගසා ගැනීම සඳහා විකල්ප මාර්ග අවමය. ජාවාරම්කාරයෙකුට තම දරුවා විකිණීම එවන් මවකට පවතින අවසාන විකල්පය විය හැකිය. නමුත් මේ ජාවාරම්කරුවන් ගෙවන්නේ ඇදහිය නොහැකි අඩු මුදලකි. සාරා තවත් මවකි. සිය දෙවැනි දරුවා ගැබ් ගනිද්දී ඇය 17 හැවිරිදි මවකි. දරුවකු ජීවත් කරවන්නට ඇයට කිසිදු ආදායමක් නොතිබුණු බව සාරා පැවසුවාය. අලුත උපන් පුතු ගැහැනියකට විකුණා දැමූ බවත් කෙන්යානු මුදලින් ශිලිං 3000ක් ඇයට ලැබුණු බවත් සාරා පැවසුවාය. එය ශ්‍රී ලංකාවේ මුදලින් නම් රුපියල් 5000 කි. "ඒ වෙනකොට මගේ වයස අවුරුදු 17යි. මම කරන්නේ ලොකු වරදක් කියල මට එතකොට වැටහීමක් තිබුනේ නැහැ. අවුරුදු පහකට පස්සේ තමයි මට ඒක තේරෙන්න ගත්තේ. ඒ සල්ලි ආපහු ගෙවල දරුවා ආපහු ගන්න මට ඕන වුනා." එවැනි අඩු මුදලකට තම දරුවන් විකිණූ තවත් කාන්තාවන් පිළිබඳව තමන් දන්නා බව සාරා පැවසුවාය. "බොහෝ අභියෝග නිසා ගැහැණු ළමයි තමන්ගේ දරුවා විකුනනවා. සමහර විට මේ බඩදරු ගැහැණු ළමයින්ව දෙමව්පියෝ ගෙදරින් එලවල දාල වෙන්න පුළුවන්. ඇතැම් විට මේ ගැහැණු ළමයි ගර්භනී වෙනකොට පාසල් යමින් සිටියා වෙන්න පුළුවන්. වයස අවුරුදු 15 හෝ 16 ගැහැණු ළමයෙකුට මේක ලොකු ප්‍රශ්නයක්. තමන්ගේ අතින් අල්ලගන්න කවුරුවත් නැති නිසා තමන්ගේ දරුවයි තමන් සතු සියලු දේමයි අහිමි කරගත්ත ගැහැණු ළමයි ඕනෑ තරම් මෙහි ඉන්නවා." සාරා ප්‍රකාශ කළාය. "වාසනාවන්ත දවසක් නම් මට කෑම ටිකක් හොයා ගන්න පුළුවන් වෙනවා. එහෙම නැති වුනොත් වතුර ටිකක් බීල යාඥා කරලා නිදා ගන්නවා." ඇඩමා කීවාය කෙන්යාව, අප්‍රිකානු මහද්වීපයේ ගර්භනී නව යොවුන් දැරියන් වැඩිම ප්‍රමාණයක් වාර්තාවන රටවලින් එකකි. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, කොරෝනා වසංගතයත් සමඟ පාසල් වැසී යාමත් ජීවත්වීමේ අරගලය හමුවේ ඇතැම් ගැහැණු ළමුන් ලිංගික සේවයට තල්ලු කිරීමත් හේතුවෙන් මෙම තත්වය තවත් නරක අතට හැරුණු බවය. "මේ තත්වයට වැටුණු කාන්තාවන් සහ ගැහැණු ළමයි පිළිබඳව කතා ගොඩක් මම අහල තියෙනවා. තරුණ ගැහැණු ළමුන් රැකියා සොයාගෙන නගරයට එනවා. හාදකම් ඇතිවෙනවා. ගැබ් ගන්නවා, ඊට පස්සේ ළමයාගේ තාත්ත එයාව අතෑරලා දානවා. මේ වගේ කතා." කෙන්යාවේ මානව හිමිකම් පිළිබඳ නීතිඥ ප්රුඩෙන්ස් මුටිසෝ පැවසීය. "දරුවාගේ පියා දරුවාව නඩත්තු කරන්නේ නැත්නම් ඒ මුදල් සොයා ගන්න අම්මට වෙනත් මාර්ගයක් සොයන්න වෙනවා. එතකොට තමයි මේ අම්මලා දරුවන් විකුණන ජාවාරම්කරුවන් වෙත තල්ලු වෙන්නේ. ඔවුන් හරහා තමාගේ ජීවිතය ගැට ගසා ගන්නටත් ගමේ දාල ආපු තමන්ගේ දරුවන් නඩත්තු කරන්නත් අම්මලට කීයක් හරි හම්බ වෙනවා. මිනිස්සු මේ ගැන විවෘතව කතා කරන්නේ නැහැ. ඒත් ඒක තමයි සිද්ධ වෙන්නේ." ඇඩමා ඉදිකිරීම් බිමෙහි වැඩ කරන කාලයේ තමන් ගැබ් ගෙන ඇතිබව සියල්ලන්ගෙන් ම වසන් කරගෙන සිටියාය. තමන්ට තනිවම සිමෙන්ති කොට්ටයක් ඔසවාගෙන යාමට තරම් ශක්තියක් පවතින තුරා ඇයට ඒ රහස රැක ගැනීමට හැකි විය. රහස හෙළිවූ දා පටන් නිවසේ කුලිය ගෙවා ගැනීමට ඇය අසමත් විය. මාස තුනක කාලයක් නිවෙස් හිමියාගෙන් සහනයක් ලැබුණි. පසුව ඇය ඉවත් කොට වෙනත් කෙනෙකුට එම නිවස කුලියට දුන්නේය. ඒ වන විට ඇයගේ දරු ගැබට මාස අටකි. වෙනත් යාහැකි තැනක් නොවූ හෙයින් ඇය රාත්‍රිය ගත කිරීම සඳහා පමණක් එම නිවසට හොර රහසේ පැමිණ හිමිදිරියේ පිටව යන්නීය. "වාසනාවන්ත දවසක් නම් මට කෑම ටිකක් හොයා ගන්න පුළුවන් වෙනවා. එහෙම නැති වුනොත් වතුර ටිකක් බීල යාඥා කරලා නිදා ගන්නවා." ඇඩමා කීවාය. යොවුන් වියට එළඹෙන තරුණියන්ට ලිංගික අධ්‍යාපනයක් හෝ ප්‍රජනක සෞඛ්‍ය පිලිබඳ දැනුමක් ලබා ගැනීමට අවස්ථාවක් නොමැත කෙන්යාවේ කාන්තාවක් ඇඩමා ගේ තත්වයට ඇද වැටුනහොත් ඇය මිනිස් ජාවාරම්කරුවන් වෙත නතු වීමට රුකුල් දෙන කරුණු රාශියක් වේ. ගබ්සාව නීතියෙන් තහනම්ය. එබැවින් ඉතා අනතුරුදායක වූ නීතිවිරෝධී ගබ්සා සිදු කෙරෙන ස්ථාන බිහිවී තිබේ. යොවුන් වියට එළඹෙන තරුණියන්ට ලිංගික අධ්‍යාපනයක් හෝ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ දැනුමක් ලබා ගැනීමට අවස්ථාවක් නොමැත. පිටිසර පළාත්වල මෙම තත්වය තදින් පවතී. එමෙන්ම, දරුවෙකු නීත්‍යානුකූලව වෙනත් කෙනෙකුට පැවරිය හැකි ක්‍රියාදාමය පිළිබඳව බොහෝ අයට දැනුමක් නොමැත. "අනවශ්‍ය පිළිසිඳ ගැනීමක් සිදු වූ කාන්තාවකට හෝ ගැහැණු ළමයෙකුට ආණ්ඩුවෙන් සහයෝගයක් ලැබෙන්නේ නැහැ." කෙන්යාවේ Health Poverty Action නමැති ආධාර ආයතනයේ සංවිධායක ඉබ්‍රහිම් අලි පැවසීය. "මේ කාන්තාවන්ට තමයි බොහෝවිට චෝදනාව එල්ල වෙන්නේ. ගැරහුමට ලක්වෙන්නේ. බොහෝ විට පිටිසර පළාත්වල ගැහැණු ළමයි මේ තත්වයට පත් වුනාම නිවෙසින් පලා යනවා. ඔවුන් නගරයට ආවම තවත් අනතුරුදායක තත්වයකට පත් වෙනවා." තම දරුවා වෙනත් අයෙකුට ආරක්ෂිතව පැවරිය හැකි නීත්‍යානුකුල ක්‍රමවේදයක් පවතින බව ඇඩමා දැන නොසිටියාය. ඇය කියා සිටියේ තමන් එවැන්නක් ගැන කොහෙත්ම දැන නොසිටි අතර එවැන්නක් අසා හෝ නොතිබුණු බවය. නීතිවිරෝධී ගබ්සාවක් කර ගැනීමට ඇය වරෙක සිතුවාය. නමුත් එය තමන් අදහන ආගමට එරෙහිව යාමක් වූ හෙයින් ඉන් වැලකී සිටියාය. පසුව දිවි නසා ගන්නට ඇඩමා තීරණය කළාය. "මම දැඩි පීඩාවකට පත්වෙලා හිටිය. මම හිතන්නට පටන් ගත්තා දියේ ගිලිලා මැරෙන විදියක් ගැන. එතකොට මිනිස්සුන්ට මාව අමතක වෙලා යයි කියල මම හිතුව." ඇඩමා ගේ දරුවා උපදින්නට තව ඇත්තේ සති කිහිපයකි. හොඳින් හැඳ පැළඳ ගත් කාන්තාවකට ඇඩමා හඳුන්වා දෙන ලද්දේ කිසියම් පුද්ගලයෙකු විසිනි. එම කාන්තාවගේ නම මේරි අවුමා ය. ගබ්සාවක් සිදු නොකරන ලෙසට මේරි, ඇඩමා ගෙන් ඉල්ලීමක් කළාය. නෛරෝබි නුවර සිටින පැල්පත්වාසීන් සඳහා මේරි නීතිවිරෝධී වීදි සායනයක් පවත්වාගෙන යන්නීය. පසුවදා තම සායනයට පැමිණෙන ලෙස මේරි, ඇඩමා ට කීවාය. මේරි සිය ජංගම දුරකථනය ගෙන ගැනුම්කරුවෙකුට කෙටි පණිවිඩයක් ලියා යැව්වාය මේරි අවුමා ගේ සායනය සැබෑ වෛද්‍ය සායනයක් නොවීය. පැල්පත් යායක් අතරින් දිවෙන මාර්ගයක වැඩි කලඑළියකට නොපෙනෙන සාප්පුවක් ඇතුළත සැඟවී පිහිටි කාමර දෙකකි. බිත්තියට අල්ලා ඇති හිස් රාක්ක මත තැනින් තැන වෛද්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා කරනු ලබන භාජන කිහිපයක් දැකිය හැකිය. දරු ප්‍රසූතිය සඳහා මෙම කාමර දෙක සුදානම්ව පවතී. මේරි අවුමා තම අත් උදව්කාරිය සමඟ මෙහි සිටින්නීය. මෙහි ප්‍රසුත කරන දරුවන් ඇය මිලදී ගෙන ලාභයක් තබා අලෙවි කරන්නීය. මෙම දරුවන් මිලදී ගන්නේ කවුරුන්ද යන වග හෝ කුමක් සඳහා ද යන වග කිසිවෙකු අසන්නේ නැත. මේරි විසින් ඇඩමා ට පවසනු ලැබ ඇත්තේ දරුවන් නොමැති යුවළකට තම දරුවා ලබා දෙන බවත් ඔවුන් දරුවා හොඳින් රැක බලා ගන්නා බවත් ය. නමුත් යථාර්ථය නම්, නියමිත මුදල සමඟ වෙළඳ සැල හරහා ඇතුළට පැමිණෙන ඕනෑම කෙනෙකුට මෙම දරුවන් ලබා දීමය. ගර්භනී කාන්තාවන්ට මේරි පවසන්නේ තමා පළපුරුදු හෙදියක් බවය. නමුත් දරු ප්‍රසූතියක දී ඇතිවිය හැකි බරපතල තත්වයකට මුහුණ දීම සඳහා ඇයට දැනුමක් හෝ අවශ්‍ය වෛද්‍ය උපකරණ මෙහි නොමැත. දරු ප්‍රසුතියක් සඳහා ඇවැසි සෞඛ්‍ය ආරක්ෂාවක් මෙහි නොමැත. "එයාගේ තැන හරිම අපිරිසිදුයි. ලේ එකතු කරන්නේ පොඩි පෙට්ටියකට. බේසමක් නැහැ. ඇඳත් හරිම අපිරිසිදුයි. ඒත් මම හිටපු තත්වයේ හැටියට මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ." ඇඩමා සිය මතකය අවදි කළාය. ඇඩමා මෙම සායනයට පැමිණි වහාම මේරි බෙහෙත් පෙති දෙකක් බොන්නට දුන්නාය. ඉන් ප්‍රසුතිය ඉක්මන් විය. ඒ වන විටත් ඇඩමා ගේ බිලිඳා මිල දී ගැනීම සඳහා පුද්ගලයෙකු පැමිණ සිටියේය. මේරි තම ගනුදෙනුව අවසන් කිරීම සඳහා ඉතා නොඉවසිල්ලෙන් කටයුතු කළාය. නමුත් දරුවා ප්‍රසුත කළ වහාම ඇති වූ පපුවේ ආබාධයක් හේතුවෙන් හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය විය. බිලිඳා රෝහලකට රැගෙන යන ලෙස මේරි, ඇඩමා ට පැවසුවාය. සතියක් පමණ ඇඩමා ට රෝහලේ ගත කරන්නට සිදු විය. කෙසේ නමුත් ඇය රෝහලෙන් පිටව ගියේ නිරෝගී පුතෙකු ද අතැතිව ය. ඇඩමා ට යන්නට තැනක් නොවීය. දරුවා ප්‍රසුත කරන්නට පෙර ඇයව නිවසින් එලියට දැමූ ගෙහිමියා හමුවට ඇය නැවතත් ගියාය. බිලිඳා සමඟ පැමිණි ඇයට නැවතත් නිවසට ඇතුළු වීමට අවසරය ලැබුණි. ටික දිනකින් ඇඩමා නැවතත් මේරි අවුමා සොයා ගියාය. පසුදා දරුවා සමඟ සායනයට පැමිණෙන ලෙස මේරි පැවසුවාය. මේරි සිය ජංගම දුරකථනය ගෙන ගැනුම්කරුවෙකුට කෙටි පණිවිඩයක් ලියා යැව්වාය. එහි ලියා තිබුණේ "අලුත් පැකේජයක් බිහි වී ඇත; 45000යි" යනුවෙනි. සිය බිලිඳා දෑතින් තුරුළු කර ගෙන ඇය කාමරයේ කොනක වාඩිලා සිටියාය මේරි, ශිලිං 45,000ක් ගන්නේ ඇඩමා ට දීමට නොවේ. ශිලිං 45,000ක් යනු බ්‍රිතාන්‍ය පවුම්වලින් නම් 300කි. ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 75,000කි. නමුත් ඇඩමාට ලැබුණේ රුපියල් පහළොස් දාහකට මඳක් වැඩි ප්‍රමාණයක් පමණි. කෙසේ නමුත් මේ ගැනුම්කරු කවුරුන් ද යනවග මේරි අවුමා දැන සිටියේ නැත. ඔහු වෙස්වලාගත් බීබීසී වාර්තාකරුවෙකු බව මේරි දැන නොසිටියා ය. දරු ජාවාරමේ යෙදෙන්නන් පිළිබඳව වසරක් පුරා සිදු කෙරුණු විමර්ශනයක ඔහු නියැලී සිටියේය. පසුදා ඇඩමා දරුවා සමඟ මේරිගේ ව්‍යාජ සායනයට ගියාය. සිය බිලිඳා දෑතින් තුරුළු කර ගෙන ඇය කාමරයේ කොනක වාඩිලා සිටියාය. ගැනුම්කරු පැමිණියේය. ගැනුම්කරු ඇඩමාට යමක් රහසින් පැවසීය. ඔහු පැවසුවේ ඇඩමාට මීට වඩා හොඳ විකල්පයක් පවතින බවය. ඇය තම තීරණය වෙනස් කළාය. දරුවාද රැගෙන මේරි ගේ සායනයෙන් පිටත් වූ ඇය නැවතුණේ රජය මගින් පවත්වාගෙන යන ළමා නිවාසයක් අසල ය. නීත්‍යනුකුල කුලවැද්දුමක් සිදුවන තුරු ඇඩමා ගේ දරුවා මෙම නිවාසය විසින් රැක බලා ගනු ඇත. මෙම ලිපිය මගින් තමන්ට කර ඇති චෝදනා පිළිබඳව ප්‍රතිචාර දක්වන ලෙස බීබීසීය මේරි අවුමාට පැවසූ නමුත් ඇය කිසිවක් නොකීවාය. ඇඩමා දැන් 29 හැවිරිදි ය. තමන් ඉපිද හැදූ වැඩුණු ගම්මානයේ ම දැන් ඇය දිවි ගෙවන්නීය. ඇය තවමත් ඇතැම් දිනවල නින්දට යන්නේ කුසට අහරක් නොමැතිව ය. ජීවිතය තවමත් දුෂ්කරය. ළඟ පාත ඇති අවන්හලක වැඩක් ඉඳ හිට ඇයට ලැබෙන නමුත් එය දිවි ගැටගසා ගන්නට තරම් නොවේ. නමුත් ඇයට ද සිහිනයක් පවතී. නයිරෝබි නුවරින් පාවහන් ගෙනැවිත් ගමේ සාප්පුවක් දැමීම ඇයගේ සිහිනයයි. නමුත් ඒ සිහිනය ඉතා ඈතය. තම පුතු ඇය යළිත් දුටුවේ නැත. නමුත් ඇය පසුතැවිලි නොවන්නීය. "මට දරුවා විකුනන්න කැමැත්තක් තිබුණේ නැහැ. දරුවෙක් විකුණලා ලැබෙන සල්ලියක් අල්ලන්නවත් මම කැමති නැහැ. ඒත් අන්තිමට මුදල් ගනුදෙනුවක් නැති තැනකට මගේ දරුවා දෙන්න ලැබුණා. ඒක මට සහනයක්." ඇඩමා පැවසුවාය. "දරුවට ආරක්ෂාව තියෙනවා. එයාව බලාගන්න අය හරිම හොඳ මිනිස්සු." Additional reporting by Njeri Mwangi. Photographs by Tonny Omondi for the BBC.
සිය වෘත්තිමය ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ රහසිගත තොරතුරු රුසියාව සතුව ඇති බවට පළවන වාර්තා ඇමරිකාවේ ජනාධිපති ධුරය සඳහා තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් කෝපයෙන් යුතුව ප්‍රතික්ෂේප කරයි.
'මහජනතාව අතර ව්‍යාජ පුවත් පතුරවා හැරීමට ඉඩ තැබීම' සම්බන්ධයෙන් ඇමරිකානු බුද්ධි අංශ චෝදනාවට ලක් කරමින් ට්‍රම්ප් ට්විටර් පණිවුඩ නිකුත් කළේය. තහවුරු නොකරන ලද චෝදනාවලින් පැවසෙන්නේ ට්‍රම්ප් වෛශ්‍යාවන් සමග සිටින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන රුසියාව සතු බවය. කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රහසිගත තොරතුරු රුසියාව සතුව පවතින බවට පලවන වාර්තා ක්‍රෙම්ලිනය ද ප්‍රතික්ෂේප කළේය එමෙන්ම ඔහුගේ ව්‍යාපාර අවශ්‍යතා කෙරෙහි බලපාන තොරතුරු ද රුසියාව සතු බවට ඇතැම් ඇමරිකානු මාධ්‍ය වාර්තා කොට තිබිණි. කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රහසිගත තොරතුරු රුසියාව සතුව පවතින බවට පලවන වාර්තා ක්‍රෙම්ලිනය ද ප්‍රතික්ෂේප කළේය. රුසියාව සහ ඇමරිකාව අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතාවලට හානි කිරීමේ අරමුණින් එවැනි ප්‍රචාර ගෙන යන බව රුසියානු ජනාධිපති වැල්ද්මීර් පුතින්ගේ ප්‍රකාශකයකුවන දිමිත්‍රි පෙස්කොෆ් කියා සිටියේය.
ජනාධිපති ව්ලදිමීර් පූතින් ගේ ආරාධනය පරිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මාර්තු 22 සිට 24 වෙනිදා දක්වා රුසියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය පවසයි.
1974 වසරේ එවක අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායකගෙන් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු රුසියාවේ නිල සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙය බව විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට හැට වසරක් පිරීම නිමිති කරගනිමින් සංවිධානය කෙරෙන සංවත්සරික උත්සවය ද නිල සංචාරය අතරතුර පැවැත්වීමට නියමිත බව එම නිවේදනයේ සඳහන් වේ. මාර්තු 23 වෙනිදා දෙරටේ ජනාධිපතිවරුන් අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එහිදී ධීවර, සංචාරක, සංස්කෘතික, විද්‍යා සහ තාක්ෂණික අංශ මෙන්ම අධ්‍යාපනික සහයෝගීතාව යන ක්ෂේත්‍රවල ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය පවසයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග විදේශ අමාත්‍ය මංගල සමරවීර ඇතුළු තවත් අමාත්‍යවරුන් පස් දෙනෙකු රුසියානු සංචාරය සඳහා සහභාගී වනු ඇති බව විදේශ අමාත්‍යංශ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
විශේෂයෙන් පාසල්වලත්, රජයෙන් පාලනය වන ළමා සුරැකුම් ආයතනවලත් දරුවන්ට එරෙහිව බහුල වශයෙන් සිදු කැරෙන අපචාර වලක්වාලීමට ඉන්දීය රජය අසමත් වී ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.
සෑම වසරක් පාසාම ළමා ලිංගික දූෂණ හත් දහසකට වඩා වාර්තා වන බවයි එම සංවිධානය පවසන්නේ. කෙසේ වෙතත්, විශේෂඥ මතය නම් සංඛ්‍යාව ඊටත් ඉහළ බවයි. ලිංගික පීඩාවට පත් දරුවන් පොලිසියේ නොමනා සැලකිල්ලටත්, අපහාසයටත් බොහෝ විට ලක් වන බවයි වාර්තා වන්නේ. හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ මීනක්‍ෂි ගංගුලි ඉන්දීය රජයෙන් ඉල්ලා සිටියේ පවත්නා නීති ක්‍රියාවේ යොදවන ලෙස හා තත්වය පාලනය කිරීම සඳහා නීති පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන ලෙසයි. ළමා ලිංගික දූෂණ ඉන්දියාවට පමණක් සීමා වූ අපරාධයක් නොවන බවයි මීනක්‍ෂි ගංගුලි වැඩි දුරටත් කියා සිටියේ. සබැඳි තේමා
තමන් ලද නිදහස් අධ්‍යාපනයේ 'ණය ගෙවීම' සඳහා දරුවන්ට නොමිලේ උපකාරක පංති පවත්වන නලින්ද ප්‍රගීත් දයාරත්න නමැති ගුරුවරයෙකු ගැන අකුරැස්ස, ඕපාත ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.
ගාල්ල, මිල්ලව ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරයෙකු වන ඔහු, දරුවන්ට පාසලින් ලැබෙන 'ගෙදර වැඩ' සිය නිවසට පැමිණ සම්පුර්ණ කර ගැනීම සඳහා ද දිනපතා සවස් කාලයේ පැය දෙකක් වෙන්කර ඇත. දැඩි දුෂ්කරතා මැද අධ්‍යාපනය ලද තමන් 1996 දී කොළඹ දිස්ත්‍රික්කයෙන් 14 වැනි ස්ථානය ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළු වූ බවත්, රටට වැඩදායි දෙයක් ඉතිරි කර මිය යායුතු බැවින් බිරිඳ සමග එක්ව මේ සද් කාර්ය ඉටු කරන බවත් නලින්ද ප්‍රගීත් දයාරත්න ගුරුතුමා බීබීසී සිංහල සේවයට කියා සිටියේය. ඔහු සිය නිවසේ තාරකා විද්‍යා සංගමයක් මෙන්ම සාහිත්‍ය සංගමයක් ද පවත්වාගෙන යයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මිතුරන් ඇතුළු කිහිප දෙනෙකු ඒ සඳහා උපකාර කරන බව ද ඔහු කියා සිටියේය. මේ ගැනත් දැනගන්න: නිෂ්පාදනය / පටිගත කිරීම / සංස්කරණය ෂර්ලි උපුල් කුමාර
1983 වර්ෂයේ පටන් උතුරේ සිට අවතැන්වූ පිරිස් වලට උතුරු පළාත් සභා මැතිවරණයේදී ජන්දය ලබා දීමට හැකිවන අලුත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබී ඇතැයි අධිකරණ අමාත්‍ය රවූෆ් හකීම් ප්‍රකාශ කරයි.
තමන් අවතැන් වූ බව සනාථ කිරීමට හැකි නම් අවතැන්වූවන්ට ජන්ද නාම ලේඛනයට නම් ඇතුලත් කිරීමට අවස්ථාව ලබා දීම සඳහා ඒ වෙනුවෙන් විශේෂ ජන්ද නාම ලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තුවන බවයි අමාත්‍යවරයා පැවසුවේ. ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන බවට ප්‍රකාශ කොට ඇති උතුරු පළාත් සභා මැතිවරණයට පෙර එය සකස් කිරීමට හැකි බව අධිකරණ අමාත්‍ය රවූෆ් හකීම් ප්‍රකාශ කළේය. මීට කලින්ද අවතැන්වූවන් සඳහා එවැනි විශේෂ විධි විධාන යෙදූ අවස්ථා ඇති බවත් ඔහු සඳහන් කළේය. අවතැන්වූවකුගේ නම වෙනත් දිස්ත්‍රික්කයක ජන්ද ලැයිස්තුවකට ඇතුලත් වී ඇත්නම් ලබන ජුනි මාසයේදී මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන නාම ලේඛන සංශෝධනයේදී ඉවත් කිරීමට හැකිවන බවත් අධිකරණ අමාත්‍ය රවූෆ් හකීම් තවදුරත් පැවසුවේය.
මධ්‍යම රාත්‍රීය ගෙවී හොරා දෙකක් හෝ තුනක් ගතවූ පසු එළිය වැටෙමින් පවතිද්දී නගරවාසීන් නිදි යහනින් පුබුදුවාලමින් මද අඳුර මැද නගරය පුරා සැරිසරන බේර වාදකයන් රාමදාන් කාලයේ දී කාශ්මීරයේ සුලභ දසුනකි.
සියවස් ගණනාවක් තිස්සේ අදටත් පවත්වාගෙන යන ‘රාමදාන් බෙර වාදනයේ’ අරමුණ වී ඇත්තේ ඉර උදාවට පෙර පිබිද කෑම අනුභව කරන ලෙස ප්‍රදේශයේ ජනතාවට මතක් කර දීමයි. ඉස්ලාම් බැතිමතුන් රාමදාන් කාලයේ දී ඉර උදාවෙන් පසු අහාර අනුභව කිරීම හෝ ජලය පානය කිරීම නොකරති. එබැවින් ඔවුන් අවදි කොට ආහාර අනුභව කරන ලෙස මතක් කිරීම සඳහා තාක්ෂණික පහසුකම් නොතිබුණු ඈත අතීතයේ ඒ සඳහා යොදාගෙන තිබුණේ බෙර වාදනයයි. වර්තමානයේ යුද ගැටුම් ආදී සමාජ ගැටළු හේතුවෙන් විවිධ බාධාවන් පැවතුනද මෙම සම්ප්‍රදාය තාමත් නොනැසී පැවතීමට එවන් සමාජ ප්‍රශ්ණම හේතුවක් වී ඇති බවයි රාමදාන් බෙරවාදනයේ යෙදෙන්නන් පිළිබඳව බීබීසීයේ අරබු අහමඩ් සුල්තාන් ශ්‍රී නගර් සිට කළ වාර්තාවකින් හෙළිවන්නේ. එම වාර්තාව සංදේශයට සකස් කළේ එස් එල් සෙනෙහෙධීර.
ඕනෑම මැතිවරණයක් නියමිත දිනයට නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් බව පෙන්වාදෙන ජාතික මැතිවරණ කොමිසම, එහි ප්‍රතිඵලය සර්වජන ඡන්ද බලය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටීම විය හැකි බවටද අනතුරු අඟවයි.
සර්වජන ඡන්ද බලය කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීමේ ප්‍රතිඵලය බියකරු බව 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව වටහාගත් බවත් කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය පිළිබඳව කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. "බැලට් කියන එක පිළිබඳ විශ්වාසය නැතිවෙලා බුලට් කියන තත්වෙට මහජනයා යොමුවෙන්න පටන් ගත්තා," ඔහු පැවසීය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා තමන් දැනටමත් ඡන්ද පොල සියල්ල තීරණය කර අවසන් බවත් සඳහන් කළ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, මැතිවරණ සීමා නීර්ණය කමිටුවේ වාර්තාව භාරදීම පමාවීම මැතිවරණ කොමිසමට අදාළ කරුණක් නොවන බවත් පෙන්වා දුන්නේය. අශෝක පීරිස් කමිටුවේ වාර්තාවට එක් සාමාජිකයකු අත්සන් නොතැබීම හේතුවෙන් එය අමාත්‍යවරයාට භාරදීම පමා වී තිබේ.
ඉහළ නංවන ලද වැට් බද්ද අයකිරිම වළක්වාලමින් ආණ්ඩුව වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක, මුදල් අමාත්‍යංශ ලේකම් සහ නීතිපතිවරයා නම් කර තිබේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිය පෙත්සම මගින් කියා සිටින්නේ වැට් බදු වැඩි කිරීමට හෝ සංශෝධනය කිරීමට අවශ්‍ය නම් ඊට අදාළ පනත් සංශෝධනය කිරීමට අවශ්‍ය බවයි. එහෙත් මුදල් අමාත්‍යවරයා 'අදාළ පනත් සංශෝධනය නොකොට සිය අභිමතය පරිදි අත්තනෝමතික ලෙස වැට් බද්ද ඉහළදැමීම නීතියට පටහැණි ක්‍රියාවක් ලෙස' පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ විසින් හඳුන්වනු ලබයි. ඉහත කී ''නීති විරෝධී ක්‍රියාව'' පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසත් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශ කරන තෙක් වැඩි කරන ලද වැට් බද්ද අය කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන්ද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක, මුදල් අමාත්‍යංශ ලේකම් සහ නීතිපතිවරයා නම් කර තිබේ.
මතභේදයට තුඩු දී තිබෙන ඉරාන න්‍යෂ්ඨික වැඩසටහන පිළිබඳව ඉරානය සහ ලෝක බලවතුන් සමඟ සාකච්ඡා ආරම්භ විය.
මුලික සාකච්ඡා වටයේදී ඉරානයේ ඉදිරි සැලසුම් පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බවයි ඉරානයේ නියෝජ්‍ය විදේශ ඇමතිවරයා කියා සිටියේ. නමුත් විසඳුමකට එළැඹෙන තුරු ඉරානයට පනවා ඇති සම්භාධක ඉවත් නොකරන ලෙස ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලෝක බලවතුන්ගෙන් ඉල්ලීමක් කළේය. ඉරානයේ නව ජනාධිපති හසන් රුහානි බලයට පත් වීමෙන් අනතුරුව මෙවැනි සාකච්ඡාවක් පැවැත් වෙන්නේ ප්‍රථම වතාවටයි.
ශ්‍රී ලංකාවේ ගැටළු විසඳා ගැනීමේ උපදෙස් දීමට ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් වීම ආරක්ෂක ලේකම් වරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය.
ගෝඨාභය රාජපක්ෂ විදේශීය බලපෑම් සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා විරෝධය පෑවේ මඩකලපුවේ දී ආගමික දේශපාලනික හා බහුජන නායකයන් අමතමින්. තමන් මුණ ගැසීමට පැමිණ රට පාලනය කරන අයුරු කියා දෙන්නට ආ එක්සත් ජනපද නිලධාරියකු ට දැඩි සේ ප්‍රතිචාර දැක්වූ බව ද ඔහු කියා සිටියේය. “අපිට ඕන තරම් නායකයන් මේ රටේ ඉන්නවා. අපි දන්නවා මේ රට පාලනය කරන හැටි. අපේ ප්‍රශ්න විසඳන හැටි අපි දන්නවා.” විදේශිකයන් පසු පස යාමේ ප්‍රයෝජනයක් නැතැයි කී ආරක්ෂක ලේකම්වරයා එමගින් ප්‍රශ්න විසඳෙනු වෙනුවට රටේ ප්‍රශ්න තවදුරටත් සංකීර්ණ වන බවයි කියා සිටියේ.
යුක්‍රේන් අර්බුදය මුල් කර ගනිමින් යුරෝපා හවුල විසින් තමන්ට එරෙහිව පනවන ලද අතිරේක සම්බාධක හේතුවෙන් ආරක්ෂාවට අදාළ ජාත්‍යන්තර සහයෝගීතාවය අනතුරට පත් වනු ඇතැයි රුසියාව කියා සිටී.
හොසේ මැනුවෙල් බරසෝ අලුතින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති සම්බාධක අනුව වත්කම් ගනුදෙනු අත්හිටවනු ලබන සහ සංචාරක තහංචි බල පැවැත්වෙන රුසියානු සංවිධාන සහ පුද්ගලයන්ගේ ලැයිස්තුවක් යුරෝපා හවුල විසින් නිවේදනය කරනු ලැබීමෙන් අනතුරුවයි ඉහත කී රුසියානු පැහැදිලි කිරීම සිදු වුණේ. රුසියාවේ ආරක්ෂක සහ බුද්ධි අංශයේ ප්‍රමුඛයන් දෙදෙනකු වන අලෙක්සන්දර් බොත්නිකොෆ් සහ මිහායිල් ෆ්රද්කොෆ් ද එම තහංචි ලැයිස්තුවට ඇතුළත් කොට ඇති බවයි වාර්තා වන්නේ. තෝරා ගැනීමක් නැගෙනහිර යුක්‍රේනය අස්ථාවර කිරීමට කෙළින්ම හවුල් වූ රුසියානු ජාතිකයන් අසූහත් දෙනා සහ සංවිධාන විස්සට ඉහත කී නිලධාරීන් දෙදෙනාත් ඇතුළත් කිරීමට යුරෝපා හවුල පියවර ගෙන ඇත. මේ අතර ප්‍රකාශයක් කරන යුරෝපා කොමිසමේ සභාපති හොසේ මැනුවෙල් බරසෝ, යුක්‍රේනය සම්බන්ධයෙන් සාම සැලසුමකට කැප වීම හෝ එසේ නැත්නම් ලබන සතියේ ප්‍රකාශයට පත් කෙරෙන මූල්‍ය සම්බාධක මාලාවකට මුහුණ දීම යන දෙකින් එකක් තෝරා ගන්නා මෙන් රුසියාවට අනතුරු ඇඟවීමක් කරයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශිෂ්ටතමයන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ නම ඇතුළත් කිරීමට තීන්දු කොට ඇති බව එම ආයතනය පවසයි.
ඒ අනුව ඉහත කී ලැයිස්තුවට එක් වන පළමු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මුත්තයියා මුරලිදරන්ගේ නම ඉතිහාසයට එක් වනු ඇත. 'මේ යුගයේ බිහි වූ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර මුරලිදරන් දැවැන්තයෙක්. ඔහුගේ ක්‍රීඩා උපක්‍රම සහ අචල කැපවීම ශ්‍රී ලංකාව එක් දින සහ ටෙස්ට් ක්‍රිකට් ලෝකයේ අතිශයින් තරඟකාරී තත්වයකට ගෙන ඒමට පසු ගිය අවුරුදු වල හේතු වුනා' අයිසීසීයේ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් පැවසීය. ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහි වූ සුපිරිතම දඟ පන්දු යවන ක්‍රීඩකයා ලෙස සැලකෙන මුරලිදරන් විසින් ටෙස්ට් කඩුලු 800 ක් සහ එක් දින කඩුලු 534 ක් දවා ගනු ලැබ ඇත. ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා කැරන් රොල්ටන්, ආතර් මොරිස් සහ ජෝජ් ලෝමන් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ද මේ වසර අගදී විශිෂ්ටතමයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වනු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
පසුගිය මැයි මාසයේ මිලිටරි ජුන්ටාව බලය අල්ලා ගැනීමත් සමග තායිලන්තය පුරා මානව අයිතිවාසිකම් කඩ වීම් පැතිරෙමින් පවතින බවට ඇමිනෙස්ටි ජාත්‍යන්තරය චෝදනා කරයි.
හමුදා පාලනය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ අදාළ ක්‍රියාමාර්ග ගනු ලබන්නේ රටේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වන බවයි. නීතියට පටහැනිව පුද්ගලයන් අත්අඩංගුවේ රඳවා ගැනීම්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කරන රෙගුලාසි සහ කිසිදු වග විභාගයකින් තොරව පුද්ගලයන් වධ හිංසා වලට ලක් කිරීමේ සිද්ධි හමුදා පාලනයත් සමග ඉහල යමින් පවතින බවයි වාර්තාවක් ඉදිරිපත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ. ඇමිනෙස්ටි ජාත්‍යන්තරය පවසන්නේ එවන් ක්‍රියා කලාපයක් කිසිදු හේතුවක් මත යුක්ති සහගත කළ නොහැකි අතර හුදෙක් පවතින මිලිටරි පාලනයට එරෙහි බලවේග යටපත් කිරීම එම ක්‍රියා මාර්ග වල අරමුණ ලෙසින් පෙනෙන බවයි.
වතිකානය සහ රෝමයේ නගර සභාව තුළ මෑතදී සිදුව ඇති දූෂණ වංචා පිළිබඳ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියහ.
සමලිංගික සම්බන්ධයක් පවත්වා ගෙන ආ පෝලන්ත ජාතික පූජකවරයකු වතිකානයේ ඔහු දැරූ තනතුරෙන් පසුගියදා පහ කෙරුණ අතර, පාප් වහන්සේ සිය ප්‍රකාශයේදී එම පූජකවරයා අදහස් කරන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. කණස්සල්ල යොමු වෙමින් ඇති අනිත් සිද්ධිය දූෂණ සහ වංචා චෝදනා යටතේ රෝමයේ නගරාධිපතිවරයා මේ සතියේදී ඉල්ලා අස්වීමයි. වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී සිය බැතිමතුන් ඉදිරියේ සතිපතා කෙරෙන දේශනයේදී පාප් වහන්සේ මෙසේ ප්‍රසිද්ධයේ සමාව අයැදීම ඉතා කලාතුරකින් සිදුවන්නක් බවයි වතිකානයේ බීබීසී වාර්තාකරු පවසන්නේ.
ජනාධිපතිවරණ සටනේ දී විවිධ පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයන් "කාන්තාවන් සහ පවුල් සංස්ථාව ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ" මෙය, බීබීසී සිංහල සේවය අදහස් විමසූ කාන්තාවන් අතරින් බහුතරයගේ චෝදනාව විණි.
සමාජයේ කුඩාම තැනුම් ඒකකය වන පවුලේ පාලනය, වගකීම වැඩි වශයෙන් උසුලන්නේ කාන්තාවන්ය. වර්තමානයේ කාන්තාවන් බොහෝ දෙනා රැකියාවක නිරත වන අතරම ගෘහණියක ලෙස ද සිය වගකීම් සියල්ල ඉටු කරනු දැකිය හැකිය. වර්තමාන දේශපාලන ක්‍රියාවලිය සහ මැතිවරණ, ජනාධිපතිවරණ ගැන දැනුමක් ඇතත්, දේශපාලන සංවාද, ලිපි සහ රූපවාහිනිය, යූ ටියුබ් ඔස්සේ විකාශනය වන වැඩසටහන් නැරඹීමට පුරුෂයන්ට සාපේක්ෂව බොහෝ කාන්තාවන්ට ඇත්තේ අතිශය සීමිත කාලයක් බව අදහස් පළ කළ කාන්තාවන් අතරින් බහුතරය පැවසූහ. මීළඟ ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? යැයි නිවසේ වැඩ කටයුතු කරන අතරම, රැකියාවක ද නිරත වන කාන්තාවන් පස් දෙනෙකුගෙන් විමසීමි. විවිධ පිළිතුරු ලැබුණද ඔවුන්ගේ පූර්ණ අවධානය යොමු වන එක් කාරණයක් ඇත. ඒ තම පවුලේ යහපත ය. පවුලේ පාලනය, වගකීම වැඩි වශයෙන් උසුලන්නේ කාන්තාවන්ය. ශ්‍රියානි ගුණරත්න - රථ වාහන පාලිකා "මට ලොකු දේශපාලනික දැනුමක් නැහැ. හැබැයි අට ශ්‍රේණිය වෙනකම් ඉගෙනගෙන රස්සාවක් කරනවා. පවුලේ සම්පූර්ණ බර අදින්නේ මම. මට සම්පූර්ණ ආබාධිත දුවෙකුත් ඉන්නවා," රථ වාහන පාලිකාවක ලෙස පිටකොටුවේ රැකියාවක නිරතවන ශ්‍රියානි ගුණරත්න බණ්ඩා බීබීසී සිංහල සේවයට පැවසීය. පිටකොටුව ප්‍රදේශයේ දී නිතර හමුවන ඇය, සිනහ මුසු මුහුණින් සිය රාජකාරිය ඉටු කරණු දැකිය හැකි වුවත්, දිවි ගමන සරි කරගැනීමට මහත් වෙහෙසක් දරන්නීය. තව නොබෝ දිනකින් තේරී පත්වන රාජ්‍යය නායකයාගෙන් පවුල් බර උසුලන කාන්තාවක් ලෙස බලාපොරොත්තු වන්නේ කුමක් දැයි ඇයගෙන් ඇසූ පැනයට ඇගේ පිළිතුර මෙසේ විය. "මම මේ ගෙන්දගම් පොළොවේ මහා අමාරුකාර මිනිස්සු එක්ක ජීවත් වෙන කෙනක්. අවුරුදු 21ක් මේ රස්සාව කරනවා. මගේ දුවට ඇවිදින්න කතා කරන්න බැහැ. තව අසනීප ගොඩක් තියෙනවා. එයාට බෙහෙත් ගන්න මාසයකට ලොකු වියදමක් යනවා. මගේ මහත්තයා මේ දුව නිසාම අපිව දාලා ගියා." "අපි ජීවත් වෙන්නේ කැලණිය පැත්තේ පොඩි ගෙයක. මම වැඩට එනකොට දුව ගෙදර ඉන්නේ තනියම. එයාට දැන් 35ක් වයස. ටික කාලයක් විශේෂ අධ්‍යාපනයක් ලැබුවා. නමුත් දැන් කිසිදෙයකට වයස වැඩියි. අපි වගේ දුප්පත් මිනිස්සු මේ වගේ රටක ආබාධිත වෙනවා කියන්නේම කරුමයක්. මේ වෙනකොට තුන්පාරක් එයාට මිනිස්සු කරදර කරන්න හැදුවා." පිටකොටුවේ දර්ශනයක් "එක එක දේශපාලකයන්ගේ බොරු පොරොන්දු දහස් ගණනකට අපි රැවටිලා තියෙනවා. රටේ ප්‍රශ්න වගේම අපේ ප්‍රශ්නත් තවම එහෙමම තියෙද්දී ඒ සේරම සල්ලි හම්බකරගෙන. ආබාධිත අයට මේ රටේ මොනවාද තියෙන්නේ? පොඩි කාලේ යමක් ලැබෙනවා. නමුත් වයස යනකොට කිසිම පිළිසරණක් නැහැ." "දියුණු රටවල ආබාධිත අයට ලැබෙන සැලකිල්ල ගැන මම අහලා තිබෙනවා. එච්චර ඕනේ නැහැ. අඩු ගානේ මේ වගේ වැඩිහිටි දරුවන් බලාකියා ගන්න ක්‍රමයක් ලැබෙනවානම් ඇති. මොන ජනාධිපති ආවත් අපි වගේ දුප්පත් මිනිස්සුන්ට ස්ථීර උදව්වක් කරළා නැහැ," සිතෙහි ඇති කලකිරීම ඇය ඉතා වේගයෙන් වචන බවට පෙරළුවාය. ශීලා ෆොන්සේකා - රජයේ ආයතනයක හිටපු ප්‍රධාන ගණකාධිකාරි ගෘහණියන් දෙවර්ගයක් ගැන පැහැදිලි කළ ශීලා ෆොන්සේකා, මේ සියල්ලන්ම සිය රටේ නායකයාගෙන් බලාපොරොත්තු වන එක් කාරණයක් ගැන පැහැදිලි කළාය. "පූර්ණ කාලීන ගෘහණියක් වුණත් රැකියාවක නිරත වන අතර සිය පවුලේ වැඩකටයුතු කරන කාන්තාවක් වුවත්, මමත් ඇතුළු අපි හැමෝම බලාපොරොත්තු වන්නේ තමන්ගේ ස්වාමියාගේ සහ දරුවන්ගේ ආරක්ෂාව, සාමය සැනසීම." ශීලා ෆොන්සේකා "බිරිඳක්, මවක් හැටියට තමන්ගේ පවුලේ අය රාජකාරිවලට එළියට ගිහින් එනකම් හිතට කිසිම සැනසීමක් නැහැ. විශේෂයෙන්ම මාර්ග නීති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා නැවත ගෙදර එනකම් ජීවිතය ගැන විශ්වාසයක් නැහැ. මිනිස්සුන්ගේ ආරක්ෂාව, සැනසීම වෙනුවෙන් කරන්න පුළුවන් මූලික දේ තමයි මාර්ග නීති අකුරට ක්‍රියාත්මක කරන එක." "ඒ විතරක් නෙමෙයි පොදු ප්‍රවාහන, රෝහල්වල වැඩවර්ජන, යුද්ධයෙන් පසුවත් ඇතිවන ත්‍රස්ත ප්‍රහාර වැනි බරපතල කාරණා සියල්ලගෙන්ම පීඩාවට පත් වන්නේ ගෘහණියයි. දැඩි කාලසටහනකට ජීවිතය ගෙනියන අපේ ජීවිත මේවගෙන් අවුල් වෙනවා," ශීලා ෆොන්සේකා පැවසුවාය. "අවුල් වුණ මනසකින් රැකියාවේ නිරත වෙන්නවත් නිවසේ වැඩ කරන්නවත් බැහැ. රටේ ප්‍රශ්න සියල්ල සෘජුවම නිවසට බලපානවා. ඒ නිසා නිවැරදි තීරණ අරගෙන රට ගොඩනගන නායකයෙකු අත්‍යවශ්‍යයි." එමෙන්ම, දේශපාලන වේදිකා මත සහ ප්‍රතිපත්ති මාලාවල කාන්තාවන්ට ලබාදෙන පොරොන්දු ඉටුකිරීමට බලයට පත්වන ජනාධිපති අනිවාර්යයෙන් ක්‍රියා කළ යුතු බව ඇය තවදුරටත් පැවසුවාය. මේ තොරතුරුද කියවන්න: මානෙල් ගුණතිලක - විශ්‍රාමික ගුරුවරියක් මානෙල් ගුණතිලකගේ අවධානය ප්‍රථමයෙන් යොමු වූයේ නිතර වෙනස් වන 'බඩු මිල' පිළිබඳය. "මගේ පුතා ඉන්නේ පිටරට. එයා කියනවා ඒ රටවල අවුරුදු ගණනකට කලින් තිබුණ බඩු මිල තමයි අදත් තියෙන්නේ කියලා. නමුත් අපේ රටේ බඩු මිල දවසෙන් දවස වෙනස්. මිල වැඩිවීමට සාපේක්ෂව අපේ පඩි වැඩි වෙන්නේ නැහැ. ඒක නිසා ගෘහණියන් හැටියට අපිට නිවසක කෑම බීම සැලසුම් කරලා පාලනය කරන්න බැහැ." "අපේ රටේ බඩු මිල දවසෙන් දවස වෙනස්" "ඒ වගේම මේ රටේ සියලු පද්ධති නීතියට අනුව වෙනස් වෙන්න ඕනේ. විශේෂයෙන්ම රැකියාවට යන මහත්තයා ගෙදර එන නියමිත වෙලාවක් නැහැ. එක්කෝ මග තොටේ දී යම් ප්‍රශ්නයක්, නැත්නම් රැකියාවට අදාළ නීති ක්‍රියාත්මක නොවීම නිසා ඇතිවන ප්‍රශ්න." "අවසානයේ මේ සියල්ල පවුලේ යහපැවැත්මට බලපානවා," ඇය පැවසුවාය. තාක්ෂණයේ දියුණුව ගෘහණියකට පවා 'දැනෙන වැඩපිළිවෙළක්' මීළඟ නායකයාගෙන් බලාපොරොත්තු වන බව මානෙල් ගුණතිලක පැවසීය. "බොහෝ විට දවල් දවසේ පැය කීපයක් නිවසේ තනියම ඉන්න ගැහැණු අයට තාක්ෂණය මගින් ලෝකය ගැන දැනගන්න පුළුවන් ආකාරයට එය දියුණු කරන්න ඕනේ. තවමත් බොහෝ අයට අන්තර්ජාලයට පිවිසෙනවා කියන එක ගොඩක් වියදම් වෙන වැඩක්. තවත් අයට මේ සඳහා අදාළ දැනුම නැහැ. විශේෂයෙන් කාන්තාවන්ට," ඇය තවදුරටත් පැවසුවාය. උදේනි ප්‍රියලංකාදේවි - ඖෂධවේදිනි ගෘහණියන්ට සරිලන ආකාරයේ වගා කිරීමේ ක්‍රම හඳුන්වා දී ක්‍රමයෙන් රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම දක්වා වැඩපිළිවෙළක් සකස් කිරීම මීළඟ ජනාධිපතිවරයාගේ වගකීම බව උදේනි ප්‍රියලංකාදේවි පැවසුවාය. "ලංකාවේ බොහෝ ගෙවල්වල මිදුලේ ඉඩකඩ තිබෙනවා. ඒවගේ වගා ආරම්භ කරන්න පුළුවන්. මම පෞද්ගලිකව මේ දේ කරනවා. ඒ වගේම සෑම ප්‍රදේශයකම සෑහෙන පුරන් කුඹුරු තියෙනවා. මේවා අස්වද්දලා රට නැවතත් කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත කරන්න පුළුවන් ක්‍රමයක් අවශ්‍යයි." උදේනි ප්‍රියලංකාදේවි "ඒ වගේම අපේ දරුවන් වෙනුවෙන් බලාපොරොත්තු වන දේ තමයි අධ්‍යාපන ක්‍රමයේ වෙනසක්. පොතේ පතේ ඉගෙනීම විතරක් නැතුව දරුවාගේ දක්ෂතාව හඳුනාගෙන එය ඔප නංවන්න පුළුවන් ක්‍රමයක් හදන්න ඕනේ. නැත්නම් පොතේ දැනුමෙන් උපාධි ගත්ත අය විතරක් රැකියා ලබනවා, ඊට වඩා දක්ෂ දරුවන් ඉවතට විසිවෙනවා," උදේනි ප්‍රියලංකාදේවි පැවසීය. "ඒ වගේම රටපුරා තිබෙන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ප්‍රශ්නත් හැම නිවසකටම බලපානවා. හැබැයි මේ හැමදේම විසඳෙනවා දරුවන්ට හරියන අධ්‍යාපන පද්ධතියක් හැදුවොත්. රටක් හදන්න පටන් ගන්න ඕනේ පාසලෙන්." "කොහොම වුණත්, මේ මොන ප්‍රශ්නය විසඳන්නත් බුද්ධිමත් නායකයෙක් පත් කර ගන්න අපි වගබලා ගන්න ඕනේ," ඇය තවදුරටත් පැවසුවාය. ලීලාවතී චන්ද්‍රසේන - කාර්යාල පිරිසිදුකරන්නියක් කොළඹ කාර්යාල පිරිසිදු කිරීමේ රැකියාවක නියුතු ඇය සිය නිවසේ සියලු බර කරට ගත් තැනැත්තියකි. "මගේ මහත්තයා රැකියාවක් කරන්නේ නැහැ. මගේ සල්ලිවලින් ජීවත් වෙනවා. අපිට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. ගැහැණු විදිහට මේ රටේ අපි මොන තරම් දුක් විඳිනවාද? අලුත් ජනාධිපති කවුරු වුණත් ගැහැනියකට තනියම පාරේ බය නැතුව යන්න පුළුවන් රටක් හදන්නම ඕනේ," ලීලාවතී චන්ද්‍රසේන සිය කතාව ආරම්භ කළේ කඳුළු සලමිනි. "මම දවසින් දවස වැඩ කරන තැන් වෙනස් වෙනවා. සමහර මිනිස්සු අපිට සලකන්නේ මහා ජරා විදිහට. ඒ වගේම පාරේ, බස්වල අපිට වෙන ප්‍රශ්න අනන්තයි. ඒත් රටේ නීතිය හරියට නැති නිසා පොලිසියකට ගියා කියලත් වැඩක් නැහැ." "ඒ මදිවට කන බොන එකේ ඉඳන් ගෙදරට ළමයින්ට අවශ්‍ය හැම බඩුවක්ම ගිනි ගණන්. ගෙදරට ඕනේ දේවල් දෙන්න මම මහා යුද්ධයක් කරනවා." "එක දෙයයි කියන්න තියෙන්නේ රටෙ හැම ප්‍රශ්නයක්ම ගෙදරට බලපානවා. මේ රට හැම අතකින්ම දියුණු කරනකම් ගෙදර බර අදින ගැහැණුන්ගේ ජීවිතවලට කිසිම සැනසීමක් නැහැ." "ඊළඟ ජනාධිපතිට මේ රට මුල ඉඳන්ම හදන්න වෙනවා." "හැබැයි එයත් ඇවිත් තමන්ට හම්බකරගෙන, වංචා කරළා ගියොත් අපි වගේ දුප්පත් ගැහැණුන්ට මැරෙන්න තමයි වෙන්නේ. ආයෙත් මේ රට ගොඩගන්න කාලයක් ඉතුරු වෙලා නැහැ," ඇය ඉතා හැඟුම්බරව පැවසුවාය. ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වුව ද මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතරට එකතු වී ඇත්තේ ද එක් කාන්තාවක් පමණි. ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වන ඇය පරිසරවේදීනී ආචාර්ය අජන්තා පෙරේරා ය. 1999 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ඉදිරිපත්වීමෙන් පසුව ජනාධිපතිවරණයට තරග කිරීමට කාන්තාවක් ඉදිරිපත්වන ප්‍රථම අවස්ථාව මෙය ය. තවත් තොරතුරු:
සෝමාලියාවට නුදුරු මුහුදේදී කොල්ලකරුවන්ගේ පැහැර ගැනීමට ලක්ව ඇති බව පැවසෙන ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ශ්‍රී ලාංකිකයන් අට දෙනෙකු සේවය කොට ඇතැයි වාර්තාවන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
නෞකාව සෝමාලියාවේ මොගදිෂු අගනුවර බලා යාත්‍රා කරමින් තිබිණි නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුභ සාධනය තහවුරු කිරීම සඳහා නාවුක නියෝජිතායතන, අදාළ බලධාරීන් මෙන්ම අදාළ විදේශ රටවල පිහිටි ශ්‍රී ලාංකික දූත මණ්ඩල සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් ඒ පිළිබඳ වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීමට පියවර ගනිමින් සිටින බව විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. මූළික විමසීම්වලින් කරුණු හෙළිවන පරිදි අදාළ නෞකාව ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ධජය සහිත නෞකාවක් සෝමාලියාවේ උතුරු දිග වෙරළට නුදුරින් යාත්‍රා කරමින් තිබියදී මුහුදු කොල්ලකරුවන් බවට සැක කෙරෙන කීපදෙනෙකු ඊට ඇතුළු වී ඇති බව එරට බලධාරීහු පවසති.
මහා පරිමාණ මූල්‍ය අපරාධ සහ දූෂණ නඩු විභාග කිරීම කඩිනම් කිරීමේ අරමුණින් ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවා ඉතා කෙටි කලක් තුළ නීතිය කාර්යක්‍ෂමව ක්‍රියාත්මක කිරීමට හැකි වන සේ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.
එම අරමුණින් අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ඉකුත් 2018 මාර්තු 06 වෙනිදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. නමුත් එය අභියෝගයට ලක් කරමින් පෙත්සම් හතක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වී ඇත. පනත් කෙටුම්පතේ ඇතුළත් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය නිසි ලෙස සම්මතවීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්. පීරිස්, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජනිත අබේවික්‍රම ලියනගේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා, වෛද්‍ය චන්න සුදත් ජයසුමන, නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ඩබ්ලිව්.ඩී.ආර්.ධර්මසිරි ගුණරත්න යන පිරිස මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනුකර තිබේ. ඉන් අනතුරුව එම පෙත්සම්වලට මැදිහත්වීමට අවසර ඉල්ලා අතරමැදි පාර්ශ්ව විසින් පෙත්සම් දාහතරක් ගොනු කර ඇතැයි වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම පසුගිය සිකුරාදා (16) වන දින ආරම්භ විය. අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි මෙම පෙත්සම් විභාගයට ගන්නා ලදී. අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතේ සඳහන් පරිදි ත්‍රිපුද්ගල මහාධිකරණ ලෙස ක්‍රියාත්මක වන අධිකරණ වර්ගයක් නොමැති බැවින් එම කරුණ මත පමණක් වුවද පනත් කෙටුම්පත අවලංගු වන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තම තර්ක ඉදිරිපත් කරමින් සඳහන් කළේය. මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා, ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, මුදල් රාජ්‍ය ඇමති ඉරාන් වික‍්‍රමරත්න, නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, කේ.ඩබ්ලිව්. ජනරංජන, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, සමන් රත්නප්‍රිය, ගාමිණී වියන්ගොඩ, මහාචාර්ය සරත් විජේසූරිය සහ ජගත් හේමචන්ද්‍ර යන පුද්ගලයන් ඉහත කී පෙත්සමට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කර සිටියහ. මූල්‍ය අපරාධ, වංචා සහ දූෂණ නඩු විශාල ප්‍රමාණයක් විභාගයට ගැනීමට සහ තීන්දු ලබා දීමට ඉතා කල් ගත වීම මෙම නව අධිකරණ පනත් කෙටුම්පත යටතේ වැළකෙන බව එම පෙත්සම්කරුවන්ගේ තර්කය වී තිබේ. ඉදිරියේදී පිහිටුවීමට යෝජිත විශේෂිත අධිකරණය මගින් මූල්‍ය අපරාධ සහ දූෂණ නඩු අඛණ්ඩව විභාගයට ගෙන වරදකරුවන්ට ඉතා ඉක්මනින් දඬුවම් ලබා දීමට හැකිවීම ජනතාවගේ ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වීමට ද මැදිහත්කරුවන්ගේ පෙත්සම් මගින් උත්සහ කර ඇත. මෙම පනත් කෙටුම්පතෙහි අඩංගු විධි විධාන මොනවාද? 2017 අගෝස්තු 21 වන දින රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද සංශෝධන: අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත පිළිබද විවාදයට තුඩු දුන් යෝජිත සංශෝධන: මේ තොරතුරුද කියවන්න: 'පනත් කෙටුම්පතට විරුද්ධයි' "නඩු ඉක්මන් කිරීම සහ මහාධිකරණ විනිසුරුතුමන් සංඛ්‍යාව වැඩි කිරීම ගැන නීතීඥ සංගමයේ නියෝජිතයෝ මුල් අවස්ථාවේ පැහැදිලිවම තම කැමැත්ත ප්‍රකාශ කර සිටියා. එය අනිවාර්යයෙන් කළ යුතු දෙයක්," පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කළ පෙත්සම පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා බීබීසී සිංහල සේවය වෙත පැවසුවේය. "නඩු ඇසීම ඉක්මන් කිරීම හොඳ දෙයක්. නමුත් ප්‍රායෝගිකව අපහසුයි. එම අපහසුතාවලට විසඳුම් සොයා ගෙන මේ දේවල් කරනවා නම් හොඳයි. තත්වය එසේ තිබියදී මෙම සංශෝධන පනත් කෙටුම්පත නීතිඥ සංගමයට ඉදිරිපත් නොකර පාර්ලිමේන්තු නීති පුස්තකයට විවාදයට ගැනීම සඳහා ඉදිරිපත් කර තිබුණා." ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කිරීමට නීතිපතිවරයාට සහ අල්ලස් සහ දුෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දැනට ඇති බලය පුළුල් කිරීමට මෙම පනත් කෙටුම්පතෙහි සඳහන් වන බැවින් එය අහෝසි කළ යුතු බව කෙටුම්පතට එරෙහි පෙත්සම්කරුවන්ගේ මතය වී ඇත. මෙමගින් අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල වන අතර එය අගවිනිසුරු ඇතුලු සමස්ත අධිකරණ පද්ධතිය සතු බලය ඉවත් කිරීමට උත්සාහ කිරීමක් බවට තර්ක ඉදිරිපත්ව ඇත. "නීතියට අනුව, යම් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන අවස්ථාවේ දී මහජනතාවට හැකියාව තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර එය අභියෝගයට ලක් කරන්න. ඒ අනුව විවිධ පාර්ශව මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කර සිටිනවා. සමහරු එයට මැදිහත්කරුවන් ලෙස පෙත්සම් ඉදිරිපත් කරමින් මෙම කෙටුම්පත සනාථ කිරීමට උත්සාහ කරනවා. මෙම අවස්ථාවේ නීතීඥ ප්‍රජාව සහ මහජනතාව සිටින්නේ එක් ස්ථාවරයක," යැයි ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා පැවසුවේය. මෙහිදී මහාචාර්ය ජී.එල්.පීරිස් ගොනුකළ පෙත්සම වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන වන අතර, ඔවුන්ගේ තර්කය වූයේ මහාධිකරණ නඩු සඳහා පෙනී සිටින නීතිඥවරුන්ට අවශ්‍ය පරිදි දින ලබාගැනීමට අවස්ථාව නොදීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවය. මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තවත් පෙත්සම්කරුවෙකු වන දිනේෂ් ගුණවර්ධනගේ තර්කය වී තිබේ. ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වාය. මීට අමතරව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, නීතිඥ කුෂාන් ද අල්විස්, ජනාධිපති නීතිඥ ෂවීන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු තවත් නීතිඥවරු පෙත්සම් වෙනුවෙන් අධිකරණයේදී කරුණු ඉදිරිපත් කළහ. ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා තවදුරටත් සඳහන් කර සිටියේ, "ත්‍රිපුද්ගල විනිසුරු සභාව සහිත මහාධිකරණය අමාත්‍යවරුන්ට කැමති ආකාරයට යම් ස්ථානවල පිහිටු වීමට බලතල දීම සුදුසු වන්නේ නැහැ යන ස්ථාවරයේ අපි ඉන්නවා. මේ දේවල් නිසා අධිකරණ ක්‍රියාවලියට බලපෑම් ඇති වන්න ඉඩ තිබෙනවා. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පත් කිරීම අගවිනිසුරුට අයත් කාර්යයක්. ඒ වගේම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලකින් නඩුවක් විමසා තීන්දුවක් ලබා දුන් පසු එම තීන්දුවට එරෙහිව අභියාචනා කරන්න පුළුවන් එක් වරක් විතරයි," යනුවෙනි. මහාධිකරණයකින් දිනපතා නඩු ඇසීමේ දී ප්‍රායෝගික ප්‍රශ්න රාශියක් මතු වන බව පෙත්සම්කරුවෝ පවසති. "අපි නඩුවට සියල්ල සූදානම් කරගෙන ගියත්, රජයේ පාර්ශවයෙන් දන්වන්න පුළුවන් සාක්ෂිකරුවන් හෝ නඩු භාණ්ඩ සොයා ගන්න බැහැ කියල. එසේ සිදු වුණොත් නැවතත් පරණ විදියටම නඩුව කල් දැමීම හැර වෙනත් විකල්පයක් නැහැ. පූර්ව නඩුකරයක දී මේ දේවල් ගැන සොයා බැලිය යුතුයි," නීතිඥ යූ.ආර්. ද සිල්වා පැවසුවේය. 'පනත් කෙටුම්පතට සහාය' ශ්‍රී ලංකාව තුළ දැනට පවතින නීති පද්ධතිය ආරම්භ වී වසර දෙසියයක් පමණ වේ. කෙසේ වෙතත්, වර්තමානයේදී නඩු කල් යාම හේතුවෙන් ජනතා මුදල් සහ කාලය විශාල වශයෙන් අපතේ යන තත්වයක් දැකිය හැකිය. වරද සිදුකළ දිනයේ සිට අධිචෝදනාව මහාධිකරණයට ගොනු කිරීම අතර කාලය වසර පහකට ආසන්න වන අතර, සම්පූර්ණ අධිකරණ ක්‍රියාවලිය නිම කර තීන්දුව ප්‍රකාශ කිරීමට වසර එකොළහකට ආසන්න කාලයක් ගත වේ. නීතිඥ කේ.ඩබ්. ජනරංජන මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයටත් ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණයටත් අභියාචනා ඉදිරිපත් කළ හැකිය. එම ක්‍රියාවලිය සඳහා තවත් වසර හතකට ආසන්න කාලයක් වැය වන අතර, ඒ අනුව යුක්තිය පසිඳලීමේ සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා සාමාන්‍යයෙන් වසර දාහතකට වඩා වැඩි කාලයක් ගතවන බව පසුගියදා කැබිනට් මණ්ඩලයේ ද සාකච්ඡාවට බඳුන් විය. ඉහත සඳහන් කාරණා මුල් කරගෙන අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට පක්ෂව ද බොහෝ කරුණු ඉදිරිපත් වී තිබේ. "අපේ නීතීඥවරු අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට කිසිසේත්ම පටහැනි නොමැති බවයි. මේ පනතෙන් විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ දූෂණ, වංචාවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, දේශපාලන නායකයින්ගේ නඩු ඉතා ඉක්මනින් අසා තීන්දු ලබා දෙන්න. මෙයට විරුද්ධ පෙත්සම්කරුවන් කියා සිටිනවා වගේ විශේෂ අධිකරණයක් පිහිටුවන්නේ නැහැ. අපේ අධිකරණ පද්ධතියේ තිබෙන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කර නඩු ඇසීමේ ක්‍රමය, සැමදාම පවතින මහාධිකරණයක් බවට පත් කිරීම මෙම පනතේ අරමුණ වෙනවා," යැයි පනත් කෙටුම්පතට පක්ෂව කරුණු ඉදිරිපත් කරමින් නීතීඥ කේ.ඩබ්ලිව්. ජනරංජන බීබීසී සිංහල සේවය වෙත පැවසුවේය. "මෙම අධිකරණයේ නඩු අසන්නේ දැනට සිටින මහාධිකරණ විනිසුරුවන් විසින්. පිටතින් කිසිම විනිශ්චයකාරවරයෙකු පත් කරන්නේ නැහැ. එම විනිසුරුවන් පත් කරනු ලබන්නේද අධිකරණ සේවා කොමිසම විසින්මයි. එහෙම බැලුවාම මේක රටේ පවතින තවත් එක් අධිකරණයක් පමණයි. ඒ වගේම අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව තිබෙනවා කලින් කලට අධිකරණ පිහිටුවීමේ බලය. එම බලය තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. මේකට විරුද්ධ වෙන අය දෙස බැලුවාම පෙනී යනවා පසුගිය ආණ්ඩු කාලේ රටේ මහජන මුදල් මංකොල්ල කාපු පුද්ගලයන් තමයි මෙම පනතට විරුද්ධ වන්නේ. ඔවුන් කැලඹිලා තිබෙන්නේ මෙම අධිකරණය පිහිටුවීම තුළින් ඔවුන්ගේ වැරදි ඉතා ඉක්මනින් ඔප්පු වෙයි කියල," ඔහු තවදුරටත් පැවසුවේය. මහාධිකරණය - කොළඹ නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සංකීර්ණ ආර්ථික සහ මූල්‍ය අපරාධ පිළිබඳ නඩු කඩිනමින් විභාග කිරීම සඳහා යෝජිත පනත් කෙටුම්පත යටතේ නව මහාධිකරණ ස්ථාපනය කිරීමට නියමිත බවය. නිදසුනක් වශයෙන් මහ බැංකු බැඳුම්කර සිද්ධිය වැනි සංකීර්ණ අපරාධ විමර්ශනය කිරීම සඳහා මෙම මහාධිකරණ ස්ථාපනය කිරීම යෝග්‍ය බව ඔහු තවදුරටත් සඳහන් කර සිටියේය. "කිසියම් පුද්ගලයෙකුට විරුද්ධව චෝදනා තිබේනම් ඒවා ඉතා ඉක්මනින් විසඳුවාම ඔවුන් සැබවින්ම නිවැරදිකරුවන් නම්, ඒ බව ඔප්පු කර චෝදනාවලින් නිදහස් වීමට ඉඩ ලැබෙනවා," නීතීඥ කේ.ඩබ්ලිව්.ජනරංජන පැවසීය. "ඒත් අවාසනාවකට ශ්‍රී ලංකා නීතීඥ සංගමය මේ අවස්ථාවේ ඉතා නරක ප්‍රතිපත්තියක් අනුගමනය කරමින්, පනතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කරපු අය සමග එකට සිටගෙන, ඔවුනුත් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒකෙ නරකම දේ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ගෙන් සෑදුන කමිටුවක් ඉදිරියේ නීතීඥ සංගමයේ සභාපති ගොස් කරුණු ඉදිරිපත් කර මෙම සංශෝධන අනුමත කර පසුව මෙවැනි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම. ශ්‍රී ලංකා නීතීඥ සංගමය කාගේ හෝ බලපෑමකට කටයුතු කරන බව අපට පෙනී යනවා." ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා ඉහත චෝදනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කර සිටියේ, "මෙය හරි ක්‍රමය නොදැන කතා කිරීමක්. නීතීඥ සංගමය කියන්නේ කාගෙවත් අතකොළුවක් නෙමෙයි. මීට කලිනුත් මම ඒක පෙන්වා තිබෙනවා. සමහර පනත් කෙටුම්පත් රජය ඉදිරිපත් කළාම අපි සහයෝගය දක්වා තිබෙනවා. නමුත් අපිට එකක් කියල තව එකක් ඉදිරිපත් කරපු හැම අවස්ථාවේදීම අපි එයට එරෙහිව කටයුතු කළා. එය මහජනතාව සහ නීතීඥ ප්‍රජාවගේ ශුභසිද්ධිය වෙනුවෙන් කළ යුතු දෙයක්" යනුවෙනි. "කෙටුම්පත සදහා තිබූ පාර්ලිමේන්තු සාකච්ඡා වාරයට මට අවස්ථාව දුන්නා සහභාගී වෙන්න. එහිදී මම ත්‍රිපුද්ගල විනිසුරු මහාධිකරණයට අමතරව තව අතිරේක මහාධිකරණ දෙකක් කොළඹ පිටුවන්න කියා යෝජනා කළා. එයින් නඩු කටයුතු ඉක්මන් වන නිසා. විනිසුරන් වැඩි කිරීමට හෝ ත්‍රිපුද්ගල විනිසුරු මහාධිකරණය පිහිටුවීම ගැන අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. රජය විනිසුරුවන් වැඩි කරලා කළේ ඉතා හොඳ දෙයක්. නමුත් දිනපතා නඩු ඇසීම ප්‍රායෝගික නැහැ කියා මම පැවසුවා. වසර තිස් හයක සේවා කාලයක නිරත වුණ මට තිබෙන දැනුම අපිට චෝදනා එල්ල කරන අයට නැහැ." මොකක්ද මේ අධිකරණ සංවිධාන පනත? ශ්‍රී ලංකාවේ පළමුවරට මහාධිකරණ පිහිටවූයේ 1973 දී වන අතර මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය සතුව තිබූ අපරාධ නඩු විසඳීම සදහා වන අධිකරණ බලය මහාධිකරණයට පවරනු ලැබීය. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය සහ මහාධිකරණය ඉහළ අධිකරණ තුන ලෙස නම් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(2) වගන්තියට අනුව මහාධිකරණ පිහිටුවීම, ඉවත් කිරීම, සංශෝධනය කිරීම, වෙනත් ස්ථානයකට රැගෙන යෑමේ බලය පාර්ලිමේන්තුව සතුය. එමෙන්ම මහාධිකරණ විනිසුරුවන් පත් කිරීමට නිර්දේශ කිරීම, ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීම සහ ධුරයෙන් ඉවත් කිරීමේ බලය අධිකරණ සේවා කොමිසම සතු වේ. මහාධිකරණ සහ පළාත්බද මහාධිකරණවල නඩු විභාග කිරීමේ ක්‍රම තුන: •එක් මහාධිකරණ විනිසුරුවරයකු ඉදිරියේ නඩුව විමසීම •ජූරි සභාවක සහය ඇතිව මහාධිකරණ විනිසුරුවරයකු ඉදිරියෙහි නඩු විභාග කිරීම •ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් නඩු විමසීම තවත් තොරතුරු:
විභාග අපේක්ෂිත පාසල් සිසු දරුවන් මෙන්ම පොදු මගී ජනතාවට ඇතිවන අපහසුතා සැලකිල්ලට ගෙන සේවයට වාර්තා කරන්නැයි වර්ජනයට එක්ව සිටින දුම්රිය රියදුරන් ඇතුළු සියලු කාර්යමණ්ඩලවලින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳුදා (දෙසැම්බර් 11) රාත්‍රියේ කළ විශේෂ ඉල්ලීමට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් හිමිව ඇති ආකාරයක් දකින්නට නැත.
පසුගිය මැයි මාසයේ දුම්රිය වර්ජනය අවස්ථාවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ කොටු වී සිටි මගීන් වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් දුම්රිය රියදුරු සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති 12ක් ආරම්භ කළ වර්ජනය අඟහරුවාදා (දෙසැම්බර් 12) හය වෙනි දිනයේත් ක්‍රියාත්මක වෙමින් තිබේ. මේ හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට ලක්ව ඇති අතර කාර්යාල දුම්රිය රැසක් ධාවනය නොවීය. ක්‍රියාත්මක වූ දුම්රිය සේවාවන්හි දැඩි තදබදයක් දක්නට ලැබුණු අතර වර්ජනය කරන සේවකයන්ට මගීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබුණි. "මේවා පුද්ගලීකරණය කරන්නම ඕන ලක්ෂ ගණන් පඩි අරන් තවත් වර්ජනය කරනවා," "කියල වැඩක් නැහැ, ඔක්කොම එලවල දාලා අලුත් අය ගන්න ඕනේ," "ආණ්ඩු දැනගන්න ඕනේ මේවා කලින් සාකච්ඡා කරලා විසඳන්න," "සාමාන්‍ය පෙළ ළමයින් වෙනුවෙන් වත් මේ වර්ජනය නවත්වන්න තිබුනා, ඒකවත් කරේ නැහැ," යනාදී ලෙසින් මගී ජනතාව ආවේගශීලිව මාධ්‍ය වෙත අදහස් පළ කළහ. මේ අතර අඟහරුවාදා රැස්වූ කැබිනට් මණ්ඩලය, වර්ජනයේ නියැලී සිටින සේවකයන්ගේ ගැටළුව විසඳිම සඳහා විශේෂ ව්‍යපෘති අමාත්‍ය සරත් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කළ බව රජයේ ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසීය. පසුගිය ඔක්තෝබර් මාසයේ දුම්රිය වර්ජනය අවස්ථාවේ දුම්රියක පා පුවරුවේ එල්ලී ගමන් කරන මගීන් අඟහරුවාදා සේවයට වාර්තා නොකරන සේවකයන් සේවය හැර ගියවුන් ලෙසින් සළකන බව දුම්රිය දෙපාර්තමේන්තුව මේ අතර නිවේදනය කළේය. දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කර ඇති බැවින් සේවයට වාර්තා කිරීම අනිවාර්ය බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අතිකාල දීමනා ද සමග දුම්රිය රියදුරෙකු මසකට රුපියල් දෙලක්ෂයකට වඩා වැටුපක් ලබන බව සඳුදා පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් කියා සිටි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේය, එසේ තිබියදීත් ඔවුන්ගේ වැටුප් තල තවත් ඉහළ දමන්නැයි ඉල්ලමින් සිදුකරන වැඩ වර්ජනය ඉතාමත් අසාධාරණ බව ද සඳහන් කළේය. මේ අතර දුම්රිය වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින මගී ජනතාව වෙනුවෙන් ලංගම බස්‌ රථ යොදවා තිබෙන බව ලංකා ගමනාගමන මණ්‌ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සඳහන් කළේය. දුම්රිය වර්ජනය අවසන් වන තුරු ලංගම රියදුරන්ගේ සහ සහායකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති අතර, දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ඇති අයට සහ කලින් දුම්රිය ආසන වෙන්කරවා ගත් මගී ජනතාවට කිසිදු අමතර ගාස්‌තුවක්‌ ගෙවීමකින් තොරව අදාළ බස් රථවල ගමන් පහසුකම් ලබා දෙන බව ද සභාපතිවරයා කියා සිටියේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ද විශේෂ බස් රථ යොදවා තිබෙන බවය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය පරාජය පිළිගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
තමන් ජනතා මතයට ගරු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, සිකුරාදා උදෑසන 6:30 ට අරලියගහ මන්දිරයෙන් පිටව ගියේය. ඊට පෙර සාමකාමී ලෙසින් බලය පැවරීම පිළිබඳව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කොට බලය පැවරීමේ ඉදිරි කටයුතු මෙහෙයවන මෙන් විපක්ෂනායකවරයා ගෙන් ඉල්ලීමක් කළේය. පිටව යාමට පෙර අරලියගහ මැදුරේ සේවකයන් කැඳවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඔවුන් සියලු දෙනාටද ස්තුති කළේය. නාමල් රාජපක්ෂ මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට දුරකතනයෙන් අමතා ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කොට තිබේ. ‘ගතව ගිය කාලය තුළ අපට ආධාර කළ සියලු දෙනාට ස්තුතියි. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදයට සහ ජනතා හඬට අපි ගරු කරන්නෙමු’ යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ‘ට්වීටර්’ පණිවිඩයක සඳහන් කරයි.
පිරිසිදු ජලයේ අයිතිය වෙනුවෙන් උද්ඝෝෂණය කළ වැලිවේරියේ ජනතාවට වෙඩි තැබීමෙන් යුද හමුදාව නීතිමය රාමුවෙන් ඔබ්බට ගොස් ඇති බව යුද හමුදා පරීක්ෂණයෙන් සොයා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක ප්‍රකාශ කරයි.
එසේ වෙඩි තැබූ පුද්ගලයන් යුද හමුදා අධිකරණයක් හමුවට කැඳවීම සඳහා තවදුරටත් සාක්ෂි ගොනු කරමින් සිටින බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ. යුද හමුදා පරීක්ෂණය කොටස් තුනකින් සමන්විත වූ බව පැවසූ ඔහු මේ සිද්ධියේ දී යුද හමුදාව යෙදවීම නීතියට අනුකූලව සිදුවී ඇති බව තහවුරු වී ඇතැයි සඳහන් කළේය. නීතිමය සීමාව එහෙත් රාජකාරියට පැවරී ඇති නීතිමය සීමාවන් ඉක්මවා ගොස් වෙඩි තැබීම් සිදු කොට ඇති බව පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී තිබෙන්නේ යැයි යුද හමුදාපතිවරයා පැවසුවේය. සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන මහේස්ත්‍රාත් අධිකරණ පරීක්ෂණයට සහ පොලිස් පරීක්ෂණයට යුද හමුදාව අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක කියා සිටියේය. එහි දී වෙඩි තැබීම් වලට අණ දුන්නේ කවුරුන්ද යනාදී කරුණු පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙනු ඇති බවයි ඔහු සඳහන් කළේ. නීතියේ රාමුවෙන් ඔබ්බට ගොස් වෙඩි තැබීම් සිදු කොට ඇති හමුදා සෙබළුන්ට එරෙහිව යුද හමුදා අධිකරණයක් හමුවේ චෝදනා ගොනු කිරීම සඳහා සාක්ෂි සම්පිණ්ඩනය කරමින් සිටින බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.
නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන දින අනූවක කාලයක් අත් අඩංගුවේ රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ රැඳවුම් නියෝගයක් ලබා ගත් බව රහස් පොලීසිය පවසයි.
මුදලට මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා අනුබල දීමේ චෝදනා යටතේ නි. පොලිස්පතිවරයා රඳවාගෙන සිටී බම්බලපිටියේ පදිංචිව සිටි මොහමඩ් ෂියාම් නමැති කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට නියෝජ්‍ය පොලිස්පතිවරයා අත් අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. මුදලට මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම, ජාතීන් අතර සුහදතාවය බිඳ දැමීමට කටයුතු කිරීම යනාදී චෝදනා ගණනාවක් නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව එල්ල කොට තිබේ. ඝාතනයට අදාලව අත් අඩංගුවට ගත් තවත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුද පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. සිද්ධියට අදාලව මහේස්ත්‍රාත්වරයාගේ නිළ මැදිරියේදී රහස් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා යලිත් වරක් පොලිස් රැඳවුම් භාරයට පත් කෙරිණ.
දේශපාලන ගිනිකඳු පුපුරායාම ගිනිකන්දක් පුපුරායාම වැනි හදිසි හෝ අහඹු සිද්ධියක් ලෙස සමාජයට පෙනීගියත් ඒවාත් ස්වාභාවික ගිනිකඳු මෙන් ''දේශපාලන පොළෝ කුහරය'' තුළ කලක් කැකෑරෙමින් තිබූ මතගැටුම් සමාජය මතුපිට අනාවරණය වීමක් විය හැකිය.
විශේෂයෙන්ම, හවුල් ආණ්ඩුවල නියෝජනය වන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අතර ගිනිකඳු මෙන් පැසවමින් තිබූ පෞද්ගලික සහ දේශපාලන මතවාද හදිසියේ සමාජය අබියස පුපුරායමින් ප්‍රධාන මාධ්‍ය සිරස්තල බවට පත්වන්නේ එක දේශපාලන ප්‍රකාශයක් මගින් විය හැකිය. අතීත දේශපාලන අත්දැකීමක් සිහියට නැගුවොත්, 1970 දී බලයට පත් ''සමගි පෙරමුණ'' යනුවෙන් හඳුන්වන ලද හවුල් ආණ්ඩුව බිඳ දැමීමට ආසන්නතම හේතුව ලෙස ඉදිරිපත් කරන ලද්දේ එම දේශපාලන සභාගයේ හවුල්කරුවකු වූ ලංකා සම සමාජ පක්ෂයේ නායක, මුදල් ඇමති ආචාර්ය එන්.එම්.පෙරේරා විසින් කරන ලද ප්‍රකාශයකි. ආචාර්ය පෙරේරාගේ ප්‍රකාශයක් මගින් එම දේශපාලන සභාගයේ බලවත් දේශපාලන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, හිටපු අගමැති එස්.ඩබ්ලිව්,ආර්.ඩී. බණ්ඩාරනායකගේ දේශපාලන ප්‍රතිරූපයට හානියක් වීය යන්න එවක අගමැති සිරිමා බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චෝදනාව විය. ගැටුම කෙළවර වූයේ බලයේ සිටි දේශපාලන සභාගය බිඳී ගොස් ඊළඟ මහ මැතිවරණයේ දී එම දේශපාලන පක්ෂ දෙකම අන්ත පරාජයකට පත්වීමෙනි. අප යළි වර්තමානයට පැමිණියොත්,අද පාලක සභාගයේ ප්‍රමුඛ දේශපාලන හස්තය වන පොදු ජන පෙරමුණ සහ එහි පාර්ශ්වකරුවකු වන ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත ඇමති විමල් වීරවංශ අතර පවතින දේශපාලන ගැටුමත් පෙර සඳහන් කරන ලද 1970 සභාගය තුළ 1975 දී පුපුරාගිය ගැටුම සමඟ කරුණු දෙකක් හේතුවෙන් සමාන ස්වරූපයක් ගනී. ඉන් පළමුවැන්න, ගැටුම ආරම්භ වෙන්නේ දේශපාලන නායකයන් දෙදෙනකු සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශන මුල්කර ගෙනය. ආචාර්ය එන්.එම්.පෙරේරාගේ මතභේදාත්මක ප්‍රකාශයට මාතෘකාව සපයන ලද්දේ හිටපු අගමැති බණ්ඩාරනායක සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද ප්‍රකාශයකි. මෙවර, විමල් වීරවංශ ඇමතිවරයා අභියෝගයකට මුහුණ දී සිටින්නේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් හේතුවෙනි. දෙවැන්න,ඉහත සඳහන් කරන ලද දේශපාලන ගැටුම් දෙකටම පොදු වෙනත් කරුණක් ද පවතී. එනම් ඕනෑම දේශපාලන සභාගයකට පොදු තත්ත්වයක් වන ප්‍රතිපත්තිමය ගැටුමයි. 1970 සභාගය තුළ වූ ආචාර්ය එන්.එම්. පෙරේරා ප්‍රමුඛ ඊනියා ''වමට නැඹුරු'' දේශපාලන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දක්ෂිණාංශය නියෝජනය කරන ලද අගමැතිවරිය, අමාත්‍ය ෆීලික්ස් ආර්.ඩී.බණ්ඩාරනායක සහ අනුර බණ්ඩාරනායක ප්‍රමුඛ ''සාතන් කල්ලිය'' අතර බරපතල දේශපාලන ගැටුමක් වූ බව පසුව එම දෙපාර්ශ්වය විසින් කරන ලද ප්‍රකාශ මගින් තහවුරු විය. පැවතුනු තත්ත්වය සහතිකව හෙළිදරව් වූයේ , තමා ''සෑම කැබිනට් රැස්වීමකටම සහභාගී වුනේ ඉල්ලා අස්වීමේ ලිපියත් සාක්කුවේ දමාගෙන'' යයි පදවියෙන් පහකරනු ලැබීමෙන් අනතුරුව මුදල් ඇමති ආචාර්ය එන්. එම්.පෙරේරා මහජන රැස්වීම් ඉදිරියේ කියාසිටීමත් සමඟය. විමල්ගේ පළමු ප්‍රකාශය ජාතික පුවත්පතක් සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී අදහස් දැක්වූ ඇමති විමල් වීරවංශ මෙසේ සඳහන් කර තිබුණි. මාධ්‍යවේදියා විමල් වීරවංශ ඇමතිවරයාට මෙවැනි ප්‍රශ්නයක් යොමු කරයි. ''ඇත්තටම රටේ ප්‍රශ්නයක් තියෙනවා. රට කරවන්නේ කවුද කියලා. ජනාධිපති ගෝඨාභයද? අගමැති මහින්ද ද? වෙනත් කෙනෙක්ද? ඇමතිවරයා; ''ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් හැටියට ඉතා විශිෂ්ට සේවයක් මේ රටට ඉටුකරපු කෙනෙක්. රාජ්‍ය නායකයා කියන භූමිකාව එතුමා බාර ගත්තාට පස්සේ දේශපාලන ක්ෂේත්‍රයේදී එතුමා ඉන්නේ එක්තරා ආකාරයකට අත්දැකීම් බහුල චරිතයක් හැටියට නෙවෙයි. ඒ වගේම එතුමට විය යුතුව තිබුණ දේ තමයි පොහොට්ටුව කියන පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂයේ නායකත්වය ලබා දීමයි. එතුමාව එහෙම ගෙන්වන්නේ නැතිව එතුමාව ජනාධිපති ලේකම් කාර්යාලයට විතරක් තනි කිරීම සුදුසු දෙයක් නොවෙයි. ඒකෙන් වෙන්නේ මන්ත්‍රීවරු සහ එතුමා අතර තිබෙන සබැඳියාව දුබල වීම. දේශපාලන තන්ත්‍රය සමග එතුමා අතර තිබෙන සබැඳියාව දුර්වල වීම. ඒක ආණ්ඩුවේ සහ රටේ නිරෝගි පැවැත්මට හිතකර දෙයක් නොවෙයි. ඉතින් මට තේරෙන්නේ නෑ ඒ අහිතකර තත්ත්වය වර්ධනය වෙන්න ඉඩ හරින්නේ කාගේ, කුමන අපේක්ෂාවක් මුදුන්පත් කර ගැනීම සඳහා ද කියලා'' ඇමතිවරයා විසින් එවැනි ප්‍රකාශයක් කරන්නට ඇති බව දේශපාලනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන කණ්ඩායම්වල විශ්වාසය බවට පත්වුණේ එම සාකච්ඡාව සිදුකරන ලද මාධ්‍යවේදියා කලකට පෙර එම පුවත්පතටම විමල් වීරවංශ ඇමතිවරයාගේ දේශපාලන ආගමනය විස්තර කරමින් දීර්ඝ ලිපි පෙළක් පළකරන ලද තැනැත්තාම වීමත් හේතුවෙනි. අනිත් අතින් ඇමතිවරයා විසින් සිය ප්‍රකාශය මෙතෙක් ප්‍රතික්‍ෂේප කරනු ලැබ නැති අතරම එම ප්‍රකාශය මගින් කුපිත වූ, පොදු ජන පෙරමුණේ අගමැතිවරයා හැරුනවිට එහි ඉහළ ස්ථරය විසින් යෝජනා කරන ලද පරිදි ''සමාවක් ඉල්ලා සිටීමට''ද ඔහු පියවර ගෙන නැත. ඉහත සඳහන් කරන ලද පුවත්පත් සාකච්ඡාවේ දී මාධ්‍යවේදියා මතුකරන ප්‍රශ්නයේ අවසානය දෙස බලන්න.''රට කරවන්නේ කවුරුන් විසින්ද? යන්න සම්බන්ධයෙන් ''ඇත්තටම රටේ ප්‍රශ්නයක් ඇතැයි'' සිය සොයාගැනීමක් මට්ටමින් කියාසිටින මාධ්‍යවේදියා එම ''සැබෑ පාලකයා'' ජනාධිපතිවරයාද? අගමැතිවරයා ද? එසේ නොවන්නේනම්.වෙනත් තැනැත්තෙක්දැයි ආදී වශයෙන් ඇමතිවරයාට ඔහුට අවශ්‍යකර තිබුණ ප්‍රශ්නය ඔහුට ''ප්‍රදානය'' කරයි. ඒක වචනාර්ථයක් හඟවන එම ''වෙනත් තැනැත්තා'' කවුද? එමගින් අදහස් කරන ලද තැනැත්තා, වත්මන් ආණ්ඩුවේ සියලු කාර්යභාරයන් පිටුපස සිටින තීරණාත්මක චරිතය වන බැසිල් රාජපක්ෂ යයි ඔහුගේ ආධාරකරුවන් විසින් පිළිගනු ලැබ ඇති බව ඔහු නිර්මාණය කළ දේශපාලන පක්ෂය වන පොදු ජන පෙරමුණු කේඩරය විසින් මෙතෙක් දක්වා දෙන ලද ප්‍රතිචාර මගින් පැහැදිළි වෙයි. දේශපාලන නාටකයක් ද? විමල් වීරවංශ ඇමතිවරයා අතගසා ඇති පොදු ජන පෙරමුණේ නායකත්වය වෙනස් කිරීමේ සටන රටේ දැවෙන ප්‍රශ්න ඉදිරියේ ඒවා වෙනත් දිශාවකට හරවමින් ආණ්ඩුව බේරාගැනීමේ ''දේශපාලන නාඩගමක්'' හැටියට ඉදිරිපත් කෙරෙන විග්‍රහයන් ද ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ එවැනි ප්‍රවණතා ඇති බව සැක කිරීම සඳහා දෙපාලනඥයන් විසින් ම අවශ්‍ය උදාහරණ ප්‍රමාණයටත් වඩා සපයා ඇති නමුත් අපවිසින් සාකඡාවට ගනු ලබන වත්මන් හැසිරීම කලක් නිදන්ගතව පැවති බල අරගලයක් හදිසියේ ම පෙරට පැනීමක් ලෙස ගැනීමේ බැරිකමක් ද නැත. 2020 පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණය නිමවුණේම ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන විමල් වීරවංශ ඇමතිවරයා සහ පොදුජන පෙරමුණේ නායකත්වය අතර විරසකභාවයක් ඇති කෙරෙන පරිදි සිය බලාපොරොත්තු සුන්කරමින් ඔහු එතෙක් කොළඹ දිස්ත්‍රික්කයේ දිනා සිටි මනාප වාර්තාව බිඳ වැටීමත් සමඟය. එතෙක් අම්පාරේ දේශපාලනය කළ සරත් වීරසේකර කොළඹ දිස්ත්‍රික්කයට පොදු ජන පෙරමුණ විසින් කැඳවා ගනු ලැබූ අතර ඔහු දිස්ත්‍රික්කයේ වැඩිම මනාපලාභියා බවට ද පත්විය. තම කොළඹ දිස්ත්‍රික් ආගමනය පොදු ජන පෙරමුණේ ඉල්ලීම අනුව සිදුවීමක් බව සරත් වීරසේකර ඇමතිවරයා කීපවරක් ම සඳහන් කර ඇත. ආණ්ඩුවේ ආර්ථික වැඩ පිළිවෙලට විමල් බාධාවක්ද? වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ පාලන සමය ආරම්භ වන 2005 වසරේ පටන් 2015 දක්වා සහ 2019 නොවැම්බරයේ ආරම්භ වූ වත්මන් ගෝඨාභය-මහින්ද දෙසොහොයුරු පාලනය තුළත් දේශපාලනයට අතිරේකව ප්‍රධාන වශයෙන් රටේ ආර්ථිකයට අදාළ සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ බැසිල් රාජපක්ෂ විසින්ය යන්න තවදුරටත් රහසක් නොවේ. ඊළඟට සිටින තීරණාත්මක චරිතය ජනාධිපති ලේකම් අචාර්ය පී.බී.ජයසුන්දරයි.(ඔහුට එරෙහිව අධිකරණ තීන්දුවක් තිබිය දී පවා රාජපක්ෂ පාලනය විසින් ඔහු අත්හැර දමනු නොලැබුණි.) 2010 මහින්ද රාජපක්ෂ පාලනය සමයේත් ඇමති පදවියක් දැරූ විමල් වීරවංශ එම රජයේ ඉහළ පදවියක් දැරූ ආචාර්ය පී. බී.ජයසුන්දර ප්‍රසිද්ධියේ හඳුන්වා දෙන ලද්දේ ''ආර්ථික ඝාතකයකු'' ලෙසය. වත්මන් පොදු ජන පෙරමුණු ආණ්ඩුව බලයට පත්වීම සඳහා ගෙනයමින් සිටි සටනේ දී පෙර බලයේ පැවති යහපාලන රජයට එරෙහිව රටපුරා මහජන මතය අවුළුවාලීම සඳහා පාවිච්චියට ගත් ප්‍රධාන මාතෘකාවක් වූයේ 'සහශ්‍ර අභියෝගතා ගිවිසුම' හෙවත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC)යි. සහශ්‍ර අභියෝගතා ගිවිසුම හෙවත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC) ඇමෙරිකාවට රට පාවාදීමක් ලෙස විග්‍රහ කරන ලද නමුත් බලයට පැමිණි පසු නව ආණ්ඩුවේ ස්වරයෙහි වෙනසක් වූ අතර නව රජයේ ඇමතිවරුන් කීපදෙනෙක් ම කියාසිටියේ එම ව්‍යාපෘතියේ අහිතකර අංග ඉවත්කරමින් 70%ක් තරම් වූ යහපත් අංග පමණක් තෝරාගනිමින් ඊට එකඟවෙන බවකි. 'මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC'' මගින් ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 470 ක් තරම් වූ මුදල අහිමිව ගියේ ඊට එරෙහිව ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටින ජාතිකවාදී කණ්ඩායම් හේතුවෙනි.දේශපාලන සභාගය තුළ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇමතිවරයා එම ''ජාතිකවාදී'' බලවේගයේ ප්‍රමුඛයකු ලෙස පෙනී සිටියි. විසිවෙනි සංශෝධනය වසර දෙකක් තරම් කෙටි කාලසීමාවක් ගතවෙද්දී ආණ්ඩුවේ ජාතිකවාදී ඇතැම් සංවිධාන සහ පොදු ජන පෙරමුණ අතර මතු වූ මතභේද පෙරට පැමිණි තවත් අවස්ථාවක් වුණේ,මතභේදාත්මක විසිවෙනි සංශෝධනයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවෙනි සංශෝධනය සම්බන්ධයෙන් වෙනත් මත දැරූ විමල් වීරවංශ ඇමතිවරයා ඇතුළු කණ්ඩායමක් පසුව කියාසිටියේ,ද්විත්ව පුරවසිභාවයට අදාළ සිය ඉල්ලීම් පසුව ඉටුකරන බවට ප්‍රතිඥාවක් දෙමින් ජනාධිපතිවරයා විසින් කරන ලද ''අතිශයින් සංවේදී'' ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් තමන් එම සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන බවය. තම ඇමෙරිකානු පුරවැසිභාවය කිසිසේත්ම ඉවත්කර නොගන්නා බව බැසිල් රාජපක්ෂ බීබීසි සමඟ සාකච්ඡාවක දී දැඩිව කියාසිටි අතර ඔහුගේ එම ස්ථාවරය ආණ්ඩුවේ ජාතිකවාදී සංවිධානවල මතයට පටහැනි වූවකි. විසිවෙනි සංශෝධනය සම්බන්ධයෙන් තමා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන සැලකිල්ලට ගෙන නැතැයි පවසමින් විමල් වීරවංශ ඇමතිවරයා අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් ද යවා තිබුණි. එමගින් ඔහු පෙන්වා දී තිබුණේ ''එම විරෝධය නොසළකා කටයුතු කිරීමෙන් ආණ්ඩුවේ ජනවරමේ ආධ්‍යාත්මයට සහ ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් අගතියක් සිදුවන බවයි.'' විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම ඉල්ලාසිටින පරිදි යම්හෙයකින් ආණ්ඩුව පුරවැසි නීතියේ වෙනසක් සිදුකළහොත් එය බලපාන ප්‍රධාන දේශපාලන චරිතය වන්නේ ''සිය ද්විත්ව පුරවැසිභාවය ඉවත්කර නොගන්නා'' බව සෘජුව සඳහන්කර ඇති බැසිල් රාජපක්ෂයි. ආණ්ඩුව විසිවෙනි සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ටත් පාර්ලිමේන්තුවට පිවිසීමට පමණක් නොව ජනාධිපති පදවිය සඳහා තරඟ කිරීමටත් දොරටු විවෘත කර ඇති හෙයින් ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවට පිවිස ඉහළම තනතුරක් දැරීම අතින් වුවද බැසිල් රාජපක්ෂට කිසිදු නෛතික බාධාවක් දැන් නොමැත. පොදු ජන පෙරමුණ සහ රාජපක්ෂවරුන් විමල් වීරවංශ ඇතුළු ජාතිකවාදී කණ්ඩායම් සමඟ විසිවෙනි සංශෝධනයේ දී ''සංවේදී'' අතරමැදි සාමයක් ඇතිකරගන්නා ලද නමුත් ප්‍රශ්නය ආරම්භවීමේ මූලබීජ තැන්පත්වීම ආරම්භ වන්නේ එම අවස්ථාවේ පටන්ය. නැගෙනහිර ජැටිය සංවර්ධනයට ඉන්දියානු ආයෝජන කැඳවීමට එරෙහි විරෝධතා ව්‍යාපාරයක් නැගෙනහිර ජැටිය- ආයෝජන ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුවට හකුලා ගැනීමට සිදු වූ තවත් ආර්ථික ව්‍යාපෘතියක් වුණේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමක මූල්‍ය ආයෝජනයෙන් සංවර්ධනය කොට පවත්වා ගැනීමයි.එම ව්‍යාපෘතියේ 49%ක් හිමිවෙන ඉන්දියානු පාර්ශ්වය ආයෝජනය කිරීමට අපේක්ෂා කළ මූල්‍ය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ත් 700 ත් අතර වූ අතර, ආණ්ඩුව නියෝජනය කරනු ලබන විමල් වීරවංශ ඇමතිවරයා ඇතුළු දේශපාලන කණ්ඩායම් කීපයක සහ මෙම ආණ්ඩුව බලයට ගෙනඒමට දායක වූ භික්ෂූන් සහ වෙනත් ජාතිකවාදී සංවිධානවල දැඩි බලපෑම හමුවේ පියවරක් පසුපසට ගැනීමට ආණ්ඩුවට සිදුවිය. එම විරෝධයේ දී ආණ්ඩුව තුළ නියෝජනය වෙන කණ්ඩායම් මෙහෙයවන ලද්දේ විමල් වීරවංශ ඇමතිවරයා බව ඔහු සිය නිල නිවසට එකී කණ්ඩායම් කැඳවමින් කළ ප්‍රකාශන සමඟ ප්‍රදර්ශනය විය. කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර අත්සන් තැබුණු ගිවිසුමට අනුව ඩොලර් මිලියන 500 ත් 700 ත් අතර මුදලක් ආයෝජනය කරනු ලැබීමට නියමිතව තිබූ නමුත් දේශීය විරෝධතා මැද ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් ගිවිසුම හකුලා ගැනීමත් සමඟ ආණ්ඩුවට එම මුදල් සම්භාරයත් අහිමි විය. විමල් වීරවංශ ඇමතිවරයා ආණ්ඩුව තුළ සිටින අතරවාරයේ කැබිනට් මණ්ඩලයෙන් පිටත සාකච්ඡා කැඳවමින් වෙනත් මත ප්‍රකාශයට පත්කරනු ලැබීම පොදු ජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ පාර්ශ්වයේ දෝෂ දර්ශනයට ලක්විය. ''මගේ පෞද්ගලික විශ්වාසය කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දිය යුතු බවයි.''ජාතිය ගැන දේශීයත්වය ගැන බොරුවට කතා කර රටක් දියුණුකරන්න බැහැ'' රාජ්‍ය ඇමති නිමල් ලංසා ප්‍රකාශ කළේය. රාජ්‍ය ඇමති නිමල් ලංසා එම ප්‍රකාශය කරන ලද්දේ කෙළින්ම විමල් වීරවංශ - උදය ගම්මන්පිල කණ්ඩායම ඉලක්ක කරගෙන බව මැනවින් පැහැදිළිවන්නේ ඔහු විසින් භාවිත කරනු ලැබ ඇති වචන වලිනි. ජාතිකවාදී බලවේගයන්හි විරෝධය හමුවේ අගමැති මහින්ද රාජපක්ෂ කටයුතු කළ ආකාරය නිරූපණය කෙරුණ කාටූනයක් අගමැති මහින්ද හෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන් දැඩි ජාතිකවාදී සටන්පාඨ දේශපාලනය තුළ වර නොනගන බැසිල් රාජපක්ෂගේ (ඔහුගේ ආර්ථික ක්‍රියාමාර්ගවලට අවශ්‍ය පරිපාලන නායකත්වය සපයනු ලබන ආචාර්ය පී.බී.ජයසුන්දරගේ අරමුණ චීන සම්ප්‍රදායේ ස්ථාවර දේශපාලන නායකත්වයක් යටතේ ලිබරල් ආර්ථික සැලැස්මක් ක්‍රියාවට නැංවීම බව බැසිල් රාජපක්ෂට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. ''විසිවසක වීරවංශය'' විමල් වීරවංශ ඇමතිවරයා පොදු ජන පෙරමුණේ නායකත්ව වෙනසක් ගැන අදහස් පළකරනු ලැබීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ කඳවුරෙන් එල්ලවෙමින් පවතින විරෝධය හමුවේ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ කීපයක නායකයන් සහභාගීකර ගනිමින් ඔහුගේ නිල නිවසෙහි සාකච්ඡා කරනු ලැබීම ඔහුගේ බල පරාක්‍රමය අනියමින් ප්‍රදර්ශනය කිරීමක් වූ අතර ආණ්ඩුවට හිතවත් ප්‍රධාන පෙළේ භික්ෂූන් පිරිසක් ද එක්වීමත් සමඟ එය පොදු ජන පෙරමුණට එල්ල කරන ලද අභියෝගයක ස්වරූපයක් ගත්තේය. පැරණි වාමාංශික දේශපාලන පක්ෂ දෙක වන ලංකා සම සමාජ පක්ෂයේ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයන් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ නායක වාසුදේව නානායක්කාර වැනි වමේ නායකයන් පවා ''ජාතිකවාදී'' විමල් වීරවංශ ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටිති. එම වාමාංශික දේශපාලන පක්ෂවලට විමල් වීරවංශ ඇමතිවරයාගේ ''ජාතිකවාදී'' ස්ථාවරයන් සමඟ ඇති නොඑකඟතාවන්ට වැඩි ගැටුමක් බැසිල් රාපක්ෂ සමඟ පවතී.පසුගිය මහ මැතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට සම්ප්‍රදායක් වශයෙන් වෙන්කෙරෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවිය 2020 පසුගිය මහ මැතිවරණයෙන් අනතුරුව නොලැබුණ අතර, මහාචාර්ය තිස්ස විතාරණ මන්ත්‍රී පදවියකට පමණක් සීමාකරනු ලැබුණි. මේ සියල්ල තීන්දු කෙරෙන්නේ බැසිල් රාජපක්ෂගේ මනාපය පරිදිය යන්න එම පක්ෂවල විශ්වාසය වී ඇත. මේ අතර එක්තරා මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීමට යන බවට දූෂමාණ ආරංචි පැතිරගිය අතර, එහි ඊළඟ දිගුව වුණේ අගමැති මහින්ද රාජපක්ෂ හදිසියේ පදවියෙන් ඉවත්වුනොත් එම පුරප්පාඩුවට ඔහු අනුප්‍රාප්තවීමේ ඉඩකඩක් පවතින බවය. උපවාසයක නිරතවෙමින් සිටි විමල් වීරවංශ ඇමතිවරයා කිරි වීදුරුවක් පානය කරමින් එම උපවාසය අත්හැර දමන ලද අවස්ථාවක් දේශපාලනය බලය ඉලක්ක කරගත් ව්‍යාපෘතියකි. බලය සොයායාම දේශපාලනඥයන්ගේ පළමු සැලැස්මයි.විමල් වීරවංශ ඇමතිවරයාට දැන් ඔහුට සහයෝගය නොදක්වන කණ්ඩායම්වල දෝශාරෝපනය වන්නේ ඔහු ආණ්ඩුව තුළ සිටිමින් බල ව්‍යාප්ති ව්‍යාපෘතියක සිටින බවටය. ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ ගේ පාර්ලිමේන්තු දිවියට විසි වසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් 2020 වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ උත්සවයක් පැවැත්වුණු අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති ය මහින්ද රාජපක්ෂයි. "විසි වසක වීරවංශය" යන තේමාව යටතේ සංවිධාන කර තිබුණ එම උත්සවයේ එක අංගයක් වූයේ වීරවංශ ඇමතිවරයා ගේ දේශපාලන දිවිය විශ්ලේෂණය කෙරන කෘතියක් ද ප්‍රකාශයට පත්කිරීමයි. එම කෘතිය නම්කරනු ලැබ තිබුණේ "විමල් -යුගකාරකත්වයේ භූමිකාව" යනුවෙනි. එමගින් උත්කර්ෂවත් කරනු ලැබ තිබෙන්නේ දේශපාලන බලය තීන්දු කිරීමෙහිලා ඔහු තීරණාත්මක බලයක් වන බවය. එය එසේනම්, විමල් වීරවංශ ඇමතිවරයා අද සිදුකරමින් සිටින්නේ බැසිල් රාජපක්ෂගේ බල ආගමනයට දොරවැසීමේ ''යුග කර්තව්‍යයද''? පොදු ජන පෙරමුණේ නායකත්වය ඉලක්ක කරගත් දේශපාලන ගැටුම ජනතාව නොමඟ යැවීමේ හුදු දේශපාලන ප්‍රහසනයක් පමණක් ද ? ඉන් එහා ගිය දේශපාලන බල අරගලයක්ද? යන්න තීන්දු කිරීමේ දී මතු සඳහන් කරන ලද කරුණු කීපයත් සැලකිල්ලට ගත හැකිය. කියවන්න;
අඟහරු ලෝකය රතු ග්‍රහයා ලෙසත් අපි හඳුන්වමු.
රතු ග්‍රහයා මත ඇති 'ගේල් ආවාටය (Gale Crater) ප්‍රදේශය පිළිබඳ පරීක්ෂණ සිදු කරන නාසා ආයතනයේ 'කියුරියෝසිටි රෝවර්' (Curiosity rover) රොබෝ යන්ත්‍රය අඟහරු මත දින දෙදහසක් සම්පූර්ණ කර තිබේ. අඟහරු විද්‍යා පර්යේෂණාගාරය (Mars Science Laboratory) ලෙස ද හඳුන්වනු ලබන 'කියුරියෝසිටි රෝවර්' එම ග්‍රහ ලෝකයේ රැඳී සිටි එම කාලය තුළ වැදගත් නිරීක්ෂණ ගණනාවක්ම සිදු කරනු ලැබ ඇත. එම අඟහරු යානය පොළොවේ සිට මෙහෙයවනු ලබන විද්‍යාඥයන් විසින්, ඔවුන්ගේ නිරීක්ෂණ අනුව අනාවරණය කරගත් නව සොයා ගැනීම් රැසක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර ඉන් ස්වල්පයක් පහත දැක්වෙයි. අපූරු ඡායාරූපයක් : අඟහරු ලොවට ඉහළින් රාත්‍රී අහසේ දිලිසෙන ඉතා කුඩා තරුවක් ලෙස (ඉහත ඡායාරූපයේ) දැක්වෙන්නේ අප ජීවත් වන පෘථිවියයි. එම ඡායාරූපය "කියුරියෝසිටි රෝවර්" (Curiosity Rover) රොබෝ යන්ත්‍රයේ සවිකර ඇති කැමරාවෙන් ලබා ගන්නා ලද්දකි. ලොව පුරා සිටින විද්‍යාඥයෝ 'කියුරියෝසිටි රෝවර්' යානය දිනපතා හසුරුවමින් පෘථිවියෙන් සැතපුම් කෝටි දහයක් පමණ ඈතින් පිහිටි රතු ග්‍රහයා පිළිබඳ අධ්‍යයනයක නිරතව සිටිති. ආරම්භය: ඉහත දැක්වෙන්නේ 2012 අගෝස්තු 05 වෙනි දින 'කියුරියෝසිටි රෝවර්' යානය අඟහරු මතට ගොඩ බැස්සීමෙන් විනාඩි 15 කට පසු පෘථිවිය වෙත එවන ලද පළමු ඡායාරූපයයි. එම ඡායාරූප සහ තොරතුරු ලබා ගැනීම තීරණය වන්නේ අඟහරු ග්‍රහයා තම කක්ෂය වටා භ්‍රමණය වෙමින් හිරු වටා පරිභ්‍රමණය වීමට ගතවන කාලය ගණනය කිරීමෙන් සහ සාමාන්‍ය අඟහරු දිනයකට ගතවන කාලය අනුවය. ඉහත දැක්වෙන පිංතූරය ලබා ගෙන ඇත්තේ 'කියුරියෝසිටි රෝවර්' ඉදිරිපස සවි කර ඇති කැමරාවෙන් වන අතර, එය සාමාන්‍යයෙන් භාවිත කරන්නේ අඟහරු මත රොබෝ ගමන් කිරීමේදී හමුවන බාධක මඟහැරීමටය. එම ඡායාරූපය ලැබුණ සැණින් අඟහරු ග්‍රහයා පිළිබද පරීක්ෂණ සාර්ථක වන බව විද්‍යාඥයන්ට වැටහුණි. අඟහරු ගංගාවක ගල් බොරළු : අඟහරු මත දින දාසයක් පැදවීමෙන් පසු 'කියුරියෝසිටි රෝවර්' යානයට ගංගාවක් පතුළෙහි හෝ ඒ අවට කුඩා ගල් බොරළු දැක ගත හැකි විය. ඉතා පැරණි, වියැළී ගිය නොගැඹුරු ගංගාවක් එම ස්ථානයේ තිබූ බව නිගමනය කෙරෙයි. අඟහරු ග්‍රහයා මත පිහිටා ඇති අවුරුදු කෝටි හාරසීයක් පමණ පැරණි කඳු වළල්ලේ සිට 'ගේල් ආවාටය' (Gale Crater) යනුවෙන් නම් කරනු ලැබ ඇති කලාපයට ජලය ගලා ඇවිත් මෙම ගංගාව සෑදුන බව විද්‍යාඥයන්ගේ නිගමන වෙයි. 'මාස්ට්කැම් (Mastcam)' ලෙස නම් කර ඇති කැමරාවෙන් එම කුඩා ගල්වල ඉතා පැහැදිලි ඡායාරූපයක් ලබා ගෙන ඇති අතර අඟහරු ග්‍රහයා ගැන පරීක්ෂණ පවත්වන විද්‍යාගාරය ආරම්භ කිරීමට පෙර විද්‍යාඥයන්ගේ බලාපොරොත්තු වුණේ ඉතා තද පැහැති කුඩා ගල් බොරළු දැකීමය. එහෙත් ඒවා සියල්ල තද පැහැයක් නොගන්නා බව ඡායාරූපයෙන් සනාථ වෙයි. ඒවා කඳුවල දැකිය හැකි සාමාන්‍ය ගල් කැබලි වුවද, ඛණිජ විද්‍යාවට අනුව හොඳින් වර්ධනය වී ඇත. පැරණි විලක් : අඟහරු මතට රොබෝවරුන් යැවීමට පෙර එවැනි පරීක්ෂණ සිදු කරන ලද්දේ MRO HiRISE (High Resolution Imaging Science Experiment) නම් අභ්‍යවකාශ විද්‍යාත්මක පරීක්ෂණ සදහා යොදා ගන්නා අධි තාක්ෂණික කැමරාවක් මඟින් ලබා ගන්නා ඡායාරූප නිරීක්ෂණය කිරීමෙනි. නමුත් එම ඡායාරූප තුළින් පැහැදිලි නිගමනයකට එළැඹීමට විද්‍යාඥයන්ට නොහැකි විය. ඉහත කී කුඩා ගල් කැබලි 'ලාවා' ද? නැත්නම් අවසාදිත පාෂාණ ද? යන්න පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකි තත්වයක් පැවති අතර අලුතින් ගත් ඡායාරූප නිසා අඟහරු පිළිබද පරීක්ෂණ ආරම්භ කිරීමට හැකි වුණ අතර පැහැදිලි නිගමනවලට එළැඹීමට ද හැකියාව ලැබී ඇත. එහි 'යෙලෝනයිෆ් බොක්ක' (Yellowknife Bay) 'ගේල්' ආවාටයේ පෞරාණික විලට ගලා ගිය ගංගාවන්හි පිරිසිදු මඩ සහ වැලි තට්ටුවලින් නිර්මාණය වී ඇත. ඒ අතරම විද්‍යාඥයෝ සිය යානය අඟහරු මත රැඳී සිටින 180 වෙනි දිනයේ 'john klein' නම් කලාපයේ භූමිය ස්ථාන දාසයකින් සිදුරු කරමින් ලබාගත් ගල්කැට රොබෝ යානයේ සවිකර ඇති වර්ණාවලීමානයට (spectrometer) ඇතුළත් කළහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මැටි වර්ග, කාබන් සහ නයිට්‍රජන් මිශ්‍ර ද්‍රව්‍ය සොයා ගත හැකි විය. ක්ෂුද්‍රජීවීන් සහ බැක්ටීරියා එකී පරිසරයේ නිතර රැඳී ඇති බවට මෙය බලවත් සාක්ෂියක් විය. අඟහරු මත ජීවීන් සිටියාද? අප හමුවේ දැන් ඇති අනෙක් වැදගත් ප්‍රශ්නයයි. ගැඹුරු ජලය: කියුරියෝසිටි රෝවර් යානය සිය 753 වෙනි අඟහරු දිනයේදී 'Pahrump Hills' නම් කඳු සහිත ප්‍රදේශයේ සැරිසරන විට ගේල් ආවාට ප්‍රදේශයේ පිහිටා තිබුණ පරිසරයට පාදක වුණ හේතුව සොයා ගැනීමට හැකි වුණි. යානය ඉතා සිහින් මඩ තට්ටුවක් නිරීක්ෂණය කළ අතර ඉතා ගැඹුරු ගංගාවක පතුලකින් සොයා ගත හැකි මඩ අංශු එවිට දැක ගත හැකි විය. ගේල් ආවාටය ඉතා ගැඹුරු ජලස්කන්ධයක් සහිත පැරණි ගංගාවක් ලෙස එමගින් සනාථ විය. වෙනස් භූතල දෙකක්; දැන් යානයේ අඟහරු 980 දිනයයි. ස්ටිම්සන් කන්දට (Mount Stimson) ගමන් කළ රෝවර් යානය , ගංගාවේ සුන්බුන්වලට ඉහළින් ඝන වැලි තට්ටුවක් නිරීක්ෂණය කළේය. මෙය එකිනෙකට වෙනස් භූතල දෙකක් සංයුක්ත වෙන භූගෝලීය පිහිටීමකි. වසර දශ ලක්ෂ ගණනාවක් තුළ ක්‍රමයෙන් විනාශ වී ගිය පරිසරය සහ අවසානයේ වියැළී ගිය ගංගාව නිසා නව පොළෝතලයක් නිර්මාණය වීම පිළිබද තොරතුරු එහි නිරීක්ෂණ මගින් දැක ගැනීමට හැකි විය. මෙම ක්‍රියාවලිය "බොහෝ කාලයක" පටන් සිදු වන බවට මෙය සාක්ෂි සපයයි. පුරෝගාමී භූ විද්‍යාඥ ජේම්ස් හටන් (James Hutton) දහඅටවෙනි ශතවර්ෂයේදී ස්කොට්ලන්ත වෙරළ ආශ්‍රිතව කළ පරීක්ෂණවලින් හෙළි වූ කරුණුවලට සමාන තොරතුරු අඟහරු ග්‍රහයාගේ එම පරීක්ෂණවලදී හෙළි විය. ලස්සන කාන්තාර; බැග්නෝල්ඩ් (Bagnold ) ලෙස නම් කර ඇති සුවිසල් කාන්තාරයේ කුඩා කොටසක් වන 'නමිබ්' (Namib) ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට සිය 1192 වෙනි අඟහරු දිනයේදී කියුරියෝසිටි රෝවර් සමත් විය. එය වෙනත් ග්‍රහලෝකයක කාන්තාරයක් ක්‍රියාකාරීව නිරීක්ෂණය කෙරුණ පළමු අවස්ථාව වෙයි. වැලි ඉවත් කිරීම සාමාන්‍යයෙන් රෝවර් රෝබෝවරයෙකුට අපහසු ක්‍රියාවක් නිසා ඉතා ප්‍රවේසමෙන් තම මාර්ගය තෝරා ගැනීමට ඊට සිදු විය. අඟහරු ලෝකයේ කාන්තාර පෘථිවියේ පිහිටා ඇති කාන්තාරවලට බොහෝ දුරට සමාන වුවත්, එම කාන්තාරවලට නොයෙකුත් වර්ගයේ වැලි, රොන්මඩ ආදිය එකතු වීම නිසා පෘථිවියට වඩා චමත්කාරජනක නිර්මාණ එහි බිහි වී ඇත. සුළඟින් නිමැවුණදසුන්: යානය අඟහරු ලෝකයේ ගත කරන 1448 දිනයේ දී 'මාස්ට්කැම්' කැමරාවෙන් ඡායාරූපගත කළ 'මුරේ බට්ස්' (Murray Buttes) ප්‍රදේශයේද 'ස්ටිම්සන්' කන්දේ දැක ගත හැකි වූ වැලි තට්ටුවක් දැකිය හැකි විය. මෙය 'බැග්නෝල්ඩ්' කාන්තාරයට සමාන ප්‍රදේශයකි. මෙම කාන්තාරය පිහිටා ඇත්තේ අසමාන ස්ථරයක් මතය. බොහෝ කාලයක් තෙතමනය රැඳුන කාල ගුණයක් තිබී, පසුව එය සුළගේ බලපෑමත් සමග වියළි බවට හැරීමෙන් ගේල් ආවාටයේ පරිසරය වෙනස් වී ඇත. වියළි මඩ: ගේල්හි පිහිටි ගල් කුළු පිළිබද විශ්ලේෂණය කිරීමට කියුරියෝසිටි රෝවර්ගේ සවි කළ ලේසර් කැමරාව සහ චෙම්කැම් (ChemCam) නම් දුරදක්නය උපයෝගී කර ගන්නා ලදී. 1555 වෙනි අඟහරු දිනයේදී 'ෂූනර් හෙඩ්' (Schooner Head) ලෙස නම් කර ඇති ප්‍රදේශයේදී යානයට ඉරි තලා ගිය මඩ සහ සල්ෆියුරික් අම්ලය සහිත නාල නිරීක්ෂණය කළ හැකි විය. පෘථිවියේ වියැළී ගිය ගංගාවක් සහ අඟහරු ග්‍රහයාගේ මෙම වියළි ගංගාව අතර වෙනසක් දැකිය නොහැක. ලේසර් කිරණ විහිද වූ ස්ථාන රතු පැහැයෙන් මෙම ඡායාරූපයේ ලකුණු කර ඇත.ලේසර් කිරණ විහිදෙන රටාව සහ දුර අනුව ඉරි තලා ගිය මඩ සහ සල්ෆියුරික් නාල හඳුනාගත්හ. වලාකුළුවලින් වැසී ගිය අහස: 1971 වෙනි අඟහරු දිනයේදී රෝවර්ගේ මාර්ගෝපදේශක කැමරාව (NavCam) අහස දෙසට යොමු කරන ලදී. වලාකුළුවලින් සම්පූර්ණයෙන් වැසී ගිය දවස්වලට අමතරව, නොයෙකුත් රටා සහිත වලාකුළු ඇති දවස් ද යානය තුළින් විද්‍යාඥයන්ට නිරීක්ෂණය විය. වලාකුළුවල ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීම සදහා මෙම ඡායාරූප නැවත සකස් කර ඇත. පෙර නොදුටු 'අක්වක්' හැඩයේ වලාකුළු එහිදී නිරීක්ෂණය කෙරිණ..මෙහි දැක්වෙන්නේ අඟහරු ලොව මිනිත්තු දොළහක් ඇතුළත ලබා ගන්නා ලද ඡායාරූපයි. අත්‍යවශ්‍ය 'සෙල්ෆි' ඡායාරූපය: සමාජ ජාල තුළ දකින සෙල්ෆි ඡායාරූපවලට තරඟයක් දිය හැකි 'සෙල්ෆි' ලබා ගැනීමට රෝවර්ට හැකියාව ඇත. නමුත් මෙම 'සෙල්ෆි 'ලබා ගන්නේ ප්‍රදර්ශනය සදහා පමණක් නොවන අතර, එමඟින් ක්‍රියාන්විතය තුළ රෝවර්ගේ තත්ත්වය, රෝදවල තත්ත්වය සහ දුවිලි එකතු වී ඇති ප්‍රමාණය විද්‍යාඥයන් කණ්ඩායමට නිරීක්ෂණය කළ හැකි වේ. මෙම 'සෙල්ෆි' ලබා ගන්නේ රොබෝ අතේ සවි කර ඇති Mars Hand Lens Imager (MAHLI) (මාස් හෑන්ඩ් ලෙන්ස් ඉමේජර්) නම් අධි තාක්ෂණික කැමරාවෙනි. ''කියුරියෝසිටි රෝවර්' යානය 1065 වෙනි අඟහරු දින 'බක්ස්කින්' (Buckskin) ලෙස නම් කර ඇති ප්‍රදේශයේදී මෙම 'සෙල්ෆි' ඡායාරූපය ලබා ගෙන ඇත. ගල්කුළුවල පිහිටීම නිරීක්ෂණය කිරීමට යොදා ගන්නා 'චෙම්කැම්' දුරදක්නය සහ 'මාස්ට්කැම්' කැමරාව සමග සිටින රෝවර් පොළොව සිදුරු කරන ආකාරය මෙම ඡායාරූපයෙන් දිස්වේ. දීර්ඝ ගමනක්: 'බ්‍රැඩ්බරි' (Bradbury ) ලෙස නම් කළ ප්‍රදේශයට ගොඩ බැස්වූ දින සිට වසර පහක් ඇතුළත 'රෝව'ර් යානය කිලෝමීටර 18.4 ක දුරක් ගමන් කර ඇති බව මාස්ට්කැම් කැමරාවේ සටහන් වී ඇත. 'රෝවර්' මේ වන විට සිටින්නේ වේරා රූබින් රිජ් (Vera Rubin Ridge (VRR)) ලෙස නම් කළ ප්‍රදේශයේය. 'වේරා රූබින් රිජ්' ප්‍රදේශය පෙර හැඳින්වූයේ 'හෙමටයිට් රිජ්' (Hematite Ridge) ලෙසය. එම ප්‍රදේශයේ ඇති අධික යකඩ අම්ලකර අඩංගු ඛනිජ රාශියක් පෘථිවියේ සිට නිරීක්ෂණය වීම නිසා මෙකී නම භාවිත කර ඇත. ඛනිජ සම්පත් යනු ජලය රැඳී තිබුණ බවට ඇති ප්‍රබල සාක්ෂියකි. එහෙයින් විද්‍යාඥයන් කණ්ඩායම එම ප්‍රදේශය පිළිබද තව දුරටත් පරීක්ෂණ කරති. මේ සියලු සාක්ෂි උපයෝගී කරගෙන 'ගේල් ආවාට' ප්‍රදේශයේ සිදු වූ භූ ගෝලීය වෙනස්කම් සොයා ගැනීම ඔවුන්ගේ අරමුණයි. විද්‍යාඥයන් කණ්ඩායමේ අපූරු සොයා ගැනීම් නැවත ආවර්ජනය කිරීමට මෙන්ම, රෝවර්ට අඟහරු ලෝකයේ දවස් දෙදාහක් ගත කිරීමට මෙය කදිම ස්ථානයක් විය. (ජෝන් බ්‍රිජස්, අශ්වින් වසවාදා, සුසෑන් ෂුවෙන්සර්, සංජීව් ගුප්තා, ස්ටීව් බැන්හැම්, කැන්ඩිස් බෙඩ්ෆර්ඩ්, ක්‍රිස්ටිනා ස්මිත් සහ MSL කණ්ඩායම ) මේ තොරතුරුද කියවන්න: අඟහරු අධ්‍යයනයට උදව් දෙන 'ළදරු දූපත' වසර හතකින් අඟහරු වෙත යමුද? අඟහරු ලොවේ සුනාමියක් 'ෆැල්කන් හෙවි' සමග අභ්‍යවකාශයට ගිය මෝටර් රථය අඟහරු ලොවේ ජල ධාරා
ඉන්දීය තේ මණ්ඩලය සිය පළමු ආචාර ධර්ම පද්ධතිය ප්‍රකාශයට පත් කොට තිබේ.
ඔවුන්ගේ අරමුණ පාරිසරික වශයෙන් චිරස්ථායී වුද පලිබෝධ නාශක යොදා නොගන්නාවුද තේ වගාවක් සඳහා ප්‍රමිතියක් සකස් කර ගැනීමයි. ආචාර ධර්ම පද්ධතිය සකස් කිරීමට දායක වූ ශටෝද්රු ච්ට්ටෝපද්දායි (Shatadru Chattopadhayay) පවසන්නේ එමගින් පාරිභෝගිකයාට තම තේ කෝප්පය පිලිබඳ මනා අවබෝධයක් ලැබෙන බව. ‘ඒකෙන් කියවෙන්නේ වතුරට, කැලෑවට හෝ අවට පරිසරයට හානි වෙලා නැහැ කියලා. කම්කරුවන්ට දරුවන් ඉස්කෝලේ යවන්න එයින් පහසුකම් සැලසෙනවා කියලා. ඒ වගේම ඔබේ දරුවා බොන තේ කෝප්පේ වස විස නැහැ කියලා,’ ශටෝද්රු ච්ට්ටෝපද්දායි ආචාර ධර්ම පද්ධතිය ගැන අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. ඉන්දියාව මෙම ආචාර ධර්ම පද්ධතිය සකස් කළේ තේ කර්මාන්තයේ යෙදෙන කම්කරු බලකායේ සේවා තත්වයන් සම්බන්ධ බරපතල විවේචන මතු වීමෙන් අනතුරුවයි. 2016 වනවිට මේ ප්‍රතිපත්තිය ට අනුකුලව තේ ටොන් ලක්ෂ පහක් විකිණීමයි ඔවුන්ගේ අරමුණ. එහෙත් කුඩා පරිමාන වැවිලිකරුවන් බිය වැදී සිටින්නේ එමගින් පිරිවැය ඉහළ ගොස් තමන් ව්‍යාපාරයෙන් ඉවත් කැරෙනු ඇතැයි කියායි.
ලොව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන සියලුම ප්‍රතිවාදී රටවලට එරෙහිව එක් ඉනිමකදී කඩුලු පහක් දවාගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රංගන හේරත් එම දක්ෂතාවය දැක් වූ ලොව තුන්වෙනි පන්දු යවන්නා බවට පත්විය.
රංගන හේරත් එම ලෝක වාර්තාව සම කළේ සිම්බාබ්වේ පිලට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු පහක් දවාගනිමිනි. මීට ඉහතදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන සියලු රටවලට එරෙහිව කඩුලු පහ බැගින් දවාගැනීමට සමත් වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඩේල් ස්ටේන් පමණයි. කණ්ඩායමේ ස්ථිර නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උප නායක දිනේෂ් චන්දිමාල් ආබාධවලින් පෙලෙන හෙයින් සිම්බාබ්වේ සංචාරය සඳහා තෝරා නොගැනිණ. එබැවින් රංගන හේරත් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුණු අතර, සිය පළමු ටෙස්ට් තරගයේදීම ජයග්‍රහණය වාර්තා කළ පළමු ශ්‍රී ලංකා නායකයා බවට පත්වීමටත් ඔහු සමත්විය. රංගන හේරත් දැනට එක් දින ජාත්‍යන්තර සහ විස්සයි විස්ස තරගවලින් විශ්‍රාම ගෙන සිටියි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව නිරන්තරයෙන් යොදාගැනීම පිළිබඳ දෙවරක් සිතා බලන මෙන් ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනය (IBAHRI) පවසයි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් "සිර දඬුවම් පැනවීම පිළිතුර නොවන," බව ද එම ආයතනයේ අධ්‍යක්ෂිකා හෙලනා කෙනඩි සාමිවරිය බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය. "අධිකරණයට අපහාස කිරීම කියන වරද නිරන්තරයෙන් යොදාගැනීම ගැන දෙවරක් හිතන්න කියල මම ශ්‍රී ලංකාවේ විනිසුරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වරදට මිනිසුන් නිතර සිරගත කිරීම මේකට පිළිතුර නොවෙයි," ඇය පැවසීය. 1947 දී පිහිටුවන ලද ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය (IBA), ලොව පුරා රටවල නීතිඥ සංගම් සහ නීති ක්ෂේත්‍රයේ සේවයේ නිරත වූවන් නියෝජනය කරන ජාත්‍යන්තර ආයතනය වේ. එහි මානව හිමිකම් ආයතනය (IBAHRI), සාධාරණ නීතියේ ආධිපත්‍යය යටතේ මානව හිමිකම් ප්‍රවර්ධනය, ආරක්ෂා කිරීම සහ සහතික කිරීම මෙන්ම විනිසුරුවරුන්ගේ සහ නීතිඥ වෘත්තියේ ස්වාධීනත්වය තහවුරු කිරීම පිණිස ක්‍රියාකරන ස්වාධීන, ජාත්‍යන්තර සංවිධානයකි. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට සිව් වසරක සිර දඬුවම් නියමවීමේ පසුබිම යටතේ අධිකරණයට අපහාස කිරීමේ වරද සහ ඒ සම්බන්ධයෙන් දිය යුතු දඬුවම සම්බන්ධයෙන් IBAHRI ආයතනයේ ස්ථාවරය කවරක් ද යන්න බීබීසී සිංහල සේවය හෙලනා කෙනඩි සාමිවරිය වෙත මතුකරන ලද ප්‍රශ්නයකි. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වුවත්, වෙනත් රටක විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව අදහස් දැක්වීම ඉතා දුෂ්කර කරුණක් බව කියා සිටි සාමිවරිය, අධිකරණයට අපහාස කිරීම පිළිබඳව පියවර ගත යුතු අතර අධිකරණයට සහ අධිකරණයේ නීතියට ගරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව අවධාරණය කළාය. "ඒ වගේම අධිකරණ පද්ධතියට අපහාස කරන පුද්ගලයන් ගැන කටයුතු කරන්න විනිසුරුවන්ට බලය තිබිය යුතුයි," හෙලනා කෙනඩි සාමිවරිය එසේ කියා සිටියේ, ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. "ඒත් අධිකරණයට අපහාස කිරීම ගැන අවුරුදු ගණන් සිරගත කරන එක හරිම දුර්ලභ දෙයක්. නිසි කළමනාකරණයක් තියෙන අධිකරණයකට එවැන්නක් අවශ්‍ය නැහැ. මේ වගේ තත්ත්වයක් ගැන කටයුතු කරන්න දීර්ඝ සිර දඬුවම් දීම ගැන මගේ අවධානය පළ වෙනව." කියවන්න: අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත දෙවසරක සිර දඬුවම් නියම කරන ලද බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති සමාවක් ප්‍රදානය කරන ලද අතර, හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න ද එම චෝදනාව යටතේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබිණ. "ස්වාධීන විනිසුරුවන් නීතියේ ආධිපත්‍යය සඳහා අත්‍යවශ්‍ය අංගයක්" - හෙලනා කෙනඩි සාමිවරිය ස්වාධීන විනිසුරුවරුන් වැඩිදුරටත් අදහස් දැක්වූ සාමිවරිය, "ආණ්ඩුව හෝ රාජ්‍යය විසින් නතුකර ගත නොහැකි ස්වාධීන විනිසුරුවරුන් සිටීම" කිසියම් රටක නීතියේ ආධිපත්‍යය සඳහා ඉතාමත් වැදගත් කරුණක් බව අවධාරණය කළාය. "ඇතැම් අවස්ථාවල, ආණ්ඩුවලින් එල්ලවන පීඩනවලට එරෙහි වෙන්න සිදුවෙන බව දන්නා විනිසුරුවරුන් සිටීම, ස්වාධීන අධිකරණයක පැවැත්ම සහ නීතියේ ආධිපත්‍යය සඳහා අත්‍යවශ්‍ය අංගයක්. එවැන්නක් පවත්වා ගැනීම විනිසුරුවන්ටත් ලොකු වගකීමක්." ඉබාරි (IBAHRI) ආයතනය ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය දෙස කලක් ඉතා කලකිරීමෙන් යුතුව බලා සිටි බව පවසන එහි අධ්‍යක්ෂවරිය, "ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ මිනිසුන් ඉන්න රටක්. වෙන හැම රටකම වගේ නිදහස සහ ගැටුම්වලින් තොරව ජීවත්වෙන්න කැමති හොඳ මිනිසුන් ඉන්න රටක්. ඒ සඳහා ඔබට හොඳ ආයතන අවශ්‍යයි," යනුවෙන්ද සඳහන් කළාය. 'ඒකාධිපතියන්' සහ ශානි අබේසේකර ශ්‍රී ලංකාවේ සිටින කීර්තිමත්ම රහස් පරීක්ෂකවරයෙකු ලෙසින් සැලකෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දැක් වූ හෙලනා කෙනඩි සාමිවරිය අවධාරණය කළේ, ආණ්ඩුවක් කිසියම් පුද්ගලයෙකුට අකමැතිවීම හේතුවෙන් ඔහු/ඇය අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවය. "මම දන්නවා, ඉහළම තලයේ පුද්ගලයන්ට එරෙහි දූෂණ චෝදනා විභාග කළ රහස් පරීක්ෂකවරයෙක් ලංකාවේ බන්ධනාගාරයේ ඉන්නවා. අපරාධ චෝදනා යටතේ ඒ වගේ පුද්ගලයෙක් හදිසියේම අත්අඩංගුවට ගත්ත බව බාහිර කෙනෙකුට අහන්න ලැබුනම ඒක හරිම භයානක තත්ත්වයක්," ඇය සඳහන් කළාය. සාමිවරිය පවසන්නේ, මෙය 'ඒකාධිපතියන්' සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙතක් බවය. "ලෝකේ පුරාම ඒකාධිපතියන් මේ දේ කරනවා." කොරෝනාවෛරසය වැළඳී තිබියදීත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර දිගින් දිගටම අත්අඩංගුවේ රඳවා ගැනීම පිළිබඳව ඇම්නස්ටි ජාත්‍යන්තරය ඇතුළු සංවිධාන බරපතල අවධානය පළ කොට තිබිණ. මේ අතර ඔහුට එරෙහිව ව්‍යාජ චෝදනාවක් ගොනුකරන මෙන් පොලිස් නිලධාරියෙකු ලෙසින් හඳුන්වාගත් පුද්ගලයෙක් තමන්ගෙන් ඉල්ලීමක් කළ බව ස්වීඩනයේ වෙසෙන චාමලී මදනායක පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිළිබඳව සිය අවධානය පළ වී තිබෙන බවත් බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෙකු ද වන හෙලනා කෙනඩි කියා සිටියාය. "ශ්‍රී ලංකාව තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නෑ කියල මට ඒත්තු ගන්වනවා නම් මම කැමතියි," යනුවෙන් සඳහන් කළ කෙනඩි සාමිවරිය, "අත්අඩංගුවේ ඉන්න අය ඇතුළු හැම දෙනාගේම මානව හිමිකම්වලට ගරු කරන්න ඕනේ," යනුවෙන් අවධාරණය කළාය. ස්කොට්ලන්ත ජාතික රාජ නීතිඥවරියක සහ බැරිස්ටර්වරියක වන හෙලනා කෙනඩි, වසර හතක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ මෑන්ස්ෆීල්ඩ් කොලීජියේ විදුහල්පතිනිය ලෙස ද සේවය කළාය. ඇය සම්මානලාභී රූපවාහිනී නිවේදිකාවක ද වේ. කියවන්න: ත්‍රස්ත විරෝධී නීතිය සහ හිජාස් හිස්බුල්ලා ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් "ත්‍රස්තවාදී" චෝදනා යටතේ පුද්ගලයන් රඳවා ගනු ලැබීම පිළිබඳව අදහස් දැක්වූ සාමි මන්ත්‍රීවරිය, පසුගිය අප්‍රේල් මාසයේ සිට ත්‍රස්ත විරෝධී නීතිය යටතේ පොලිස් අත්අඩංගුවේ පසුවන මානව හිමිකම් නීතිවේදී හිජාස් හිස්බුල්ලා මුහුණ දී සිටින තත්ත්වය ගැන විශේෂ අවධානය පළ කළාය. "බන්ධනාගාරයේ ඉන්න අයට නීතිවේදීන් හමුවීමට අවසර නොදීම ගැන අහන්න ලැබුනම මට හරිම කණගාටුයි," ඇය සඳහන් කළාය. "අනික අත්අඩංගුවේ ඉන්න අය නීතිවේදීන් හමු වුනාම බලධාරීන් ඔවුන්ගේ සංවාදවලට සවන්දෙනවා." නීතිඥ හිජාස් හිස්බුල්ලාට සිය නීතිවේදියා හමුවීමට අවසර ලැබී තිබෙන්නේ අවස්ථා කිහිපයකදී පමණි. එය ද විමර්ශන නිලධාරියෙකු ඉදිරිපස දී විනාඩි 10 ක පමණ කාලයකටය. එහිදී ඔහුට තමන්ට එරෙහි චෝදනා ගැන අදහස් දැක්වීමට අවසර දී නැත. "ඒක නිසි ක්‍රමවේදය නොවෙයි. ඒක නීතියේ ආධිපත්‍යය ප්‍රකාර කටයුතු කිරීම නොවෙයි," හෙලනා කෙනඩි සාමිවරිය කියා සිටියාය. පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ වීමේ චෝදනා මත අත්අඩංගුවේ පසුවන නීතිවේදී හිජාස් හිස්බුල්ලා ජනවාරි 08 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් ඔහුට කෝවිඩ්19 රෝගය වැළඳී ඇති බැවින් අධිකරණය වෙත ඉදිරිපත් කළ නොහැකි බව එදින පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. ඉන් අනතුරුව ඔහු තවත් දින 90 ක් රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන විමර්ශනය කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනවාරි 11 වෙනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය. "ලංකාවේ මේ වගේ දේවල් නිතර සිදුවන බව අපි දකිනවා. තමන්ගේ ප්‍රතිවාදීන් දඩයම් කරන්න "ත්‍රස්තවාදය" කියන ලේබලය නිදහසේ යොදාගන්න පුළුවන්," යනුවෙන් ද රාජ නීතිඥ හෙලනා කෙනඩි සඳහන් කළාය. නීතිවේදී හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදය අනුගමනය කරන මෙන් ඉල්ලා සිටිමින් ඉබාරි ආයතනය පසුගිය වසරේ අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත විවෘත ලිපියක් ද යොමුකර තිබිණ. කියවන්න: බලහත්කාර ආදාහන කෝවිඩ්-19 රෝගය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජනතාව බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හෙලා දකින ඉබාරි (IBAHRI) ආයතනය අවධාරණය කරන්නේ, එය රටේ ජන කොටසකගේ ආගමික අයිතිය උල්ලංඝනය කිරීමක් බවය. "භූමදානය කියන්නේ ඉස්ලාමීය සම්ප්‍රදායයේ ප්‍රධානම කොටසක්. තමන් අදහන ආගමේ චාරිත්‍ර, වාරිත්‍ර තමන් කැමති විදියට පිළිපදින්න හැකිවීම ආගමික නිදහසේ කොටසක්," හෙලනා කෙනඩි සාමිවරිය බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය. "භූමදානයට අවසර නොදීම තමන්ගේ නෑසියන් අහිමිවුණ අයට ලොකු වේදනාවක්. මම හිතන්නේ මෙතන පැහැදිලිවම ආගමික නිදහස බිඳ වැටිලා තියෙනව." කොරෝනා ආසාදිත වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය හෝ භූමදානය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ථාවරය වී තිබේ. එහෙත් ශ්‍රී ලංකා ආණ්ඩුව පවසන්නේ, භූමදානය කිරීම මගින් භූගත ජලයට කොරෝනාවෛරසය පැතිරීමේ අවදානමක් ඇතැයි විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් උපදෙස් දී තිබෙන බවය. "මම මේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ථාවරය විමසලා බැලුව. විද්‍යාව මත පදනම් වුණ. ඒ නිසා මිනිස්සුන්ගේ ආගමික නිදහස සීමා කරන්න විද්‍යාව මත පදනම් වුණ හේතු තියනවා කියල මම පිළිගන්නේ නෑ," කෙනඩි සාමිවරිය කියා සිටියාය. මේ අතර ශ්‍රී ලංකාවේ කෝවිඩ් -19 වෛරසය වැළදීමෙන් මරුමුවට පත්වන පුද්ගලයන්ගේ සිරුරු බැහැරකිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති නිර්දේශ සංශෝධනය කර ආදාහනය හා භූමදානය යන ආකාර දෙකම ඇතුළත් කරන මෙන් ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව රජයට යෝජනා කර තිබිණ. පසුගියදා බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් වෛරසවේදය පිළිබඳ ලෝ ප්‍රකට විද්‍යාඥයෙකු වන මහාචාර්ය මලික් පීරිස් අවධාරණය කළේ, කොරෝනාවෛරසය වැළඳී මියගිය කිසිවෙකු භූමදානය කිරීම හේතුවෙන් වෛරසය භූගත ජලයට එකතුවිය හැකි බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමු වී නැති බවය. කෙසේ වුවත් ආණ්ඩුව තමන් මුල සිටම දැරූ ස්ථාවරය වෙනස් කර නැත. "මම ඒ ගැන කනගාටු වෙනවා," රාජ නීතිඥ හෙලනා කෙනඩි පවසන්නීය. "මේ ගැන ශ්‍රී ලංකා ආණ්ඩුව වඩා පුළුල්ව උපදෙස් අරගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය කියන දේට සවන් දෙනවා දකින්න මම කැමතියි." කියවන්න: නීතිපති 'ආණ්ඩුවේ පෞද්ගලික නීතිවේදියා ලෙස කටයුතු නොකළ යුතුයි' මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මන්ත්‍රීවරයාට එරෙහි චෝදනා නීතිපතිවරයා විසින් ඉවත් කරගනු ලැබීම පසුගියදා ප්‍රබල අවධානයට ලක් වී තිබුණි. දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් ඝාතනය කිරීම 'පිල්ලෙයාන්' මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වී තිබූ චෝදනාව විය. මන්ත්‍රීවරයාට එරෙහි චෝදනා ඉල්ලා අස්කරගත් නීතිපතිවරයා, කෝවිඩ් රෝගය ආසාදනය වී තිබියදීත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට ඇප ලබාදීමට අධිකරණය ඉදිරියේ දිගින් දිගටම විරෝධය දැක්වූ නමුත් දූෂණ චෝදනා යටතේ නඩු පවරනු ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම අවලංගු කිරීමට එරෙහි නොවීය. ඒ පිළිබඳව අදහස් දක්වමින් හෙලනා කෙනඩි සාමිවරිය බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, "නීතිපතිවරයාගේ ප්‍රමුඛත්වය හිමිවිය යුත්තේ මහජන යහපත උදෙසා අපක්ෂපාතීව යුක්තිය ඉටු කිරීම," වෙනුවෙන් බවය. "නීතිපතිවරයා ආණ්ඩුවේ පෞද්ගලික නීතිවේදියා ලෙස කටයුතු නොකළ යුතු," බව ද ඇය පැවසුවාය. මෙසේ "දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන" බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය නීතිපතිවරයාගේ ප්‍රකාශිකා නීතිවේදිනී නිශාරා ජයරත්නගෙන් කිහිපවරක්ම කරන ලද විමසීම්වලට මෙතෙක් පිළිතුරක් ලැබී නැත.
දහතුන්වෙනි ව්‍යවස්ථා සංශෝධනය යළිත් වටයකින් කරලියට පැමිණ තිබෙන්නේ එම සංශෝධනයට මග හෙළිකළ ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ මෑතදී කළ සංචාරයත් සමගය.
ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් තබමින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය තවත් ශක්තිමත් කරන බවට, බලයට පැමිණි සියලුම රජයන් කිනම් හෝ අවස්ථාවකදී පොරොන්දු වී තිබුණ ද එය හුදෙක් ඊට ම පමණක් සීමා විණි. එවන් තත්ත්වයක් තුළ, රටේ බලය බෙදීමේ සහ සංහිදියාව ඇතිකිරීමෙහි ලා 13 වන සංශෝධනයට මුල්තැන හිමිවන බව ඉන්දියාව මතක් කර දෙයි. එම සංශෝධනය හරහා ඇති කෙරුණු පළාත්සභා මේ වන විට අවුරුදු තුනකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වන්නේ මහජන නියෝජනයකින් තොරව වීම තුළ, පළාත්සභා අකර්මණ්‍ය වී ඇති බවට හැඟවීම හරහා ඇතැම් දේශපාලනඥයින් සිය මතය හා සමපාත කරමින් පළාත්සභා අවශ්‍ය නැතැයි යන මතය සමාජගත කිරීමට යත්න දරන බවක් ද පෙනෙන්නට තිබේ. පසුගියදා ශ්‍රී ලංකාවේ දෙදින සංචාරයක නිරත වෙමින් ජනපති, අගමැති හා විදේශ ඇමති හමුවූ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයෂන්කර් පැවසුවේ ඉන්දියාව විසින් කලාපයේ සාමය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කරනු ලබන අතර, ශ්‍රී ලංකාවේ එක්සත්කම, ස්ථාවරත්වය සහ භෞමික අඛණ්ඩතාව සඳහා ඉන්දියාව දැඩි ලෙස කැපවී සිවින බවය. ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයෂන්කර් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන සමඟ "ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට අපගේ සහයෝගය දිගු කලක් තිස්සේ පවතින අතර ඇත්ත වශයෙන්ම ජනවාර්ගික සමගිය දිරිගැන්වීම සියලු දෙනාගේම දේශපාලන අභිප්‍රායයි. එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, යුක්තිය, සාමය සහ අභිමානය පිළිබඳ දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු වන්නේ ශ්‍රී ලංකාවේම උන්නතිය වෙනුවෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ද ඇතුළුව අර්ථවත් බලය බෙදා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් කරන ලද කැපවීම් එයට එක හා සමානව බලපායි. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රගතිය හා සමෘද්ධිය නිසැකවම ඉදිරියට යනු ඇත," යැයි ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයෂන්කර් පැවසීය. එහෙත් පසුගියදා සරත් වීරසේකර ඇතුළු රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනකුම පැවසුවේ 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඊට සම්බන්ධ පළාත් සභා ක‍්‍රමය වහාම අහෝසි කළ යුතු බවකි. පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසුවේ, "පළාත් සභාවලින් ඇත්ත වශයෙන්ම රටට සේවයක් සිදුවුණාද? සේවයක් සිදුවුණා නම් පළාත් සභා තිබිය යුතුයි. සේවයක් සිදුවුණේ නැද්ද? නැත්තම් කොච්චර වියදමක් යනවද? මෙන්න මේ දේ ගැන අධ්‍යනයක් කරගෙන යනවා. නමුත් පළාත් සභාවල දැනට තියෙන තත්ත්වය එහෙමයි. ඉතිං ඒක නිසා ඒක තමයි මගේ මතය." යනුවෙනි. "නීති හදන්න පුළුවන් බලතල තියෙන කරුණු ඒ විෂයන් තවදුරටත් පළාත් සභාවලට දියයුතු ද කියන ප්‍රශ්නය අපිට මතු වෙනවා. උදාහරණයක් හැටියට අපි සම්පුර්ණයෙන්ම උතුරු සභාවට දුන්නොත් පුරාවිද්‍යා නටඹුන් පිළිබඳව විෂයන්, ඉඩම් පිළිබඳව විෂය, පොලිස් බලතල විෂය අපිට අපේ උරුමය නැතිවෙන්න පුලුවන්. ඒ සම්බන්ධයෙන් ඒ වගේ බෝහෝ කරුණු තියෙනවා අපිට අධ්‍යනය කරන්න." ගෝලීය දෙමළ සංසදය (ජීටීඑෆ්) නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ දෙමළ ජනතාවගේ සහ අනෙකුත් සුළු ජාතීන්ගේ නීත්‍යානුකූල අභිලාෂයන්ට ආමන්ත්‍රණය නොකිරීම සහ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ප්‍රජාවන් අතර ඇති වෙනස්කම් නිර්දය ලෙස හාවිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව බිහිසුණු මිලක් ගෙවා ඇති බවය. මෙය දශක ගණනාවක ප්‍රචණ්ඩත්වයට තුඩු දුන් අතර සීමිත ආර්ථික ප්‍රගතියක් සහිත එකතැන පල්වූ රටක් බවට ලෝකයේ ප්‍රගතිශීලී ජාතීන් අතර අපකීර්තියට පත්ව ඇති බව ශ්‍රී ලංකාවේ ඛේදනීය ඉතිහාසය පෙන්නුම් කර ඇතැයි ද එම සංසදය සඳහන් කරයි. "රාජපක්ෂ ආණ්ඩුවේ දෘෂ්ටිවාදීන් විසින් නැවත නැවතත් පෙන්නුම් කරනුයේ, දැඩි මතධාරී බහුතරවාදී දේශපාලනය තුළ , සුළුතර අපේක්ෂාවන් සහ ජාත්‍යන්තර කැපවීම් අපතේ යා හැකි බවට දෙමළ ජනතාව මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව වෙත අනතුරු ඇඟවීමක් කෙරෙන බවයි." යනුවෙන් එම සංසන්දය කියා සිටී. එය තවදුරටත් සඳහන් කරනුයේ දශකයකට වැඩි කාලයක් තිස්සේ රාජපක්ෂවරුන් සිය පුරවැසියන්ට, ඉන්දියාවට සහ ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු දී තිබියදීත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා ඇති පළාත් සභා අහෝසි කිරීමට ශ්‍රී ලංකා රජයේ නායකයින් කටයුතු කරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ." යනුවෙනි. කෙසේවෙතත්, 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමණින් ම ක්‍රියාවට නැවීම හෝ එය ශක්තිමත් කරන ලෙස ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ බලකිරීමට ශ්‍රී ලංකාව මේ මොහොතේ ලක්වී සිටින්නේ ඇයිදැයි යන්න ප්‍රශ්ණ කිරීමට කාලය එළඹ ඇති බව විශ්ලේශකයෝ පවසති. බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය විශාකා සුරියබණ්ඩාර, පැවසුවේ ඇමරිකාව, ඉන්දියාව වැනි රටවල් පවා බලය බෙදා රටේ ඒකීයත්වය රැකගෙන ඇති අතර බලය බෙදීමේ සංකල්පය ක්‍රියාත්මක කිරීම තුළින් රටේ ජනවාර්ගික ගැටලුවට තිරසර දේශපාලන විසඳුමක් ලබාගත හැකි අතර ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම තුළින් ජාත්‍යන්තර අතපෙවීම්වලට ඉඩ සැලසෙන බව පෙන්වා දුන්නාය. "මේක ඉතාමත් භයානක තත්ත්වයක්. අපේ රටේ පැවතුණු වාර්ගික අර්බුදයට දුන්නේ යුදමය විසඳුමක්. හැබැයි අනිවාර්යයෙන්ම මේ වෙලාවේදී කලාපීය බලවතා හැටියට හිටපු ඉන්දියාව ඇතුළු සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවම මේ අර්බුදය විසඳීමට දේශපාලන විසඳුමක් අවශ්‍ය බව පැවසුවා." ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය විශාකා සුරියබණ්ඩාර ඇය පැවසුවේ මධ්‍යම ඒකාධිකාරයක් සතු චීනය ඔවුන්ගේ බලය ව්‍යප්ත කිරිමේදී ලංකාවේ බලය නොබෙදී තිබීම ඔවුනට වාසි සහගත තත්ත්වයක් ලෙස සිතනවා විය හැකි බවය. "චීන මොඩලය ඉන්දියානු මොඩලයට කිසි සේත්ම පෑහෙන්නේ නෑ. ඉතින් මේ චීන මොඩලයට යන්න නම් මේ දැන් තියෙනව වාගේ මධ්‍යම ආණ්ඩු කේන්ද්‍රීය ක්‍රමයකට ඔවුන් කැමති යි. එහෙම තැනකදී ඔවුන් බලාපොරොත්තු වෙනවා ඔවුනට අවනත කරගත හැකි යම් දැඩි පාලනයක් සහිත මධ්‍යම ආණ්ඩුවක අවශ්‍යතාවය. හැබැයි එයිටවඩා වෙනස් දේශපාලන අවශ්‍යතාවයක් ආණ්ඩුවක් හැටියටත් වඩා කලාපීය බලවතා හැටියට ඉන්දියාව මෙය දකිනවා. මොකද එහෙම බලය බෙදීම නොවුනෝතින් ඉන්දියාවට විශාල වශයෙන් දේශපාලනිකවත් බලපානවා මොකද ඉන්දියාවේ එක පැත්තක තමිල්නාඩුව වගේ විශාල ප්‍රාන්තයක බලපෑම ප්‍රබලව දැනෙන්න පටන්ගන්නවා ඒවගේම චීනය වගේ මධ්‍යම ඒකාධිකාරියක් සතු රටක් තමන්ගේ කලාපය තුළ නිර්මාණය වීමත් යම් අභියෝගයක් වෙන්නට පුළුවන් ඉන්දියාවට," යනුවෙන් ජේෂ්ඨ කථිකාචාර්ය විශාකා සූරියබණ්ඩාර පැවසීය. මේ අතර බීබීසී සිංහල සේවය සමග අදහස් පළ කළ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුලණි විජයබාහු, ඉන්දියාව සාපේක්ෂ වශයෙන් බොහොම බලවත් රටක් ලෙස ලංකාවට ආසන්නයේ පිහිටා තිබීම, කලාපයේ පිහිටා තිබීම සහ න්‍යෂ්ටික බලවතෙක් වීම මෙන්ම ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය බටහිරත් සමඟ සමීප සම්බන්ධතාවයක් තිබීම වැනි හේතුන් නිසා ඉන්දියාව එක හෙලා ප්‍රතික්ෂේප කළ නොහැකි බව කියා සිටියාය. කොහොමද අපි ඉන්දියානු සාධකය තුලනය කරන්නේ? "මට දැනෙන දේ නම් මේ මොහොතේ ඉන්දියානු සාගරයේ සහ ලංකාවේ චීන අවකාශය, විවිධ ක්‍රම වලින් ඉන්දියාව බැලුවනේ කළමනාකරණය කරන්න. එහෙම කරලා බැලුව මේකත් ඒගොල්ලොන්ගේ ඒ ක්‍රියාදාමයේම තවත් එක් තුරුම්පුවක් විදිහට මේක දැම්මා කියල තමයි මම හිතන්නේ." කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුලණි විජයබාහු "මේක වෙනම කතාවක්නේ මේක මෙච්චර වෙලා කරලියේ තිබුණේ වෙන දෙවල්නේ. චීනයට මෙච්චර දෙන්න එපා. හම්බන්තොට වරයා ව්‍යාපෘතිය ගැන යළි සලකාබලන්න. ඒවා නැවත සමාලෝචනය කරන්න. ඒවා පාවිච්චි කරලා එම්සීසී එක ඇමරිකාවම හකුලාගැනීමත් එක්ක ඉන්දියාව දැන් වෙන පාරකින් එන්න හදනවා ලංකාවේ ඇතුලේ චීන සාධකය ඒගොල්ලන්ට වඩා ගැලපෙන විදිහට මෙහෙයවගන්න වගේ කාරණයක් තමයි මට හැඟෙන්නේ," යනුවෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුලණි විජයබාහු බීබීසී සිංහල සේවයට පැවසීය. මෙහිදී ඔවුන් ඔවුන්ගේ භූ දේශපාලනික වැදගත්කම උපයෝගී කරගන්නා බවත්. ලංකාවත් සමඟ සම්බන්ධතා පවත්වද්දී, ඉන්දියාව නම් සාධකය ශ්‍රී ලංකාවට විදේශ ප්‍රතිපත්තියේදී සියයට සීයක් නොසලකා හැරිය නොහැකි සහ වෙනස් කළ නොහැකි සාධකයක් බවට ලංකාව හොදින් තේරුම් ගෙන ඇති බව ඇය තවදුරටත් පැවසීය. "අපි කියනවා අපේ විදේශ ප්‍රතිපත්තිය ඇතුලේ තියෙන්නේ බහුවිධ සම්මුතීන් තියාගෙන හැමොත් එක්කම සම්බන්ධතා තියාගෙන යන ගමනක් කියල. හැබැයි මෙහෙම බලපෑමක් එනකොට ඒක කළමනාකරණය කරන්න අපි ළඟ තියෙන සම්පත් ඇතිද කියන එක ගැන සළකා බලන්න සිද්ධ වෙනවා." "අපි හැමතිස්සෙම ආණ්ඩුවට බෝලය පාස් කරලා ඉන්න හදනවානේ මේක ආණ්ඩුවේ වැඩක් ආණ්ඩුව කරන්න ඕන කියල. හැබැයි අපි අනිත්පැත්තට හිතල බලන්න ඕන පුරවැසියන් විදිහට අපි අපේ යුතුකම ඉටුකරලා තියෙනවාද කියල ඔතනදි." ඇය තවදුරත් පැවසුවේ "අපි දේවල් හරියට කළමනාකරණය කරගන්න පුළුවන් මිනිස්සුන්ව ඒ තැන්වලට තීරණ තීන්දු ගන්න තෝරා පත්කරලා යවල තියෙනවද? ඒ තෝරා පත්කරලා යවල තියෙන මිනිස්සුන්ට ඒ දේවල් කරන්න හැකියාව තියෙනවද? එතකොට ඒ පුරවැසි යුතුකම කොතනදීද ඉෂ්ඨ වෙලා තියෙන්නේ?" පුරවැසියාගේ වගකීම කුලණි විජයබාහු පැවසුවේ මියන්මාරයේ, හම්බන්තොට වරාය මෙන් වාරයක් හැදීමට යාමේදී එහි ප්‍රජාවන් අගතියට පත්වෙනවිට මිනිස්සු චීන සාධකයට එරෙහි වීමට පටන් ගත බවත් එමගින් එය පසුව මුළු රට පුරාම ව්‍යාප්ත වූ උද්ඝෝෂණයක් බවට වුනු බවයි. "හැබැයි අපි ලංකාවේ වගේ රටක ඒ වගේ trends දකින්නේ නෑ. එකට ප්‍රධානම හේතුව පුරවැසියාට දැනෙන්නේ නෑ මේක මගෙත් වැඩක් කියල. පුරවැසියා හැම තිස්සෙම බලාගෙන ඉන්නේ අපි චන්දෙන් පත්කරලා යැවුවහම දැන් ඕගොල්ලෝ තමයි මේ වැඩේ කරන්න ඕන කියල. එතකොට මොකද්ද අපේ වගකීම? මේක ආණ්ඩුවට තනියම කරන්න පුළුවන් විදිහේ, මොන ආණ්ඩුව ආවත් මේ ආණ්ඩුව විතරක් නෙමෙයි මොන ආණ්ඩුව ආවත් මේක තනියෙන් බෝලේ පාස් කරලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි." ඇය පැවසුවේ මෙය භූ දේශපාලනික දෘෂ්ටිකෝණයෙන් සාකච්ඡා කරනවිට අත් හරිය නොහැකි සාධකයක් වන අතර මෙයට කෙසේ මුහුණ දිය යුතුද යන්න රාජතාන්ත්‍රිකව විමසා බැලිය යුතු බවය. "අපිගාව ඒ රාජතාන්ත්‍රික සම්පත් තියෙනව, කෞශල්‍යය තියෙනවා එතකොට ඒ රාජතාන්ත්‍රික කෞශල්‍යය තියන කට්ටියවද අපි පත්කරලා යවල තියෙන්නේ? ඒක එතකොට කැරකිලා විෂම චක්‍රයක් වගේ අපි ළඟම නවතින ප්‍රශ්නයක් නේ. ඉතින් ඊටපස්සේ බැන ඉදල හරියන්නේ නෑ අපි ගෝඨාභය පත්කරලා යැවුවේ මේක කරන්න නෙමෙයිනේ අරක කරන්න නෙමෙයිනේ කියල වැඩක් නෑ." ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුලණි විජයබාහු පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ පළමුවන සංචාරය ලෙස ඉන්දියාව කරා ගියේ චීන සාධකය ලංකාවට අත්‍යවශ්‍ය බැවින් ඉන්දියාව කළමනාකරණය කිරීමට විය යුතු බවය. "අපි හරියට කළමනාකරණය කරන්නේ නෑ නේ. අපි නොබැඳියි අපි තුලිතයි කියල කිවුවට අපිටම බැරිවෙලා තියෙනවා ඒ තරාදිය සමබර කරගන්න. ඒ තරාදිය සමතුලිත කරගන්න ඕනේ අපේ ස්වාධිනත්වය තියාගෙන නේ. අපි ඉන්දියාවට ඇමරිකාවට අපිට ඇගිලි ගහන්න එපා කිව්වට ඒ සෘජු බවින්ම චීනයට කියන්නේනෑනෙ ඇඟිලි ගහන්න එපා කියල." කොන්ෆියුසියස් මධ්‍යස්ථාන ප්ලේ කරන ස්මාර්ට් ගේම් එක "හොදමදේ, හොයල බලන්න ලංකාව ඇතුළේ තියෙන කොන්ෆියුසියස් මධ්‍යස්ථාන හරිම ස්මාර්ට් ගේම් එකක් ප්ලේ කරනවා. ලංකාවේ මිනිස්සුන්ගේ හිත ඇතුලේ චීනය කියන සාධකය වාසිදායක විදිහට හදන්න. ඇමරිකාව ඇවිල්ල මේක යටත්කරගන්නවට වඩා චීනය ආවට කමක් නෑ කියන සාධකය ඒගොල්ලෝ හදනවා ඔළුව ඇතුළේ. සමාජ ක්‍රමය ඇතුළේ ඉහල තලයේ ඉන්න අය, ශාස්ත්‍රඥයන් වෙන්න පුළුවන් වෘත්තීයවේදියෝ වෙන්න පුළුවන් ඒගොල්ලොත් මේකට මැදිහත්, ඒක ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ එකේ කොටස් කරුවෙක් වෙලා කියල. ඇයි චීනෙන් අපිට ආධාර දෙනවා, අපේ ළමයින්ට ශිෂ්‍යත්ව දෙනවා. විශ්වවිද්‍යාලවලට අර ආධාර දෙනවා මේ ආධාර දෙනවා භාෂා පාඨමාලා පවත්වනවා. අපිට තේරෙන්නේ නෑ නොදැනුවත්වම අපි ඒගොල්ලන්ගේ ව්‍යාපෘතියේ කෑල්ලක් වෙලා කියල." ශ්‍රී ලංකාව විසින් චීනය නමැති සාධකය සෘජුව හසුරුවනු නොලැබීම තුළ එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව සහ ඇමරිකාව ප්‍රතික්‍රියාකිරිම ශ්‍රී ලංකාවට තර්ජනයක් වන අතර එම තර්ජනය අවම කරගත හැකි තරමේ රාජ්‍යතාන්ත්‍රික හැකියාවක් ශ්‍රී ලංකාවට නොමැති බවත් එයින් ලංකාවේ ස්වාධිනත්වයට බලපෑමක් ඇති වන බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුලණි විජයබාහු සඳහන් කළාය. පුරවැසියා යනු කවුද? පුරවැසියාට ඇති අයිතීන් මොනවාද? ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුලණි විජයබාහු පවසන්නේ රටේ අධ්‍යාපන ක්‍රමය ගැටලු සහගත බවය. පුරවැසි අධ්‍යයනය නමින් විෂයක් පාසල් පද්ධතිය තුළ තිබුණත් එහි අන්තර්ගතය ගැටලු සහගත බව ඇය පැවසීය. "පුරවැසියා කියන්නේ කවුද? පුරවැසියාට මොනවාද තියෙන අයිතීන් කියන එක ගැන අපේ ළමයෙක්ට තියෙන හැඟීම අඩුයිනේ. අපේ අධ්‍යාපන ක්‍රමය හදල තියෙන්නෙම ඔයා හොදට සමාන්‍ය පෙළ පාස් වෙන්න, උසස් පෙළ පස්වෙන්න මිසක් එයා තමා ඉගෙන ගත්ත රටට සේවයක් ආපසු කරන්නේ කොහොමද? නිදහස් අධ්‍යාපනය ගැන තමන්ට තියෙන කෘතවේදී බව මොකද්ද? ඒ වෙනුවෙන් තමන් කරන්න ඕන යුතුකම මොකද්ද? කියන ඒ ආකල්පය දියුණු කරලා නෑ නේ. එක නිසායි මම කියන්නේ අර තෝරලා පත්කරලා යවන ආණ්ඩුවේම ප්‍රශ්ණයක් විතරක් නෙමෙයි." ඇය තවදුරටත් පැවසුවේ ලෝකයේ බොහෝ සම්බන්ධතා අසමමිතික සම්බන්ධතා වන අතර ඉන්දියාව සහ ලංකාව අතර ද පවතින්නේ ස්වභාවයෙන්ම අසමමිතික සම්බන්ධතාවක් බවය. බලයෙන්, ප්‍රමාණයන්, හැකියාවෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට වඩා හැමවිටම බලවත් වීම තුළ කිසිලෙසකත් ඉන්දියාවත් සමඟ ශ්‍රී ලංකාව සමානුපාතික නොවන නමුත් එම අසමමිතික සම්බන්ධතාව සමාන්‍ය අසමමිතික සම්බන්ධතාවක් ලෙස පවත්වාගත හැකි බව ද ඇය පෙන්වා දුණි. "කොහොමද පුළුවන් වෙන්නේ? මහා බලවත් රට අර කුඩා බලවත් රටේ ස්වාධිනත්වය පිළිගන්නවානම් වගේම කුඩා බලවත් රට, මහා බලවත් රට තමන්ට වඩා බලයෙන් වැඩියි කියල පිළිගන්න තාක්කල් ඒ සම්බන්ධතාවය සාමාන්‍යයයි." "එතකොට ඒ පිළිගැනීම අපිට ලබාදෙන්න වෙන්නේ ක්‍රියාවෙන්නේ. එතකොට මෙතන වෙලා තියෙන්නේ ඉන්දියාවත් එක්ක අපේ සම්බධතාවය සාමාන්‍ය නෑ. එතකොට ඒ අසාමාන්‍ය සම්බන්ධතාවයක් නම් කුඩා බලවත් රටට හැකියාවක් තියෙන්න ඕන ඒකට resilient වෙන්න. එකට ඔරොත්තු දෙන්න, එකට ප්‍රතිවිරෝධය පෙන්වන්න. හැබැයි අපිට ඒක කර ගන්න විදිහයක් නෑ, ඒක කරන්න පුළුවන් විදිහේ රාජතාන්ත්‍රික හැකියාවක් නෑ. ඒක කරන්න පුළුවන් සහ දැනෙන පුරවැසි පිරිසක් ලංකාව ඇතුලේ නෑ. ඒකට නායකත්වය දෙන්න එතකොට අපිට ඒකට resilient වෙන්න බෑ. ඒකනිසා තමයි මේක තව තවත් ඛේදනීය දිශානතියකට ගෙන යන හේතුව වෙලා තියෙන්නේ." "මම සමාන්‍ය මිනිස්සු එක්ක කතාකරනකොට ඔවුන් කියන දෙයක් තමයි මේක ලංකාවේ ඉන්න පාලකයන්ට කරන්න බැරිනම් චීනය හරි මේක බාරගෙන කළාට කමක් නෑ. දැන් මේක එතනට මිනිස්සුන්ගේ මානසිකත්වය හදලා." "ඉන්දියාව බලාපොරොත්තු වෙන්නේ big brother concept එක ඇතුළේ regional hegemony (කලාපීය ආධිපත්‍යය) එක දකුණු ආසියාවේ තියෙන හෙජමනික ආධිපත්‍ය තමන් ගාව තියාගන්න. දැන් මෙතන මෙහෙම ප්‍රශ්ණයකුත් තියෙනවනේ ඉන්දියාවට අපි චීනයට ළංවෙන්න, ළංවෙන්න ඒක තව පකිස්ථානයට වාසියි, ඉරානයට වාසියි." "ඉන්දියාවට සිද්ධවෙනවා තමන්ගේ හෙජමනික බලවත්භාවය තියාගන්නනම් අඩුම වශයෙන් තමන්ගේ ආසන්නයේ තියෙන රටවල් ටික තමන්ගේ බල ආධිපත්‍ය යටතේවත් තියාගන්න. තමන්ගේ control එක යටතේවත් තියාගන්න. දැන් ලංකාව ඇතුළේ චීන presence එක වැඩි වෙන්න වැඩි වෙන්න ඒක තමන්ගේ අතින් ගිලිහෙනවානේ . එක තමයි ඒගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්ණය. bigbrother concept එක වගේම හෙජමනිය දියාරුවෙලා යයි කියන බය." කියවන්න:
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට රටේ සෑම පලාතකින් ම මහජන සහයෝගය ලැබෙමින් පවතිද්දී රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා සහ නව පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි විපක්ෂ සන්ධානයට එක් වූ බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
විපක්ෂ නායකයා එම ප්‍රකාශය කළේ ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයන් දෙදෙනා ආණ්ඩුව අත්හැර පොදු අපේක්‍ෂක ජනාධිපතිවරයාට සහයෝගය දීමට ඉදිරිපත් වී සිටින බව ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුවේදී. ‘පොදු අපේක්‍ෂකයාට ලැබෙන සහයෝගය දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. උතුරේ දකුණේ නැගෙනහිර සහ බටහිර මෙන්ම කඳුකරයේත් ජනතා සහයෝගය වැඩෙමින් පවතින මොහොතකයි, රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ඔහුගේ ඇමතිකම පූජා කරමින් අපට එකතු වී සිටින්නේ’ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැත්වුන මාධ්‍ය හමුවේදී රනිල් වික්‍රමසිංහ කියා සිටියේය. ඔවුන් එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට සහ සිංහල දෙමළ මුස්ලිම් සහ බර්ගර් ඇතුළු සියලු ම ජන කොටස්වල අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ශ්‍රී ලාංකිකයන හැටියට ජීවත්වීමේ අවස්ථාව සහතික කිරීමට වන බවයි විපක්ෂ නායකයා පවසන්නේ. සමස්ථ ලංකා මහජන කොන්ග්‍රසයේ(ACMC) නායක කර්මාන්ත සහ වාණිජ ඇමති රිෂාඩ් බදියුදීන් අද සඳුදා (22) උදෑසන පැවැත්වුන දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව සිය පක්ෂයේ තීන්දුව ගැනීමෙන් පසු කෙළින්ම එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත කරා ගොස් එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ඇමතිවරයා සමඟ විපක්‍ෂයට එක් වූ අමීර් අලි පාර්ලිමේන්තුවට පත් කෙරුනේ ඔහුට මග සැලසීම සඳහා ඒ.එච්.එම්.අස්වර් මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුවටයි.
"මාතෘ සුරක්ෂිතතාව (Maternity protection) මූලික මානව අයිතිවාසිකමක් වන අතර, පවුල සහ රැකියාව සම්බන්ධ පූර්ණ ප්‍රතිපත්ති සකස් කිරීමේ දී අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු අංගයකි. වැඩපොළේ දී කාන්තාව නොසලකා හැරීමට ලක් නොවීම සහ මවගේත්, දරුවාගේත් සෞඛ්‍යාරක්ෂාව ප්‍රවර්ධනය උදෙසා එය තීරණාත්මක සාධකයකි."
- ලෝක කම්කරු සංවිධානය වැඩපොළේ මාතෘ සුරක්ෂිතතාව හා බැඳුනු කම්කරු අයිතීන් පිළිබඳ පළමු ප්‍රඥප්තිය සම්මත කෙරුණේ මීට සියවසකට ඉහත දී, 1919 දීය. ඒ ලෝක කම්කරු සංවිධානයේ සමාරම්භක ජාත්‍යන්තර සමුළුවේදීය. ඉන් අනතුරුව 1952 දී සහ වසර 2000 දී මාතෘ සුරක්ෂිතතාව සම්බන්ධ තවත් ප්‍රඥප්තීන් දෙකක් සම්මත කෙරිණ. ඒ සියලු ප්‍රඥප්තිවල මෙන්ම ලෝක කම්කරු සංවිධානය ප්‍රමුඛ කරගත් ආයතනවල සහ උද්ඝෝෂණ ව්‍යාපාරවල අරමුණ වූයේ කාන්තාව රැකියාවක නිරතවීම මගින් ඇයගේ සහ ඇයගේ කුසේ උපදින දරුවාගේ සෞඛ්‍යයට අනතුරක් නොවීම සහ කාන්තාවගේ ප්‍රජනන ක්‍රියාවලිය ඇයගේ රැකියාවේ සුරක්ෂිතභාවයට තර්ජනයක් නොවීම සහතික කිරීමය. එමෙන්ම දරු ප්‍රසූතිය නිසා කාන්තාව වැඩපොලේදී අනිසි පහත්කොට සැලකීමකට ලක් නොවීම සහතික කිරීම ද එහි අරමුණ විය. ගැබිණි මවුවරුන්ට පෝෂණ මල්ලක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මඟ පෙන්වීම පරිදි එසේ මවගේත්, අනාගත පරපුරේත් සෞඛ්‍යය සුරක්ෂිත කරනු පිණිස ශ්‍රී ලංකාවේ ද ආණ්ඩු වරින්වර විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළහ. 2015 සිට යහපාලන ආණ්ඩුව විසින් දියත් කරන ලද ගැබිණි මව්වරුන් සඳහා රු 20000 පෝෂණීය දීමනාවක් ලබාදීමේ වැඩසටහන ද එවැන්නකි. "ලංකාවේ කිසිම රාජ්‍ය ආයතනයකවත්, ගොඩක් වෙලාවට පෞද්ගලික ආයතනයකවත් දරුවෙක්ව ගෙනියලා, දරුවට මවු කිරි දෙන්න තැනක් නෑනේ" - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මසකට රුපියල් 2000 ක් බැගින් මාස දහයක් මුළුල්ලේ ලබාදුන් එම දීමනාව වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසුව නතර කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින නීති විධිවිධාන ප්‍රකාර රජයේ සහ පෞද්ගලික අංශවල සේවය කරන සියලුම කාන්තාවන් සඳහා දරු උපත් වෙනුවෙන් දින 84 ක ප්‍රසූත නිවාඩුවක් හිමිවේ. එහෙත් මෑතදී රජයේ සේවයට බඳවා ගනු ලැබූ උපාධිධාරී අභ්‍යාසලාභිනියන්ට හිමිවන්නේ දින 42 ක ප්‍රසූත නිවාඩුවක් පමණක් බව ආණ්ඩුව පවසයි. 'අමානුෂික තත්වයක්' ආණ්ඩුවේ එම තීරණය පිළිබඳව මවුවරුන්, කාන්තා හිමිකම් ක්‍රියාධාරිනියන් මෙන්ම විරුද්ධ පක්ෂ ද ප්‍රතිචාර දක්වමින් සිටිති. පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවක් ඇමතූ සමගි වනිතා බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ආණ්ඩුවේ තීරණය ආපසු හැරවීම පිණිස ක්‍රියාකරන මෙන් සහ සටන් කරන මෙන් මෑතදී පියෙකු බවට පත් වූ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටින බව කියා සිටියාය. "ලංකාවේ කිසිම රාජ්‍ය ආයතනයකවත්, ගොඩක් වෙලාවට පෞද්ගලික ආයතනයකවත් දරුවෙක්ව ගෙනියලා, දරුවට මව් කිරි දෙන්න තැනක් නෑනේ," යනුවෙන් ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය සඳහන් කළාය. "මේකේ තියෙන ප්‍රශ්නේ මේකයි. දරුවෙක් ප්‍රසූත කළාට පස්සේ සාමාන්‍යයෙන් වෛද්‍යවරු කියන්නේ පැය දෙකකට, තුනකට සැරයක් මව් කිරි දෙන්න කියලනේ, එතකොට පැය විසි හතරම. එතකොට අම්ම කෙනෙකුට විශේෂයෙන් රාත්‍රියේ නින්දක් නෑ." එවැනි තත්ත්වයක් තුළ දරුවකු ප්‍රසූත කළ මවකට මාස එකහමාරක් වැනි කුඩා කාලයක් ප්‍රසූත නිවාඩු ලබාදීම මගින් දරුවාට මව් සෙනෙහස සහ ආරක්ෂාව අහිමිවීම "අමානුෂික තත්ත්වයක්" බව ඇය පෙන්වා දෙන්නීය. 'මාතෘත්වයට කරන නිගාවක්' බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ බොහෝ කාන්තාවෝ ඒ අදහස අනුමත කළහ. කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනියක වන මෆාසා රෂිඩ් පවසන්නේ, එය තමන්ට පුද්ගලිකව බලනොපාන්නක් වුව ද ආණ්ඩුව ගෙන තිබෙන්නේ "අසාධාරණ තීරණයක්" බවය. "අනිත් එක child psychology එක පැත්තෙන් ගත්තම දරුවගේ මුල් කාලෙ හැම අවශ්‍යතාවයක් ම සැපිරෙන්නෙ අම්මගෙන්. එහෙම එකේ ඒක මෙහෙම අසාධාරණ විදිහට කපල දැම්මම හැදෙන දරුවො ගැන සාධාරණ බයක් තියෙනව," ඇය කියා සිටියාය. අයේෂා වීරසිංහ, බදුල්ලේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග ඉංජිනේරුවරියකි. "රජයක් උනාම මීට වඩා ගොඩක් දරුවො ගැන සංවේදීව හිතන්න ඕනෙ. දැනටත් ළමා අපචාර ඇති තරම් රටේ වෙනවා සහ ඒ ගැන අවධානය ඉතාම මදි ඒවත් තියෙද්දි මෙහෙම අඩු කරන එක තවත් ආකාරයේ පීඩාවට පත්කිරීමක්," යනුවෙන් ඇය කියා සිටියාය. ආණ්ඩුවේ තීරණය තමන්ට අදාළ නොවුණ ද, ප්‍රසූත නිවාඩුව දින 42 ක් කිරීම මගින් කාර්යක්ෂමතාවයේ ඉහළ යාමක් බලාපොරොත්තු විය නොහැකි බව ඇයගේ අදහසය. "ළමයාට මව්කිරි දීමට මේ තීරණය සෑහෙන අවුලක්." පෞද්ගලික අංශය වෙරිටේ රිසර්ච් පර්යේෂණ ආයතනය පෙන්වාදෙන ආකාරයට, ශ්‍රී ලංකාවේ රැකියා විරහිත කාන්තාවන්ගෙන් 82% ක්ම වයස 20-40 ත් අතර අය වෙති. මාතෘ නිවාඩු සඳහා සම්පූර්ණ පිරිවැය අදාළ සමාගම විසින් දැරිය යුතු බවට දැනට බලපවත්නා නීතිය හේතුවෙන් කාන්තාවන් බඳවා ගැනීමට පෞද්ගලික ව්‍යවසායකයන් උනන්දුවක් නොදක්වන බව එම ආයතනය පවසයි. එබැවින් පෞද්ගලික ව්‍යවසායකයන්ගෙන් මාතෘ නිවාඩු බද්දක් අයකර ගනිමින්, පෞද්ගලික අංශයේ සේවයේ නිරත කාන්තාවන්ගේ ප්‍රසූත නිවාඩු සඳහා ආණ්ඩුවෙන් දීමනාවක් ලබා දිය යුතු බවට වෙරිටේ රිසර්ච් ආයතනය යෝජනා කරයි. පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් කියා සිටියේ කාන්තාවන්ට ප්‍රසූත නිවාඩු ලබාදීම පිණිස රජයට වාර්ෂිකව වැයවන්නේ රුපියල් බිලියන 4.2 ක මුදලක් පමණක් බවය. ආණ්ඩුව සමාගම් සඳහා වසරකට රුපියල් බිලියන 52 ක බදු සහන ලබාදෙන බවත් පර්යේෂණ ආයතනය සඳහන් කරයි. ප්‍රසුත නිවාඩු දීමනා සඳහා වන වියදම සේවා යෝජකයාට දැරීමට සිදුවන වාතාවරණයක, කාන්තාවකට සාපේක්ෂව, පුරුෂයකු බඳවා ගැනීම සේවා යෝජකයාට පිරිවැය අඩු තීරණයක් බැවින් රැකියා වෙළෙඳපොළේ කාන්තාවට අවාසිසහගත තත්ත්වයකට මුහුණ දීමට සිදු වන බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි. එබැවින් මෙම වියදම බදුවලින් අඩු කරගැනීමට සැලසීම තුළින් මෙකී තත්ත්වය මගහරවා ගැනීම පිණිස දායක වී, රටේ ශ‍්‍රම බලකායේ කාන්තා නියෝජනය ඉහළ නංවා ගැනීමට සහ ආර්ථිකයට සකී‍්‍රය ලෙස කාන්තාවන් සම්බන්ධ කරගැනීමට රජයට හැකියාව ලැබෙනු ඇති බව එහි පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිනී අබේසිංහ සඳහන් කළාය. එම ආයතනය මතු කරන අදහසට පක්ෂ මෙන්ම විරුද්ධව සමාජ ජාල ඔස්සේ අදහස් පළ වී තිබුණි. පෞද්ගලික අංශය තිබෙන්නේ බදු සහන ලබාගැනීම පිණිස පමණක් දැයි ප්‍රශ්න කරන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සන්ධානයේ අමාලි වෙළගෙදර, සිය සේවකයන්ගේ අයිතිවාසිකම් සහ සුභසාධනය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් පෙනී සිටින්නේ කවදා දැයි ප්‍රශ්න කර තිබුණි. ප්‍රසූත නිවාඩු ලබාදීම පිණිස සමාගම්වලට වැයවන පිරිවැය ආණ්ඩුව දැරිය යුතු බවට පර්යේෂණ ආයතනය දක්වන අදහස සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය සහ නෙත්මිනී මැදවල ප්‍රතිචාරය පළ කර තිබිණ. "ශ්‍රී ලංකාවද ඇතුළුව ලොව රටවල් සියල්ලම පාහේ කාන්තාවන්ට හා පුරුෂයන්ට එක හා සමානව රැකියාවක නියැලීමේ ඇති අයිතිය ලබාදීමට ප්‍රතිඥා ලබා දී ඇති අවස්ථාවක, ගර්භනී බව හා මාතෘත්වය කාන්තාවන්ට රැකියාවේ නියැලීමේ හා ඉදිරියට කරගෙන යාමේ සම අයිතිය අහිමි කරවන සාධක නොවිය යුතුය," යනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කර තිබුණි. 'ජීවිතේ දිගුකාලීනම කැප කිරීම' පර්යේෂණ ආයතනයක විධායක නිලධාරිනියක වන මැණික් ප්‍රනාන්දු වෙරිටේ රිසර්ච් ආයතනයේ එම යෝජනාවට සහය පළකරන්නීය. "මම තරුණ දරුවෝ දෙන්නෙකුගේ අම්ම කෙනෙක්, බිරිඳක්, දියණියක්, ලේලි කෙනෙක්, සොහොයුරියක්, ඥාති සොහොයුරියක්, නෑන කෙනෙක්, නැන්ද කෙනෙක්, මිතුරියක් සහ ඒ සේරම මදිවට කාන්තාවන් මුල් තැන දෙන ආයතනයක ප්‍රධාන විධායක නිලධාරිනියක්," මැණික් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය. "මේවා තමයි හැම වෙලාවකම මම දාගෙන ඉන්න තොප්පි. ඒ වගේම ඒවා එකිනෙක අතර යැපෙන ස්වභාවයක් තියෙනවා," ඇය පවසන්නීය. දැනට ශ්‍රී ලංකාවේ වෙසෙන ඇය, සිය දරුවන් දෙදෙනා ප්‍රසූත කරන විට වාසය කළේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරය. "අම්ම කෙනෙක් වීම, මම මගේ ජීවිතේ වැඩිම සිහි බුද්ධියෙන් යුතුව ගත්ත දිගු කාලීනම කැපකිරීම. මාතෘ භාවය කියන දේ එක් පැත්තකින් නෙමෙයි පැති කිහිපයකින්ම ආශීර්වාදයක් කියල සලකන රටකදී මගේ දරුවන් ප්‍රසූත කරන්න මම වාසනාවන්ත වුණා." එහෙත් ආණ්ඩුවේ මෙම තීරණය අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ කාන්තාවන් එතරම් වාසනාවන්ත නොවන බවය. එබැවින් උපාධිධාරී අභ්‍යාසලාභිනියන්ගේ ප්‍රසූත නිවාඩුව කප්පාදු කිරීමේ තීරණය පිළිබඳව ආණ්ඩුව යළි සලකා බැලිය යුතු බව කාන්තාවෝ ඉල්ලා සිටිති. නම හෙළි නොකරන මෙන් ඉල්ලා සිටි ගුරුවරියක බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ කාන්තාවන්ට දැනට අනුමත නිවාඩුව සියලු කාන්තාවන්ට අනිවාර්යයෙන්ම හිමිවිය යුතු බවය. "ඒක නිරෝගී දරුවන් ජාතියට බිහි කිරීමට සෘජුවම බලපානවා," යනුවෙන් ඇය සඳහන් කළාය. "මේ වගේ නීතී සම්පාදනය කරන අයට ළමයි නැද්ද දන්නෑ," යනුවෙන් පුද්ගලික අංශයේ සේවයේ නියුතු තරුණියක ප්‍රශ්න කළාය. "කුඩා ළමයෙකුට යාන්තම් මාස දෙකට ලං වෙද්දී රස්සාවට යන්න වෙන එක හරිම ශෝචනීය තත්ත්වයක්. දැන් මට සම්පූර්ණ වැටුප් සහිත, අර්ධ වැටුප් සහිත, වැටුප් රහිත කියලා නිවාඩු තුනම තියෙනවා. ඒ නිසා කාන්තාවන් කොටසකට මේක අහිමි කරන එක කවුරු කළත් මාතෘත්වයට කරන නිගාවක්, " එම තරුණිය වැඩිදුරටත් කියා සිටියාය. කියවන්න:
කාලගුණික හා වෙනත් බලපෑම් හේතු කොට ගෙන ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් මුහුදු තීරයේ ඇති “මහා බාධක කොරල් පරය” අනතුරට ලක්වී ඇති බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.
මෙය ලෝකයේ ඇති විශාලතම ස්වාභාවික කොරල් බැම්ම ලෙස සැලකේ මෙය ලෝකයේ ඇති විශාලතම ස්වාභාවික කොරල් බැම්ම ලෙස සැලකේ. කිලෝමීටර දෙදහස් තුන්සියයකට වඩා දිගට විහිදෙන මෙම කොරල් පරය පසුගිය වසර පහක කාලය තුළ දැඩි ඛාදනයකට ලක්වී ඇති බව පෙන්වා දෙන වාර්තාවකට අනුව එය තවදුරටත් විනාශයට ලක්වීමේ අවදානමක් පවතී. මුහුදු වතුර අපවිත්‍ර වීම, වෙරළාසන්න සංවර්ධන කටයුතු සහ ධීවර කටයුතු මෙම ක්‍රමික විනාශයට බලපාන අමතර හේතු ලෙස පිළිගෙන තිබේ. මෙම කොරල් බැම්මට විරුද්ධ දෙසින් ඇති ඊසාන දිග මුහුදු තීරයේ සිදු කිරීමට නියමිත දැවැන්ත සංවර්ධන වැඩසටහනක් අනුමත කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය දෝෂ දර්පණයට ලක් වී තිබේ.
උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන්ගේ මාමා පදවියෙන් පහ කොට තිබෙන බව දකුණු කොරියාවේ පුවත් වාර්තාවල දැක්වේ.
ජැඞ් සොං තායෙක් විවාහ වී සිටින්නේ උතුරු කොරියානු නායකයාගේ නැන්දණිය සමගයි උතුරු කොරියාවේ බලගතුම දේශපාලන නායකයෙක් වන ජැඞ් සොං තායෙක්, එරට වැදගත්ම ආණ්ඩුවේ ආයතනවලින් එකක් වන ජාතික ආරක්ෂක කොමිසමේ උප සභාපති පදවියෙන් පහ කොට තිබේ. දකුණු කොරියාවේ රහස් ඔත්තු ආයතනයෙන් ලැබුණු තොරතුරු පදනම් කර ගෙන ඒ බව අනාවරණය කොට තිබෙන්නේ දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින්. ජැඞ් සොං තායෙක් පදවියෙන් පහ කිරීමේ පුවත සනාථ කෙරුණ හොත්, එය උතුරු කොරියානු බල අධිකාරියේ බරපතල වෙනසක් සනිටුහන් කෙරෙන්නක්.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු ප්‍රධාන සිද්ධි 5ක් සම්බන්ධයෙන් අවිනිශ්චිත වාර්තා ඉදිරිපත් නොකරන ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට උපදෙස් දී තිබේ.
මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා වෙත අගෝස්තු 23 වන දා ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ, අදාළ සිද්ධි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කරන ලද වාර්තා අවිනිශ්චිත වාර්තා බව පෙනී යන බවය. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු ප්‍රධාන සිද්ධි 5ක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා කළ දැනුම් දීමට අනුව වැඩබලන පොලිස්පතිවරයා අගෝස්තු 21 වන දා ප්‍රතිචාර දක්වා තිබිණි. මේ පිළිබදව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරි රුවන් ගුණසේකර පැවසුවේ, අදාළ සිද්ධිවලට සම්බන්ධ විමර්ශන උධෘත මේ වන විටත් නීතිපතිවරයාට භාර දී ඇති බවය. කෙසේ වෙතත්, නීතිපතිවරයා අගෝස්තු 23 වන දා වැඩබලන පොලිස්පතිවරයා වෙත යැවූ ලිපියෙහි දැක්වුණේ, අදාළ වාර්තා සම්බන්ධයෙන් 'අසතුටුදායක තත්ත්වයක් පැන නැගී ඇති' බවය. ඊට බලපා ඇති කරුණු: • සම්පූර්ණ සාක්ෂි තත්ත්වය අපැහැදිලි වීම • ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, මුතූර් හිදී සහන සේවකයින් 17 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පිළිබදව පැහැදිලි අනාවරණයක් නොමැති වීම • විමර්ශනවල ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් කරුණු අනාවරණය නොවීම • විමර්ශන අවසන් කිරීමට ගත වන නිශ්චිත කාල සීමාව සදහන් නොකිරීම • නීතිපතිවරයාගෙන් අවශ්‍ය නෛතික උපදෙස් පැහැදිලිව සදහන් කර නොතිබීම • විමර්ශන ආරම්භ කර වසර ගණනක් ගත වුව ද විමර්ශන මෙතෙක් අවසන් නොවීම කෙසේ වෙතත්, මෙම සිද්ධි සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේදී ප්‍රමාදයක් සිදු වන්නේ ද යනුවෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකට ප්‍රතිචාර දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ, එවැනි ප්‍රමාදයක් නොමැති බවය. සිද්ධි 6ක් පිළිබද වාර්තා කැඳවයි මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු ප්‍රධාන සිද්ධි 6ක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවූයේ, මීට සති දෙකකට ඉහතදීය. ඒ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන විමර්ශන 5 ක් පිළිබඳ නීතිපතිවරයා විසින් ඉකුත් 15 වන දා පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද ලිපියකට ප්‍රතිචාර දක්වමිනි. නීතිපතිවරයා විමසා ඇති අදාළ විමර්ශන මෙසේය. 1. ලසන්ත වික්‍රමතුංග ඝාතනය 2. වසීම් තාජුඩීන් ඝාතනය 3. තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම 4. කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධිය 5. මුතූර් හිදී සහන සේවකයින් 17 දෙනෙකු ඝාතනය කිරීම එම සිද්ධි පහට අදාළ විමර්ශන ප්‍රමාදයකින් තොරව අවසන් කර, විමර්ශන උධෘත ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබිණ. ඊට අමතරව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය පිළිබදව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජෙෂ්‍යඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පොලිස්පතිවරයා කරුණු විමසා තිබිණි. වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම මේ අතර, කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමර‍සේකරට පසුගිය අගහරුවාදා (අගෝස්තු 27) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ අධිචෝදනා භාර දුන්නේ ය. ඒ, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙනි. අනතුරුව රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය. ඊට අදාළ නඩුව සැප්තැම්බර් 19 වන දා යළි කැඳවීමට නියමිතය. ගෝඨාභය රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ නම් කරනු ලැබුවේ, පසුගිය අගෝස්තු 11 වෙනිදා ය. නීතිපතිවරයා විසින් වාර්තා කැඳවන ලද ඉහත සිද්ධි සියල්ල ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධූරය දැරූ සමයේ සිදුවූ ඒවාය. 2015 ආණ්ඩු පෙරළියෙන් පසු ගෝඨාභය රාජපක්ෂ පරිපාලන හා දේශපාලන ක්‍ෂේත්‍රයෙන් ඈත් වී කටයුතු කළ අතර, ජනමාධ්‍ය ආයතනවලට සහ ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර දියත් වූ ඇතැම් ප්‍රහාර මෙන් ම දූෂණ වංචා සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල විය. කෙසේ නමුත් එකී චෝදනා ප්‍රතික්ෂේප කරන ගෝඨාභය රාජපක්ෂ තමන්ට එරෙහිව නැගෙන චෝදනා හඳුන්වනු ලබන්නේ දේශපාලන "පළිගැනීම් සහ මඩ ගැසීම්" ලෙසය. රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදු වූ බව පැවසෙන අපරාධ හා මූල්‍ය වංචා දූෂණ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ආරම්භ කළ අපරාධ හා මූල්‍ය පරීක්ෂණ කිහිපයකට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාගෙන් අවස්ථා කීපයකදී ප්‍රකාශ ලබා ගෙන තිබිණි. ඊට අමතරව, අමෙරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු වූ හෙයින් එරටේද ඔහුට එරෙහිව නඩු දෙකක් ගොනු කර ඇතැයි පසුගිය අප්‍රේල් මාසයේදී වාර්තා විය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය: සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට මාස කීපයකට පෙර සිදු වූ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සම්බන්ධයෙන් එවක ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගත්තේ 2018 වසර අගභාගයේදීය. ඊට අමතරව, සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු යැයි චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග ඇමෙරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් ගොනු කර ඇත. දෙමළ ජාතික තරුණයෙකු වධ හිංසාවට ලක්කිරීමේ චෝදනා මත ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) ද කැලිෆෝනියාවේ අධිකරණයක සිවිල් නඩුවක් පවරා තිබිණි. කෙසේ වෙතත්, එකී චෝදනා ප්‍රතික්ෂේප කළ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සිය නීතිඥයන්ට උපදෙස් දී ඇති බව පැවසීය. මූල්‍ය වංචා පිළිබඳ චෝදනා: ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි ඔහුට මූල්‍ය වංචා චෝදනාවක් එල්ල වී තිබේ. ඊට අදාළව නීතිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සත් දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නඩු පැවරූ නමුත් රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් ඔහුව අත්අඩංගුවට ගැනීම වළකා ඇත. රාජ්‍ය සම්පත් වැය කරමින් ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම, 'අවිධිමත් ක්‍රියාවලියක්' ලෙස, 2014 ට අදාළ විගණනයේ සඳහන් බව, එම කරුණ සම්බන්ධයෙන් 2018 පෙබරවාරි 6 වන දින නිකුත් කළ විශේෂ වාර්තාවේ විගණකාධිපතිවරයා සඳහන් කරයි. කෞතුකාගාරය ඉදිකෙරුණේ, ඩී ඒ රාජපක්ෂ පදනම හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාව සමග ඇති කර ගත් නීත්‍යනුකූල එකඟතාවක් මත වන බැවිනුත්, එසේ ම එය සිවිල් ගනුදෙනුවක් බවත් පවසමින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් චෝදනා ප්‍රතික්ෂේප කරමින් අධිකරණයට කරුණු දක්වා තිබිණි. ඇවන්ට් ගාර්ඩ් පාවෙන අවි ගබඩාව: 'ඇවන්ගාඩ්' පාවෙන අවි ගබඩාවට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකට චෝදනා එල්ල වී තිබේ 'ඇවන්ට් ගාර්ඩ්' පාවෙන අවි ගබඩාවට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට එල්ල වන චෝදනා යටතේ ද ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නඩු පවරා ඇත. ගිවි අවි පනතේ 27 (1) වගන්තිය යටතේ වරද කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම සිදුකර ඇති බවට ප්‍රමාණවත් කරුණු විමර්ශන සටහන් සහ ලේඛනමය සාක්ෂි අධ්‍යනයේදී පෙනෙන බව පොලිසිය පවසයි. ගාලු මුහුදේ නවතා තිබූ නෞකාවක තිබී එවක අවි ගබඩාවක් සොයා ගැනුණු අතර රක්නා ලංකා ආරක්ෂක සමාගමට අයත් යැයි සඳහන් වූ අවි ගබඩාවක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තිබිය දී සොයා ගන්නා ලදී. ජනාධිපතිවරණයෙන් අනතුරුවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දිගටම බලයේ රැදී සිටීමට හමුදාව යොදා ගෙන කුමන්ත්‍රණයක් දියත් කළ බවට එල්ල වන චෝදනාව සහ ගාල්ලේ ආයුධ තොගය අතර සම්බන්ධයක් පවතින්නේ දැයි විමර්ශන පවත්වන බව එවක පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසී සිංහල සේවයට එකල පැවසීය. මිග් යානා ගනුදෙනුව: ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහා මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් ද ගෝඨාභය රාජපක්ෂට චෝදනා එල්ල වී තිබේ. පසුගිය රජය සමයේ මත භේදයට තුඩු දුන් මිග් ගුවන් යානා මිලදී ගැනීමට අදාළ ප්‍රධාන ලේඛන අස්ථානගත වීම පිළිබඳව පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2016 අගෝස්තු 9 වන දා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියම කළේය. එම මිග් යානා ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කර ඇති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අයත් දේපළ කිහිපයක් විකිණීම, උකස් කිරීම සහ පැවරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. අතුරුදන් වීම්: 2008 වසරේදී අතුරුදන් වූ රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලකේශ්වරන් රාමලිංගම්, ජමාල්ඩීන් ඩිලාන් සහ මොහොමඞ් සාජිත් මේ අතර, පසුගිය රජය සමයේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධූරය දරද්දී සිදුවූ අතුරුදන් වීම් සම්බන්ධ පැමිණිලි ගණනාවක් ද පවතී. කොළඹ ජාත්‍යන්තර පාසලේ (CIS) ආදි ශිෂ්‍යයකු වූ රජීව් නාගනාදන් සහ ඔහුගේ මිතුරන් සිව් දෙනෙකු අතුරුදන්ව ඇත්තේ 2008 වසරේ සැප්තැම්බර් මස 17 වන දා සිටය. ප්‍රදීප් විශ්වනාදන්, තිලකේශ්වරන් රාමලිංගම්, ජමාල්ඩීන් ඩිලාන් සහ මොහොමඞ් සාජිත් අතුරුදන් සෙසු තරුණයෝ වෙති. මේ අතර, 2008 අගෝස්තු 08 වෙනිදා සිට සැප්තැම්බර් මස 17 වෙනිදා අතර කාලය තුළ කොටහේන, වැල්ලවත්ත, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුළු ස්ථාන කිහිපයකදී තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි. 2008 සහ 2009 අවධියේ තරුණයන් එකොළොස් දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගිය බවට ද පැමිණිලි තිබේ. කෙසේ වුවද, එවක රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත එල්ල කෙරෙන චෝදනා හුදෙක් දේශපාලන සහ ජාත්‍යන්තර උවමනාවන් මත ක්‍රියාත්මකවන පළිගැනීම් බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින ජාතිකවාදී කණ්ඩායම්වල අදහස වේ. මේ අතර, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවට තේරී පත්වුවහොත් අතුරුදන් වීම් පිළිබද විමර්ශන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවයට පැවසීය.
කුඩා බලු පැටවුන්, කොටි සහ සිංහ පැටවුන් එකට එක් වී සෙල්ලම් කරන ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධියට පත් වී තිබේ. මෙම සතුන් ජීවත් වන්නේ චීනයේ, බීජිං නුවර සත්වෝද්‍යානයකය.
පසුගිය සතියේ ලබාගත් මෙම ඡායාරූපවල 'ගෝල්ඩන් රිට්‍රීවර් (Golden Retriever)' වර්ගයේ කුඩා බලු පැටවුන්, කොටි සහ සිංහ පැටවුන් එකට සෙල්ලම් කරන ආකාරය දැකිය හැකිය. සයිබීරියන් කොටි, සුදු කොටි, තිත් සහිත හයිනා සහ අප්‍රිකානු සිංහයන් ඇතුළු පැටවුන් අට දෙනෙකු ඔවුන්ගේ මව්වරුන් විසින් අතහැර දමා ගොස් ඇත. මේ වන විට පැටවුන් සිල්ලන්ටම මව් කිරි ලබාදෙන්නේ සුනඛ මව බව වාර්තාවල සඳහන් වේ. පැටවුන් සියල්ල එකට හැදී වැඩී ඇති නිසා එකිනෙකාට සමීප වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටී. වලසුන්, කැන්ගරුවන් සහ වඳුරන් ඇතුළු අතහැර දැමූ පැටවුන් බොහොමයක් සාර්ථකව හදා වඩා ගැනීමට ඔවුනට හැකි වූ බව බීජිං සත්වෝද්‍යානය පවසයි. ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රචාරය වූ මෙම ඡායාරූප දහස් ගණනක් පිරිස අතරේ බෙදී ගොස් තිබේ. මේ තොරතුරුද කියවන්න:
ශ්‍රී ලංකා හමුදාව සහ දෙමළ කොටි සංවිධානය අතර පැවති යුද්ධයේ අවසාන අදියරේ දී සිදු වූ බවට වාර්තා වන යුද අපරාධ පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නට එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමසාරිස් වරිය නිර්දේශ කොට ඇති බව සති අන්ත ඉංග්‍රීසි පුවත් පතක් වාර්තා කොට තිබේ.
නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය ‘සන්ඩේ ටයිම්ස්’ පුවත් පත වාර්තා කරන්නේ ‘දිගින් දිගටම සත්‍යය තහවුරු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වූ බව’ පවසමින් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදන මෙන් නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලා ඇති බවයි. මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය ගේ නිර්දේශ අඩංගු වාර්තාවේ කෙටුම්පතක් ලැබී ඇති බව තහවුරු කළ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ සංදේශයට කියා සිටියේ අදාළ වාර්තාවට රජයේ ප්‍රතිචාර මේ වන විට යවා ඇති බවයි. ශ්‍රී ලංකා රජය දිගින් දිගටම කියා සිටියේ රජයේ හමුදා කිසිදු යුද අපරාධයක් සිදු කර නැති බවයි. නවී පිල්ලේ ගේ අවසන් වාර්තාව ඉදිරියේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල වෙබ් අඩවියේ පළ වීමට නියමිත බව ‘සන්ඩේ ටයිම්ස්’ උපදේශක කර්තෘ ඉක්බාල් අතාස් සංදේශයට කියා සිටියේය.
ලොව විශාලතම රේඩියෝ දුරේක්ෂය ඉදි කිරීමට නියමිත භූමි ප්‍රදේශයේ වෙසෙන දස දහසකට ආසන්න පිරිසක් ඉවත් කිරීමට චීනය කටයුතු සුදානම් කරමින් සිටියි.
මෙම දුරේක්ෂය ඉදි කෙරෙන්නේ අභ්‍යාවකාශයෙන් නිකුත් වන ශබ්ද සංඥා හසු කර ගැනීම සඳහායි. විශ්වය තුළ බුද්ධිමත් ජීවයක් සෙවීමේ උත්සාහයට රේඩියෝ දුරේක්ෂය සහාය වනු ඇති බව ව්‍යාපෘතිය භාර ප්‍රධාන විද්‍යාඥයින් එරට රජයේ රූපවාහිනියට පවසා තිබේ. මෙම දුරේක්ෂයේ කාච විවරය මීටර පන්සියයක විශ්කම්භයක් සහිතයි. ප්‍රදේශවාසීන් ඉවත් කිරීමට චීන රජය තීරණය ගෙන ඇත්තේ දුරේක්ෂයේ විද්‍යුත් චුම්බක තරංගවලට මිනිස් ක්‍රියාකාරකම් මගින් බාධා එල්ල වීම වළක්වා ගැනීම සඳහායි. නිරිත දිග ගුයිෂෝ පළාතේ (Guizhou) වැසියන්, දුරේක්ෂය ඉදි කිරීමට නියමිත භූමි ප්‍රදේශයෙන් බැහැර, වෙනත් ප්‍රදේශයක මාස හයක් ඇතුළත යළි පදිංචි කර වීමට නියමිත බවයි බලධාරීන් කියා සිටියේ.
බෞද්ධ භික්ෂූන් වහන්සේලා දියවැඩියාව සහ හෘද රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
ඇමතිවරයා ඒ බව කියා සිටියේ ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන පිළිබඳ මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් දැනුවත් කිරීමෙන් අනතුරුව මාධවේදීන් අමතමිනි. සංඝ සමාජයේ 60% කට අධික පිරිසක් දියවැඩියාව සහ හෘදයාබාධවලින් පෙළෙන බව සෞඛ්‍ය වාර්තාවල සඳහන් වන බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. බෞද්ධ සම්ප්‍රදායේ ව්‍යායාම යොදා ගැනීමෙන් මෙවැනි තත්වයන් වළක්වා ගත හැකි බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පෙන්වා දෙයි.
පසුගියදා පන්නිපිටිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකු විසින් ලොරි රථ රියදුරෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝ දර්ශනයක් සමාජ මධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මෙසේ පහර දීමට පොලිස් නිලධාරීන්ට හැකිද? ප්‍රසිද්ධියේ මෙසේ පහර දෙන්නේනම් පොලීසිය තුළ දී සැකකරුවන් ඇතුළු පුද්ගලයින්ට මුහුණ දීමට සිදුවන තත්ත්වය කුමක්දැයි යන්න පිළිබඳ බොහෝ දෙනා අවධානය යොමු කරති.
අදාළ ලොරි රථ රියදුරු, මාර්ගයේ වාහන හසුරවමින් සිටි මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව අනතුරකට ලක්කර පලායාම හේතුවෙන් මෙසේ පහර දීමට ලක්වූ බවට වර්තාවුවත් එසේ වැරදි කරුවන්ට පහරදීමට පොලිස් නිලධාරීන්ට අයිතියක් තිබේද යන්න සමාජය තුළ සාකච්ඡාවට ලක්ව තිබේ. මම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා වැඩ තහනමකට ලක් කර ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිස් ප්‍රකාශක පැවසීය. එහෙත් එයට සති කිහිපයකට පෙර මෙවැනිම තවත් සිදුවීමක් වාර්තා වූයේ පෑලියගොඩ පොලිස් ස්ථානයේ දී ය. එහිදී ද පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දුන් පොලිස් නිලධාරියා වැඩ තනමකට ලක් කෙරිණි. උප පොලිස් පරීක්ෂකවරයෙකු වීමේ බලාපොරොත්තුවෙන් සිටි උසස් පෙළ සිසුවෙකු, ගංජා වෙළෙඳාමේ යෙදුණු බවට කෙරුණු අසත්‍ය පැමිණිල්ලක් මත ගොකරැල්ල පොලීසිය විසින් මාර්තු මාසයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හේතුවෙන් එම සිසුවාට උසස් පෙළ විභාගය ද අහිමි වූ බවට ඔහුගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරති. පසුගිය ජනවාරි මාසයේදී හක්මන පොලිසියේ අමානුෂික වධහිංසාවන්ට ලක්වූ බව කියන තරුණයකු සිය අත්දැකීම් විස්තර කරමින් පැවසුවේ තමන් බොරු පැමිණිල්ලක් මත පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදුව කෲර වද හිංසාවන්ට ලක් කළ බවය. 'රයිට් ටු ලයිෆ්' නම් මානව හිමිකම් සංවිධානයේ නීතිඥ දුලාන් දසනායක බීබීසී සිංහල සේවයට පැවසූවේ කන්තලේ ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල සිසුවකු මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගත් බවට චෝදනා නගමින් මාස ගණනක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර නඩු පැවරුණු බවය. එහෙත් ඔහු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සොයාගත නොහැකි වූ බව රසපරීක්ෂක වර්තාවෙන් හෙළි වූ අතර මාස තුන හතරකින් ඔහු නිදොස් කොට නිදහස් කෙරුණු බව නීතිඥ දුලාන් දසනායක කීය. තවත් සිදුවීමක් ගෙන හැර දැක්වූ ඔහු, ඊයේ (අප්‍රේල් 07) කොළඹ මරදාන ප්‍රදේශයේ පැවති විරෝධතාවක් ආවරණය කළ නිදහස් ඡායාරූප ශිල්පියකු වන මාලික අබේකෝන් අත්අඩංගුවට ගැනුණු බවටත් පොලිස් අත්අඩංගුවේදී පහරදීමට ලක්වූ බවටත් චෝදනා නැගෙන බව සඳහන් කළේය. ඝාතන, වධහිංසා "රැල්ලක් ද?" නීතිය දැනගමු ද? "අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, රඳවා ගැනීම් සහ වධ හිංසා" වධ හිංසා: පොලිස් කොමිසමෙන් නව පියවරක් පොලිස් පහරදීම් සහ අත්අඩංගුවට ගැනීම්: ඔබ සතු අයිතීන් මොනවා ද? "මේ වන විට පොලිස් කෲරත්වයේ වර්ධනයක් පෙන්නුම් කරනවා ඒක වෙන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති එක්ක තමයි. ඔය "war on drugs" කියන එක, ඒක නිසා පොලීසියට නොකියා යම් බලයක් ලැබුණා. පොලිසියට තමන්ගේ බලය පාවිච්චි කිරීම පිළිබඳව පොඩි වලංගුතාවක් දුන්නා. එකයි මගේ අදහස," වධහිංසාවෙන් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණින් සිවිල් සංවිධාන 27ක් සහ සිවිල් පුරවැසියන්ගෙන් සමන්විතව පිහිටුවා ගත් වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව පවසන්නේ මේ වසරේ පළමු මාස දෙක අවසන් වන විට වධහිංසන සම්බන්ධ පැමිණිලි 13ක් වැනි ඉතා ඉහළ අගයක් වාර්තා වීම තුළින් පොලිස් වධහිංසනවල කණගාටුදායක ලෙස ඉහළ යමක් පෙන්නුම් කරන බවය. ඔවුන් පෙන්වා දෙන පරිදි එම සිද්ධීන් 13 වාර්තාවන්නේ මෙසේය; ගම්පහ දිස්ත්‍රික්කය පෑලියගොඩ පොලිසිය - 03 ගාල්ල දිස්ත්‍රික්කය පිටිගල පොලිසිය - 01 මාතර දිස්ත්‍රික්කය හක්මන පොලීසිය - 01 හම්බන්තොට දිස්ත්‍රික්කය වලස්මුල්ල පොලිසිය - 01 තංගල්ල පොලිසිය - 01 කුරුණෑගල දිස්ත්‍රික්කය පොතුහැර පොලිසිය - 01 වැල්ලව පොලිසිය - 01 කළුතර දිස්ත්‍රික්කය අලුත්ගම පොලිසිය - 01 කොස්ගොඩ පොලිසිය - 01 පයාගල පොලිසිය - 01 පොළොන්නරුව දිස්ත්‍රික්කය අරලගංවිල පොලිසිය - 01 'රයිට් ටු ලයිෆ්' මානව හිමිකම් සංවිධානය විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව පෙන්නුම් කෙරුණේ 2019 මාර්තු මස 28 වන දින වන විට නීතිපති දෙපාර්තමේන්තුව විසින් මහාධිකරණයන්හි අධිචෝදනා ගොනු කර ඇති නඩු ප්‍රමාණය 115 ක් බව යැයි නීතිඥ දුලාන් දසනායක බීබීසී සිංහල සේවයට පැවසීය. ඔහු තවදුරත් පැවසුවේ මේ වන විට මෙම අධි චෝදනා ගොනු කළ නඩු 115න් 34කට නඩු තීන්දු ලබා දී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන පෙන්වන බවයි. ආසියානු මානව හිමිකම් කවුන්සිලයේ බැසිල් ප්‍රනාන්දු ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සැකකරුවන්ට වධහිංසා පමුණුවන්නේ ඇයි? යනුවෙන් නිකුත් කළ වාර්තාවන් දෙකකින් පවසන්නේ පොලිස් නිලධාරීන් අපරාධ පරීක්ෂණ කාර්යයක නියැලී නීතිය පසිඳලීමට වෙහෙසවනවාට වඩා ඔවුන් යම් පුද්ගලයන්ගේ සහකරුවන් වී ප්‍රශ්ණය පෞද්ගලිකව විසඳාගැනීමට කටයුතු කිරීමට යෑම නිසා මෙම තත්ත්වය හටගෙන ඇති බවය. මෙසේ වීමට කරුණු කිහිපයක් බලපෑ හැකි බවත් ඒවානම් තමන්ට පෞද්ගලික වාසි ලබා ගැනීම එනඑනම් කප්පම් ලබාගැනීම, මුදල් ලබාගැනීම හෝ උසස්වීම් හෝ නොයෙකුත් වරප්‍රසාද අපේක්ෂාවෙන් මෙසේ වින්දිතයන් කෲර වද හිංසනයට ලක්කරන බව ද පෙන්වා දෙයි. කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බවය. "පොලීසියට පැමිණිල්ලක් ආපුවහම තමයි අත්අඩංගුවට ගන්නේ බොරුවට නෙමයි. එහෙම දෙයක් නෑ අපි ඒ චෝදනා ප්‍රතික්ශේප කරනවා. හැබැයි අපිට එහෙම සිද්ධියක් වාර්තා උනොත් අපි ඒ ගැන විමර්ශණය කරනවා. බලය යුතු ලෙස හෝ වැඩිපුර පාවිච්චි කරන එක වෙන්න පුළුවන්. හිතාමතා ටෝචර් (වධහිංසා පැමිණවීම) කරන එක අපි නවත්තලා තියෙනවා. එහෙම සිද්ධීන් තවදුරත් සිද්ධවෙනවනම් අපි ඒ අයට විරුද්ධව ක්‍රියා කරනවා," යනුවෙන් අජිත් රෝහණ පැවසීය. වදහිංසාවට එරෙහිව ශ්‍රී ලංකාවේ ඇති නීතිය කුමක්ද ? වර්ෂ 1883 සිට වධහිංසාවට එරෙහිව ශ්‍රී ලංකාවේ යම් ආකාරයකට නීති පනවා තිබූ අතර එය සිදුවී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය සංයුක්ත වන දණ්ඩ නීති සංග්‍ර‍රහය තුළින් බව නීති විශාරදයෝ පෙන්වා දෙති. දණ්ඩ නීති සංග්‍ර‍හයේ 310 සිට 329 දක්වා වූ වගන්ති තුළින් යම් පුද්ගලයකු තවත් පුද්ගලයකුට එරෙහිව වධහිංසනයකට සමාන හානියක් කිරීම දඩුවම් ලැබිය යුතු අපරාධ වරදක් බවට පත් කර ඇති අතර එහිදී වධහිංසාව සිදු කරන්නා සාමාන්‍ය පුද්ගලයකුද එසේ නැතහොත් රජයේ නිලධාරියෙක්ද යන බෙදීම සිදු නොකෙරේ. 1978 සිට බලපැවැත්වෙන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් වධහිංසාවෙන් හා වෙනත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකීම්වලින් හෝ දඩුවම්වලින් වැළකී සිටීමේ අයිතිය මෙරට පුරවැසියන්ට පමණක් නොව සියලුම තැනැත්තන්ට හිමි වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව මගිනි. විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වෙනි ව්‍යවස්ථාව මගින් ඉහත කී අයිතිවාසිකම ඇතුලු අනෙකුත් සඳහන් කර ඇති මූලික අයිතිවාසිකම් කඩ වූ හෝ කඩවීමට අත්‍යාසන්න තත්ත්වයකදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරමින් කටයුතු කිරීමේ හැකියාව ලබා දී ඇත. මෙම 126 වන ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා ඇත. කෙනෙක් වධයට පත් කිරීම අපරාධමය වරදක් බවට පත් කරමින් වධහිංසාවට එරෙහිව ප්‍රබල සෘජු නීති රාමුවක් සැකසුණේ වර්ෂ 1994 නොවැම්බර් මස 25 වෙනි දින පාර්ලිමේන්තුවේදී සම්මත කර වර්ෂ 1994 දෙසැම්බර් මස 20 වෙනි දින සිට බලාත්මක වූ 1994 අංක 22 දරණ වධදීමට හා අනෙකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකීම්වලට හෝ දඩුවම්වලට එරෙහිව වූ සම්මුති පනත මගිනි. වධහිංසාවට හා අනෙකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැළකීම්වලට හෝ දඩුවම්වලට එරෙහි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතිය වර්ෂ 1984 දෙසැම්බර් මස 10 වෙනි දින 39/46 යෝජනාව මගින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සම්මත විය. එය එදින සිට එකී සම්මුතිය අත්සන් කිරීම සඳහා හා අපරානුමත කිරීම සඳහා සාමාජික රාජ්‍යයන්ට විවෘත වූ අතර එකී සම්මුතිය වර්ෂ 1987 ජූනි 26 වෙනි දින සිට බලාත්මක විය. වර්ෂ 1993 දෙසැම්බර් මස 29 වෙනි දින එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙත තැන්පත් කරන ලද සාධන පත්‍රයක් මගින් ශ්‍රී ලංකාව වර්ෂ 1994 ජනවාරි මස 03 වෙනි දින සිට මෙම සම්මුතිය පිළිගැනීමට කටයුතු කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවට අදාළව මෙම සම්මුතිය බලාත්මක වීම ආරම්භ වූයේ වර්ෂ 1994 පෙබරවාරි මස 02 වෙනි දින සිටය. මෙම ජාත්‍යන්තර සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවට ඇති බැඳීම් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ව්‍යවස්ථාමය විධිවිධාන පැනවීමට ශ්‍රී ලංකා රජය විසින් 1994 අංක 22 දරණ වධදීමට හා අනෙකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකීම්වලට හෝ දඩුවම්වලට එරෙහිව වූ සම්මුති පනත පාර්ලිමේන්තුවේදී 1994 නොවැම්බර් මස 25වන දින සම්මත වූ අතර සහතිකය සටහන් කරමින් පනත බලාත්මක වූයේ 1994 දෙසැම්බර් මස 20 වන දින සිටය. එකී පනතේ පූර්විකාවේද පැහැදිලිව දැක්වෙන්නේ වධ දීමට හා අනෙකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැළකීම්වලට හෝ දඩුවම්වලට එරෙහි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතිය ඵල ගැන්වීම සඳහා හා ඊට සම්බන්ධ වෙනත් අනුශංගික කරුණු සඳහා පනවන ලද පනතක් බවය. මෙම පනත පැනවීමත් සමග වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකාවේ නීති තත්ත්වය වඩාත් පුලුල් සහ සෘජු මට්ටමකට පැමිණිනි. මෙයට පෙර විධායක හා පරිපාලන ක්‍රියාවක් මගින් සිදු කරන වධහිංසාවෙන් හා වෙනත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකීම්වලින් හෝ දඩුවම්වලින් වැළකී සිටීමේ අයිතිය තහවුරු වී තිබුණු අතර දණ්ඩ නීති සංග්‍ර‍හය මගින්ද යම් අයකු වධයකට කෲරත්වයට ලක් කිරීම සෘජුව නොවුනද වක්‍රාකාරයෙන් අපරාධමය වරදකට ලක් කිරීමට හැකියාව ලබා දී ඇති බවට නීති විශාරදයෝ පෙන්වා දෙති. මෙම 1994 අංක 22 දරණ පනත පැනවීමත් සමග යම් අයකු වධයකට හෝ/හා වෙනත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකීම්වලින් හෝ දඩුවම්වලට ලක් කිරීම සෘජු ලෙසම අපරාධමය වරදක් බවට පත් කරන ලද බවට ඔවුහු කියා සිටිති. මෙම පනත යටතේ වරද සිදු කරන සැකකරුවන් හට නඩු පැවරීමේ වගකීම පැවරෙන්නේ නීතිපතිවරයාට වන අතර ඒ අනුව මේ පනත යටතේ මේ දක්වා නීතිපති වරයා විසින් මහාධිකරණයේ නඩු පැවරීම සිදු කරගෙන යනු ලබයි. මෙම පනතේ දෙවෙනි වගන්තියේ පළමුවන උප වගන්තියට (2 (1)) අනුව යම් තැනැත්තකුට වධ දෙන තවත් තැනැත්තෙක් මෙම පනත යටතේ වරදකට වරදකරු වෙයි. ඒ අනුව වධ දීම වරදක් ලෙසට ශ්‍රී ලංකාව පිළිගෙන ඇතිවා පමණක් නොව එකී 2 (2) උපවගන්තියට අනුව වධ දීමක් සිදු කිරීමට තැත් කරන, ඒ සදහා ආධාර අනුබල දෙන, හෝ වද දීමට කුමන්ත්‍ර‍රණය කරන තැනැත්තෙකුද වරදකරුවන් වේ. මෙම පනතේ 2(4) වගන්තිය අනුව නඩු පැවරිය යුත්තේ මහාධිකරණයේ බවත් නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබුවහොත් වසර හතකට නොඅඩු හා වසර 10කට නොවැඩි කාලයකට දෙආකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාරගත කිරීමකට හා රුපියල් දසදහසකට නොඅඩු රුපියල් පනස්දහසකට නොවැඩි දඩයකට යටත් කළ හැකි බව දක්වයි.
දේශපාලන රැකවරණය සඳහා අයැදුම් කොට ප්‍රතික්ෂේප වූ සිරියානු ජාතිකයකු විසින් දකුණු දිග ජර්මනියේ සංගීත සැණකෙළියක් අසලදී බෝම්බයක් පුපුරවා හැරීමෙන් දොළොස් දෙනකු තුවාල ලබා තිබේ.
සිරියානු ජාතිකයා විසූ නිවස ආසන්නයේ මාර්ගයක ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන් බෝම්බය පුපුරවා ගත් විසි හත් හැවිරිදි සිරියානු ජාතිකයා මරුමුවට පත් වී ඇති බව බලධාරීහු පවසති. ඒ සමග දෙදහස් පන්සීයක පමණ පිරිසක් සැණකෙළි භූමියෙන් ඉවත් කොට තිබේ. ඇන්ස්බැක් නගරයේ පැවති සංගීත සැණකෙළියට ඇතුළු වීමට ඉහත කී පුද්ගලයාට අවසර ලබා දී නොමැති බවත් අනතුරුව ඔහු විසින් සිය ගමන් මල්ල තුළ වූ බෝම්බය පුපුරවා හැර ඇති බවත් බැවේරියා ප්‍රාන්තයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා කියා සිටියේය. ඉහත කී පුද්ගලයාගේ දේශපාලන රැකවරණය අයදුම්පත මීට වසරකට ඉහත දී ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති අතර වසරක කාලයක් තාවකාලිකව ජර්මනියේ රැඳී සිටීමට ඔහුට ඉඩ ලබා දී ඇති බවත් අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සඳහන් කළේය. ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඔහු මීට ඉහත අවස්ථා දෙකකදී සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කොට ඇති බවයි. සතියක් ඇතුළත බැවේරියා ප්‍රාන්තයේ සිදු වූ තෙවන ප්‍රහාරය මෙයයි.
ශ්‍රී ලංකාවේ කැබිනට් සංශෝධනයක් සඳහා සුදුසු කාලය එළඹී ඇතැයි විශ්වාස කරන බව විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරළ පවසයි.
ඇමතිනිය ඒ බව ප්‍රකාශ කළේ කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැවති උත්වයකින් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. "මම හිතනවා මේක හොඳ වෙලාව සහ කළයුතුයි කියලා. ඒ ගැන ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් යම් තීරණයකට ඇවිල්ලා තියනවා කියලා මගේ විශ්වාසය," යනුවෙන්ද ඇමතිනිය සඳහන් කළාය.
මහා මමු ලෙබනනයේ උපත ලැබූ සිරියානු ජාතික තරුණියකි.
එහෙත් ඇයට, ඇයගේ සොහොයුරාට සහ සොහොයුරියට සිරියාවේ පුරවැසිභාවය අහිමිය. ඒ ඔවුන්ගේ මව ඉස්ලාම් භක්තික කාන්තාවක සහ පියා ක්‍රිස්තියානි භක්තිකයෙකු වීම හේතුවෙනි. මිශ්‍ර විවාහයක් බැවින් ඔවුන් දෙදෙනා අතර විවාහය සිරියානු බලධාරීන් පිළිනොගැනීම එයට හේතුවයි. සිරියාවේ අඹු සැමි යුවලක් අතර විවාහය නිල වශයෙන් පිළිනොගන්නේ නම් ඔවුන්ට දාව උපත ලබන දරුවන්ට එරට පුරවැසිභාවය හිමි නොවේ. ඔවුන්ට පුරවැසිභාවය ලබාදීම ලෙබනනය ද ප්‍රතික්ෂේප කරයි. "මට රටක් නෑ," මහා පවසන්නීය. "ඒ නිසා මම ලෙබනන් ජාතිකයෙකුත් නෙවෙයි, සිරියානු ජාතිකයෙකුත් නෙවෙයි." මිශ්‍ර විවාහයක දරුවෙකු වීම හේතුවෙන් රටක් අහිමිවීම මේ ගැටලුව හේතුවෙන් තෙවසරකට ආසන්න කාලයක් මුළුල්ලේම ඇයට සිය මව දැකගැනීමට ද නොලැබිණ. පුරවැසිභාවයක් අහිමි බැවින් කිසිදු විදෙස් චාරිකාවක නිරතවීම පමණක් නොව රෝගාබාධයකට ප්‍රතිකාර ගැනීම පිණිස ජාතික සෞඛ්‍ය සේවයේ පිහිට පැතීමේ අවස්ථාව ද ඔවුන්ට අහිමි කරනු ලැබ තිබුණි. "මගේ දුක කියමින් මම හැම රටකම තානාපති කාර්යාලවලට ගියා," මහා පවසන්නීය. "අපිව පිළිගත්තේ බ්‍රසීලය විතරයි." දේශපාලන අනාථයන් ලෙසින් බ්‍රසීලය විසින් ඔවුන් භාරගනු ලැබීමෙන් අනතුරුව පැය 48 ක් ඇතුළත ලෙබනනයෙන් පිටවන මෙන් මහා සහ ඇයගේ සොහොයුරාටත් සොහොයුරියටත් දන්වනු ලැබිණ. වහාම ෆේස්බුක් පිහිට පැතූ ඔවුහු බ්‍රසීලයේ දී තමන් භාරගැනීමට කැමති කාන්තාවක සොයා ගත්හ. ඇය එමිලින්ය. මහා දැන් බ්‍රසීලයේ ගොවිපොලක සේවය කරමින් සිටියි. ඔවුහු බ්‍රසීලයට පැමිණ මේ වනවිට දෙවසරක් සහ මාස දහයක් ගත වී ගොසිනි. තෙවසරකට ආසන්න කාලයක් සිය දරු තිදෙනා නොදුටු ඔවුන්ගේ මව ද ඔවුන් සොයා බ්‍රසීලයට පැමිණියාය. එහෙත් මව පැමිණෙන විට දරු තිදෙනා අතරින් එක් දරුවෙක් මෙලොව හැර ගොසිනි. බ්‍රසීලයේදී මහා ගේ සොහොයුරා පැළඳ සිටි අත් ඔරලෝසුව පැහැර ගැනීමට පැමිණි සොර මුලක් ඔහුට වෙඩි තබා මරා දමා තිබුණි. "මාව පිළිගත්තේ මේ රට විතරයි," මහා පවසන්නේ සතුට සහ ශෝකය මිශ්‍ර හැඟීමකින් බ්‍රසීලයේ සිය මිතුරිය, එමිලින්, වැළඳ ගනිමිනි.
ශ්‍රී ලංකාවේ යුද අපරාධ චෝදනා සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංවිධානයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලා සිටියි.
හෙලේනා කෙනඩි ලන්ඩනය මුලස්ථාන කොට ගත් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ මානව හිමිකම් ආයතනය (IBAHRI) බ්‍රහස්පතින්දා තම ඉල්ලීම ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ මහ කොමසාරිස් නවී පිල්ලේ විසින් ප්‍රකාශයට පත් කරන ලද අලුත්ම වාර්තාවෙන් යෝජනා කොට ඇති පරිදි අතීත මානව හිමිකම් නීති උල්ලංඝන ද විභාග කළ යුතු බවයි. රජය හා එල්ටීටී ඊය අතර සන්නද්ධ ගැටුම හමාර වීමෙන් අනතුරුව විධායක බලය සම්බන්ධ සංවරණ හා තුලන විධිවිධාන ක්‍රමානුකුලව ඉවත් කෙරෙන බව IBAHRI සම සභාපතිනි හෙලේනා කෙනඩි පවසන්නීය. ශ්‍රී ලංකාවේ ස්වාධීන අධිකරණයක් නොමැති බවට චෝදනා කරන ඇය, එසේ හෙයින්, ‘මානව හිමිකම් උල්ලංඝන හා යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට කිරීමට ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය කිහිප වර අසමත් වී ඇතැ’යි වැඩිදුරටත් පවසා තිබේ.
පසුගිය වසර 20ක ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ ඉතිහාසය:
වසර 20කට පසු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයෙකු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටී. ඒ, එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායකය. කෙසේ වෙතත්, මෙවර අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට තරග කරනුයේ ජනතා විමුක්ති පෙරමුණ යටතේ නොවේ. බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේගය සමග එක්ව සිටින පාර්ශව සමග ඇති කර ගන්නා පෙරමුණක් යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවය. ජාතික ජන බලවේගය නිර්මාණය වී ඇත්තේ, කණ්ඩායම් 28ක එකතුවකිනි. තෝරා ගත්තේ සුදුසු අපේක්ෂකයා නොවේ ද? ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක තෝරා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළ වී තිබිණි. ඇතැමෙකු පවසා තිබුණේ, "ගොඩ නැගෙන්න තිබුණු ලක්ෂ 25 ක විතර මහා ජන එකමුතුවක් එක සැණෙන් පුරුදු ලක්ෂ 5 ට ම නැවත කඩං වැටුණු," බවය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුනන්දා ප්‍රේමසිරි ෆේස්බුක්හි පළ කර තිබූ අදහසකින් කියවුණේ, අනුර කුමාර දිසානායක විවේචනය කරන්නන් විකල්පයක් යෝජනා නොකරන බවය. මේ අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය සුමිත් චාමින්ද ෆේස්බුක් ඔස්සේ පළ කර තිබුණේ, "ජනාධිපති ධූර අපේක්ෂකයා සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය අද ගත්තේ ඉතා ම වැරදි තීරණයක්," යනුවෙනි. ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක නම් කිරීම වැරදි තීරණයක් ද? ඔහු තෝරා ගනු ලැබුවේ කුමන පදනමක් මත ද? යන්න පිළිබඳව බීබීසී සිංහල සේවය ජාතික ජන බලවේගයට සහය දක්වන ප්‍රමුඛ පෙළේ විද්වතුන් දෙදෙනෙකුගේ අදහස් විමසීය. ආචාර්ය හරිනි අමරසූරියගේ අදහස: ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තිරසර සංවර්ධනය පිළිබඳ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය ද ජාතික ජන බලවේගයට සහය පළ කරන විද්වත් මණ්ඩලයට අයත් වේ. ඇය බීබීසී සිංහල සේවයට පැවසුවේ, "පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා විකල්පයක් සෙවීමට සිදුවූ," බවය. "මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය සහ සාධාරණත්වය කියන දේවල් ප්‍රධාන පක්ෂ දෙකෙන් අපේක්ෂා කරන්න බැහැ. අපි අපේක්ෂා කළා 2015දී ඒ වෙනස සිදු වෙයි කියලා. ඒත් ඒක වුණේ නැහැ. ඒ නිසා අපි තීරණය කළා ඒ දේවල් ආරක්ෂා කරන්න පුළුවන් විකල්පයකට සහය දෙන්න." ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂකයා සම්බන්ධයෙන් තමන්ට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවය. "ජනාධිපති ධූරය දේශපාලන අත්දැකීම් නැති කෙනෙකුට කරන්න බැහැ. ඒකට දේශපාලන අත්දැකීම් තියෙන කෙනෙක් අවශ්‍යයි. හිටපු ගමන් මතු වෙන තාරකා හරියන්නේ නෑ. ඒ නිසා මේ බලවේගය සමග එක් වෙලා ඉන්න කණ්ඩායම් 28 ම සාකච්ඡා කරලා හැමෝගෙ ම කැමැත්ත මතයි අනුර කුමාර දිසානායක නම් කළේ. අනුර කුමාර දිසානායක නම් කිරීම සුදුසු නැහැ කියල සමාජ මාධ්‍යවල පළවෙන අදහස් මම පිළිගන්නේ නැහැ." මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ අදහස: මහාචාර්ය ලියනගේ අමරකීර්ති "අපි ජාතික ජන බලවේගය ගොඩනැගුවේ අවුරුදු කීපයකට පෙර ඉඳන්. නිදහසෙන් පස්සේ රට පාලනය කරපු කණ්ඩායම් රට පාලනය කරපු ආකාරය වෙනස් කළ යුතුයි කියන මතයේ ඉඳන් තමයි අපි මේ බලවේගය ගොඩ නැගුවේ," පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති බීබීසී සිංහල සේවයට පැවසීය. ඔහු ප්‍රකාශ කළේ, ජනතා විමුක්ති පෙරමුණේ සංවිධාන ශක්තිය භාවිත කරමින් යම් වෙනසක් සිදු කිරීම සඳහා අනුර කුමාර දිසානායක අපේක්ෂකත්වයට නම් කළ බවය. "දැන් තියෙන ජනතා විමුක්ති පෙරමුණ 88/89 කාලේ තිබුණ ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයි. 1994 ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණීමෙන් පසු ඔවුන් හොඳ අතට වෙනස් වුණා. ඒ වගේ ම ජනතා විමුක්ති පෙරමුණ තමයි බිම් මට්ටමේ හොඳ ම සංවිධාන ශක්තියක් හිමි පක්ෂය. ඒ නිසා මම හිතනවා ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක ඉදිරිපත් කිරීම සුදුසුයි කියලා. සර්ව සම්පූර්ණ අපේක්ෂකයෝ ලෝකේ කොහේවත් නෑ. අපි තෝර ගන්න ඕන වඩාත් හොඳ පුද්ගලයායි." ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනම 2015 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණට හිමි වූයේ, 4.87%ක ඡන්ද ප්‍රතිශතයකි. 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ප්‍රතිශතය 5.75%ක් විය. කෙසේ වෙතත්, පසුගිය ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහය දුන් කලාකරුවන් සහ විද්වතුන් රැසක් මෙවර ජාතික ජන බලවේගය සමග එක්ව සිටිනු ඉරිදා (අගෝස්තු 18) පැවති රැලියේදී දක්නට ලැබිණි. තවදුරටත් කියවන්න.
විරුද්ධ පක්ෂ සන්ධානයේ පොදු අපේක්ෂකයන් ලෙසින් ඉදිරියෙන්ම සිටින චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය හෝ කරු ජයසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂට ප්‍රබල අභියෝගයක් වනු නැති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසයි.
හිටපු ජනාධිපතිනියට එක්සත් ජාතික පක්ෂයේ ග්‍රාමීය කොටස්වල සහාය ලැබෙනු නැති බව කුසල් පෙරේරා ගේ මතයයි විශේෂයෙන්ම හිටපු ජනාධිපතිනියට ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන්ගේ සහාය ලැබෙනු නැති බව ඔහු බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය. එමෙන්ම කරු ජයසූරීය මන්ත්‍රීවරයා පොදු අපේක්ෂකයා බවට පත්වුවහොත් ඔහු විසින් දියත් කරනු ඇත්තේ 'සිංහලවාදී මැතිවරණ ව්‍යාපාරයක්' බව දේශපාලන විශ්ලේෂකයකුද වන මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසයි. "අනෙක් කාරණය තමයි, මේ කියන ඔක්කොම සිංහල දකුණට පොදු අපේක්ෂකයෝ. රටට පොදු අපේක්ෂකයෝ නෙවෙයි," යනුවෙන්ද ඔහු සඳහන් කළේය. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ න්‍යායපත්‍රය දැඩි විවේචනයට ලක් කරන කුසල් පෙරේරා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට රටේ යලිත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාවේ සියලු ප්‍රශ්නවලට විසඳුම නොවන බව අවධාරණය කරයි. රටේ දැවෙන ප්‍රශ්නවලට අවශ්‍ය විසඳුම් සෙවීම පිණිස පුළුල් කතිකාවතක අවශ්‍යතාවය අවධාරණය කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසන්නේ විපක්ෂ සන්ධානය විසින් ඒ කතිකාවත සඳහා වූ අවකාශය අහුරා දමනු ලැබ තිබෙන බවයි.
සිරිකොත ප්‍රහාරය ඇතුළු වෙනත් බොහෝ ගැටුම්වලට සහභාගි වූ මැරයන් අලුත්ගම සහ බේරුවල ගැටුම්වලටත් සම්බන්ධ වූ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
ප්‍රහාරවලට පැමිණි පිරිස් මේ වන විට හඳුනා ගෙන ඇති බව පැවසූ විපක්ෂනායකවරයා මින් ඉදිරියට මෙවැනි ක්‍රියා සිදුවීමට ඉඩ නොතබන බවයි ගැටුම් වලින් පීඩාවට පත් ජනතාව ඉදිරියේ අවධාරණය කර සිටියේ. ගැටුම්වලින් හානියට පත් බේරුවල සහ අලුත්ගම ප්‍රදේශවල සංචාරයක නිරත වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයා ඒ බව කියා සිටියේය. හානියට පත් නගර යළි ගොඩනැගීමට පෙර ගැටුම්වලට සහභාගී වූ හා ගැටුම් මෙහෙයවූ පුද්ගලයන්ට දඬුවම් ලබා දිය යුතු බව ප්‍රදේශවාසීහු විපක්ෂනායකවරයා ඉදිරියේ ප්‍රකාශ කළ බව මාධ්‍යවේදී රත්න ශ්‍රී ගමගේ සංදේශයට කියා සිටියේය. අලුත්ගම සහ බේරුවල පැවති ගැටුම් සහ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරන බවත් විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
ලෝකයේ ගොඩබිම භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 149 කි.
එයින් හතෙන් එකක්, නො එසේනම් වර්ග කිලෝමීටර මිලියන 22 කට වැඩි ප්‍රමාණයක සෝවියට් දේශය විසිරී තිබුණු බව ඔබ දැන සිටියාද? අදින් සිය වසකට පෙරාතුව, 1917 ඔක්තෝබර් මාසයේ ව්ලදිමීර් ඉලීච් ලෙනින් ගේ නායකත්වයෙන් යුත් බොල්ෂෙවික්වාදීහු ශාන්ත පිතෙර්බුර්ග් නගරයේ හිම මාලිගාව අත්පත් කරගැනීමත් සමග බිහි වූ සෝවියට් දේශය රුසියාවේ පමණක් නොව සමස්ත ලෝකයේම ගමන් මග වෙනස් කළේය. සමස්ත ඇමරිකා එක්සත් ජනපදයේ භූමි ප්‍රමාණය එයට වඩා වර්ග කිලෝමීටර මිලියන 10කින් අඩුය. වෙනත් අයුරකින් පවසන්නේ නම් සෝවියට් දේශය සිය ප්‍රතිවාදියාට වඩා දෙගුණයකට වඩා විශාල විය. සෝවියට් දේශයේ නැගෙනහිර සිට බටහිර දක්වා දිග ආසන්න වශයෙන් කිලෝමීටර් 11,000 කි. එහි ප්‍රතිඵලය වූයේ රටේ බටහිර ප්‍රදේශයේ වැසියන් උදැසන ආහාරය අනුභව කරන විට නැගෙනහිර පෙදෙසේ වැසියන් රාත්‍රී භෝජනය පවා අවසන් කර තිබීමය. සෝවියට් දේශය ලෝකයේ කාල කලාප 24 න් 11 ක්ම අයත් වීම එයට හේතුවය. සෝවියට් දේශය ගැන මේ කරුණු දැන සිටියාද? සබැඳි යොමු: සෝවියට් දේශය සතුව තිබුණු ආර්ථික ශක්තියත් විශේෂය. 1989 ආර්ථික දත්තවලට අනුව ලොව තුන්වෙනි විශාලතම ආර්ථිකය වූයේ සෝවියට් ආර්ථිකයය. එදා සෝවියට් දේශයේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන තුනකට ආසන්න විය. ලොව විශාලම ආර්ථිකයට හිමිකම් කියන ඇමරිකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන හයකට ආසන්න විය. මිලියන පහකට අධික යුද සෙබලුන් සිටි සෝවියට් දේශයේ න්‍යෂ්ටික යුද ශීර්ෂ 45,000 ක් තිබිණ. ඔවුන්ගේ බටහිර එදිරිවාදීන් සතුව තිබෙන්නේ න්‍යෂ්ටික යුද ශීර්ෂ 23000 පමණය. මේ විසි වෙනි සියවසේ අවසාන අධිරාජ්‍යයේ කතාවය. ඒ අධිරාජ්‍යය, සෝවියට් දේශය, 1991 දී රටවල් ගණනාවක් වශයෙන් බෙදී වෙන්විය. සෝවියට් දේශය ගැන ඔබේ අත්දැකීම බීබීසී සිංහල සේවය සමග බෙදා ගැනීමට කැමතිද? අප අමතන්න : +44 (0) 20 36144039 + 44 (0)20 36140556 + 44 (0)20 36140555 + 44 (0)20 36140554 + 44(0) 20 36140551 + 44(0) 20 36140552 Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න
බුදු මුව මුද්‍රිත සාරියක් ඇඟලා සිටි බවට ලැබුණු පැමිණිල්ලක් මත ත්‍රිකුණාමලයේ පොලිසියට රැගෙන ගිය කාන්තාව, ප්‍රශ්න කිරීම්වලින් පසු නිදහස් කර ඇතැයි පොලිසිය පවසයි.
බුදු මුව ඇතුළත් සාරිය මුල්කර ගත් අවුල දුරදිග ගිය ආකාරය බීබීසී සිංහල සේවය සිදු කළ විමසුමක දී ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය අංශය කියා සිටියේ, අත්අඩංගුවට ගැනීමක් එහි දී සිදු නොවුණු නමුත් එම කාන්තාව පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කළ බවය. "ඒ කාන්තාව පොලිසියට අරගෙන ගිහින් ප්‍රශ්න කළා. ඊට පසුව සාරිය මාරු කරළා එයාට වෙනත් ඇඳුමක් අන්දවලා පිටත් කළා. හැබැයි මේ සාරිය මිල දී ගත්ත තැන සහ ඒ සම්බන්ධ වෙනත් දේ ගැන පොලිසිය දිගටම පරීක්ෂණ පවත්වනවා," යනුවෙන් පොලිස් මාධ්‍ය අංශය පැවසීය. බුදුන්ගේ මුව මුද්‍රිත සාරයක් ඇඟලීම සහ ඊට එරෙහිව පොලිසිය ඉදිරියේදීම භික්ෂුවක් අදාළ කාන්තාවට බැණ වදිමින් තර්ජනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පළ වීමත් සමග ඒ සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් අදහස් පළ වන්නට විය. "බුදු මුහුණ සහිත සාරියක් ඇන්දයි කියළ හාමුදුරු අණට පොලිසිය කාන්තාවක් අල්ලගෙන ගිහින් ත්‍රි'මලයේදී. මේක බුද්ධ මූණ යැයි කියමු. ඒත් කොහේද නීතියක් තියෙන්නේ ඒව අදින්න බෑ කියල. පෝස්ටර්වලට දාන්න පුළුවන් නම් මොකෝ අඳින්න බැරි," ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය 'ට්විටර්' පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි. "ලංකාව දැන් 'හාමුදුරු පොලිසියක්' තියෙන බෞද්ධ ඉරානයක්ද? මේ මූණ බුද්ධ මුහුණ කිය‍‍නේ කවුද? මෙහෙම ගියොත් ඇදුම්වල තිබිය යුතු රූප ගැන හදිසි නීති නියෝග දාන්න වෙයි. මේකද 2015 පොරොන්දු වූ නිදහස? දෙමළ මිනිස්සු කොහොමද බුදු මූණ දන්නේ. මානව හිමිකම් කොමිසම අත්අඩංගුවට ගැනීමට අදාළ මග පෙන්වීම් දෙනවා - පොලිසියට. නමුත් පොලිසිය හාමුදුරු පොලීසියට තමයි ඇහුන්කම් දෙන්නේ. මේක ඉන්න හිතෙන රටක් නොවෙයි, යන්නම හිතෙන රටක්. මේ ගැන ත්‍රිකුණාමල පොලිසියට විරෝධය පාමු," යනුවෙන් එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්විණි. ෆේස්බුක් පරිශීලකයකු වන සුසන්ත දම්මික අත්තනායක ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ, "මොන ආගමේ වුවත් අන්තවාදි කොටස් සමාජයේ පැවැත්මට ඉතා භයානකයි. මෙය බුද්ධාගම හෝ වෙනත් ආගමක් අදහන අය කියා වෙනසක් නෙමැත" යනුවෙනි. කෙසේ වුවත් බුදු රුව මුද්‍රිත ඇඳුම් ඇඟලීම අනුමත නොකරමින් ද අදහස් පළ වී ඇත. "එහෙම එක් ආගමකට අහිත කර ක්‍රියා කරන්න බෑ. ඒවා අඳින්න බෑ කියලා නඩු තීන්දුවක් තියෙනවා. හොයලා බලන්න," යනුවෙන් නිසලි විතානගේ ඒ සම්බන්ධයෙන් පවතින නීතිමය පසුබිම පිළිබඳ ෆේස්බුක් හි සටහනක් තබා තිබිණි. ආගමික නායකයෙක්ගේ රුවක් හෝ සංඛේතයක් ඇඳුමක තිබීම වරදක් ද? "එවැනි දෙයක් 'නිගරු' වෙන විදියට භාවිත කර තිබීම දණ්ඩ නීති සංග්‍රහයේ වරදක්. එහි 290 වෙනි වගන්තිවලින් කියවෙන්නේ, යම් පුද්ගලයෙකුගේ හැඟීම් ව්‍යාකූල වෙන ආකාරයට ආගමට අදාළ දෙයක් නිගරු වෙන ලෙස යොදා ගෙන තිබෙන්න බැහැ," යනුවෙන් ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් බීබීසී සිංහල සේවයට පැවසීය. බුදුන්ගේ මුව මුද්‍රිත සාරියක් සහ හැට්ටයකින් සැරසුණු කාන්තාවක් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය දණ්ඩ නීති සංග්‍රහයේ 290 සහ 291 වගන්තිවල 'ආගමට' එරෙහිව සිදු කරන වැරදි සහ ඒවාට අදාළ දඬුවම් පිළිබඳ සඳහන් වේ. විවිධ ආගම් සහ විවිධ ඇදහිලි පවතින රටක් වීම හේතුවෙන් එකිනෙකා අතර සුහදත්වය හෝ ජාතික සමඟිය බිඳ වැටෙන ක්‍රියා සිදු කළ ‍ නොහැකි බව එම වගන්තිවල දැක්වේ. ආගම්වලට බාධා කිරීම, ආගමික විශ්වාස හෙළා දැකීම හෝ ගැරහීමට ලක් කිරීමෙන් වැළකී සිටිය යුතු බව ද වගන්තිවලට ඇතුළත්ය. එවැනි ක්‍රියාවක් 'චේතනාන්විතව' සිදු කළ නොහැකි බව 291 වෙනි වගන්තියේ සඳහන් වේ. එසේ නම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති පුද්ගල නිදහස, දණ්ඩ නීති සංග්‍රහයේ 290 හා 291 වගන්තිවලින් යම් දුරකට සීමා වේදැයි ඇතැමෙකුට ප්‍රශ්න කළ හැක. බුදුන්ගේ රුව මුද්‍රිත ඇඳුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවක් උදාහරණ වශයෙන් දක්වමින් ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් කියා සිටියේ "ජාත්‍යන්තර සමාගමක් වන 'වික්ටෝරියා සීක්‍රට්ස්' සමාගමට එරෙහිව අපි නඩු පැවරුවා. ඔවුන් කාන්තා යට ඇඳුම් සහ නාන ඇඳුම්වලට බුදු රුව යොදාගෙන තිබුණා. අපි ඒවා ලංකාවට ගෙන්වීම තහනම් කර ගත්තා මේ නීතිය යටතේ." යනුවෙනි. "ජාත්‍යන්තර සමාගමක් වන 'වික්ටෝරියා සීක්‍රට්ස්' සමාගමට එරෙහිව අපි නඩු පැවරුවා" "රේගුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නඩු තීන්දුවක් දුන්නා- මේ ආකාරයේ ඇඳුම් ශ්‍රී ලංකාවට ගෙන්වීම තහනම් කරළා. ඒ වගේම එම තීන්දුවෙන් පොලිසියට දන්වා තිබෙනවා -නිගරු වන විදිහට බුදු පිළිමය ඇඳුම්වල යොදා ගැනීම වැරදියි කියලා," නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය. ඒ සමග එවකට විදේශ ඇමතිව සිටි ලක්ෂ්මන් කදිරගාමර්, අදාළ නඩු වාර්තාව රැගෙන ගොස් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (UNESCO) සමුළුවක් වෙත ඉදිරිපත් කර තිබිණි. එම සමුළුවේ පැවැති සාකච්ඡාවලින් අනතුරුව ආගමික නායකයෙක් හෝ සංකේතයක් කිසිදු වෙළෙඳ භාණ්ඩයකට යොදා ගැනීම තහනම් බවට යුනෙස්කෝ සාමාජික රටවල් අතර යෝජනාවක් සම්මත වූ බව නීතිඥවරයා පැවසුවේය. "එම යෝජනාවට පක්ෂව වැඩි වශයෙන් ඡන්දය ලබා දුන්නේ කතෝලික සහ මුස්ලිම් රටවල්. ඒ අනුව ලෝකයම පිළිගත් දෙයක් තමයි- ආගමික සංකේතයක් වෙළෙඳ භාණ්ඩයකට යොදා ගන්න බැහැ කියන එක. පිළිම විකුණන්න පුළුවන්. නමුත් එය වෙනත් භාණ්ඩවල යොදා ගන්න බැහැ.' "මෙය ජාත්‍යන්තර චාරිත්‍රානුකූල නීතියක් ලෙස මම දකිනවා" භික්ෂුවගේ හැසිරීම අනුමත කළ හැකි ද? "ගෑණියෙක් නිසා මේ නිකන් ඉන්නේ, පිරිමියෙක් වුණා නම් මෙලහකට උස්සලා පොළොවේ ගහලා.." "මේක ඇඳගෙන ආවානම් කට වහගෙන හිටපං. ඉන්දියාවෙන් බැරිනම් තූත්තුකුඩියෙන් හරි, ලංකාවේ අඳින්න බැහැ උඹලාට ඕවා. ගෑණියෙක් නිසා මේ නිකන් ඉන්නේ, පිරිමියෙක් වුණා නම් මෙලහකට උස්සලා පොළොවේ ගහලා..," යැයි පවසමින් භික්ෂුවක් බුදුන්ගේ මුව සහිත සාරියක් ඇඟලා සිටි කාන්තාවට බැණ වදිමින් තර්ජනය කරති. පොලිස් නිලධාරියෙකු ද පසෙකින් සිටගෙන සිටිනු දක්නට හැකිය. "පිරිමි ශරීරයක් චීවරයක් දා ගත්තට, ඒ පුද්ගලයා බුදු දහම අඹ මල් රේණුවක තරම්වත් දන්නේ නෑ. එහෙම දන්නවනම් කොහෙවත් යන ගැහැණු කෙනෙක් ඇඳගෙන ඉන්න සාරියකට ගැටෙන්නේ නෑ. බුදු දහමට අපහාස කරන්නේ ඒ කාන්තාව නෙමේ, චීවරයක් දාගෙන ඉන්න මේ පුද්ගලයා," යැයි නීතිඥයකු වන දර්ශන කුරුප්පු ෆේස්බුක් ඔස්සේ පවසා තිබිණි. විවිධ "වාසි" බලාපොරොත්තුවෙන් ඇතැම් පුද්ගලයන් තම ක්‍රමයට සියල්ල හරවා ගැනීමක් දැකිය හැකි අතර, ඔවුන් බුද්ධ දර්ශනයට ද විවිධාකාරයේ අර්ථ නිරූපන ලබා දීමට ක්‍රියා කරන බව නීතිඥවරියක් වන තමාලි තෙන්නකෝන් පැවසීය. "නමුත් බුදු රාජාණන් වහන්සේ දේශනා කළ නිර්මල බුදු දහම මෙය නොවෙයි." යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මේ තොරතුරුද කියවන්න: 'සමාන සිදුවීම්' පසුගිය දා පොල්ගහවෙල ප්‍රදේශයේදී භික්ෂූන් පිරිසක් සිදු කළ පැමිණිල්ලකට අනුව සම්මානලාභී ලේඛකයෙකු වන ශක්තික සත්කුමාර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සිය ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද කෙටි කතාවක අඩංගු කරුණු මහජන කැළඹීමකට හේතු විය හැකි බව ශක්තිකට එරෙහිව එල්ල වූ චෝදනාවය. දෙදරු පියෙකු වන ශක්තික සත්කුමාර ඒ අතර, රහීම් මසාහිනා නමැති කාන්තාවක් ඇඟලා සිටි දිගු ගවුමේ පිටුපස 'ධර්ම චක්‍රයක හැඩයේ' සලකුණක් තිබීම හේතුවෙන් හසලක පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබීය. පොලිසිය විසින් එම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනත යොදා ගනිමින්ය. 2018 මාර්තු මස දිගන සිදු වූ කලහකාරී සිදුවීමවලින් පසු මහ සොහොන් බලකාය නමැති සංවිධානයේ අමිත් වීරසිංහ සහ තවත් පුද්ගලයන් දිගු කලක් බන්ධනාගාරගත වීම ද මෙම පනත සහ හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක වීමෙන් සිදු විය. හදිසි නීති මෙන් ම ICCPR පනත යොදා ගනිමින් යුද ගැටුම් සහ ඇතැම් කලහකාරී අවස්ථා අතරතුර සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජන කොටස්වලට අයත් පිරිස් වරින් වර අත්අඩංගුවට ගනු ලැබ ඇත. නෙළුම් මලක වැඩ සිටින බුදු රුවක් අතේ පච්ච කොටා ගෙන සිටි නයෝමි කෝල්මන් නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව 2014 වර්ෂයේදී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගත් කටුනායක පොලිසිය අධිකරණයට කියා සිටියේ, එම පච්චය මහ ජනතාව කුපිත කිරීමට හේතුවක් විය හැකි බැවින් ඇය අත් අඩංගුවට ගත් බවය. නයෝමි කෝල්මන් අත්අඩංගුවට ගත් පසු ඇය මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කර, ඉන් ලද නියෝගයක් අනුව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට කටයුතු ක‍ළේය. නමුත්, මානව හිමිකම් කඩවීම යටතේ ඇය ගොනු කළ නඩුව අවසානයේදී එම බ්‍රිතාන්‍ය කාන්තාවට වන්දි සහ නඩු ගාස්තු වශයෙන් රුපියල් අට ලක්ෂයක් ගෙවිය යුතු යයි ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ඒ වන විට කිහිප වරක් ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබූ නයෝමි පැවසුවේ, සැදැහැවත් බෞද්ධයෙකු වන තමා සිය බාහුවේ බුදුරුවක් පච්චා කොටා ගන්නා ලද්දේ "බුදුන් වහන්සේට ඇති ගෞරවය නිසා," යනුවෙනි. බෞද්ධ දර්ශනය ජාතිකත්වය සහ බුදු රුව හෝ ධර්ම චක්‍රය මුල් කර ගනිමින් වෙනත් ආගමිකයන්ට චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ. නීතිය ක්‍රියාත්මක කරන ආයතන තිබියදීත් එවැනි අවස්ථාවල ඇතැම් භික්ෂූන් හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් බෞද්ධ සමාජය තුළින් ම විවේචන එල්ල වේ. එවැනි හැසිරීම් "බුද්ධ පුත්‍රයන්ට නොහොබින" බව භික්ෂු සමාජය විසින් ම පෙන්වා දුන් අවස්ථා ද ඇත. බුදුදහමට අනුව දුභාෂිත හෙවත් අයහපත් වචනය කොටස් හතරකට බෙදේ: අසන තැනැත්තාගේ සිත් රිදවන්නා වූ වචනය පරුෂ වචනය වශයෙන් හඳුන්වන්නේ යැයි බෞද්ධ පොතපතේ දැක්වේ. අංග තුනක් සම්පූර්ණ වීමෙන් එම අකුසලය සිදුවන බව එහි වැඩිදුරටත් දැක්වේ. එමෙන්ම, ආක්‍රෝශ කිරීමේ නැතහොත් නින්දා පරිභව කිරීමේ ආකාර දහයක් පිළිබඳ විනය පිටකයේ පාචිත්තිය පාළියේ සඳහන් වේ. තවත් තොරතුරු:
වවුනියාවේ නෙදුන්කර්නි කනිෂ්ඨ විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන හත් හැවිරිදි පාසල් දැරියක් දූෂණය කිරීම පිළිබඳව චෝදනා ලබා සිටින හමුදා කෝප්‍රල්වරයකු දූෂණයට ලක්වූ දැරිය විසින් හඳුනා ගනු ලැබිණ.
හමුදා නිලධාරීන් මෙවැනි අපරාධ සිදුකරද්දී සිය ජීවිත ආරක්ෂාව පිලිබඳව බියෙන් පසුවන බව ප්‍රදේශවාසීහු පවසති වවුනියාව දිස්ත්‍රික් උසාවියේදී පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවකදී සැකකරු හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහු ලබන 10 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙසට දිසා විනිසුරුවරයා නියෝග කළේය. සැකකරු නෙදුන්කර්නි පළාතේ හමුදා කඳවුරක සේවය කරන හමුදා නිලධාරියකු වුවද ඔහු දැරියට පවසා ඇත්තේ තමා පොලිස් නිලධාරියකු බවයි. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු මත කරන ලද දීර්ඝ පරීක්ෂණයකින් පසු සැකකරු අත්අඩංගුවට ගත් බවයි, වවුනියාව පොලීසිය පවසන්නේ. ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා සේවයේ යොදවා ඇති හමුදා නිලධාරීන් අතින්ම මෙවැනි අපරාධ සිදුවන බැවින් තමන්ගේ ජීවිත ආරක්ෂාව පිලිබඳවද ප්‍රදේශ වාසීන් තුල බියක් ඇතිවී තිබෙන බව දූෂණයට ලක්වූ දැරියගේ ඥාතියෙක් බීබීසී සංදේශයට පැවසීය.
ඕමානයේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණියක් ෆේස්බුක් ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් කරන ආයාචනයක් පසුගිය සතියේ ප්‍රබල අවධානයට ලක්විය.
"මගේ යාලුවෝ අද ගණිකා වෘත්තියේ යෙදෙනවා තමන්ගේ රටට එන්න විදියක් නැතුව ..." "මම මේ වීඩියෝ එක කරන්නේ අන්තිමටම අසරණ වුණ වෙලාවේ," ඇය සිය වේදනාබර ආයාචනය අරඹන්නේ එලෙසිනි. "කියන්න ගොඩක් දේවල් තියෙනවා, නමුත් අහන්න කෙනෙක් ඉඳීද කියන එකයි ප්‍රශ්නේ. අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ." කොරෝනාවෛරස වසංගතය හේතුවෙන් තමන් යළි සියරට ගෙන්වාගන්නා මෙන් දිගින් දිගටම ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් කළ ඉල්ලීමට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණ බව ඇය පවසන්නීය. "රුපියලටම අසරණ වුණ හින්ද තමයි ගෑණියෙක් රට එන්නේ. එහෙම ආපු ගෑණු, අද නොදන්න මිනිස්සු එක්ක බුදියල තමයි ලංකාවට එන්න වෙලා තියෙන්නේ. හරිම වේදනයි, කියන්න වචන නැහැ අපේ රටේ ගෑණු ගොඩක් අසරණ වෙලා මේ වෙලාවේ ... ," වේදනාවෙන් හඬමින් ඇය පවසන්නීය. "මගේ යාලුවෝ අද ගණිකා වෘත්තියේ යෙදෙනවා තමන්ගේ රටට එන්න විදියක් නැතුව ..." කෙතරම් ආයාචනා කළත් බලධාරීන්ට සිය වේදනාව නොහැඟෙන බවට ඇය චෝදනා කරන්නීය. කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් විදේශයන්හි කොටු වී සිටින දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් කරන ඒ හා සමාන ආයාචනා ඇතුළු වාර්තා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පසුගිය දිනවල දකින්නට ලැබිණ. ඉතා ඉක්මණින් ම ඔවුන් යළි සිය රට ගෙන්වා ගැනීමට කටයුතු කරන මෙන් මානව හිමිකම් ක්‍රියාධරයන් සහ විරුද්ධ පක්ෂය ද දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති. ට්විටර් ඔස්සේ අදහස් දක්වමින් හිටපු කතානායක කරු ජයසූරිය පවසන්නේ, විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යළි සිය රට පැමිණීමේදී විදේශීය සංචාරකයන්ට වඩා වැඩි මුදලක් සහ කාලයක් වැයකිරීමට සිදුවීම "ජාතික ප්‍රමුඛතා වරදවා ගැනීමක්" බවය. "අපේ රටේ පුරවැසියන්ට මුල් තැන ලැබිය යුතුය." මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය ද ශ්‍රී ලංකා ආණ්ඩුව සංචාරකයන් සහ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන "දෙබිඩි පිළිවෙත" විවේචනය කර තිබිණ. මාධ්‍යවේදිනී මුන්සා මුෂ්ටාක් අදහස් දක්වමින්, තමන් යළි සියරට ගෙන්වා ගන්නා මෙන් ඉල්ලමින් රැකියා අහිමි වූ සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් මැද පෙරදිග රටවල "මහ මඟ හිඟා කන" අතරවාරයේ, සිය නිල ලාංඡනය වෙනස් කිරීම පිණිස ටෙලිකොම් ආයතනය රුපියල් බිලියන දෙකක් වියදම් කිරීම දැඩි ලෙස හෙලා දැක තිබිණ. 'මාෆියාවක්' ගැන චෝදනාවක් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මුහුණ දී සිටින ඉරණම පිළිබඳව විමසීම පිණිස කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිපවරක්ම දැරූ උත්සහය සාර්ථක නොවීය. කෙසේවෙතත්, දෙසැම්බර් 05 වෙනි දින කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේදී ඔවුන්ගෙන් විශාල වශයෙන් මුදල් ගසාකන මාෆියාවක් ක්‍රියාත්මක වන බවට චෝදනාවක් එල්ල කළේය. "අද වෙනකොට සම්පූර්ණයෙන්ම අසාධාරණ විදියට මේ විදේශ ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම කියන එක ව්‍යාපාරයක් බවට පත් කරගෙන තියෙනවා කණ්ඩායමක්. දැන් ලක්ෂ දෙකක් ටිකට් එකට දීලා, තව පහලොස් දාහක් විසි දාහක් හොර ඒජන්ට්ලාට දීලා මේකෙ ලැයිස්තුවට නම දාගන්න, මෙහෙට ආවාට පස්සෙ දවසකට දොලොස් දාහක් පහලොස් දාහක් විතර හෝටලේක කාමරේකට දවස ගාණෙ දුන්නාම සාමාන්‍යයෙන් ලක්ෂ හතරක් හතරහමාරක් විතර යනවා එළියට එනකොට," රාජ්‍ය ඇමතිවරයා පැවසීය. "මේක මහා ජාතික අපරාධයක්. මේක මේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට සම්පූර්ණයෙන්ම විරුද්ධව කරන වැඩසටහනක්. ජනාධිපතිතුමා මේක නෙවෙයි කිව්වෙ. මේක මාෆියාවක්. මේක මාෆියාවක්!" කොරෝනා වෛරසය ; යුක්රේන සංචාරකයන්ට මුහුණු ආවරණ පැළදීමේ නීතිය වලංගු නොවේද? '59,000 ක් සියරට ගෙන්වලා' ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසන්නේ, කෝවිඩ්-19 වසංගතය ආරම්භයේ පටන් මේ වනතුරු රටවල් 130 ක වාසය කළ ශ්‍රී ලාංකිකයන් 59,000 කට යළි සියරට පැමිණීම සඳහා කටයුතු සම්පාදනය කොට තිබෙන බවය. ආණ්ඩුව තවදුරටත් ඔවුන් සියරට ගෙන්වීමේ ක්‍රියාවලියේ නිරතව සිටින බව ද අමාත්‍යවරයාගේ පණිවුඩයේ දැක්වේ. ශ්‍රී ලාංකිකයන් යළි සිය රට බලා පැමිණෙන විට ඔවුන් නොමිලේ නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කළ යුතු බවට හෝ නොඑසේනම් නිවසේ සිට නිරෝධායනය සඳහා යොමු කළ යුතු බවට ද අමාත්‍ය නාමල් රාජපක්ෂ යෝජනා කොට තිබූ නමුත් ආණ්ඩුව එම යෝජනාව ක්‍රියාවට නගන්නේ දැයි පැහැදිලි නැත. මේ අතර විදේශ රටවල රැකියාවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයන් 248 දෙනෙකු රජයේ විශේෂ අවසරය සහිතව ගුවන් යානා 18 කින් අඟහරුවාදා සහ බදාදා (දෙසැම්බර් 06) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය. ඔවුන්ගෙන් වැඩි පිරිස මැදපෙරදිග රටවල රැකියාවල නියුතුව සිටි ගෘහ සේවිකාවෝ වූහ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 114 දෙනෙකු ද, කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි 57 දෙනෙකු ද ඇතුළත් එම පිරිස කොළඹ පෞද්ගලික රෝහල් කීපයක සෞඛ්‍ය කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නිරෝධායනය සදහා සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ. විමුක්ති ව්‍යාපාරය කෙසේ වුවත්, තවත් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් රැකියා සහ උන් හිටි තැන් පවා අහිමි වී යළි සිය රට පැමිණිය නොහැකිව බොහෝ දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දී සිටිති. සිරස නාලිකාව සමඟ අදහස් දක්වමින් විදේශ අමාත්‍යාංශයේ ලේකම්, අද්මිරාල් ජයනාත් කොළඹගේ කියා සිටියේ, තවත් 60,000 ක පමණ පිරිසක් එසේ යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් විවිධ රටවල රැඳි සිටින බවය. මේ වනවිට ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙන 61,787 ක් වන පිරිසෙන් 28,000 ක්ම පැමිණ සිටින්නේ මැදපෙරදිග රටවල සිට බවත් අද්මිරාල් ජයනාත් කොළඹගේ පැවසීය. සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් මුහුණ පා සිටින මේ ඉරණම පිළිබඳව විමුක්ති ව්‍යාපාරය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන මරිසා ද සිල්වා, අමලිනි ද සයිරා, මෙගාරා ටීගල්, ස්වස්තිකා අරුලිංගම්, ගීතිකා ධර්මසිංහ, ලක්මාලි හේමචන්ද්‍ර, රස්මා රම්සි, සාරා අරුමුගම් සහ විමුක්ති ද සිල්වා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු බලධාරීන් වෙත ඉල්ලීම් 4ක් ඉදිරිපත් කර තිබිණ. එම ඉල්ලීම් හතර වේ. අන්තර්ජාතික කම්කරු සංවිධානයේ දත්ත ප්‍රකාර සංක්‍රමණික ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ඉපැයීම් සඳහා ඉහළම දායකත්වය ලබා දී ඇති නමුත්, කෝවිඩ් -19 අර්බුදය ඇති වූ විට, රජය විසින් අතහැර දැමූ පළමු පිරිස අතර සංක්‍රමණික කම්කරුවන් ද වූ බව විමුක්ති ව්‍යාපාරය පෙන්වා දෙයි. "මාස ගණනාවක් පුරා ඒ සඳහා විවිධ හේතු දක්වනු ලැබුණි. නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා වූ විදේශ අමාත්‍යාංශයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පහළින්ම සිටින්නේ ඔවුන්ය. මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සඳහා දායක වීමට මේ දක්වා අපේ රජය අපොහොසත් වී තිබේ. ඒ කොවිඩ් අරමුදලෙන් රජය බිලියන 1.6 කට වඩා ලබාගෙන තිබියදීත්ය," යනුවෙන් ද නිවේදනයේ දැක්වේ. කියවන්න: පරිත්‍යාගශීලීන් මැද පෙරදිග රටවල කොටු වී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ඉරණම පිළිබඳව විශේෂ ලිපියක් සම්පාදනය කරන විමුක්ති ව්‍යාපාරයේ ක්‍රියාධාරිනී අමලිනී ද සයිරා, කොරෝනා වසංගතය ආරම්භයේ පටන් විශේෂයෙන්ම මැද පෙරදිග සේවයේ නියුතු සංක්‍රමණික සේවිකාවන් මුහුණ දුන් අතවර සහ දුෂ්කරතා පිළිබඳව සවිස්තරව දක්වා තිබිණ. "රට තුළ COVID-19 වෛරසයේ ව්‍යාප්තික ස්වභාවය නිසා තම නවාතැන් අතහැර යාමට බිය වූ මැදපෙරදිග සිටින ගැබිනි ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවිකාවන් පිළිබඳව ජුනි 8 වන දින වීඩියෝ මාලාවක් මගින් පෙන්වන ලදි. ආදායම් නොමැති වීම නිසා ඖෂධ හෝ සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ඔවුන්ට නොහැකිවන අතර, තමන් රැකියාව සඳහා සංක්‍රමණය වී සිටින එම රටවල රාජ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශවීමේ හිමිකම ද ඔවුන්ට නැත," යනුවෙන් එහි දැක්වේ. ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා තානාපති කාර්යාල නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් පිරිසකට ජෝර්දාන පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව ජුලි 28 වන දින මාධ්‍ය වාර්තා කළ බව පවසන ලේඛිකාව, "කඳුළු ගෑස් නිසා ඇතිවූ ශ්වසන අපහසුතා හේතුවෙන් කම්කරුවන් 20 ක් පමණ රෝහල් ගත කර තිබූ," බවත් සිහිපත් කරයි. ඩුබායි හි සහන සංවිධාන ජාලයක් සහ ලොව පුරා සිටින පරිත්‍යාගශීලීන් පිරිසක් විසින් "ශ්‍රී ලංකා ගුවන් සේවය වෙතින් සෘජුවම ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන" ශ්‍රී ලාංකිකයන් 60 දෙනෙකු යළි සියරට ගෙන්වා ගැනීම පිණිස රුපියල් මිලියන 15 කට අධික මුදලක් පරිත්‍යාග කර තිබෙන බව ද අමලිනි ද සයිරා සිය ලිපියේ සඳහන් කරයි. "විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් එවන ලද මුදලින් පෝෂණය වන අය විදේශිකයන් රට ඇතුළට ගෙන එනවා. ලැජ්ජයි, ගෝඨාභය මහත්තයා, මම කතා කරන්නේ ඔබට ඡන්දය දුන් අයෙකු විදිහටයි," යනුවෙන් පරිත්‍යාගශීලීන්ගේ මුදලින් යළි සිය රට පැමිණි පුද්ගලයෙක් පවසා තිබුණි. සජිත් ප්‍රේමදාස මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ, ටෙලිකොම් ආයතනයේ සන්නාම නාමය වෙනස් කිරීම පිණිස වැය කළ රුපියල් බිලියන දෙක යොදාගත්තේ නම් විදේශගත ශ්‍රී ලාංකිකයන් 44,000 ක් ගෙන්විය හැකිව තිබූ බවය. තවදුරටත් කරුණු දක්වන විමුක්ති ව්‍යාපාරය, "හෝටලයක දින 14 ක නිරෝධායනය සඳහා මුදල් ගෙවීමට නොහැකි නිසා මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සඳහා තානාපති කාර්යාල විසින් තමන්ට ප්‍රමුඛත්වය නොදක්වන බව කම්කරුවන් පවසයි. ඔවුන්ගේ සමහර සේවා යෝජකයින් විසින් ටිකට් පත් සඳහා ගෙවීම් කිරීමට කැමැත්තෙන් සිටින නමුත්, නොමිලේ රජයේ නිරෝධායන පහසුකම් සඳහා පහසුකම් සැලසීමට සිදුවන බැවින් ඔවුන්ව පසෙකට කොට නිරෝධායනය සඳහා මුදල් ගෙවිය හැකි පුද්ගලයින්ට පැමිණීමට අවසර දීම සිදුවේ," යනුවෙන් ද සඳහන් කරයි. අතරමංව සිටින ශ්‍රී ලාංකික කම්කරුවන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට සහ ප්‍රමාණවත් නිරෝධායන පහසුකම් සැපයීම සඳහා "කෝවිඩ් ජනාධිපති අරමුදල" භාවිත නොකළේ මන්දැයි ප්‍රශ්න කරන එම ව්‍යාපාරය අවධාරණය කරන්නේ, ශ්‍රී ලාංකික කම්කරුවන් තවමත් විදේශයන්හි අතරමංව සිටින අතරතුර නියමු ව්‍යාපෘතියක් මගින් ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වා ගැනීම "කිසිසේත් පිළිගත නොහැකි," බවය.
ෂෆා (අන්වර්ථ නමකි) 15 හැවිරිදි වියේදී බලහත්කාර විවාහයකට ගොදුරු කෙරුණු ශ්‍රී ලාංකික මුස්ලිම් දැරියකි.
ළමා විවාහයක්, මුස්ලිම් ක්‍රියාකාරිනියෝ සහ තව්හීඩ් ජමාආත් "මම සාමාන්‍ය පෙළට ඉගෙනගන්න කාලේ, ශිෂ්‍යයෙකුට ආදරේ කළා," දැඩි අව් රශ්මියෙන් බේරීම පිණිස එළිමහනේ ගසක සෙවන යට ෂෆා මා සමග සිය මතකය අවදි කරන්නේ වේදනාවෙනි. ඇයට සිය කඳුළු සඟවාගත නොහැකිය. "ඒක දැනගත්ත අම්මල මාව මාමගේ ගෙදරට යැව්වා. එහේ ඉඳලා මම හොඳට ඉගෙනගත්ත. ඒ අතරේ මාමගේ ගෙදරට නිතර ආගිය තරුණයෙකුට මා ගැන අදහසක් පහළ වෙලා මාව විවාහ කරගන්න ඕන බව එයාලට කියල තිබුණ." ෂෆා ඒ යෝජනාවට එරෙහි වූවාය. අධ්‍යාපනය හමාරයේ සිය පෙම්වතා සමග විවාහවීම සිය බලාපොරොත්තුව බව ඇය දැඩිව කියා සිටියාය. (වීඩියෝ පටය නරඹන්න) වීඩියෝ වාර්තා: එහෙත් යෝජනාව කළ තරුණයා සමග විවාහ විය යුතු බවට ඇයට බල කළ මාමා සහ නැන්දා, විවාහය සඳහා සියළු කටයුතු රහසිගතව සූදානම් කළහ. 15 හැවිරිදි වියේ දී බලහත්කාර විවාහයකට ගොදුරු කෙරුණු ෂෆා ට සැමියාගේ පහරදීම් හේතුවෙන් දරු ගැබ ද අහිමි විය "ඒ කසාදෙන් ගැලවෙන්න මම මගේ අත් දෙක කපාගත්තා. ඒක කළොත් අත පය කපාගෙන මැරෙනවා කියල මම කිවුව. ඒකට කැමති වෙන්න කියල අම්මත් මට බල කළා." දරු ගැබ අහිමිවෙයි අසළ සිට සංවාදය අසා සිටින මව සිය සාරියෙන් කඳුළු පිසිනු මට පෙනේ. "කසාදෙ ලියාපදිංචි කරපු දවසේ මම මගේ අනිත් අතත් කපාගත්තා. ගෙදර තිබ්බ පෙති වර්ගයක් බිව්වා. මාව රෝහලට ඇතුළත් කළා. එතෙන්දි පවා මට බෙහෙත් දෙන එක නැවැත්තුවා. දුන්නේ සේලයින් විතරයි. දොස්තරට කියල සේලයින් බෝතලේත් එක්කම එයාල මාව ගෙදර අරගෙන ගියා. ඒ සේරම කළේ පුද්ගලික රෝහලකදී. ගෙදර ගියාට පස්සේ එයාල මගේ අත්වල මරතෝන්ඩි ගෑවා." ළමා වියේදී විවාපත් කරවීම මුස්ලිම් දැරියන්ගේ අධ්‍යාපනය ලැබීමේ මූලික මිනිස් අයිතිවාසිකම අහිමි කරවීමක් බව ක්‍රියාධාරිනියෝ පවසති කළ හැකි කිසිවක් නොවූයෙන් අවසානයේ ඇය විවාහයට එකඟත්වය පළ කළාය. එහෙත් ඇය පැරණි පෙම්වතා සමග තවදුරටත් පෙමින් වෙලී සිටින්නේ යයි සැක කළ සැමියා ඇයට දිගින් දිගටම පහර දුන්නේය. හිරිහැර කළේය. "බොහොම අමාරුවෙන් මම ඒවා දරාගත්තේ. එයාගේ තාත්තත් මට එක දේවල් කිවුව. මම ගැබ් ගත්ත වෙලාවේ, ඒ එයාගේ දරුවා නෙවෙයි කියල මහත්තය කිවුව. දරුවා ගබ්සා කරන්න කියල එයා බල කළා. ඊට පස්සේ මාව උස්සල පොළවේ ගැහුව." ෂෆා ට කඳුළු වළකාගත නොහැකිය. ඇය ඉකිගසයි. අසළ සිට අසා සිටින මව ද ඉකිගසයි. මගේ දෑස් ද තෙත්වනු මට දැනේ. "එයා මගේ බෙල්ල මිරිකුවා. මට ගැහුවා. ආයෙත් උස්සල පොළොවේ ගැහුවා." එම පහරදීම්වල ප්‍රතිඵලයක් ලෙසින් ඇයට සිය කුසේ සිටි දරුවා අහිමිවිය. ඉන් අනතුරුව ඇය සැමියා අත්හැර මවගේ නිවසට ගියාය. පහරදීම පිළිබඳව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසියෙන් පළ වූයේ ඇල්මැරුණු ප්‍රතිචාරයකි. යළිත් සිය සැමියා වෙතට යන මෙන් පොලිසිය උපදෙස් දුන්නේය. "මගේ මහත්තය දරුවෝ, පවුල ගැන කිසි සැළකිල්ලක් නැහැ. මම තමයි මහන්සි වෙලා කුලී වැඩ කරලා මෙයාලව බලාගත්තේ" ඒ අතරවාරයේ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියෙන් ඇයට පණිවුඩයක් ලැබිණ. 'ගණිකාවක්' "පල්ලියෙන් මට කිවුව එකට ජීවත්වෙන්න කියලා. එතෙන්දි මගේ සැමියා හැමෝම ඉස්සරහ කිව්වා මම වෙනත් එක්කෙනෙක් එක්ක සම්බන්ධයක් තියනවා කියලා. එහෙම කියල එයා මාත් එක්ක ජීවත්වෙන්න කැමතිවුනා." ෂෆා එය ප්‍රතික්ෂේප කළාය. එයින් දින කිහිපයකට පසුව හදිසියේම ඇයට ආගන්තුකයන්ගෙන් දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ ලැබෙන්නට විය. "'උඹට කීයක් ඕනද? මාත් එක්ක නිදාගන්න එනවාද? උඹේ සැමියා තමයි මේ නම්බර් එක දුන්නේ' කියල ඒ මිනිස්සු කිව්වා." ගණිකාවක බව පවසමින් සිය දුරකථන අංකය සහ ඡායාරූපය සැමියා විසින් සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධ කර ඇති බව ඇයට දැනගැනීමට ලැබිණ. ඇය ඒ දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ සියල්ල පටිගත කළාය. "ඒ කසාදෙන් ගැලවෙන්න මම මගේ අත් දෙක කපාගත්තා. කසාදෙ ලියාපදිංචි කරපු දවසේ මම මගේ අනිත් අතත් කපාගත්තා. ගෙදර තිබ්බ පෙති වර්ගයක් බිව්වා" "දවසක් මම පරිගණක පන්තියකට යනකොට කොල්ලෙක් ඇවිල්ලා මගේ ෆොටෝ එකක් අරගෙන එයත් එක්ක නිදියගන්න එන්න කිව්වා. ආවේ නැත්නම් ෆොටෝ එක ෆේස්බුක් එකේ ප්‍රසිද්ධ කරනවා කියලා තර්ජනය කලා. බස් එකේ, මහ පාරේ මට කොල්ලෝ උසුළු විසුළු කරනවා මම අන්තිමට පන්ති යන එකත් නැවැත්තුවා," ෂෆා පවසන්නේ ඉකිගසමිනි. එහෙත් සිය අත්දැකීම ලොවට හෙළි කළ යුතු බව ඇගේ අධිෂ්ඨානයයි. (වීඩියෝව නරඹන්න) සිය දියණිය මෙතරම් අතවරවලට ලක්වෙද්දීත් පියා ඒ කිසිවක් ගැන තැකීමක් නොකළේය. කුලී වැඩක් කර දරුවන් පස් දෙනෙකු රක්ෂා කරන අතරවාරයේ, ගතානුගතික සමාජයේ නින්දා, අපහාස සහ තර්ජනවලින් බේරී ෂෆාගේ මානසික සුවය සැලසීමේ වගකීම ද මවට ම පැවරිණ. සිය දියණියද සමග රහසිගතව ප්‍රදේශයේ සමාජ සේවා ආයතනයකට පිවිසීමත් දැන් ඇයගේ දිනචරියාවේ කොටසකි. සමාජයෙන් මතුවන නින්දා අපහාස සහ තර්ජනවලට කෙතරම් බියපත්ව සිටින්නේද යත් සිය නම, ගම පමණක් නොව වෙසෙන ප්‍රදේශය පවා හෙළි නොකරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ. "එක හේතුවක් නිසා මම එයාව මගේ මල්ලිගේ ගෙදර ඉඳලා ඉගෙන ගන්න යැව්වා. අන්තිමට මෙහෙම දෙයක් වෙයි කියලා මම හිනෙකින්වත් හිතුවේ නැහැ. මේක බලහත්කාරයෙන් කරපු විවාහයක්," මව පවසන්නීය. අහිමි වූ ළමා විය සෑම වසරකම, ශ්‍රී ලංකාවේ සිය ගණනක් බාල වියේ මුස්ලිම් දැරියෝ සිය දෙමාපියන් හෝ භාරකරුවන් විසින් බලහත්කාරයෙන් විවාහ කර දෙනු ලබති. මුස්ලිම් ළමා විවාහ 'වැඩිවීමේ ප්‍රවණතාවක් ' විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ළමා විවාහ වසරක් ඇතුළත 14% සිට 22% දක්වා ඉහළ ගොස් ඇති බව මානව හිමිකම් නීතිවේදිනී එර්මීසා ටෙගල් බීබීසී සිංහල සේවයට කියා සිටියාය. (නීතිවේදිනී එර්මිසා ටෙගල් සමග බීබීසී සිංහල සජීවී ෆේස්බුක් සංවාදය නරඹන්න) බලහත්කාරයෙන් විවාහ කර දෙන විට ෂෆා 15 හැවිරිදි වුවත් දොළොස් විය තරම් බාල වියේ දැරියන් මේ ආකාරයෙන් බලහත්කාරයෙන් විවාහ කර දෙන බව මුස්ලිම් ක්‍රියාධාරිනියෝ පවසති. වයස අවුරුදු 18 ට අඩු දැරියන් විවාහ කරදීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව තහනම්ය. එහෙත් දශක ගණනාවක් පැරණි මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය මගින් වයස් සීමාවකින් තොරව දැරියන් විවාහ කරදීමට මුස්ලිම් දෙමාපියන්ට සහ භාරකරුවන්ට අවසර දී තිබේ. මේ නීතිය හේතුවෙන් මුස්ලිම් දැරියෝ සහ කාන්තාවෝ දශක ගණනාවක් මුළුල්ලේ රහසේ කඳුළු වැගිරූහ. අවසානයේ තවදුරටත් ඉවසා සිටිය යුතු නැතැයි තීරණය කළ ඔවුහු එයට මඟ පාදන මේ නීතිය සංශෝධනය කරන මෙන් ඉල්ලමින් උද්ඝෝෂණයක් දියත් කළහ. රටේ සාමාන්‍ය නීතිය ප්‍රකාර මුස්ලිම් දැරියන්ද විවාහ කර දීමේ අවම වයස අවුරුදු 18 බවට පත් කළ යුතු බව ඔවුන්ගේ ඉල්ලීමයි. "ළමා විවාහවලට අපි විරුද්ධයි. ඒත් වයස් සීමාවක් පැනවීම ගැන අපි විරුද්ධයි. අපි කියන්නේ විවාහයට නිර්ණායකයක් තියෙන්න ඕන" - තව්හීද් ජමාආත් සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට සැරසෙන මේ මොහොත ඒ සඳහා සුදුසුම අවස්ථාව බව ද ඔවුහු පවසති. කාන්තා පීඩක මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය ද ශ්‍රී ලංකා ආණ්ඩුවට නිර්දේශ කළහ. එහෙත් ගතානුගතික මුස්ලිම් ප්‍රජා නායකයෝ එයට දැඩි විරෝධය පළ කරති. සමස්ත ලංකා ජමියතුල් උලමා සහ තව්හීඩ් ජමාආත් (ජමාත්) සංවිධාන ඒ විරෝධයේ පෙරමුණ ගෙන සිටිති. ඒ විරෝධය හමුවේ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව එම නීතිය සංශෝධනය කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට වසර නවයක් මුළුල්ලේම සමත් වී නැත. තව්හීඩ් ජමාආත් ප්‍රතිචාරය මුස්ලිම් ජනතාවගේ සහ ප්‍රජා නායකයන්ගේ අදහස් විමසා මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කිරීම පිළිබඳව සිය සංවිධානයේ විරෝධයක් නැති බව තව්හීඩ් ජමාආත් සංවිධානය මේ අතර පවසයි. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව එම නීතිය සංශෝධනය කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට වසර නවයක් මුළුල්ලේ සමත් වී නැත "ළමා විවාහවලට අපි විරුද්ධයි. ඉස්ලාම් ආගමවත් තව්හීද් ජමාආත් සංවිධානයවත් ළමා විවාහ අනුමත කරන්නේ නෑ," සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ් මා සමග පැවසීය. "ඒත් වයස් සීමාවක් පැණවීම ගැන අපි විරුද්ධයි. අපි කියන්නේ විවාහයට නිර්ණායකයක් තියෙන්න ඕන." "විවාහයක් අවශ්‍යයි කියන දේ ගැන දැරියට තියන අවශ්‍යතාව තමයි ඒ නිර්ණායකය," යන්න හැරුණු විට ඒ නිර්ණායකය කවරේ දැයි නිසි පැහැදිළි කිරීමක් ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් විය. "සමහර දැරියන්ට වයස අවුරුදු 18 පිරුණට පස්සෙත් විවාහ වෙන්න අවශ්‍ය නොවෙන්න පුළුවන්. ඒ නිසා ඒ දැරියගේ අවශ්‍යතාව තමයි නිර්ණායකය." එහෙත් ඉස්ලාම් ධර්මය ප්‍රකාර දැරියක විවාහ විය යුත්තේ කවරෙකු සමග දැයි තීරණය කරනු ලැබිය යුත්තේ දෙමාපියන් හෝ භාරකරුවන් විසින් බවත් තව්හීද් ජමාආත් සංවිධානය අවධාරණය කරයි. "මාසයක් විතර මම ඔෆිස් එකේ නිදාගත්තා. මගේ දූලා දෙන්න ඉස්කෝලේ යවන්න මට බයයි. දැන් වුනත් මට ටුක් එකකවත් යන්න බයයි" මේ විවාදය පදනම් කරගෙන මුස්ලිම් ක්‍රියාකාරිනියන්ට තර්ජනය කරන බවට එල්ලවන චෝදනා ද තව්හීද් ජමාආත් සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ් තරයේ ප්‍රතික්ෂේප කළේය. ක්‍රියාධාරිනියන්ට තර්ජන එහෙත් ෂෆා මානසික සෞඛ්‍ය උපදේශන ලබන ආයතනය පසුගිය වසර කිහිපය තුළ කාන්තාවන් 3000 කට ආසන්න පිරිසකට සරණ වී තිබෙන්නේ සමාජයෙන් එල්ලවන එවැනි ප්‍රබල තර්ජන හේතුවෙනි. බලහත්කාර ළමා විවාහවලට ගොදුරු කෙරුණු 250 කට ආසන්න පිරිසකට ද පසුගිය වසර කිහිපය තුළ මේ ආයතනය පිහිට වී තිබේ. "මට මාසයක් විතර ගෙදර යන්න බැරි වුනා," ආයතනය මෙහෙයවන සමාජ සේවිකාව බීබීසී සිංහල සේවය සමග පැවසුවේ තර්ජන හේතුවෙන් සිය අනන්‍යතාව හෙළි නොකරන මෙන් ඉල්ලීමක් ද කරමිනි. "මාසයක් විතර මම ඔෆිස් එකේ නිදාගත්තා. මගේ දූලා දෙන්න ඉස්කෝලේ යවන්න මට බයයි. දැන් වුනත් මට ටුක් එකකවත් යන්න බයයි." "ළමා විවාහ කියන්නේ නීත්‍යානුකූල ස්ත්‍රී දූෂණයක්. කරුණාකරලා මේ දරුවන්ගේ ළමා විය විනාශ කරන්න එපා" - කාන්තා ක්‍රියාකාරී ජාලයේ ශ්‍රීන් අබ්දුල් සරූර් අවුරුදු 18 සම්පූර්ණවන තුරු පමණක් නොව, ඔවුන්ගේ උසස් අධ්‍යාපනය ද අවසන්වන තුරු සිය දියණියන් දෙදෙනා විවාපත් නොකරන බව එම මුස්ලිම් සමාජ සේවිකාව මා සමග කියා සිටියාය. 'ස්ත්‍රී දූෂණයක්' මුස්ලිම් ළමා විවාහ පිළිබඳ ගවේෂණය සඳහා මා ශ්‍රී ලංකාවේ සංචාරය කළ කාලය ඇතුළත සිය අනන්‍යතාව හෙළි කරමින් අදහස් දැක්වූයේ මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙකු පමණි. නීතිවේදිනී එර්මිසා ටෙගල් සහ කාන්තා ක්‍රියාකාරී ජාලයේ ශ්‍රීන් අබ්දුල් සරූර් ඒ දෙදෙනාය. "ළමා විවාහ කියන්නේ නීත්‍යානුකූල ස්ත්‍රී දූෂණයක්" ශ්‍රීන් අබ්දුල් සරූර් දැඩි ස්වරයෙන් පවසන්නීය. මෙසේ විවෘතව සිය සමාජය විවේචනය කිරීම හේතුවෙන් ජාත්‍යන්තර සම්මානලාභී මුස්ලිම් ක්‍රියාකාරිනියකවන ඇයට කලක් ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීමට ද සිදු විය. ළමා වියේදී විවාපත් කරවීම මුස්ලිම් දැරියන්ට අධ්‍යාපනය ලැබීමේ මූලික මිනිස් අයිතිවාසිකම අහිමි කරවීමක් බව පෙන්වාදෙන ශ්‍රීන් අබ්දුල් සරූර්, දරුවන් බිහිකිරීම පිණිස මේ දැරියන් ශාරීරිකව වැඩී නැති බවත් අවධාරණය කරන්නීය. බලහත්කාර විව්වහයකින් අනතුරුව සැමියාගේ වැඩ බන්ධනවලට ලක් කෙරුණු දියණිය සමග සිය රහසිගතව ප්‍රදේශයේ සමාජ සේවා ආයතනයකට පිවිසීමත් දැන් මවගේ දිනචරියාවේ කොටසකි "ඒකෙ ප්‍රතිඵලය තමයි මුළු මුස්ලිම් සමාජයම ආපස්සට යාම," ශ්‍රීන් අබ්දුල් සරූර් අවධාරණය කරන්නීය. "කරුණාකරලා මේ දරුවන්ගේ ළමා විය විනාශ කරන්න එපා කියල මම මුස්ලිම් සමාජයෙන් සහ මුස්ලිම් ආගමික නායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා." සැමියාගේ වධ බන්ධන හේතුවෙන් සහ ගමේ වැඩිහිටි සමාජයෙනුත්, මග තොටේදීත්, පොදු ප්‍රවාහන සේවාවලදීත් නිරන්තරයෙන් එල්ලවන තාඩන පීඩන සහ නින්දා අපහාස නොතකා සිය උසස් අධ්‍යාපනය නිමා කොට නීතිඥවරියක් වීම ෂෆා ගේ බලාපොරොත්තුවය. තමන්ට හිරිහැර කරන සමාජයට ජයග්‍රහණය කිරීමට ඉඩ නොදීම ඇයගේ අධිෂ්ඨානය වී තිබේ. එසේ නීතිඥවරියක බවට පත් වී තමන් වැනිම අතවරවලට ගොදුරු වූ දැරියන්ට උපකාර කිරීම ඇයගේ බලාපොරොත්තුව දැයි මම විමසීමි. "ඔව්" වියළුණු කඳුළු අතරින් ඇය පිළිතුරු දුන්නේ අහිංසක, අපේක්ෂා සහගත සිනහවකින් ද මුව සරසා ගනිමිනි. ඒ සිනහව තුළ ගැබ් වුනු දැඩි අධිෂ්ඨානය අප දෑස් මුණගැසුණු මොහොතේ මම දුටුවෙමි. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහයක වේදනාව
ජනාධිපතිවරණය සමයේ දී එවකට පොදු අපේක්ෂකයාට අපහාස වන දැන්වීම ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයාගේ නියෝගය මත පළ කළ බව එහි හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුධර්මන් රදළියගොඩ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ එවකට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට අපහාස වන ආකාරයට බාල වයස්කාර ළමයෙකු යොදා ගෙන දැන්වීමක් ප්‍රචාරය කිරීමේ චෝදනා මත නීතිවේදියකු මාර්ගයෙන් අධිකරණයට භාර වෙමින්. රිමාන්ඩ් භාරයට සිද්ධියට අදාළ පරීක්ෂණ තව දුරටත් පැවැත්වෙන බැවින් සැකකාර රදළියගොඩ රිමාන්ඩ් භාරයට පත් කරන මෙන් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් අධිකරණය සැකකරු ලබන 24 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර මිට අදාලව ස්වාධීන රූපවාහිනි සේවයේ එවකට සභාපතිවරයාව සිටි අනුර සිරිවර්ධනගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස ද පොලිසියට නියම කළේය. සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු ද 24 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලමින් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කෙරුණ යෝජනාව සඳහා ඡන්දය විමසීමේදී ඉන් වැළකී සිටීමට ඉන්දියාව විසින් ගනු ලැබුණ තීරණය වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රසාදය පළ වෙයි.
ඉන්දු-ශ්‍රී ලංකා ධීවරයන්ගේ නිදහස පිළිබඳව සාකච්ඡාවක් සිය මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල් විනැයි සැක කරමින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දියානු ධීවරයන් කණ්ඩායමක් ඉන්දියාව විසින් අනුගමනය කරන ලද ඉහත කී පියවර වෙනුවෙන් මුදා හරිනු ලබන බවයි, ඊට තුති පළ කරමින් නිකුත් කරනු ලැබ ඇති ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිවේදනයක් මගින් පැවසෙන්නේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ සිදු කොට ඇතැයි චෝදනා කෙරෙන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විභාගයක් ආරම්භ කරන මෙන් ඉල්ලා සිටිමින් බ්‍රහස්පතින්දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය. ඉන්දියාව එම ඡන්දයට සහභාගී නොවූ අතර පකිස්තානය ඡන්දය පාවිච්චි කළේ යෝජනාවට එරෙහිවයි. පසුගිය වසරේත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වූ අතර එම අවස්ථාවේ ඉන්දියාව එම යෝජනාවට පක්ෂවයි ඡන්දය දුන්නේ. ඉන්දියාව මෙවර එවැනි පියවරක් නොගනිමින් ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීන්දු කිරීම ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අගය කරනු ලැබ ඇත.
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පැවති විරෝධතා පෙළපාලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ වගකීම භාර ගන්නා බව ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානය පවසයි.
ප්‍රහාරයට ගොදුරු වී හැටහතර දෙනකු මරුමුවට පත් වී ඇති අතර දෙසිය හැට පස් දෙනකු තුවාල ලබා තිබේ. නව විදුලි රැහැන් පද්ධතියක් මුල් කර ගනිමින් ෂීයා මුස්ලිම් ජන කොට්ඨාශයට අයත් හසාරා ප්‍රජාව විසින් පෙළපාලිය සංවිධානය කොට තිබිණි. හසාරා ජන ප්‍රජාව වැඩි වශයෙන් වෙසෙන පළාත් ''මගහැර'' විදුලි රැහැන් පද්ධතිය ඉදිවන බවට ඔවුහු චෝදනා කරති. තාලිබාන් සංවිධානය විසින් ප්‍රහාරය හෙලා දැක තිබේ. ඉස්ලාම් රාජ්‍යය සංවිධානය නැගෙනහිර ඇෆ්ගනිස්තානය තුළ ප්‍රහාර සිදු කොට ඇති නමුත් මීට ඉහතදී කාබුල් අගනුවරට එල්ල වූ ප්‍රහාරවලට තමා සම්බන්ධ බව ප්‍රකාශ කොට නොතිබුණි.
යුද අපරාධ සිදු කළ පුද්ගලයන් සිටී නම් නිලතල තරාතිරම නොබලා අනිවාර්යයෙන් ඔවුන්ට දඬුවම් ලබා දිය යුතු බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමතිවරයා පවසයි.
"සමහර වෙලාවට ලක්ෂ දෙකක හමුදාවේ හත් අට දෙනෙක් නොහිටියා වෙන්නත් බැහැ. නොහිටියා නම් එකත් මම හිතන්නේ යථාර්තවාදී නැහැ," ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ උත්සවයකට සහභාගී වෙමිනි. ලොව වෙනත් රටවල හමුදා තුළත් එවැනි පුද්ගලයන් අතලොස්සක් දැකිය හැකි බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධ කෝප් වාර්තාව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් පවසයි.
"රටේ නීතිය කාටත් සමානයි කියන කාරණය අපි මේ හරහා පෙන්වා දෙනවා. අපි කිසි කෙනෙක් ආරක්ෂා කරන්න බැඳී සිටින්නේ නැහැ." ඇමතිවරයා කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. යමි කිසි අයකු වරදක් කර ඇත්නම් ඔවුන්ට දඬුවම් ලබා දීමේ අයිතිය රටේ නීති පද්ධතිය සතු බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ අදාළ කරුණ පිළිබඳ ඉදිරියේදී ගනු ලබන නෛතික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බවය. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ පවත්වන අතරතුර පසුගිය පාලන සමයේ සිදු වූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ද විධිමත් පරීක්ෂණ සිදු කෙරෙනු ඇති බවත් ඇමතිවරයා පැවසීය. වරදක් කර ඇත්නම් තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්වැඩිදුරටත් සඳහන් කළේය.
කොවිඩ් 19, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද දිනයේ පටන් මෙම වෛරසය පිළිබඳව දියත් වූ විද්‍යාත්මක ගවේෂණ පෙර නොවූ විරූ මට්ටමකින් සිදුවිය.
මීට පෙර කිසිදාක සිදු නොවූ ආකාරයකින් මේ සඳහා ගෝලීය වශයෙන් පර්යේෂකයෝ ඒකරාශී වී කටයුතු කළහ. වසර ගණනාවක් ගත වන පර්යේෂණවලට සහ එන්නත් නිෂ්පාදනයට ගතවූයේ මාස කීපයකි. පසුගිය දොළොස් මාසය ඇතුළත අප ලබාගත් දැනුම මෙසේය. කොවිඩ් 19 රෝග ලක්‍ෂණ වසංගතය ආරම්භයේදී ප්‍රධානතම රෝග ලක්ෂණය ලෙස හඳුනාගෙන තිබුණේ උණ සහ කැස්ස ඇතිවන බවය. වැඩිකල් නොගොස් තවත් රෝග ලක්ෂණයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලැයිස්තුවට එකතු විය. ආසාදිතයන්ට ගඳ-සුවඳ හා රසය නොදැනී යාම ඒ රෝග ලක්ෂණයයි. ඉන් පසුව පහත සඳහන් රෝග ලක්ෂණ ද ඇතැම් ආසාදිතයන්ට ඇතිවිය හැකි බවට වාර්තා ගත විය. රෝග ලක්ෂණ වැඩියෙන් මතුවී වැඩි අසනීප තත්වයක් ඇතිවන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවට දැනුම් දුන්නේය. හුස්ම ගැනීමේ අපහසුතාවය, කතා කිරීමේ අපහසුතාව, ඇවිදීමේ අපහසුතාව, පපුවේ කැක්කුම හා මානසික ව්‍යාකුලතාවය බරපතල රෝග ලක්ෂණ ලෙස හැඳින්වුණි. පෙර සිට යම් අසනීප තත්වයන්වලින් පෙළෙමින් සිටි පුද්ගලයන්ට කොවිඩ් 19 වැළඳුන විට ඔවුන්ගේ තත්වය බරපතල වන බව අපි දනිමු. දියවැඩියාව, පෙනහළු ආබාධ, හදවත් රෝග සහ පිළිකා ආදියෙන් පෙළෙන්නන් මෙම වෛරසයට ගොදුරු නොවීම සඳහා වැඩි ආරක්ෂාවක් සලසා ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේ එබැවිනි. බොහෝ ආසාදිතයන් ඉක්මනින් සුවය ලබන නමුත් මෙම වෛරසය ඇතැමුන්ගේ පෙනහළු හා හෘදය වස්තුවට දීර්ඝ කාලීන හානි පමුණුවන බව පර්යේෂණවලින් ඔප්පු විය. කොවිඩ් ව්‍යාප්තිය වසංගතයේ මුල් මාස කීපය තුළදී ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේ මිනිසුන්ගේ කැස්ස හෝ කිවිසුම් මගින් පිටවන බිඳිති යම් පෘෂ්ඨයක් මත තැන්පත් වීමෙන් පසු එම වෛරසය තවත් කෙනෙකුට බෝවන බවය. වෛරසය ආසාදනය වීම වලක්වා ගැනීම සඳහා ගත යුතු ප්‍රධානතම ආරක්‍ෂිත ක්‍රමවේදය, අත සේදීම බව ඔවුන් විසින් හඳුනාගනු ලැබුණේ එම නිසාය. ආසාදිතයන්ගේ දෑත් මගින් පෘෂ්ඨ මතුපිටට වෛරසය පැමිණීම හා එම පෘෂ්ඨ ස්පර්ශ කිරීමෙන් තවත් අයෙකුට බෝවීම ඉන් වලක්වා ගැනීම එහි අරමුණ විය. නමුත්, 'British Medical Journal' හි මෑතකදී පළවූ ලිපියක සඳහන් වූයේ පෘෂ්ඨයක් මතුපිට තිබී 'SARS-CoV-2' වෛරසය කෙනෙකුට ආසාදනය වීමට ඇති සම්භාවිතාවට වඩා ඉහළ සම්භාවිතාවකින් එම වෛරසය ආශ්වාසය හරහා ශරීරගත විය හැකි බවය. ඇත්ත වශයෙන්ම කියතොත්, කොවිඩ් 19 ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වී ඇත්තේ සමීප ආශ්‍රිතයන්ගෙන් වාතයට මුසුවූ වෛරස ආශ්වාස කිරීම මගිනි. වැඩි පිරිසක් ගැවසුණු සහ වාතාශ්‍රය පිටවීමට වැඩි ඉඩක් නොතිබෙන, වැසුණු පරිශ්‍රයක් තුළ අසදිතයෙකු හෝ දෙදෙනෙකු අන් අය සමඟ වැඩි කාලයක් ගතකිරීම හේතුවෙන් මෙය සිදුවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. නිවෙස් හෝ වෙනත් ගොඩනැගිලි තුළ එකිනෙකා හමුවීම තහනම් කරමින් අපට සීමා පැනවූයේ එබැවිනි. එන්නත්වලින් බලපෑමක් සිදුවූයේ ද? එක්සත් රාජධානියේ රෝහල් කරා ඇදී ආ ආසාදිතයන් ප්‍රමාණය අඩුකර ගැනීමට එන්නතෙන් විශාල බලපෑමක් ලැබී තිබේ. එක්සත් රාජධානියේ සමස්ත ජනගහනයෙන් තුනෙන් දෙකකට පමණ පළමු මාත්‍රාව පමණක් හෝ ලබා දී ඇති අතර එමගින් ආසාදිතයන් රෝහල් ගතවීම, මියයාම සහ ජනතාව අතර රෝග ව්‍යාප්තිය අඩු වූ බව දත්ත වාර්තා සනාථ කරයි. "මේක ඇත්තටම හොඳ දෙයක්. සැබෑ ලෝකයේ දත්තවලින් පෙන්නුම් කරනවා එන්නත වැඩ කරන බව. එක් මාත්‍රාවකින් පවා එය හොඳින් වැඩ කළා." එක්සත් රාජධානියේ වෛද්‍ය උපදේශකයෙකු වන මහාචාර්ය කැලම් සෙම්පල් පැවසීය. සාම්ප්‍රදායිකව ගත් කළ එන්නතක් සංවර්ධනය කිරීමට වසර 10 පමණ ගත වනු ඇත. නමුත්, ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රාසෙනෙකා වැනි කොවිඩ් 19ට එරෙහි එන්නත් වැඩිදියුණු කිරීම සඳහා ගත වූයේ එම කාලයෙන් අංශු මාත්‍රයක් පමණි. මුදල් ප්‍රතිපාදන වැඩිවීම, නිලධාරිවාදය අඩුවීම සහ නවීන තාක්ෂණයේ පිහිට ලැබීම එය වේගවත් වීමට හේතු විය. ඒ කෙසේ වෙතත් එම එන්නත් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම සඳහා මස කීපයක් ගත විය. එම එන්නත ලබා ගැනීමට වසරකට වැඩි කාලයක් බලා සිටීමට ඇතැම් රටවල මිනිසුන්ට සිදුවනු ඇත. එන්නත් බෙදා හදා ගැනීම පිළිබඳව සලකා බැලීමේ දී ගෝලීය වශයෙන් බොහෝ අසමානතාවයන් පැවතුණි. දිළිඳු සහ ධනවත් රාජ්‍යයන් අතර එන්නත බෙදී ගිය ආකාරය විවේචනය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ එහි "විමතිය දනවන අසමානතාවයක්" පවතින බවය. කොවිඩ් වෛරසය මැඩපැවැත්වීම සඳහා එන්නතින් විශාල පිටුවහලක් ලැබෙන බව පවසන නමුත් ප්‍රතිශක්තිය සඳහා සිරුරේ පවතින ප්‍රතිදේහ කාලයත් සමඟ වියැකී යනු ඇත. එබැවින් එන්නතකින් සදාතනික ආරක්ෂාවක් නොලැබේ. 'දිගු කාලීන කොවිඩ්' කොවිඩ් 19 වැළඳී මාස ගණනක් ගතවීමෙන් පසුව ද සැලකිය යුතු පිරිසක් තවමත් රෝග ලක්ෂණ ගණනාවකින් පෙළෙමින් සිටිති. මෙය 'දිගු කාලීන කොවිඩ්' (Long Covid) ලෙසින් හැඳින්වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ආසාදිතයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට මෙම තත්වයට මුහුණ දීමට සිදුවනු ඇත. හිසරදය, තෙහෙට්ටුව, පපුවේ කැක්කුම සහ විෂාදය දිගු කාලීනව පැවතිය හැකි රෝග ලක්ෂණ අතර වේ. වසංගතය ආරම්භ වූ අවදියේ දී මෙම තත්වය වෛද්‍යවරුන්ගේ බරපතල සැලකිල්ලට භාජනය නොවීය. ආසාදිතයන් අතුරින් ඇතැමුන්ට පමණක් දීර්ඝ කාලීනව විඳවන්නට සිදුවන්නේ ඇයිදැයි තවමත් විද්‍යාඥයෝ නොදනිති. කොවිඩ් 19 රෝගයේ දිගු කාලීන බලපෑම පිළිබඳව විද්‍යාඥයෝ දිගටම පරීක්ෂණ පවත්වමින් සිටිති. මෑතකදී ප්‍රකාශිත අධ්‍යයන වර්තාවක සඳහන් වන්නේ කොවිඩ් වෛරසයට ගොදුරු වී සුළු රෝග ලක්ෂණ පමණක් මතු වී සුවය ලැබූව ද ආසාදනයෙන් මාස හයක් පමණ ගතවන තුරු බරපතල ලෙස රෝගාතුර වීමේ හෝ මරණයට පත්වීමේ ඉහළ අවදානමක් පවතින බවය. "දිගු කාලීන කොවිඩ් නිසා උසුලාගෙන යන්න සිදුවන බර විශාලයි. මේ රෝගයෙන් ඇතිවන කල්පවතින බලපෑම වසර ගණනක්, ඇතැම්විට දශක කීපයක් වුනත් දෝංකාර දේවි," ශාන්ත ලුවිස් හි වොෂින්ටන් සරසවියේ සහකාර මහාචාර්ය සයිඩ් අල් අලි පැවසීය. "කොවිඩ් 19 වැළඳුනු පුද්ගලයන් පිළිබඳව වෛද්‍යවරුන් විශේෂ පරීක්ෂාවකින් සිටිය යුතුයි. ඔවුන්ට බහුවිධ සත්කාර ලබා දිය යුතුයි." වෛරසයේ අලුත් ප්‍රභේද මේ වන විට කොවිඩ් ව්‍යාප්තියේ විවිධාකාර මාදිලි හෝ ප්‍රභේද දහස් ගණනක් පවතී. මෙය බලාපොරොත්තු නොවූ දෙයක් නොවේ. වෛරසයක් තම ව්‍යාප්තිය සඳහා තමන්ගේම පිටපත් ජනනය කරද්දී ඒවා විකෘතිවීමට භාජනය වේ. බොහෝ අවස්ථාවලදී මෙම විකෘතිවීම් එතරම් ප්‍රශ්නයක් බවට පත් නොවේ. නමුත් ඇතැම්විට ඒ ක්‍රියාවලිය අතරතුරදී වඩා භයානක සහ බෝවීම අධික විය හැකි වෛරස ප්‍රභේදයක් ජනනය විය හැකිය. එක්සත් රාජධානියෙන්, දකුණු අප්‍රිකාවෙන්, බ්‍රසීලයෙන් සහ ඉන්දියාවෙන් මතු වූ වෛරස් ප්‍රභේදවල 'ස්පයික් ප්‍රෝටීනවල' වෙනස්වීම් සිදුවී තිබේ. වෛරසය මිනිස් සිරුරේ සෛලවලට බද්ධ වන්නේ මෙම ප්‍රෝටීනය මගිනි. උදාහරණයක් ලෙස 'N501Y' ලෙස නම් කර ඇති ප්‍රභේදය ගතහොත්, එය ආසාදනය වීමට සහ ව්‍යාප්ත වීමට වැඩි හැකියාවක් සහිත වෛරසයක් බවට පත්වී තිබේ. මේ අතරතුර එක්සත් රාජධානියෙන් සොයා ගත් 'B.1.1.7' නමැති ප්‍රභේදය ආසාදනය වුවහොත් මරණයට පත්වීමට ඇති අවදානම 30%කින් ඉහළ ගොස් ඇති බව ඇතැම් පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. කෙසේ නමුත් මෙම සාධක තවමත් නිල වශයෙන් සනාථ වී නොමැත. ළමුන්ට ඇති අවදානම ළමුන්ට ද කොවිඩ් 19 බෝ විය හැකි නමුත් ඔවුන්ට බරපතල රෝග ලක්ෂණ මතුවීමට ඇති ඉඩකඩ බොහෝ අඩුය. දැනට පවතින දත්ත වාර්තා අනුව බලන කල ඔවුන් හරහා රෝගය ව්‍යාප්ත වීම ද වැඩිහිටියන් හා සසඳන විට අඩු මට්ටමක පවතී. අලුතින් මතුවෙමින් පවතින ප්‍රභේද ව්‍යාප්ත වීමේදී බාල පරම්පරාව ආසාදිතයන් බවට පත්වීමේ අවදානම ඉහළ ගොස් ඇත්දැයි විද්‍යාඥයෝ මේ වනවිට සොයා බලමින් සිටිති. 2020 පෙබරවාරියේ පටන් 2021 මාර්තු 15 වැනිදා දක්වා වූ කාලය ඇතුළත කොවිඩ් වැළඳුණු බ්‍රසීලයේ ළමුන් අවම වශයෙන් 852ක් මරණයට පත් වූ බව පසුගිය මාසයේ නිකුත් වූ වර්තාවක සඳහන් විය. ළදරුවන්ගේ පටන් වයස අවුරුදු 9 දක්වා වූ ළමුන් ඒ අතර විය. වයස මාස 12ට වඩා අඩු ළදරුවන් 518 දෙනෙකු ද මිය ගිය බ්‍රසීල ළමුන් අතර සිටි බව බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. ලොව වැඩිම ආසාදිතයන් වාර්තා වූ රටවල් සහිත ලැයිස්තුවේ දෙවැනි තැන සිටියේ බ්‍රසීලයයි. එරට ළදරුවන් සහ ළමුන්ට කොවිඩ් 19යෙන් ඇතිවූ බලපෑම ඉහළ ගොස් ඇති බවක් පෙනෙන්නට ඇතැයි විශේෂඥයෝ පවසති. මීට හේතු විය හැකි තවත් කාරනා ද බ්‍රසීලයේ පවතී. වෛද්‍ය පරීක්ෂණ හිඟ වීම, පාචනය සහ උදරයේ වේදනා වැනි වෙනත් රෝග ලක්ෂණ ද සහිතව ළමුන් ප්‍රතිකාර සඳහා ඉදිරිපත් කිරීම මෙන්ම එරට ජනතාවට වෛද්‍ය සේවා සඳහා වියදම් දැරීමට නොහැකි වීම එම කාරනා අතර වේ. කොරෝනා වෛරසයෙන් එල්ල වූ වක්‍ර බලපෑම් ද ළමුන්ට අහිතකර විය. කොවිඩ් රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරී යමින් තිබිය දී වෙනත් සෞඛ්‍ය සේවා අඩාල විය. කොවිඩ් වසංගතයේ වක්‍ර බලපෑම හේතුවෙන් දකුණු ආසියාවේ මාතෘ හා ළමා මරණ 239,000ක් පමණ සිදු වී ඇති බවට ඇස්තමේන්තු කර ඇතැයි මේ වසර මුලදී එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වර්තාවක දැක්වේ. කොවිඩ් අප අතර රැඳෙන තත්වයක් කොවිඩ් 19 පිළිබඳව පර්යේෂණ සිදු කරමින් සිටින ප්‍රතිශක්තිය පිළිබඳ විශේෂඥයින්, බෝවන රෝග පිළිබඳ විශේෂඥයින් සහ වෛරස පිළිබද විශේෂඥයින් 100 දෙනෙකුගෙන් 'Nature' සඟරාව එකම පැනයක් විමසීය. කොවිඩ් 19 මේ ලෝකයෙන් තුරන් කළ හැකිවේද? යන්න එම පැනය යි. මෙම විශේෂඥයන් අතුරින් 90%කට ආසන්න පිරිසක් කියා සිටියේ මෙම වෛරසය මිනිසා අතර දිගටම රැඳී සිටිනු ඇතැයි තමන් විශ්වාස කරන බවය. මෙම වෛරසය "ඉදිරි වසර ගණනාවක් පුරා ගෝලීය ජන පොකුරු අතර සංසරණය වෙමින් පවතිනු ඇති" බව ඔවුහු විශ්වාස කරති. නමුත් කොවිඩ් 19 සමඟ අප ජීවත් විය යුතු ආකාරය පිළිබඳව මිනිසා දැනුවත් වෙමින් පවතින හෙයින් පසුගිය වසර පුරා වාර්තා වූ තරම් අසාදිත හා මරණ සංඛ්‍යාවක් ඉදිරියේ දී අපට දක්නට නොලැබෙනු ඇත. සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් තවමත් වසරකට ජීවිත දහස් ගණනක් අහිමි වෙමින් පවතී. නමුත් සමාජයක් ලෙස එම රෝගය දරා සිටින්නට අප හුරු වී ඇත. කොවිඩ් 19 ද එවැනි අසනීප තත්වයක් බවට පත්විය හැකිය. එය වරින්වර සමාජය තුළ හිස ඔසවනු ඇත. එක් වරකට වඩා එය අපට ආසාදනය විය හැකිය. තමන් සහ අනුන් වසංගතය ආරම්භ වූ මුල් අවධියේදී කොවිඩ් 19 වැළඳීමෙන් ආරක්ෂා වන්නේ කෙසේදැයි පැහැදිලි කරමින් ඒ රටවල රජයේ බලධාරීහු විවිධ උපදෙස් ලබා දුන්හ. නමුත්, මෙම වසංගතයෙන් බේරී සිටීමට ගත යුතු පියවර පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් පැහැදිලි උපදෙස් ලබා දී ඇත. අවම වශයෙන් මීටරයකවත් දුරස්ථභාවය රැක ගැනීම, නාසය සහ මුව ආවරණය කර ගැනීම සහ දෑත් සේදීම ප්‍රධාන ආරක්‍ෂිත ක්‍රමවේද අතර වේ. නිවෙස් හෝ කාමර මනා ලෙස වාතාශ්‍රය හුවමාරු වන පරිදි තැබිය යුතු අතර ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වැළකී සිටිය යුතුය. කැස්සක් හෝ කිවිසුමක දී වැලමිට නවා මුව හා නාසය ආවරණය කර ගැනීම හෝ ටිෂූ කඩදාසියක් භාවිතා කිරීම කළ යුතුය. එන්නතක් ලබා ගැනීමට අවස්ථාව ලැබී ඇත්නම් එය වහා ලබා ගත යුතුය. "අනුමත කරන ලද එන්නතක් ලබා ගැනීම මගින් කොවිඩ් 19 රෝගයෙන් බරපතල ලෙස රෝගී වීම හා මරණයට පත්වීමේ අවදානම අඩු කර ගැනීම සඳහා ඉහල ආරක්ෂාවක්" සැපයෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශයයි. කොවිඩ් ගැන තවමත් නොදන්නා දේ බොහෝය කොවිඩ් 19 පිළිබඳව මෙතෙක් නොවූ විරූ මට්ටමින් පර්යේෂණ සිදු වූ බව සැබවි. නමුත් තවමත් ඒ පිළිබඳව අප නොදන්නා දේ බොහෝය. විශේෂයෙන්ම, අපට 'සමුහ ප්‍රතිශක්තිය' ලඟා කර ගැනීම සඳහා කොපමණ කලක් ගත වේද? කෙනෙකුට සුළු රෝග ලක්ෂණ පහළ වෙද්දී තවත් කෙනෙකු බරපතල ලෙස රෝගාතුර වන්නේ ඇයි? මෙම වෛරසය මුලින්ම මිනිසාට ආසාදනය වුණේ කෙසේද? යන මාතෘකා ගැන කතා කරද්දී අප නොදන්නා දේ බොහෝය. ප්‍රතිශක්තිය කෙතරම් කාලයක් මිනිස් සිරුර තුළ පවතීද යන්න තවමත් පැහැදිලි නැත. එන්නතිකින් ලැබෙන ආරක්ෂාවේ සහ රෝගය වැළඳීමෙන් පසු ලැබෙන ආරක්ෂාවේ වෙනස අපට තවම පැහැදිලි නැත. එක් පුද්ගලයෙකුට නැවත වාරයක් කොවිඩ් 19 වැළඳීම සඳහා කොපමණ කාල පරතරයක් ගතවේද යන්න අපි නොදනිමු. දෙවන වර රෝගය වැළඳුනහොත් සුළු රෝග ලක්ෂණ පමණක් මතුවේද යන්න ගැන ද අවබෝධයක් තවම නැත. මේ සියල්ල පිළිබඳව දන ගැනීම සඳහා තවමත් ලොව පුරා පර්යේෂණ සිදු වෙමින් පවතී. මෙම වෛරසය සහ එහි නව ප්‍රභේද අනාගතයේදී පාලනය කරගන්නේ කෙසේද යන්න සොයා ගැනීමට එම පර්යේෂණවලින් හැකියාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරමු.
ඉරාක සමාජයේ කාන්තාවන්ට වඩා පිරිමින් ලිංගික අතවරවලට ගොදුරු වෙමින් ඇතැයි කිසිවකු සිතන්නට නැත.
බීබීසිය වෙනුවෙන් සිදු කරන ලද සමීක්ෂණය සඳහා මැද පෙරදිග සහ උතුරු ඇමෙරිකාවේ රටවල් දහයක 25,000 කට අධික ජනතාව සහභාගී කර ගනු ලැබුණි. එහෙත් බීබීසියේ මෙහෙයුමෙන් අරාබි ලෝකයේ සිදු කරන ලද පුළුල් සමීක්ෂණයකින් එවැනි ප්‍රවණතාවක් අනාවරණය වෙයි. එම සමීක්ෂණය මගින් පෙන්නුම් කෙරෙන තොරතුරු අනුව ඉරාක සමාජයේ කාන්තාවන්ට වඩා පිරිමි වාග්මය ලිංගික හිරිහැර හෝ ශාරීරික ලිංගික අතවරවලට ගොදුරු වෙති. බීබීසී සමීක්ෂණය; බීබීසිය වෙනුවෙන් සිදු කරන ලද සමීක්ෂණය සඳහා මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවේ රටවල් දහයකින් 25,000 කට අධික ජන සමූහයක් සහභාගී කර ගනු ලැබුණි. ඇල්ජීරියාව, ඊජිප්තුව, ඉරාකය, ජෝර්දානය, කුවේට්, ලෙබනනය, මොරොක්කෝව, සුඩානය, ටියුනීසියාව,සහ යේමනය එම රටවල් දහයයි. තවද, පලස්තීන පාලන ප්‍රදේශයත් එම සමීක්ෂණයට ඇතුළත් කරගනු ලැබුණි. බීබීසිය වෙනුවෙන් සමීක්ෂණය සිදු කරන ලද්දේ ප්‍රින්ස්ටන් (Princeton) සරසවිය මූලස්ථාන කරගත් 'ඇරෑබ් බැරෝමීටර්' (Arab Barometer) පර්යේෂණ ජාලය විසිනි. ලිංගික මාතෘකා පිළිබඳව විවෘත මට්ටමින් සාකච්ඡා කිරීමට යොමුවූ පලස්තීන කාන්තාවන් කණ්ඩායමක් සාමිගේ කතාව: පළමු අතවරය සාමි වයස අවුරුදු දහතුනක ළමයෙකි. (එය ළමයාගේ සැබෑ නම නොවේ.) ඔහුගේ අත්දැකීම මෙසේ ආරම්භ වෙයි. සාමි පාසලේ වැසිකිළියෙහි සිටියදී වයස අවුරුදු දහතුනත් -පහළොවත් අතර වූ යොවුන් සිසුන් තුන්දෙනෙක් එහි ඇතුල්ව ඔහු බිත්තියකට හේත්තු කර ගනිති. අනතුරුව ඔවුහු සාමිගේ සිරුරේ අවයව අතපත ගාන්නට පටන් ගත්හ. සාමිගේ සිරුර අයිස් කන්දක් මෙන් ශීතල වන්නට වූ අතර ඇති වූ කම්පනයත් සමඟ ඔහුගේ සිරුර අඩපන විය. එහෙත් මොහොතකින් අමාරුවෙන් වචන සොයා ගත් සාමි කෑ ගසන්නට පටන් ගනී. අනතුර දැනගත් සෙසු සිසුහු සිද්ධිය විදුහල්පතිවරයාට දැනුම් දෙති. විදුහල්පතිවරයා චූදිත සිසුන් තිදෙනා පාසලින් නෙරපා හරින නමුත් එම පියවර ගැනීමට හේතුව හෝ එම ළමුන් සිදුකළ වරද පිළිබඳව ඔවුන්ගේ දෙමව්පියන් දැනුවත් නොකරයි. විදුහල්පතිවරයා පසුව සාමි සිය කාර්යාලයට කැඳවයි. සාමි වැසිකිලියේ දී මුහුණ දුන් අත්දැකීම "ඔහුගේ කැමැත්ත ඇතිව" සිදු වූ දෙයක් ලෙස පාසල සලකන බවත්,සෙසු සිසුන් තිදෙනාත් සමඟ ඔහුත් පාසලෙන් නෙරපා නොහැරීම සාමිගේ වාසනාවක් වූ බවත් විදුහල්පති සාමිට දැනුම් දෙයි. කෙසේවුවද, පාසලේ රැඳී සිටීමට සාමිට තවත් අවස්ථාවක් ලැබෙන බවත් විදුහල්පතිවරයා පවසයි. විදුහල්පතිගේ එම විනිශ්චය සාමි දකින්නේ 'තමා යලිත් අතවරයකට ලක් කිරීමක්' ලෙසය. "කාගේත් සැකය වුණේ මම අර ළමයි තුන්දෙනාත් එක්ක රහසින් 'ප්ලෑන්' කරලා කෑ ගැහුවා කියලයි' සාමි පවසයි. කෙසේවුවද තමා මුහුණ දුන් අමිහිරි අත්දැකීමෙන් කම්පනයට පත්ව සිටි සාමි, එම අතවරය ගැන සිය පවුලේ සාමාජිකයන් දැනුවත් නොකිරීමට තීන්දු කරයි. තමා තුළම සැඟවුණ ජීවිතයක් පටන් ගත් සාමි මාස කීපයක් කිසිවකු සමඟ කතා නොකළ තරම්ය. එය සාමි මුහුණ දුන් පළමු ලිංගික අතවරයයි. බැග්ඩෑඩ් නගරය සාමිට අලුත් මිතුරු සමාජයක් එක්කළ ස්ථානයක් විය සාමි: දෙවැනි අතවරය මේ 20017 වසරයි. දැන් සාමිගේ වයස අවුරුදු පහළොවකි. මෙයින් වසරකට පෙර (2016) සාමිගේ පියා දිවියෙන් සමුගත්තේය. පවුල පෝෂණය කළ දෑත අහිමිවීම සාමිගේ පවුලට එල්ල වූ දැඩි පහරකි. ප්‍රීතිමත් ළමාවියක් සහිත සාමි හැදී වැඩුණේ ඉරාකයේ සරුසාර 'බැබිලන්' (Babylon) ප්‍රාන්තයේය. එය බැග්ඩෑඩ් අගනුවරින් කිලෝමීටර් සීයක් පමණ ඈතින් පිහිටා ඇත. උදෑසන හතට පමණ පිබිදෙන සාමි පාසල් ගොස් සවස් වරුවේ නිවසට පැමිණෙයි. යළිත් පාඩම් කටයුතුවල නිරත වෙන ඔහු සවස් කාලය සිය සහෝදරයා සහ සහෝදරිය සමඟ ගත කරයි. රාත්‍රී ආහාරය සඳහා ඔවුහු බොහෝවිට සීයා සහ ආච්චිලාගේ නිවසට යති. ඒ අතරම ඔහු සිය පියා රැකියාව කළ වෙළෙඳසැල අතුපතු ගා පිරිසිදු කරමින් ඊට කුලිය හැටියට පැණිරස කෑමට අවශ්‍ය කාසි සොයා ගනියි. එහෙත් කාලය යහපත් එකක් නොවීය. සිය පියාගේ අභාවයත් සමඟ රැකියාවක් සොයා ගැනීමට සාමිට සිදුවෙයි. ඔහු නගරයේ පොළෙහි වෙළෙඳසැලක රැකියාවක් සොයා ගනියි. එම වෙළෙඳසැල් හිමියා ඕනෑවට වඩා තමා කෙරෙහි සැලකිලිමත්වීම සාමිට දුෂ්කර කරුණක් විය. "එයා මට ඕනෑවට වැඩිය සලකන්න පටන් ගත්තා" සාමි පවසයි. රැකියාවේ තවත් දවසකි. වෙළෙඳසැල තුළ සිටියේ සාමි සහ කඩහිමියා පමණි. ඔහු සාමි කොටුකර ගත්තේය. ඔහු සාමි බදා ගනිමින් ඔහු සිඹ ගැනීම සඳහා පොර බදන්නට විය. කලබලයෙන් වහා ක්‍රියාත්මක වූ සාමි අතට හසු වූ වීදුරු ජෝගුවකින් කඩහිමියාගේ හිසට පහර දී පැන දුවන්නට විය. එය සාමි මුහුණ දුන් දෙවැනි ලිංගික අතවරයයි. කඩහිමියා සිදුවූ දෙය අසල්වාසීන්ට දැනුම් දුන්නාද යන්න සාමි හරිහැටි නොදනී. එහෙත් ඔහුට වෙනත් රැකියාවක් සොයා ගැනීම සඳහා වසරක් බලා සිටීමට සිදු විය. සාමි වයස අවුරුදු දහසයේ දී: එය, සාමිගේ මව, සහෝදරයා සහ සහෝදරිය නිවසින් බැහැර ගිය දිනයකි. සාමිට වඩා වයසින් වැඩි ඥාති සහෝදරයෙක් ඔවුන් හමුවීමට නිවසට පැමිණියේය. අසල අසුනක හිඳගත් එම ඥාති සහෝදරයා හිටිහැටියේ ඔහුගේ ජංගම දුරකතනය අතට ගෙන සාමි ඉදිරිපිටම එහි වූ කාම දර්ශන නරඹන්නට විය. නොසිතූ මොහොතක එම පුද්ගලයා ශාරීරික බලය පාවිච්චි කරමින් සාමි බදා පෙරලා ගනිමින් ඔහුව දූෂණය කළේය. එම ප්‍රහාරාත්මක දූෂණය ගැන කතා කිරීමත් සාමිට අසීරු කරුණක් විය. එම නපුරු සිදුවීම් ගැන සිතීම පවා මහත් පීඩාවකි. ඔහුට තම ළමාවිය ගෙවූ නිවසේ තවදුරටත් රැඳී සිටීම පවා කළ නොහැකි විය. "අපේ ගෙවල් කිට්ටුව ස්ථානයක වෙනත් ගෙදරකට යාමට මම මගේ පවුලේ කට්ටිය එකඟකර ගත්තා. අපි අපේ නෑයො, අසල්වැසි යාළුවො එක්ක සම්බන්ධකම් නතර කෙරුවා," සාමි පවසයි. පවුලේ කාටත් රැකියා ලද බැග්ඩෑඩ් අගනුවර ඔවුන්ගේ ඊළඟ නවාතැන විය. තුන්වතාවක්ම ලිංගික අතවරවලට ලක්වීමෙන් ලද අමිහිරි මතකයේ කැළැල් මතුවෙත්ම ආදර සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම පැත්තෙන් සාමි තුළ ඇති කරන්නේ ලජ්ජාවකි. එහෙත් බැග්ඩෑඩ්හිදී ක්‍රමයෙන් අලුත් මිතුරන් ඇතිකර ගැනීමත් සමඟ සාමි තුළ විශ්වාසයක් ගොඩ නැගෙන්නට වූ අතර, සිය අමිහිරි අත්දැකීම් මෙනෙහි කරමින් තනිවම විඳවන්නට ඔහුට අවශ්‍ය නොවුණි. ලිංගික අතවරවලට ගොදුරු වූ එකම මිනිසා තමා නොවන බව සාමි වටහා ගත්තේය. තමන් ද ලිංගික හිරිහැර වලට ගොදුරු වී ඇති බව ඔහුගේ කණ්ඩායමේ සිටි මිතුරෝ සාමිට කියා සිටියහ. තුන්වතාවක්ම ලිංගික අතවරවලට ලක්වීමෙන් ලද අමිහිරි මතකයේ කැළැල් මතුවෙත්ම ආදර සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම පැත්තෙන් සාමි තුළ ඇති කරන්නේ ලජ්ජාවකි. බීබීසිය විසින් සමීක්ෂණය කළ අරාබි රටවල් දහය සහ පලස්තීන පාලන භූමිය ගත්විට ඉන් රටවල් දෙකක පිරිමි පක්ෂය කාන්තාවන්ට වඩා වාග්මය සහ ලිංගික හිරිහැරවලට ගොදුරු වෙන බව අනාවරණය වෙයි. ටියුනීසියාවේ පිරිමින් මුහුණදෙන ලිංගික අතවර කාන්තාවන්ට වඩා වැඩිවුණේ 1%කින් පමණි. එහෙත් ඉරාකයේ කාන්තාවන් මුහුණදෙන ලිංගික අතවර අනුපාතය 33% ක් වෙද්දී පිරිමින් මුහුණ දෙන අතවරවල ප්‍රතිශතය 39 % ක් විය. ඉරාක කාන්තාවන්ගෙන් 17%ක් තමන් ශාරීරිකව ලිංගික අතවරවලට ගොදුරු වූ බව පවසද්දී, එරට පිරිමින්ගෙන් 20%ක් ඔවුහු මුහුණ දුන් ලිංගික හිරිහැර පිළිබඳව කියා සිටියහ. තමන් ගෙදරදොරේදී හිරිහැරවලට ලක්වෙන බවත් බොහෝ ඉරාක පුරුෂයෝ පවසති. කාන්තා අයිතිවාසිකම තහවුරු නොවු රටක් වන ඉරාකයේ සමාජමය හැඩගැසීම ගත් විට එවැනි තොරතුරු එක්තරා විශ්මයක් ඇති කරන සුළුය. ඉරාක අපරාධ නීතියේ 41 වගන්තිය ප්‍රකාර ස්වාමිපුරුෂයකු විසින් භාර්යාවට පහරදීම රටේ නීතියට පටහැණි නැත. එහෙත් ඉහත කී සමීක්ෂණය මෙහෙයවූ 'Arab Barometer' පර්යේෂණ ජාලයේ ක්‍රියාකාරිනියක වන කැත්රින් තෝමස් (Dr Kathrin Thomas) ලිංගික හිරිහැරවලට ලක්වෙන ඉරාක කාන්තාවන් ඒවා සඟවාගෙන සිටිනවා වියහැකි බවට අවධානය යොමු කරවයි. "හිරිහැර කිරීම් වගේ සංවේදී මාතෘකාවක් පිළිබඳව විමසන විට කොන්දේසි ටිකකුත් එක්කයි ඉදිරිපත් වෙන්නේ" කැත්රින් තෝමස් (Dr Kathrin Thomas) පවසයි. "මහා පරිමාණයෙන් සිදු කෙරෙන හිරිහැර ආදිය ගැන සහමුලින් තොරතුරු සපයන්න මහජනතාව පෙළඹෙන්නේ නැහැ. මොකද? එසේ කිරීම ඔවුන්ට අප්‍රසන්න දුෂ්කර තත්ත්වයක් ඇති කරන නිසා. එහෙමත් නැත්නම්, එවැනි තොරතුරු ගැන කතා කිරීම ඔවුන්ට නරක ප්‍රතිවිපාක අත් කරනවා වෙන්න පුළුවන්," ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නීය. "පිරිමින්ට සාපේක්ෂව බැලුවම, ගැහැනුන් තමන් මුහුණ දෙන හිරිහැරවලින් වැඩි හරියක් හංගාගෙන ඉන්න යොමුවෙනවා වෙන්න පුළුවන්." 'හියුමන් රයිට්ස් වොච්' මානව හිමිකම් සංවිධානයේ ඉරාකය පිළිබඳ ජ්‍යෙෂ්ඨ සමීක්ෂකයා වන බෙල්කිස් විලී (Belkis Wille) කැත්රින් සමඟ එකඟ වෙයි. "ගැහැණු නිතරම ඉස්සරහට එන්න මැලිකමක් දක්වනවා. ඔවුන්, ඔවුන්ගේ අත්දැකීම් ගෙදොරදොරේ හිරිහැර එහෙමත් නැත්නම් ලිංගික හිරිහැර විධියට වර්ග කරන්න යොමු වෙන්නේ නැහැ. හිරිහැර කියන යෙදුම පවා ඔවුන්ට හුරු දෙයක් නොවෙන්න පුළුවන්," බෙල්කිස් විලී (Belkis Wille) පවසන්නීය. එම ප්‍රවණතාව ඉරාක රෝහල්වලදීත් දැක්නට ලැබුණ බව බෙල්කිස් විලී (Belkis Wille) පෙන්වා දෙයි. "ඉරාකයේ නීතිය අනුව හැම රෝහලකම හැම තිස්සේම ආරක්ෂක නිලධාරීන් ඉන්නවා. තමා හිරිහැරයකට ගොදුරු විනැයි කාන්තාවක් කිව්වොත් ඒ ප්‍රකාශය ගැන ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දීමට වෛද්‍යවරු බැඳිලා ඉන්නවා." "මේ නිසා කාන්තාවෝ නිතරම බොරු කියනවා. අපරාධකාරයන්ව ආරක්ෂා කරනවා. විශේෂයෙන්ම අපරාධය සිදුකළ පුද්ගලයන් හඳුනන අයනම් එහෙම වෙනවා. අපරාධ පරීක්ෂණයකට යන්න ගැහැණු භයයි. මොකද? ඔවුන්ට ආයෙත් වතාවක් අනතුරකට මුහුණ දෙන්නට සිද්ධ වේවි කියන බිය නිසා." පොලිසියට පැමිණිලි නොකෙරෙන බවක් පෙනී ගියත්, ඉරාකයේ සමරිසි ප්‍රජාව සහ ලිංගික සංක්‍රාන්තික කාන්තාවන් ලිංගික හිංසන අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වීම සම්බන්ධයෙන් ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය අවධානය යොමු කරයි. "ඉරාකයේ සමරිසි ප්‍රජාව සහ ලිංගික සංක්‍රාන්තික පිරිමි දිගින් දිගටම ලිංගික හිරිහැර ආදියට ගොදුරු වෙනව. නාරීමය පෙනුමක් සහ කටහඬක් සහිත පුද්ගලයන් නිතරම ලිංගික හිංසනවලට ලක්වෙනවා," 'IraQueer' රාජ්‍ය නොවන සංවිධානයේ නිර්මාතෘ අමීර් අෂෝර් (Amir Ashour) පවසයි. ලිංගික හිරිහැර නතර කරන මෙන් කෙරෙන ඉල්ලීමක් ස්වීඩනය මූලස්ථාන කරගත් 'IraQueer' රාජ්‍ය නොවන සංවිධානය ඉරාකයේ සමරිසි (LGBT) ප්‍රජාව මුහුණදෙන ගැටළු කෙරෙහි අවධානය යොමු කරයි. "මේ අපරාධ දිගටම සිද්ධ වෙන්නේ -ඒවා ගැන පූර්ණ වාර්තා වීමකින් තොරව. මොකද? සමාජ තහංචි නිසා ඒවා ගැන කතා කරන්න අවසරයක් නැහැ. ඒ වගේ අපරාධයකට ගොදුරු වෙලා තියෙන්නේ -සමරිසි සමාජයේ කෙනෙක් වුනොත්, එය පහරදීම් සහ වෙනස්කම් කිරීම තවත් වැඩිවීමට හේතු වෙන්න පුළුවන්." එම අදහසට සාමි විසින්ද ප්‍රතිචාරය කරනු ලබයි. "පිරිමියකු දූෂණය කරනු ලැබීම නීතියට පටහැණි ක්‍රියාවක් වුනත්, පොලිසියෙන් සහ සමාජයෙන් ඊට ගොදුරු වූ පුද්ගලයාට අනුකම්පාවක් නැහැ." "පිරිමියකු දූෂණය කරනු ලැබීමක් සම්බන්ධයෙන් කවුරුහරි පැමිණිල්ලක් කළොත් ඒක අහන පොලිස්කාරයටත් හිනායන තත්වයක් රටේ තියෙන්නේ," සාමි පවසයි. වයස අවුරුදු දහතුනේ දී (13) පාසලේ දී තමා මුහුණ දුන් සිදුවීම සාමිට සිහිපත් වෙයි. එම හිංසනයේ ගොදුරක් වීම සම්බන්ධයෙන් එම අවස්ථාවේ ඔහුටත් දෝෂාරෝපණ එල්ල විය. 'එවැන්නක් යළි සිදුවිය හැකිය' යන්න සාමිගේ අදහස වෙයි. "කවුරුහරි කෙනෙක් මාව දූෂණය කරා කියල පැමිණිලි කළොත්, පොලිසිය මම ඒ අපරාධයේ ගොදුර විධියට නොසලකන හැඩක් තියෙන්නේ. ඒ වෙනුවට ඔවුන් මාවත් සිරගත කරන්න ඉඩකඩ තියෙනවා. මොකද? මම දූෂකයන්ගේ ගොදුර වුනත් මමත් ඒ සිද්ධියේ කොටස්කාරයෙක් නිසා. එය නීතියෙන් තහනම් කරලා තියෙන සමලිංගික ක්‍රියාවේ නිරතවීමක් කියල පොලිසිය හිතන්න පුළුවන්," සාමි පවතින තත්වය විස්තර කරයි. "නීතිය මගේ පැත්තේ වුනත්, එය ක්‍රියාත්මක කරන්නන් මගේ පැත්තේ නොවෙයි." ඉරාක පොලිසියේ ප්‍රකාශකයෙක් ප්‍රකාශනයක් මගින් මෙසේ සඳහන් කළේය. "අපේ දොරවල් පුරවැසියන්ට විවෘතයි. ලිංගික හිරිහැරයක් පිළිබඳව ඊට ගොදුරුවූවන් පැමිණිලි කළොත් එම අපරාධකාරයන් අත්අඩංගුවට ගන්නවා." මානව හිමිකම් පිළිබඳ රටේ අලුත් නියාමනයන් අනුව 2003 පටන් අලුත් මූලෝපායක් අනුගමනය කරන බවත් එම පොලිස් ප්‍රකාශනයේ දැක්වෙයි. එපමණක් නොව, එවැනි පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විශේෂඥ දැනුමැති නිලධාරීන් බඳවා ගත් බවත් එමගින් පැවසෙයි. සාමිට දැන් දහසයයි සාමිට දැන් යහපත් කාලයක් උදා වී ඇත. ඔහු බැග්ඩෑඩ් නගරයේ ජීවිතයට මනාපය. ඔහු ප්‍රකට ජාත්‍යන්තර සමාගමක රැකියාවක් කරයි. එසේම ඔහුගේ අතීතය දන්නා සහයෝගාත්මක මිතුරන් කණ්ඩායමක් සිටිති. සාමි සිය කතන්දරය බීබීසියට අනාවරණය කිරීම මගින් බලාපොරොත්තු වන්නේ එවැනි අමිහිරි අත්දැකීම් සහිත තවත් පුද්ගලයන්ට පෙරට පැමිණීමට දිරි දීමය. එහෙත් සාමිට සිය අතීතය වසා පසෙකින් තබන ලද පොතක් නොවේ. තමාට කිසිවකු සමඟ සම්බන්ධයක් ඇතිකර ගැනීමට හැකි වනු ඇත යන හැඟීමක් ඔහු තුළ නොමැත. කිසියම් දවසක ඔහු සහකරුවකු හෝ සහකාරියක් සොයාගනු ඇත. වයස අවුරුදු තිස්පහක් වූ දවසක ඔහු ඒ ගැන නැවත සිතනු ඇතැයි ඔහු පවසයි. ඉරාක යුද්ධයේ උච්ඡතම අදියරේ දී ඇමෙරිකානු හමුදාවේ භාෂා පරිවර්තකයකු වූ නයෙෆ් හ්රෙබිඩ් (Nayyef Hrebid) සහ ඉරාක සොල්දාදුවකු වූ බ්ටු අලාමි ආලයෙන් බැඳුණහ සමාජ තහංචියට මැදි වූ තවත් ආදර කතාවක් ඉරාක යුද්ධයේ උච්ඡතම අදියරේ දී ඇමෙරිකානු හමුදාවේ භාෂා පරිවර්තකයකු වූ නය්යෙෆ් හ්රෙබිඩ් (Nayyef Hrebid) සහ ඉරාක සොල්දාදුවකු වූ බ්ටු අලාමි (Btoo Allami) ආලයෙන් බැඳුණහ. එම හමුව 'යුවළක් හැටියට ජීවත්වීම' සඳහා ඔවුන් වසර දොළහක් තිස්සේ ගෙනගිය අරගලයක සමාරම්භය ද විය. කියවන්න;
මහජනතාව ආහාර වේලට අලුත් පළතුරු එක්කර ගනු ලැබීම type-2 වර්ගයේ දියවැඩියාවට ගොදුරු වීමේ අනතුර අවම කර ගැනීමට හේතු වෙන බව නව සමීක්‍ෂණ වාර්තාවකින් පැවසෙයි.
ඇමෙරිකා එක්සත් ජනපදය,බ්‍රිතාන්‍යය සහ සිංගපූර් යන රටවල විද්‍යාඥයන් විසිනුයි, සමීක්ෂණය සිදුකර තිබෙන්නේ. පුද්ගලයන් දෙදාහකට ආසන්න පිරිසක් යොදා ගනිමින්, අවුරුදු විසිපහක පමණ කාලයක් තිස්සේ සිදු කරනු ලැබ ඇති සමීක්‍ෂණයේදී හෙළි වී තිබෙන්නේ, විශේෂයෙන්ම ,බ්ලූ බෙරි,මිදි සහ ඇපල් වැනි අළුත් පළතුරු වැඩි වශයෙන් බුදින්නන් දියවැඩියාවට ගොදුරු වීමට ඇති ප්‍රවණතාව හතරෙන් එකකින් පමණ අඩු වෙන බවයි. එහෙත් ස්ට්‍රෝබෙරි සහ කොමඩු වැනි වෙනත් ඇතැම් පළතුරු වර්ග අනුභවය දියවැඩියාවෙන් බේරීමට ලොකු උදව්වක් නොවන බවත් තම ගවේශනයේදී හෙළි වූ බවයි සමීක්ෂකයන් පවසන්නේ. සමීක්ෂකයන් තව දුරටත් කියා සිටින්නේ,පළතුරු යුෂ බීම type-2 දියවැඩියාවට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි කරන බවයි.
එංගලන්තයේ බකිංහම්ශයර් ප්‍රදේශයට ඉහළ අහසේදී හෙලිකොප්ටරයක් හා ගුවන් යානයක් ගැටී ඇතැයි විශ්වාස කරන බව බලධාරීහු පවසති.
හදිසි සේවා යොමු කර ඇති අතර ජීවිත බේරාගැනීමට ප්‍රමුඛතාව දී ඇති ඇතැයි වාර්තා වේ. ගුවන් අනතුරු විමර්ශන අංශය (AAIB) පවසන පරිදි බකිංහම්ශයර් හි අයිල්ස්බරි ප්‍රදේශයට ආසන්නයේ එම අනතුර සිදුවී තිබේ. අයිල්ස්බුරිහි වොඩස්ඩන් මැදුරට නුදුරින් අනතුර සිදුවී ඇතැයි වාර්තා වේ තුවාලකරුවන් පිරිසක් සිටින බව ගිලන්රථ කාර්ය මණ්ඩල පැවසූහ. අනතුරට ලක්වූ යානා දෙක ම වයිකොම්බ් හි ගුවන් පථයේ සිට පැමිණි ඒවා බව ව්යිකොම්බ් එයාර් පාර්ක්හි ප්‍රකාශකයෙකු පැවසීය ගුවන් පුහුණු ස්ථානයක් වන බූකර් ගුවන් පථය ලෙසින්ද හැඳින්වෙන වයිකොම්බ් එයාර් පාර්ක් පිහිටා තිබෙන්නේ අනතුර සිදුවූ ස්ථානයේ සිට සැතපුම් 20ක් එපිටිනි.
මරණීය දණ්ඩනය නීති පොතෙන් ඉවත් කරන මෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයෙන් කළ ඉල්ලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සාවධානව අසා සිටි බව ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ පවසයි.
ජනාධිපතිවරයා අද පළමුවරට මහා මණ්ඩල සැසිවාරයට සහභාගි විය ජනාධිපතිවරයා සමඟ එක්සත් ජනපද සංචාරයට එක් වී සිටින ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක ඒ බව කියාසිටියේ පාප්වහන්සේගේ ඉල්ලීම පිළිබඳව ජනාධිපතිවරයාගෙන් කිසියම් ප්‍රතිචාරයක් පළවූයේ දැයි බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ. "එතුමා ඒ ප්‍රකාශය ඊයේ අසා සිටියා. එතුමා යම්කිසි දෙයක් හිතට අරගෙන ඇති. නමුත් මම දන්නේ නෑ ජනාධිපතිතුමාගේ තීරණය කොයි වගේද කියලා," ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක පැවසීය. මරණ දඬුවම සම්පූර්ණයෙන්ම ඉවත් කරන මෙන් පාප් වහන්සේ ඉල්ලා සිටියහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය සංචාරයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු ජගත් නායකයන්ද හමුවීමට නියමිත ඔහු පැවසීය. ජනාධිපතිවරයා ඇමෙරිකානු ජනාධිපති ඔබාමාද හමුවීමට නියමිත නමුත්, ඒ සඳහා තවමත් නිශ්චිත දිනයක් යොදා ගෙන නැත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වෙමින් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිකුරාදා මහා මණ්ඩල සැසිවාරයේ සමාරම්භක සමුළුවට සහභාගි වූ අතර, ලබන 30 වැනි දින මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි.
ලබන අවුරුද්දේ (2020) එංගලන්තයේ ප්‍රාථමික පාසල් අධ්‍යාපනය සඳහා අලුත් විෂය දහරාවක් හඳුන්වාදීමේ දී, ළමුන්ට ස්ත්‍රී ලිංග ඡේදනය (Female genital mutilation -FGM ) හෙවත් යෝනි සුන්නත පිළිබඳව ඉගැන්වීම ආරම්භ කළ යුතුව ඇතැයි සමාජ ක්‍රියාකාරිකයන් කණ්ඩායමක් පෙන්වා දෙති.
බොහෝ අප්‍රිකානු රටවල යෝනි සුන්නත් කිරීම සිදු කෙරෙන්නේ සමාජ චාරිත්‍රයක් වශයෙනි. එංගලන්තයේ ද්විතීයික පාසල් ළමුන්ට 2020 සිට කාන්තා යෝනි සුන්නත (FGM ) පිළිබඳව ඉගැන්වීමට දැනටමත් නියමිතව ඇත. එහෙත් දැනටමත් අනතුරුදායක තත්වයක පසුවෙන ඇතැම් ගැහැණු ළමුන් එම පාඩම් ඉගෙනීම අතින් ප්‍රමාදයක් සිදුවිය හැකි බවට විශේෂඥයෝ බිය පළ කරති. ජාතික FGM මධ්‍යස්ථානයට අනුව, වයස අවුරුදු දහයට පෙර බොහෝ ගැහැණු දරුවන් පිටරටවල දී නිතරම යෝනි සුන්නතට ගොදුරු වෙති. 2003 වසරේ සිට එංගලන්තය,වේල්සය සහ උතුරු අයර්ලන්තයේත් 2005 වසරේ සිට ස්කොට්ලන්තයේත් එම ක්‍රියාව නීතියෙන් තහනම් කරනු ලැබ ඇති නමුත් එක්සත් රාජධානියේ වෙසෙන ඇතැම් ප්‍රජා කණ්ඩායම් දිගටම එම චාරිත්‍රයේ යෙදෙන බව බලධාරීන්ට හසු වී ඇත. අප්‍රිකානු ,ආසියානු සහ මැද පෙරදිග කෝටි විස්සක් දැරියන් කාන්තාවන් යෝනි සුන්නත් කිරීමට ගොදුරු වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය ඇස්තමේන්තු කරයි. අවුරුදු තුනක දැරියකටත් එංගලන්තයේ වෙසෙන සංක්‍රමණික පවුලක තුන් හැවිරිදි දැරියක් ඇයගේ මව විසින් යෝනි සුන්නතට භාජනය කරනු ලැබීමෙන් අනතුරුව, එම කාන්තාවට එරෙහිව මේ වසර මුලදී නඩු පවරන ලද අතර, එම කාන්තාව අදාළ අපරාධයට වරදකාරිය යයි අධිකරණය තීන්දු කළේය. බර්නාඩෝ ළමා ශුභ සාධක ආයතනය සහ පළාත් පාලන සම්මේලනය හවුලේ ක්‍රියාත්මක කරන ජාතික FGM මධ්‍යස්ථානයේ ඉලක්කය 2030 වන විට යෝනි සුන්නත සහමුලින්ම සමාජයෙන් තුරන් කර දැමීමය. ප්‍රජාව අතර දක්නට ලැබෙන විවිධ ජන සංයුතීන් නොතකා හරිමින්, තම සිරුරේ අයිතිය තමන් සතු බව සහ ඊට හානි කිරීමේ අයිතියක් වෙනත් කිසිවකුට නැති බව රට පුරාම ළමුන්ට පොදුවේ ඉගැන්වීම ඉතා ප්‍රයෝජනවත් බව ජාතික FGM මධ්‍යස්ථානය පෙන්වා දෙයි. ඒ අනුව ලබන අවුරුද්දේ අලුත් සබඳතා සහ නව සෞඛ්‍යය අධ්‍යාපන විෂය දහරාව ක්‍රියාවට නංවන විට ළමුන්ට යෝනි සුන්නත (FGM ) පිළිබඳව ඉගැන්වීම ආරම්භ කරන මෙන් ජාතික FGM මධ්‍යස්ථානය ප්‍රාථමික පාසල්වලින් ඉල්ලීමක් කරයි. "ප්‍රාථමික පාසල්වල මේ මාතෘකාව පිළිබඳව ළමුන්ට ඉගැන්වීමේ දී ඇතැම් ව්‍යතිරේක ඉදිරිපත් විය හැකි නමුත්,වයසට ඔබින මට්ටමින් ළමුන් කේන්ද්‍ර කර ගනිමින් එම කාර්යය සිදුකළ හැකි බව අපට පෙනී ගොස් තිබෙනවා" ජාතික FGM මධ්‍යස්ථානයේ ප්‍රධානී ලීතන් බර්තොලමිව් ප්‍රකාශ කළාය. "යෝනි සුන්නත් කරනු ලැබීම ගැන ප්‍රාථමික පාසල්වල ළමුන්ට ඉගැන්වීම මගින් එම කාරණය ගැන කතා කරන්නට අපි ඊළඟ පරම්පරාවට ශක්තියක් ලබා දෙනවා" "ඒත් මේක ඊළඟ පරපුර අවදි කිරීමක් විතරක් නොවෙයි.තමන් අයත් ප්‍රජා කණ්ඩායම,තම ලිංගිකත්වය සහ වෘත්තීය නොතකා යමින් කවුරුත් මේ සංවාදයට එකතු වෙන්න අවශ්‍යයි.එහෙම වුනොත් යෝනි සුන්නත සැඟවුන අපරාධයක් විධියට කරන්න බැරි තත්වයක් උදා වෙනවා" ජාතික FGM මධ්‍යස්ථානයේ ප්‍රධානී ලීතන් බර්තොලමිව් වැඩිදුරටත් පවසන්නීය. අදාළ පුවතක්; වත්මන් ලෝකයේ කෝටි විස්සක් පමණ දැරියන් සහ කාන්තාවන් යම්කිසි ආකාරයක යෝනි සුන්නතකට ගොදුරු කරනු ලැබ ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරයි. අප්‍රිකානු සහ මැද පෙරදිග රටවල් තිහක පමණ එම ක්‍රියාව සිදුවෙමින් ඇතැයි අදහස් කරන ලද නමුත්, ආසියානු හා ලතින් ඇමෙරිකානු රටවලත් එසේම බටහිර යුරෝපය,උතුරු ඇමෙරිකාව,ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ආදී රටවලට වෙනත් රටවලින් සංක්‍රමණය වී සිටින ප්‍රජා සමූහයන් අතරත් එය සිදුවෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. බිෂාරා යෝනි සුන්නතට ලක් කරනු ලැබ තිබෙන්නේ තවත් ගැහැණු දරුවන් හතර දෙනකු සමඟිනි. යෝනි සුන්නත කාන්තාවන්ගේ පසුකාලීන ජීවිතයේ දී ශාරීරික සහ මානසික සෞඛ්‍යයට අහිතකර බලපෑමක් ඇති කරන බව කෙන්යාවේ බොරානා(Borana) ප්‍රජාවට අයත් බිෂාරා ෂේක් හමෝ පවසන්නීය. "මගේ යෝනි සුන්නත සිද්ධ කරන කොට මට වයස අවුරුදු එකොළහයි.මගේ ආත්තම්මා මට කිව්වා- ඒක හැම ගැහැණු ළමයෙක්ම සිදුකළ යුතුය -ඒකෙන් පවිත්‍රතාව ඇති කෙරෙනවය කියල"බිෂාරා සඳහන් කළාය.| බිෂාරා යෝනි සුන්නතට ලක් කරනු ලැබ තිබෙන්නේ තවත් ගැහැණු දරුවන් හතර දෙනකු සමඟිනි. "මගේ ඇස්දෙක රෙදිකඩකින් බැන්දා. ඊළඟට ඒ කාන්තාව මගේ අත්දෙක පස්සට තියල ගැට ගැහුවා.මගේ කකුල් දෙක පළල් කරලා මගේ යෝනියේ බාහිර අධර (තොල්) කපල දැම්මා" "මිනිත්තු කීපයකට පස්සේ මට දැනුනේ දැඩි වේදනාවක්.මම කෑ ගැහුවා.වැලපුනා.ඒත් කවුරුවත් මාව ගණන් ගත්තේ නැහැ.වේදනා නාශකයක් වුණේ අපේ සමාජයේ පාවිච්චි කරන සාම්ප්‍රදායික අත්බේතක් විතරයි.පොළොවේ වළක් ඇතුළෙයි බෙහෙත් තියල තිබුණේ. ඔවුන් එලිච්චියකගේ වගේ මගේ කකුල් ගැටගහල - අර බෙහෙත් අරන් මගේ තුවාලේ ගෑවා.කෝ අනිත් එක්කෙනා ? කෝ අනිත් එක්කෙනා ? කියල කෑ ගසමින් ඊළඟ කෙල්ල ගත්තා" එහෙත් එම ක්‍රියාව නිසා පසු කාලයෙහි මුහුණ දීමට සිදු වෙන මුත්‍රාශයේ ගැටලු, නිතර සිදුවෙන ආසාදනය වීම් හෝ රටාවකින් තොරව සිදු වෙන මාසික ඔසප්වීම් ආදියට තමා ගොදුරු වෙන බවක් එම ළමා වියේදී බිෂාරාට නොතේරුණි. ඇයට පසු කාලයෙහි දරුවන් ප්‍රසුත කිරීමට සිදුවුණේ සිසේරියන් සැත්කම් මගින් පමණි. ඇය දැන් යෝනි සුන්නතට එරෙහි ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියකි. යෝනි සුන්නතට එරෙහි කෙන්යා කාන්තා හඬ හිබෝ වඩේරේ (Hibo Wadere) ගේ කතාව හිබෝ වඩේරේ(Hibo Wadere) යෝනි සුන්නතට (FGM) ලක් කරන විය ඇයට වයස අවුරුදු හයක් පමණකි. ඇයගේ කතාව අසන්නන් බලවත් කම්පාවකට පත් වීමට හේතුවිය හැකිය. අදාළ දිනයේ ඇය වෙනුවෙන් විශේෂ සාදයක් පිළියෙල කර ඇති බවක් තමාට දැනුම් දුන් බව හිබෝ වඩේරේ පවසන්නීය. නියමිත දවසේ තමා මුහුණ දුන් නපුරු අත්දැකීම ඇය මෙසේ විස්තර කළාය. "හාන්සි වෙයන් !කකුල් දෙපැත්තට කරපන්!දැන් උඹේ යෝනිය කප්පාදු කරනවා" එම නියෝගයට අවනතවීම හැර ඇයට වෙනත් තෝරා ගැනීමක් නොවීය. "මම ලේ දැක්කා.අතේ ලේ ගෑවුණ පිහියක් ඒ ගෑනිගේ අතේ තිබුණා " "ඒ කාන්තාව කප්පාදුව කරගෙන ගියේ කෑ ගසන ශබ්ද ඇයට සාමාන්‍ය වූ දේවල් ගානටයි" "එය ළමයකු මුහුණ දෙන අමානුෂිකම අත්දැකීමක්" හිබෝ වඩේරේ ළමා වියේ නපුරු අත්දැකීම සිහිපත් කළාය. "ඒ අපරාධය මුළු ජීවිත කාලයටම බලපානවා. ඒක යාවජීව දඬුවමක්" යෝනි සුන්නතට එරෙහිව ලොව පුරාම උද්ඝෝෂණ ව්‍යාපාර පෙරට යමින් පවතී සුන්නත සිදු කෙරෙන ආකාරය යෝනි සුන්නත(FGM ) යනු කාන්තාවකගේ ප්‍රජනනනේන්ද්‍රියෙහි කෙරෙන කප්පාදුවකි. එහිදී යෝනි මුඛයට පිටතින් පිහිටි අධර (තොල්) සහ භගමනිය ඉවත් කෙරේ. එවැනි සුන්නත් කිරීම් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විග්‍රහ කරනු ලැබ තිබෙන්නේ "කාන්තා ප්‍රජනන ඉන්ද්‍රියයන්ට තුවාල සිදු කෙරෙන වෛද්‍යමය උවමනාවකින් තොරව සිදු කෙරෙන්නක්" ලෙසය. යෝනි සුන්නත සිදු කිරීමේ ආකාරයන් හතරක් පිළිබඳව සඳහන් වේ. යෝනි සුන්නත වේදනාත්මක ව්‍යසනයක් වන අතර, එමගින් කාන්තාවන්ගේ සබඳතාවන්ට හානි කරන බවත් ඊජිප්තුවේ සිනමාවේදිනියක් සහ 'බ්ලොග්' මාධ්‍යවේදිනියක් වන ඕම්නියා ඊබ්‍රාහිම් පවසයි. "යෝනි සුන්නතට ලක් වෙච්ච කෙනෙක් අයිස් කැටයකට සමානයි . කිසිම හැඟීමක් දැනෙන්නේ නැහැ.ආදරය කරන්නේ නැහැ.ආශාවක් නැහැ" මේ ක්‍රියාවට ලක්වීමෙන් හටගත් මානසික ආතතියෙන් ගොඩ ඒමට තමා සිය වැඩිහිටි කාලය පුරාම අරගලයක නිරත වූ බවත් ඇය සඳහන් කරන්නීය. "ශරීරය ලිංගිකයි-ලිංගික සබඳතා පවක්" කියන පාඩම අපේ ප්‍රජාව අපට ඉගැන්නුවා.මගේ ශරීරය මටම කොඩිවිනයක් වුණා" පාඩම් මාලාව ගැන උපදෙස් යෝනි සුන්නත පාසල් විෂය මාලාවට හඳුන්වා දීම සිදු කළ යුතු ආකාරය ,දෙමව්පියන් ඊට හවුල්කර ගන්නේ කෙසේද යන්න සහ සිසුන් සමඟ සාකච්ඡා කිරීමේදී ඔවුන්ගේ උදව් ලබා ගැනීමට අදාළ උපදෙස් ජාතික FGM මධ්‍යස්ථානය මගින් ප්‍රාථමික පාසල් ගුරුවරුන් සඳහා නිර්මාණය කර ඇත. "යෝනි සුන්නත යනු ඊට ගොදුරුකර ගනු ලබන දැරියන් මෙන්ම ඔවුන්ගේ පවුල් අසීමිත පීඩාවකට පත් කෙරෙන පිළිකුල් සහගත අපරාධයක් ය යන්න ළමුන්ට අවබෝධ කර දීම ඉතා වැදගත් කරුණක්" වන බව එංගලන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. "යෝනි සුන්නත ශාරීරික වශයෙන් වගේම සහ සංවේදීභාවය අතිනුත් කාන්තාවන්ට හානි කරන සාපරාධී වරදක් වන බව නව සබඳතා සහ ලිංගික අධ්‍යාපන විෂය දහරාවේ කොටසක් හැටියට 2020 සැප්තැම්බර් මාසයේ පටන් උගන්වනවා" අප්‍රිකාවට FGM විරෝධී ආධාර පැකේජයක් බොහෝ අප්‍රිකානු රටවල යෝනි සුන්නත් කිරීම සිදු කෙරෙන්නේ සමාජ චාරිත්‍රයක් වශයෙනි. අප්‍රිකානු, මැද පෙරදිග සහ ඇතැම් ආසියානු රටවලත් සිදු කෙරෙන එම අපරාධයට එක වසරකට තිස් ලක්‍ෂයක් පමණ දැරියන් ගොදුරු වෙතැයි ඇස්තමේන්තු කර ඇත. අප්‍රිකාවේ යෝනි සුන්නත නතර කිරීමට දිරි දීමක් වශයෙන් ඩොලර් දශ ලක්ෂ හැට හතරක (64) මූල්‍යාධාර සැපයීමට බ්‍රිතාන්‍ය රජය එකඟ වී තිබේ. එය 2030 වනවිට යෝනි සුන්නත ලෝකයෙන් උපුටා දැමීම සඳහා යෙදවීමට එක් රටක් විසින් සපයනු ලබන විශාලතම ආයෝජනය බව බ්‍රිතාන්‍ය රජය පවසයි. කියවන්න;
පකිස්ථානයේ ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාලා 'තරුව' බවට පත්වී සිටි කන්දීල් බලෝච් නම් තරුණිය මරා දැමූ බවට සැක කෙරෙන ඇගේ සහෝදරයා අත්අඩංගුවට ගත් බව පකිස්තාන පොලීසිය පවසයි.
Waseem Baloch (R) reportedly said he drugged and strangled his sister විසිපස් හැවිරිදි වසීම් බලොච් අත්අඩංගුවට ගනු ලැබුවේ මධ්‍යම පකිස්ථානයේ දෙරා ගාසි ඛාන් හිදී සෙනසුරාදා රාත්‍රියේ දීය. මාධ්‍ය හමුවක දී සැකකරු වසීම් පාපෝච්චාරණය කළේ නිවසේ දී තම සොහොයුරියගේ ගෙල සිරකොට මරා දැමූ බවටයි. මරා දැමුණු කන්දීල් බලෝච් ඇගේ ලිංගික ආකර්ෂණය ඉස්මතු කෙරෙන ඡායාරුප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ජාලාවලට එක්කිරීමෙන් ජනප්‍රියවී සිටියාය. තම නැගණියගෙන් ඇයගේ වෘත්තීය අත්හරින ලෙස නිරතුරුවම ඉලා සිටියද ඇය එම ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කළ බවයි ඔහු පැවසුවේ. මරා දැමුණු කන්දීල් බලෝච් ඇගේ ලිංගික ආකර්ෂණය ඉස්මතු කෙරෙන ඡායාරුප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ජාලාවලට එක්කිරීමෙන් ජනප්‍රියවී සිටියාය. ඇයගේ සමාජ මාධ්‍ය ජාලා පිටුවලට විශාල හිතවතුන් සංඛ්‍යාවක් එකතුවී සිටි අතර ගතානුගතික මත දරන්නන් අතර ඇය දැඩි විවේචනයට ලක්වුවාය.
වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ මැතිවරණයකදී අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම සඳහා මුදල් අත්‍යවශ්‍ය ම සාධකයකි. යම් අපේක්ෂකයෙකුට හෝ පක්ෂයකට ඡන්ද දායකයා වෙත තම ප්‍රතිපත්ති සහ අරමුණු සම්ප්‍රේෂණය කිරීම සඳහා මූල්‍ය ශක්තිය නැතුව ම බැරිය.
ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස නමුත් දේශපාලන කටයුතුවලදී මුදල් අවභාවිත වන බවට නිතර චෝදනා එල්ල වේ. එබැවින් දැනට නීති කෙටුම්පත් කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යවා ඇති මැතිවරණ වියදම් නියාමනය සඳහා වූ සංශෝධන සහිත පනත් කෙටුම්පත (Regulation of Election Expenditure Draft Act) සම්මත වුවහොත් මැතිවරණ වියදම් සහ මූල්‍ය පරිත්‍යාග කළමනාකරණට සහ නියාමනයට පැහැදිලි ක්‍රමවේදයක් නිර්මාණය විය හැකි බවට සිවිල් සංවිධාන බලාපොරොත්තු පළ කරති. අදාළ පනත් කෙටුම්පත නුදුරේදීම සම්මත කර ගැනීමට කටයුතු කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ පිළිබඳව විමසූ විට, "අපිට තාම අවසාන අනුමැතියක් ලැබුණේ නෑ. කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය අනුමත කරලා තිබෙනවා. නමුත් ඒ නීති තවම සම්මත වෙලා නෑ," යනුවෙන් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙක් පැවසීය. පවතින මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා අදාළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමි වූයේ 2017 ඔක්තෝබර් මාසයේදීය. අදාළ කැබිනට් පත්‍රිකාවේ සංෂිප්තය දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම්, සහ එක් අපේක්ෂකයා මැතිවරණයක් සඳහා වියදම් කරන මුදල් නියාමනය කිරීම සහ ලැබෙන මුදල් පරිත්‍යාග පිළිබඳව විනිවිදභාවය ඇති කිරීම එම නව පනතේ මූලික අරමුණු අතර වේ. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සහ පැෆරල් සංවිධානය විසින් සපයන ලද මූලික වාර්තාවක් පදනම් කර ගෙන ජාතික මැතිවරණ කොමිෂන් සභාව මගින් එම නීති කෙටුම්පත සකසා ඇත. සම්මත වුවහොත් එහි අඩංගු කරුණු ජනාධිපතිවරණ පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත, පළාත් සභා මැතිවරණ පනත සහ පළාත් පාලන මැතිවරණ ආඥා පනත යන පනත් සඳහා බලපානු ඇත. ඒ අනුව අපේක්ෂකයෙක් තම ප්‍රචාරණ කටයුතු සඳහා සුදුසුකම් ලැබූ එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් උපරිම වශයෙන් වියදම් කළ යුතු මුදල ද මෙම පනත මගින් යෝජනා කරනු ලැබ තිබේ. එය රුපියල් 50 සිට 100 දක්වා මැතිවරණය අනුව වෙනස් වේ. යම් අපේක්ෂකයෙක් එම පනතේ සඳහන් නියමයන් උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වුවහොත් ඔහුට හෝ ඇයට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැකිය. "එවැනි අවස්ථාවකදී වැරදිකරු වුවහොත් රුපියල් ලක්ෂයක දඩයක් සහ වසර තුනක කාලයකට එම පනත බලපාන මැතිවරණයකට ඉදිරිපත්වීම හෝ එවැනි මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට තහනම් වනු ඇත," යනුවෙන් අදාළ පනත් කෙටුම්පතෙහි දැක්වේ. පනත් කෙටුම්පතෙහි සඳහන් ආකාරයට පහත සඳහන් ආයතන සහ පුද්ගලයන්ගෙන් ලැබෙන පරිත්‍යාග (Donations) මැතිවරණ කටයුතු ප්‍රවර්ධනය සඳහා යොදාගැනීම තහනම් ය. අ. රජයේ දෙපාර්තමේන්තු, සමාගම් පනත යටතේ ලියාපදිංචි නමුත් රජය හෝ රාජ්‍ය සංස්ථා කොටස් හිමිකරගෙන ඇති සමාගම්. ආ. විදෙස් රජයක්, ජාත්‍යන්තර ආයතන, හෝ ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි ආයතන. ඇ. තම අනන්‍යතාවය හෙළිකර නොමැති පරිත්‍යාගශීලියෙක් හෝ දායකයෙක් ලබාදෙන පරිත්‍යාග. එසේම මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් දින හතක් ඇතුළත එම මැතිවරණය තරඟ කිරීමට බලාපොරොත්තු වන ලියාපදිංචි දේශපාලන පක්ෂයේ ලේකම්, සහ සෑම ස්වාධීන කණ්ඩායම් නායකයෙක් ම, ලියාපදිංචි වාණිජ බැංකුවක ගිණුමක් අරඹා එම ගිණුමේ නම සහ ගිණුම් අංකය මැතිවරණ කොමිසමට ලබා දිය යුතුය. මැතිවරණයට අදාළ සියලු ගනුදෙනු සිදුවිය යුත්තේ අදාළ ගිණුම හරහාය. තවත් වැදගත් කරුණු කිහිපයක්: 1. අදාළ ගිණුමට බැර කෙරෙන සියලු මූල්‍ය පරිත්‍යාග සඳහා රිසිට් පතක් නිකුත් කිරීම පක්ෂ ලේකම්වරයාගේ හෝ ස්වාධීන කණ්ඩායම් නායකයාගේ වගකීමකි. 2. ලැබෙන සියලුම මූල්‍ය පරිත්‍යාග අදාළ ගිණුමට බැරකර එම මුදල් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කළ යුතු බව ද පනත් කෙටුම්පතෙහි සඳහන් වේ. වියදම් කටයුතු සඳහා වෙනත් කිසිදු ගිණුමක ඇති මුදල් භාවිත කිරීම නොකළ යුතු බව ද එහි දක්වා ඇත. 3. නව පනත් කෙටුම්පතට අනුව සියලුම මැතිවරණ අපේක්ෂකයන් තම ප්‍රචාරක කටයුතු සඳහා යෙදෙන වියදම් පිළිබඳ සංෂිප්ත විස්තරයක් සහ වියදම් කිරීමට මුදල් ලැබුණු ආකාරය ගැන තොරතුරු මැතිවරණ කොමිසමට ලබා දිය යුතුය. එම නීති කෙටුම්පත සම්මත වුවහොත් ජනාධිපතිවරණ, මහ මැතිවරණ, පළාත් සභා මැතිවරණ සහ පළාත් පාලන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් ප්‍රචාරණ කටයුතු සඳහා ලියාපදිංචි ඡන්ද දායකයන් වෙනුවෙන් වියදම් කළ යුතු මුදල් ප්‍රමාණය නිශ්චිතව දන්වනු ලබනු ඇත. මැතිවරණයක් සඳහා එක් අපේක්ෂකයෙක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ යුතු මුදල (රුපියල් ගණන) තරඟ කරන දේශපාලන පක්ෂ සමග එකඟතාවයකට එළඹීමෙන් අනතුරුව ගැසට් පත්‍රයක් නිවේදනය මගින් කෙරෙනු ඇත. නව මැතිවරණ නීති මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු, වසර 3ක් ඡන්ද ඉල්ලීම/දැමීම තහනම් උදය ගම්මන්පිල සහ නාගානන්ද කොඩිතුවක්කු 2014 වසරේදී බස්නාහිර පළාත් සභා මැතිවරණයට එවකට ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් ඉදිරිපත් වූ උදය ගම්මන්පිල තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් 100 බැගින් පරිත්‍යාග කරන ලෙස මහ ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඊට සාර්ථක ප්‍රතිචාරයක් ලැබුණු බව ඔහු පසුව පැවසීය. නමුත් ඔහුට කොපමණ මුදල් ප්‍රමාණයක් ලැබුණේ ද ඒවා කෙසේ වියදම් කළේ ද යන්න පිළිබඳව හෙළිදරව් නොකෙරිණි. එසේම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තු වන බව පවසමින් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පසුගිය කාලය පුරා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් හමුවට යමින් පැවසීය. එවිට සමහර ශ්‍රී ලාංකිකයන් ඔහුට මුදල් පරිත්‍යාග කළ බව ද පැවසේ. නමුත් ඔහු ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදුන්නේ නැත. එකතු කරගත් මුදල්වලට කුමක් වන්නේ ද හෝ එය කොපමණ ප්‍රමාණයක් ද යන්න ඔහු හෙළි කර නොමැත. මෙවර මැතිවරණයට අපේක්ෂකයන් 35 දෙනෙක් නාමයෝජනා භාර දුනි ජනාධිපතිවරණය 2019 ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා පත් කර ගැනීමේ මැතිවරණයට තව ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. ඒ සඳහා අපේක්ෂකයන් 35 දෙනෙක් නාම යෝජනා භාර දුනි. මේ වන විට ඔවුන් අතුරින් සමහරු ඡන්ද දායකයන්ගේ අවධානය දිනා ගැනීම සඳහා විශාල මුදලක් වැය කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරමින් සිටිති. පුවත්පත් දැන්වීම්, ගුවන් විදුලිය සහ රූපවාහිනිය මෙන්ම සමාජ මාධ්‍ය ද මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා බහුලව භාවිත වේ. එවැනි දැන්වීම් සඳහා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වැයවේ. නමුත් මෙම කටයුතු සඳහා මුදල් ලැබෙන්නේ කෙසේ ද කාගෙන් ද යන්න පිළිබඳව හෝ ලැබුණු මුදල් වියදම් කෙරෙන්නේ කෙසේ ද යන්න පිළිබඳව හෙළිදරවු නොවේ. එසේම වියදම් කළමනාකරණයට හෝ වියදම් නියාමනයට පැහැදිලි ක්‍රමවේදයක් නොමැත. සමාජ ක්‍රියාකාරිනියක වන අමාලි වෙදගෙදර පවසන්නේ, "මම හිතන්නේ මේක ගැන මිනිස්සු ගොඩක් කතා බහ කරනවා. හැමෝටම ඒ ගැන අදහසකුත් තියෙනවා. දැන් ඡන්දයක් කරන්න ලංකාවේ ගොඩක් සල්ලි වියදම් කරන්න ඕනෑ නේ. එතකොට අපේක්ෂකයෝ තමන්ගේ ධනයම විතරක් නොවෙයිනේ මේවට වියදම් කරන්නේ. ඒවට වෙන ව්‍යාපාරිකයෝ සල්ලි යොදවන අය ඉන්නවා හැබැයි ඒකට කොච්චර වියදම් කළා ද අදහසක් මිනිස්සුන්ට නැති වුණත් ඔවුන් හිතනවා ඔවුන් බලයට ආවට පස්සේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති තීන්දු තීරණ වලට සල්ලි යොදවන කට්ටියගේ බලපෑම් තියෙනවා කියලා." එසේ මුදල් සපයන සමහර ව්‍යාපාරිකයන් ඉදිරියෙන් සිටින අපේක්ෂකයන් කිහිපදෙනෙකුටම මුදල් පරිත්‍යාග කරන බව රහසක් නොවේ. නමුත් අමාලි වෙදගෙදර පෙන්වා දෙන්නේ මෙය එක්තරා ආකාරයකට අල්ලස් දීමකට සමාන බවය. "තමන්ට අවශ්‍ය දේ කරගන්න සල්ලි දෙනවා. ලංකාවේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ පත්වෙන අයට ලොකු උනන්දුවක් නැහැ එවැනි කටයුතු පාලනයට අවශ්‍ය නීති රීති ගෙන්න." මැතිවරණ නිරීක්ෂණ ආයතන, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා සහ වෙනත් සිවිල් සංවිධාන මීට අදාළ නීති වහා ගෙන ආ යුතු බව පවසති. වර්තමානයේ පවතින මැතිවරණ නීති අනුව කළ හැක්කේ මැතිවරණ අපේක්ෂකයන් රාජ්‍ය දේපල අවභාවිත කරන්නේ දැයි නිරීක්ෂණය කිරීම සහ එසේ කරන්නේ නම් එම කටයුතු පාලනය කිරීම පමණි. එමගින් පෞද්ගලික පාර්ශව ඔස්සේ ලබා දෙනු ලබන මුදල් හෝ වෙනත් සම්පත් පාලනය කළ නොහැක. ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනයේ සංඛිතා ගුණරත්න පවසන පරිදි සාර්ථක මැතිවරණ ක්‍රමයක මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගන්නා මුදල් "නියමාකාරයෙන් නියාමනය" සිදුවිය යුතුය. එසේම විනිවිදභාවය සහ නියාමනය මගින් මැතිවරණ ක්‍රියාදාමය පිළිබඳව විශ්වසනීයත්වය ඉහළ යන බව ද ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනය වෙනුවෙන් පර්යේෂණ සටහනක් තබමින් ඇය පෙන්වා දෙයි. මේ තොරතුරුත් කියවන්න:
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇත.
මේ සඳහා අනුරාධපුර කහටගස්දිගිලියේ සංචාරයක නිරතවුණු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජනතාවගේ සැබෑ සිතුම් පැතුම් ගැන දැනගැනීමට තමන්ට දැඩි උවමනාවක් තිබෙන බවයි. මේ සඳහා චන්ද කොට්ඨාශයට බැහැරින් මන්ත්‍රීවරුන් ගෙන්වාගෙන ඔවුන්ට ජනතාවගේ ඕනෑ එපාකම් දැන්වීමේ ක්‍රියා පිළිවෙතක් ආරම්භ කරන බව ද ඔහු කියා සිටියේය. මෙමගින් ජනතාව තම පළාතේ නියෝජිතයන්ට නොකියන තොරතුරු පවා වෙන පළාත් වලින් පැමිණි මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කිරීමට ඉඩ ඇති බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන්නේ.
අවශ්‍ය ආධාර ලඟාවෙමින් පවතින බවක්, ඕස්ට්‍රේලියානු බේරා ගැනීමේ බලධාරීන් විසින් තමන්ට දැනුම් දෙනු ලැබුනත්,එවැන්නක් ඉටි නොවූ බව,පසුගිය දා ඉන්දුනීසියාව අසල දී මුහුදුබත් වූ බෝට්ටුවේ සිටි දිවි බේරුන දේශපාලන සරණාගතයෝ කියා සිටිති.
ඕස්ට්‍රේලියාවේ රැකවරණ පතතන්නන් එකසිය විසි දෙනකු රැගෙන ඉන්දුනීසියාවේ සිට ක්‍රිස්මස් දූපත කරා යාත්‍රා කෙරෙමින් තිබුන බෝට්ටුව මුහුදු බත් වීමෙන් ජීවිත රැසක් විනාශ වී ඇත. දිවි බේරුන එක් සරණාගතයෙක් ABC ගුවන් විදුලියට අදහස් දක්වමින්,බෝට්ටුව අනතුරට පත් ස්ථානය පිළිබඳව නිවැරදි භූගෝලීය තොරතුරු ඕස්ට්‍රේලියානු බේරා ගැනීමේ බලධාරීන්ට සපයනු ලැබුනත්, කිසිවකු තම උදව්වට නොපැමිණි අතර, තම පවුලේ සාමාජිකයන් දියේ ගිලුන බවයි කියා සිටියේ. ඕස්ට්‍රේලියානු නිලධාරීන් පවසන්නේ,වෙළෙඳ නැවක් සහ හෙලිකොප්ටර් යානයක් ඉහත කී කණ්ඩායම බේරා ගැනීම සඳහා යෙද වූ නමුත්, අනතුරට ලක් වූ බෝට්ටුව ඇති තැන සොයා ගැනීමට නොහැකි වුන බවයි.
කොවිඩ් 19 වෛරසය ශ්‍රී ලංකාව පුරා සීඝ්‍රයෙන් පැතිර යාමත් සමග සෞඛ්‍ය සේවකයන්, රෝගීන් මෙන්ම මහජනතාව මුහුණ දෙන විවිධ අපහසුතා පිළිබඳ බීබීසී සිංහල සේවයට තොරතුරු දැනගැනීමට ලැබිණි.
සෞඛ්‍ය සේවකයන්, සේවා, පහසුකම්, අත්‍යවශ්‍ය දේ ලබා ගැනීමට ඇති අපහසුතා මෙන්ම පරීක්ෂණවල දී සිදුවන ප්‍රමාදයන් සහ අඩුපාඩු නිසා විවිධ ගැටලුවලට මුහුණ දීමට මහජනතාවට සිදු වී තිබේ. එවන් අවස්ථා ගැන සමාජ මාධ්‍ය ජාලවල ද විවිධ සටහන් පළ වෙමින් තිබේ. 'රෝග ලක්ෂණ තිබුණත් රස්සාවට යන්න වෙනවා' "මට කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ඇති වුණාට පස්සේ පීසීආර් ටෙස්ට් එකට දිනයක් ලැබුණේ දවස් හතරකින්. ලොකුම ප්‍රශ්නය වුණේ ටෙස්ට් එකේ රිසාල්ට් එක එනකම් රැකියා ස්ථානයෙන් නිවාඩු නොලැබුණු එක. රෝග ලක්ෂණ එක්කත් මට රස්සාවට යන්න වුණා. අවසානයේ ටෙස්ට් එක පොසිටිව්. ඔෆිස් එකේ මගේ වටේ හිටිය හැමෝටමත් ගිහින්," වත්තල ප්‍රදේශයේ දිවිගෙවන කාන්තාවක බීබීසී සිංහල සේවයට පැවසීය. "රැකියා ස්ථානවල සේවකයන් ගැන විශ්වාස තබන්නේ නැහැ. කිසිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් නැහැ, වෛරසය වැළඳුණ අය සම්බන්ධයෙන් විශේෂ නීති රීති මාලාවකුත් නැහැ. ටෙස්ට් එකේ ප්‍රතිඵල නැතුව, රෝග ලක්ෂණ විතරක් තියෙනවා කියලා ගෙදර නැවතුනොත් රස්සාව නැහැ. මේක නම් අවුල් ජාලයක් වුණ රටක්," ඇය තවදුරටත් පැවසීය. මේ හා සමාන තවත් සිද්ධීන් කීපයක් ගැන තොරතුරු ලැබුණු අතර, එක්තරා රාජ්‍ය ආයතනයක ද කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්වූ පුද්ගලයන් රැකියාවට පැමිණීම නිසා එහි සිටි සේවකයන් සියල්ලටම පාහේ රෝගය බෝවී තිබේ. "කඩිනමින් නිසි පියවර නොගැනීම නිසා" මේ වන විට එම ආයතනය වසා දැමීමට ද සිදුව ඇතැයි එක් සේවිකාවක පැවසීය. එදිනෙදා ජීවිතය සමග බැටකන මිනිස්සු කැළණි ගඟ මිටියාවතේ දිවිගෙවන කරුණා පෙරේරා පැවසුවේ රට තුළ ඇති වී තිබෙන තත්ත්වය සමග ඔවුන්ට එදිනෙදා දිවි පෙවත "ගැටගසා ගැනීමට" අවශ්‍ය මුදල් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වී දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව ඇති බවය. "අපි කුලී වැඩ කරන්නේ. දැන් කිසිම ආදායමක් නැහැ. අහස උසට ණය වෙලා. ඒ වගේම තමයි අපිට දරන්න බැරි තරමට බඩු මිල වැඩි වෙලා. හැමදාම බොන්න ඕනේ බෙහෙත් වර්ග පවා සියයට පනහකින් විතර වැඩි වෙලා. ඒවත් එක සැරේ සොයා ගන්න නැහැ. මෙහෙම ගියොත් කොරෝනාවලට කලින් අපි නිකම්ම මැරිලා යයි," ඇය හැගීම්බරව පැවසුවාය. රෝගීන් ප්‍රවාහනය ගැන සමාජ මාධ්‍ය ජාල සටහන් මේ අතර, කොවිඩ් 19 රෝගීන් කැබ් රථයක පිටුපස නංවාගෙන නිවෙස්වල සිට තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවලට රැගෙන ගිය සිද්ධියක් පිළිබඳ මාධ්‍යවේදී නයන සංජීව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබිණි. "මෙහි දක්වා ඇත්තේ ඊයේ රාත්‍රීයේ දෙහිඅත්තකණ්ඩිය MOH කාර්යාලය මඟින් කොවිඩ් 19 රෝගීන් නිවෙස්වල සිට තාවකාලික රැඳවුම් මධ්‍යස්‌ථානවලට රැගෙන ආ ආකාරයයි. දෙහිඅත්තකණ්ඩිය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, අවට ඇති යුද හමුදා කඳවුරු සියල්ල විසින් කොවිඩ් 19 රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා කිසිම සහයෝගයක් ලබා නොදීම නිසා මෙම පෝස්ට් එක මෙසේ එකක් පළ කිරීමට සිදුවිය. අවම වශයෙන් එම ආයතනවල බලධාරීන් MOH කාර්යාලයේ දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදක්වන තත්ත්වයට පත්ව ඇත. සම්පූර්ණ PPH ඇඳුම් කට්ටල ලබා දුන්නත් එලෙස සහයෝගය ලබා දීමට ඉදිරිපත් නොවේ. එනිසා රාත්‍රිය පුරා නොයෙක් පැතිවල නිවාසවල සිටින රෝගීන් 60ක් පමණ MOH කැබ් රථයේ පිටුපස නංවාගෙන තාවකාලික මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කිරීමට සිදුවිය. ගමන් වාර ගණනාවක් මෙලෙස ප්‍රවාහනය කිරීමට සිදු විය. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයක් ලබා දුන්නෙ නම් ඉතා පහසුවෙන් මෙය කළ හැකිව තිබිණි. මෙයට දායක වූ කාර්යය මණ්ඩලය අදත් උදේ සිටම වැඩ කළ යුතුය. ඉරිදා කියා නිවාඩු ගෙන බැරිය," යැයි නයන සංජීව සටහන් කර තිබිණි. මෙයට පිළිතුරු ලබා දෙමින් දෙහිඅත්තකන්ඩිය MOH කාර්යාල ෆේස්බුක් පිටුවේ මෙලෙස සඳහන් විය. මේ පිළිබඳ යුධ හමුදා මාධ්‍ය අංශයෙන් සිදු කළ විමසීමක දී පැවසුවේ නිසි අංශ වෙත මෙම කරුණු සන්නිවේදනය වී නොතිබුණු නමුත්, කෙටි වේලාවක දී ඇතිව තිබු ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කළ බවය. මේ තොරතුරු ද කියවන්න: "නියම තත්ත්වය භයානකයි" මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ, "කොවිඩ් 19 පළමු සහ දෙවෙනි රැල්ලේ වගේම, මෙවරත් කණගාටුදායක විදිහට රසායනාගාර පරීක්ෂණවල වාර්තා ලැබීම්වල විශාල වශයෙන් ප්‍රමාදයක් ඇතිවී තිබෙනවා. මේ වන විට එක් දිනක් තුළ වාර්තා කරන රෝගීන් ගණන, ඇත්තටම දින තුනකට හෝ ඊට කලින් වාර්තා විය යුතු රෝගීන් ගණනයි. රටේ පවතින නියම තත්ත්වය මේ රෝගීන් ගණනින් බලනවා නම් එය අපි මවා ගන්න වැරදි චිත්‍රයක්. පවතින නියම තත්ත්වය වටහා ගැනීම සඳහා රසායනාගාර පරීක්ෂණ කඩිනම් කරන ලෙස අපි බලධාරීන්ගේ අවධානය යොමු කරනවා. රටේ නියම තත්ත්වය රසායනාගාර වාර්තා සහ රෝගීන් දත්ත වලට වඩා භයානක බව තමයි අපිට පේන්න තියෙන්නෙ." ඇති වී තිබෙන තත්ත්වයට වඩාත් හේතු වී තිබෙන්නේ මහජනතාවගේ සංචරණය වන අතර, අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී, ජනතාව ඒකරාශි වන ස්ථාන මගහැර සිටින ලෙස සභාපතිවරයා ඉල්ලීමක්ද කළේය. "සහයෝගයක් නැහැ" ස්වයං නිරෝධායනයට යොමු වූ බියගම ප්‍රදේශයේ දිවි ගෙවන පස් දෙනෙකුගෙන් යුතු පවුලක් බීබීසී සිංහල සේවයට පැවසුවේ තමන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසට ගෙන්වා ගැනීමේ දී නොයෙකුත් ගැටලුවලට මුහුණ දීමට සිදුවන බවය. "අපේ ගෙදර එක්කෙනෙකුට කොවිඩ් හැදිලා ඉන්නේ. අනෙක් අය නිරෝධායනයට යොමු වෙලා ඉන්නේ. ළඟපාත කිසිම කඩේකින් අපේ ගෙදරට කෑම, බඩු ඩිලිවර් කරන්නේ නැහැ. ගමේ අය ගේ ඉස්සරහින් යන්නත් බයයි. මේ රටේ පළාත් සභා, ප්‍රාදේශීය සභා, නගර සභා කියලා වගකිව යුතු ආයතන කීයක් තියෙනවා ද? ඒවායින් මොනවා ද වෙන සේවය? පිටරටවල නිරෝධායනය වෙන මිනිස්සුන්ට ඒ පළාතේ අදාළ රජයේ ආයතනයෙන් උදව් කරනවා. නමුත් අපි ජීවිත කාලයම හිර වෙලා ඉන්නේ මේ මඩගොහොරු සිස්ටම් එකේ," ඔවුහු පැවසූහ. "රෝහල් පිරීගෙන යනවා" අඟහරුවාදා (මැයි 4) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පැවසුවේ, "අපිට පේනවා රෝගීන් පාලනයකින් තොරව වැඩිවෙමින් යන විත්තිය. රෝගීන් 1800 කට වැඩි ගණනක් දවසක ට හඳුනා ගන්න කොට, අපි දන්නවා මීට දෙගුණයක් හෝ තෙගුණයකට වැඩි ප්‍රමාණයක් සමාජයේ ඉන්නා බව. රෝගීන්ට ලබාදෙන ඇඳන් දැඩි සත්කාර ඒකක පහසුකම් ඉතා සීඝ්‍රයෙන් පිරිහෙමින් පවතිනවා. මේ වෙලාවේ රෝගීන් ගෙනයාමේ අපහසුතා ඇති වෙලා තිබෙනවා. රෝගීන් ගෙවල්වල බලා ගැනීමට සිදු වෙලා තිබෙනවා. එවන් අවස්ථාවක දී රෝගියා නිවසේ වෙන් කර තැබීමත්, නිවසේ සිටින අය මුඛ ආවරණ පැළඳීමත්, රෝගියාට අවශ්‍යය පැරසිටමෝල් වැනි ප්‍රතිකාරත්, විජලනය නොවී සිටීමට අදාළ ප්‍රතිකාර ලබාදීම අත්‍යවශ්‍ය වෙනවා. රෝහල් ඉතා වේගයෙන් පිරී යන නිසා උපරිම ලෙස සංචරණ සීමා යොදා රෝගය පාලනය කිරීමට පියවර ගත යුතුයි කියන මතයේ ‍ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉන්නවා," යැයි සභාපතිනිය තවදුරටත් පැවසීය. මේ අතර, අයිඩීඑච් උණ රෝහල, කළුබෝවිල සහ කොළඹ ජාතික රෝහලේ සේවය කරන සෞඛ්‍ය සේවකයන් පවසන්නේ රෝහල් පිරී යාමත්, සේවකයන් මදිකමත් නිසා රෝහල් තුළ දැඩි කලබලකාරී වාතාවරණයක් පවතින බවය. "ඇඳන් වැඩි කිරීමට පියවර ගත්තා" - රජය "සෞඛ්‍ය අංශ මෙන්ම ජනාධිපති කාර්ය සාධන බලකාය ක්‍රමානුකූලව හා ශක්තිමත් ලෙසින් කොවිඩ් පාලනයට ප්‍රවිශ්ඨ වී" ඇතැයි අඟහරුවාදා ( මැයි 04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කරුණු දක්වමින් සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසීය. කෙටි කාලයක් ඇතුළත රෝහල්වල ඇඳන් ප්‍රමාණය 4000-5000කින් වැඩි කර ඇති අතර, දැඩි සත්කාර ඒකකවල ඇඳන් ද ඉදිරි දින කීපය තුළ වැඩි කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය. සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශවලින් ලැබෙන සහයෝගය වගේම ජනතාවගෙන් ද මෙයට සහයෝගය අවශ්‍ය බව අමාත්‍යවරයා පැවසුවේය. පීසීආර් පරීක්ෂණය මගින් තහවුරු වූ කොවිඩ් 19 රෝගීන් නිවෙස්වල වී සිටින්නේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට 1906 යනුවෙන් විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, රෝගීන් වහාම රෝහල් කරා ගෙන යාමේ වැඩ පිළිවෙළ මේ වන විට ආරම්භ වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ජනගහණය සඳහා අවශ්‍ය පූර්ණ එන්නත් ප්‍රමාණය ලබා දීමට හැකි බවට රජය සහතික වන බවත්, මෙම වසර ඇතුළත මෙරට ජනගහණයෙන් 63%කට වඩා පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට රජයට හැකි බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි අඟහරුවාදා (මැයි 04) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළාය. තවත් තොරතුරු:
ආණ්ඩුව අක්‍රමවත් ලෙස ආර්ථිකය හැසිරවීමේ ප්‍රතිවිපාක ජනතාවට විඳීමට සිදුවී ඇතැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ විදුලි බිල වැඩිකිරීමට එරෙහිව කොළඹ පැවති උද්ඝෝෂණයකට සහභාගිවෙමිනි.
ආණ්ඩුව විසින් දූෂණය සහ උද්ධමනය ඇතිකිරීමේ හේතුවෙන් රටේ සෑම පුරවැසියෙකුටම රුපියල් දහ අට දහසක අතිරේක වැයක් දැරීමට සිදුව ඇතැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේය. "විදුලි බිල වැඩි කළේ එයාර් බස් දහයකට ගෙවන්න, රෝල්ස්- රොයිස් වලට ගෙවන්න සහ මත්තල ගුවන් තොටුපලට " යැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසීය . උද්ඝෝෂණයට දස දහසක් පමණ සහභාගි වූ අතර මෙය මෑත කාලයේ විපක්ෂය අගනුවර සංවිධානය කළ දැවැන්තතම උද්ඝෝෂණය බව කොළඹ සිට වාර්තා කරන අසාම් අමීන් කියා සිටියේය. ආණ්ඩුවට සහාය පළ කිරීමට පැමිණි උද්ඝෝෂණකයන් පිරිසක් විපක්ෂයේ පෙළපාලිකරුවන් කොළඹ කොටුව දුම්රියපොළ අසලට පැමිණෙද්දී එතැනින් ඉවත් වූහ. රජයට සහය පලකරන රැලියට සහභාවූ කණ්ඩායම්, එක්සත් ජාතික පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කළේ කොටි හිතවාදීන් හා එක්ව රට දෙකඩ කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව පවසමින්.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිර ගත කොට සිටින චෝදනා ලැබීමට ප්‍රමාණවත් හේතු නැති රැඳවියන් නිදහස් කිරීමටත්, චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් ඒ අයට එරෙහිව නඩු පැවරීමටත් කඩිනමින් කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙසේ අත් අඩංගුවට ගත් එක සිය අසු දෙදෙනෙක් නඩු පැවරීමකින් තොරව රඳවා සිටිති. එම රැඳවියන් සම්බන්ධයෙන් රජය ඉතා ඉක්මනින් විසඳුම් ලබා දෙන බවයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දුන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේ. නව රජය බලයට පත්වී සතියක් ඇතුළත මේ පිළිබඳව කරුණු සොයා බලා, විශේෂයෙන් ඔවුන්ට විරුද්ධව අපරාධ චෝදනාවක් ගෙන ආ හැකිද යන්න ගැන පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නීති පති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කළ බව ඔහු ප්‍රකාශ කළේය. අධිකරණ අමාත්‍යාංශය, නීති පති දෙපාර්තමේන්තුව, සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එම කමිටුව නියෝජනය වන බවයි පැවසූ ඇමතිවරයා සති දෙකකින් පමණ කමිටු වාර්තාව අපේක්ෂා කරන බව පැවසුවේය. ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැතිව පුද්ගලයන් රඳවා තබා ගෙන සිටීම නිෂ්ඵල කරුණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ ආකාරයෙන් මාස දහයකට පමණ පෙර කිලිනොච්චියේදී ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන වැලිකඩ රිමාන්ඩ් බාරයට පත් කොට සිටින බාලේන්ද්‍රන් ජෙයකුමාරි තම දියණිය දැක ගැනීමට ඉඩ සලසන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටීන්නීය. ඇගේ දියණිය සිටින්නේ පරිවාස බාර යේයි.
ඉන්දියාවේ බොලිවුඩ් සිනමාව මේ මොහොතේ කුණාටුවකට මුහුණ දී සිටී.
කන්ගනා රනාවුත් බොලිවුඩයේ වඩාත් ලාභ ලැබිය හැකි චිත්‍රපට නිළියක් ලෙස සැලකේ හින්දි සිනමාව මුහුණ පා ඇති මේ ගැටලුකාරී තත්ත්වය මැද සිටින්නේ කන්ගනා රනාවුත්ය. තිස්තුන් හැවිරිදි සිනමා තාරකාව ඇයගේ සහෝදර නළු නිළියන් සමග යුද වැදී ඇති බව පෙනෙන්නට තිබේ. පසුගිය සති කිහිපය තුළ, කර්මාන්තයේ ඉහළින් වැජඹෙන පතාක යෝධයින් හට, ඥාති සංග්‍රහය (Nepotism) සහ ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් ඇය චෝදනා එල්ල කළාය. එහිදී නළු නිළියන් කිහිප දෙනෙකුම නිර්දය ලෙස විවේචනය කළ ඇය සෙසු සිනමා තරු මත්ද්‍රව්‍ය ගනුදෙනුවලට සම්බන්ධ බවට ද චෝදනා කළාය. කන්ගනා විසින් බොලිවුඩය හඳුන්වනු ලැබුවේ කසල ගලා යන "කාණුවක්" ලෙසිනි. ඉන්දීය සිනමා කර්මාන්තය තුළ තමන් "හිංසාවට සහ ලිංගික අඩන්තේට්ටම්වලට" ලක් වූ බව ඇය පවසන්නීය. එමෙන්ම තමාට "මත්ද්‍රව්‍ය ජාවාරමට මුහුණ දීමට සිදු වූ" බව ද කියා සිටී. තමා ඉදිරියේ ඇති එකී "බාධා ඉවත් කිරීමෙන් තවත් බොහෝ දෙනෙකුට මග හෙළි පෙහෙළි වනු ඇති" බව ඇය සඳහන් කළාය. නමුත් කන්ගනාගේ විවේචකයන් පවසන්නේ ඇයගේ මේ චෝදනා පසුපස දේශපාලන අභිලාශයක් පවතින බවකි. ඇය ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයට (BJP) සම්බන්ධ වීමට ආසන්නයේ සිටින බවට කටකතා පවතී. එමෙන්ම ඇය විවේචනයට ලක් කරන සෙසු නළු නිළියන්, ඇයගේ දේශපාලන මතයෙන් බැහැර වෙනස් මත දරන්නන් බවට ද චෝදනාවක් පවතී. ප්‍රබල රංගන හැකියාවන් සහිත නිළියක් ලෙස ප්‍රසිද්ධියට පත් කන්ගනා ඉහළ පෙළ සම්මාන ගණනාවක් දිනා ඇති අතර ඇය සිනමාවට දක්වා ඇති දායකත්වය අගයමින් පද්ම ශ්‍රී සම්මානයෙන් ද (ඉන්දියාවේ ආණ්ඩුව විසින් එරට පුරවැසියෙකුට පුද කරනු ලබන ඉහළම සම්මානය) පිදුම් ලබා තිබේ. සිනමා පවුලකට අයත් නොවුණු කන්ගනා බොලිවුඩ් සමාජයට ගැලපෙන පරිදී හැඩ ගැසීමේදී මුහුණ දුන් දුෂ්කරතා පිළිබඳ නිතර කතා කර තිබේ. ඇය පසුව දෙස් විදෙස් රසිකයන් මිලියන ගණනක් සහිත විලාසිතා තාරකාවක් සහ බොලිවුඩයේ වඩාත් ලාභ ලැබිය හැකි චිත්‍රපට නිළියක් බවට පත් වූවාය. "ඇය විශිෂ්ඨ රංගන ශිල්පිනියක්," යනුවෙන් 'ද ප්‍රින්ට්' පුවත් වෙබ් අඩවියේ මාධ්‍ය සංස්කාරකවරිය ෂයිලාජා බජ්පායි පවසයි. "චිත්‍රපට ගණනාවක ශක්තිමත්, අසාමාන්‍ය කාන්තා චරිත රඟපා ඇති, තමාටම අවේනික හැකියාවන් ඔප නංවා ගත් ඇය ස්වභාවයෙන් ලද දක්ෂතා සහිත නිළියක්." ගතව ගිය කාලය තුළ කන්ගනා "සෘජුව කතා කරන සහ නිර්භය" කලාකරුවෙකු ලෙස නමක් දිනා ගත්තාය. "ඥාති සංග්‍රහය සම්බන්ධයෙන් ඇය විසින් චෝදනා එල්ල කරන ලද, අධ්‍යක්ෂ කරන් ජොහාර් වැනි කර්මාන්තයේ බලගතු පුද්ගලයන් සමග ඇය ගැටුණා. ඒ වගේම ඇය ප්‍රසිද්ධියේම රිතික් රෝෂන් සමග ආරෝවක් ඇති කර ගත්තා, ඇය සමග 'කයිට්ස්' චිත්‍රපටයේ එක්ව රඟ පෑ රිතික්ට ඈ කිව්වේ තමාගේ 'කලින් සිටි මෝඩ පෙම්වතෙක්' කියලයි," ඔවුන් දෙදෙනා අතර කිසිදාක සම්බන්ධයක් පැවතීමක් රිතික් රෝෂන් සෑම විට ප්‍රතික්ෂේප කරයි. අධ්‍යක්ෂ කරන් ජොහාර් ඥාති සංග්‍රහයේ යෙදෙන බවට කන්ගනා චෝදනා කරයි ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන්ට චරිත ලබා දීමේදී ඊට හිලව් වශයෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමේ සංස්කෘතියක් පවතින බව කියවෙයි. එය ද කන්ගනාගේ විවේචනයට ලක් වී තිබේ. බොලිවුඩයේ වංශවත්, පුරුෂ මූලික ප්‍රබලයින් සමග ඇය සෘජුව කටයුතු කිරීම ඇගයීමට ලක් විය. නමුත් මාස කිහිපයක සිට සති පතාම, නැති නම් දින පතාම පාහේ අලුතින් ආරෝවන් ඇති කර ගනිමින් ඇය පුවත් මවයි. එය ආරම්භ වූයේ ජුනි මස මැද සිදු වූ සිනමා නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ ඛේදජනක මරණය සම්බන්ධයෙන් මතු වුණු සංවාදයට කන්ගනා එක් වීමත් සමගය. ඔහු සිය දිවි හානි කරගෙන ඇතැයි මුම්බායි පොලිසිය පැවසීය. සුෂාන්ත් මරණය දෙසට තල්ලු කිරීමට ඥාති සංග්‍රහය සහ බොලිවුඩ් අභ්‍යන්තර කවයේ ඇතැමුන්ගේ ක්‍රියා කලාපය හේතු වී ඇති බව පවසමින් කන්ගනා ට්විටර් පණිවුඩයක් නිකුත් කළාය. තමා මෙන්ම සුෂාන්ත් ද කර්මාතය තුළ "ගොඩ් ෆාදර්වරුන්" නොමැති "පිටස්තරයන්" බව ඇය පවසා තිබිණි. බොලිවුඩයේ බලගතු පවුල් සහ අධ්‍යක්ෂවරු ඔහුගේ වෘත්තීය ජීවිතය "සැලසුම්සහගතව කඩාකප්පල්" කර ඇතැයි කන්ගනා චෝදනා කළාය. සති කිහිපයකට පසු , සිය පුතුගේ මරණයට අනුබල දුන් බවට සහ ඔහුගේ මුදල් සොරා කෑ බවට සුෂාන්ත්ගේ පෙම්වතිය වූ නිළි රියා චක්‍රබොර්තිට සුෂාන්ත්ගේ පියා චෝදනා කළේය. කන්ගනා එහිදී රියාට එරෙහිව මඩ ව්‍යාපාරයක් ගෙන ගිය අතර ඇය විසින් රියා හඳුන්වනු ලැබුවේ අනතුරට පත් වීමේ අවදානමක සිටි, තමා විසින්ම තම සාර්ථකත්වය ගොඩ නගා ගත් සුපිරි තරුවකගේ පිහිටෙන් ජීවත් වූ කෙටි කලක් මතට ඇබ්බැහිවූවෙකු ලෙසය. තමාට එරෙහි චෝදනා සියල්ල රියා ප්‍රතික්ෂේප කරයි. සුෂාන්ත් වෙනුවෙන් මත්ද්‍රව්‍ය මිලට ගත් බවට වන චෝදනා මත රියා සැප්තැම්බර් මස මුලදී අත්අඩංගුවට ගනු ලැබිණි. විමර්ශන ආයතන තුනක් ඇය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති. සුෂාන්ත්ගේ පෙම්වතිය වූ නිළි රියා චක්‍රබොර්ති සැප්තැම්බර් මුල අත්අඩංගුවට ගනු ලැබිණි මෙවැනි තත්ත්වයක් තුළ කන්ගනා තමාගේ පැරණි ආරෝවන් යළි පණ ගන්වා ඇති අතර අලුතින් කිහිපයක් ද ආරම්භ කර තිබේ. ඇය වින්දිතයා මෙන්ම ආක්‍රමණිකයා යන දෙදෙනාගේම හැසිරීම එකවර පෙන්නුම් කරයි. අධ්‍යක්ෂ කරන් ජොහාර් සහ රිතික් රෝෂන් සමග පවතින පැරණි එදිරිවාදිකම් ඇය රූපවාහිනී සාකච්ඡා සහ ට්විටර් ඔස්සේ යළි සිහිපත් කළාය. සෝනම් කපූර්, උර්මිලා මටෝන්ද්කර්, ස්වරා භාස්කර් සහ රිචා චාධා වැන්නන් ඇය විසින් දැඩිව විවේචනයට ලක් කරන ලද සෙසු රංගන ශිල්පිනියන්ය. බොලිවුඩයේ "මත්ද්‍රව්‍ය මාෆියාවක්" පවතින බව පවසන කන්ගනා එම කර්මාන්තය "බුලිවුඩ්" (බුලි- මානසික හිංසා සහ අඩන්තේට්ටම්) ලෙස නම් කරනු ලැබ තිබේ. එය නවකයින් සහ පිටස්තරයින් පිළිනොගන්නා ස්ථානයක් බවත් ඇය සඳහන් කරයි. ඇයගේ මේ නීරස සහ ප්‍රකෝපකාරී චෝදනා නිසා බොහෝ දෙනා ඇයගේ අභිප්‍රායන් ප්‍රශ්න කළහ. "දක්ෂතා සහ ධෛර්යය සම්බන්ධයෙන් කන්ගනා කලක් නමක් දිනා සිටි හොඳ නිළියක්, නමුත් දැන් ඒ ධෛර්යය තමාවම ප්‍රවර්ධනය කර ගැනීමක් සහ ඇය සමග එකඟ නොවන කාන්තාවන්ට ලිංගිකත්වය මත පදනම්ව පහර දීමට සහ මුළු හිතින්ම දක්ෂිණාංශික න්‍යායපත්‍රය ලුහුබැද යාම දක්වා පරිහානියට පත් වෙලා," යනුවෙන් මාධ්‍යවේදිනියක් සහ චිත්‍රපට විවේචකයෙකු වන ඇනා එම්එම් වෙටිකාඩ් සම්මුඛ පරීක්ෂණයකදී පැවසීය. 2017 වසරේදී කන්ගනා පළමු වරට ඥාති සංග්‍රහය පිළිබඳ ගැටලුව මතු කළ අවස්ථාවේදී සහ බලගතු පුද්ගලයන්ට අභියෝග කර, බොහෝ දේ අහිමි කරගත් විට, එය "විශිෂ්ඨ" ක්‍රියාවක් වුණු බව වෙටිකාඩ් සඳහන් කළාය. "එහෙත් අද වන විට ඇගේ ප්‍රකාශවල තර්කානුකූලබව, අවංකභාවය සහ ස්ථිරබව නොවීම මත ඒ වැදගත් සංවාදය යටපත් වී ගොස් තිබෙනවා," "බොලිවුඩයට ඇතුළු වන පිටස්තරයන් වෙනුවෙන් පෙනීසිටින බව පවසන අතරේ කන්ගනා ඇයගේ මතවාදයට එරෙහි තමා වැනිම පිටස්තරයන්ට අවමන් සහගත, මුළුමනින්ම කාන්තාවන් කෙරෙහි ද්වේශසහගත වූ අදහස් පළ කරනවා. ඒ වගේම ඇයගේ කැපවීම මේ අරමුණ වෙනුවෙන් නොව, ඒ වෙනුවෙන් පෙනී සිටින අංක එකේ පුද්ගලයා ලෙස ඇයගේ ප්‍රතිරූපය වෙනුවෙන් බව අමාරුවෙන් වුවත් පැහැදිලි වී තිබෙනවා," ඉන්දියාවේ ඉහළම අය කිරීමක් කරන නිළියක් වන දීපිකා පදුකෝන් බොලිවුඩයට එරෙහි කන්ගනාගේ වාග් ප්‍රහාර ඉන්දීය පාර්ලිමේන්තුව තුළත් රැව් පිළිරැව් දී තිබේ. එකී තත්ත්වය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ ප්‍රවීණ නිළියක වන ජයා බච්චන්ට "දෛනිකව පන් ලක්ෂයකට සෘජු රැකියා සහ පනස් ලක්ෂයකට වක්‍ර රැකියා සපයන" සිනමා කර්මාන්තය වෙනුවෙන් පෙනී සිටීමට සිදු විය. විනෝදාස්වාද කර්මාන්තය (Entertainment industry) ඉන්දීය ජනයාගේ පරිකල්පනයට සැලකිය යුතු බලපෑමක් සිදු කරයි. ඉන්දියාවේ මාධ්‍ය, විශේෂයෙන් ආණ්ඩුවට ඇල්මක් දක්වන රූපවාහිනී නාලිකා බොලිවුඩයේ අවුල් ලිහීමේ කතාව යළි වාදනය කරමින් සිටී. සෙනසුරාදා (සැප්. 26), ඉන්දියාවේ වඩාත් ආදරයට පත් තාරකාවක් වන දීපිකා පදුකෝන්, බොලිවුඩයේ විශාල වශයෙන් පැතිර ගොස් ඇතැයි පැවසෙන මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් විමර්ශන කරන බලධාරීන් හමුවට කැඳවනු ලැබිණි. ඒ අවස්ථාවේ රූපවාහිනී නාලිකා හතිලමින් එය ආවරණය කළ අතර වාර්තාකරුවෝ ඇයගේ මෝටර් රථය ලුහු බැඳ ගියහ. ශ්‍රද්ධා කපූර්, සාරා අලී, සහ රකුල් ප්‍රීත් සිං යන නිළියන් ප්‍රශ්න කිරීමට කැඳවන ලද අවස්ථාවේදී ද ඒ හා සමාන දර්ශන දැක ගත හැකි විය. ඒ සියලුම දෙනා තමන් වරදක් කර නැතැයි පවසති. බොලිවුඩයේ නිවහන, මුම්බායි නගරය පිහිටි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ 'ශිව් සේනා' පක්ෂය සමග ද කන්ගනා නීරස සටනක යෙදිණි. ප්‍රාන්ත ආණ්ඩුවේ බලය හිමි 'ශිව් සේනා' පක්ෂය මීට පෙර පාලක භාරතීය ජනතා පක්ෂයේ මිතුරු පාර්ශවයක් වූ නමුත් මේ වන විට දෙපාර්ශවය දැඩි ප්‍රතිවාදීන් බවට පත්ව තිබේ. "ඇය දේශපාලන සෙල්ලමකයි යෙදී ඉන්නේ, 'ශිව් සේනා' සමග භාරතීය ජනතා පක්ෂයට ඇති සටනට ඇය එක්වෙලා," යනුවෙන් ශයිලාජා බජ්පායි පැවසීය. තර්ජනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ 'ශිව් සේනා' පක්ෂය කන්ගනාගේ නිවසේ පිහිටි කාර්යාලයේ කොටසක් නීති විරෝධීව ඉදි කර ඇතැයි චෝදනා කළ අතර පසුව එය කඩා බිඳ දමන ලදී. ඒ සම්බන්ධයෙන් බොම්බායේ මහේස්ත්‍රාත් අධිකරණය ඔවුන්ට දැඩිව තරවටු කළේය. විවේචකයන් පවසන්නේ කන්ගනා පිළිබඳ කතාව, අවධානය වෙනතක යැවීම සඳහා යොදා ගන්නා මාතෘකාවක් බවය. එය මතුව ඇත්තේ ඉන්දියාව වඩාත් බලගතු ගැටලුවලට මුහුණ දී තිබෙන මොහොතකය: කොරෝනාවෛරස් ආසාදිතයන් වැඩි වශයෙන්ම සිටින රටවල් අතර ඉන්දියාව දෙවන ස්ථානයේ පසුවේ, එරට ආර්ථිකය කඩා වැටී ඇත, චීනය අතර වූ දේශසීමාවේ උණුසුම ඉහළ යමින් පවතී. සිනමා තරු තෝරා බේරා ඉලක්ක කිරීම බොලිවුඩය විනාශ කිරීමේ මහා සැලසුමක කොටසක් බව තවත් සමහරෙකුගේ අදහස වී තිබේ. ගතව ගිය වසර කිහිපය තුළ විනෝදාස්වාද කර්මාන්තය, ඉන්දීය ආණ්ඩුවේ දක්ෂිණාංශික මතවාදයට සහාය දෙන සහ ඊට විරුද්ධ නිදහස් මතවාද දරන්නන් (ලිබරල්) වශයෙන් ධ්‍රැවීකරණය වී ඇත. "මත්ද්‍රව්‍ය ගැන සොයා බැලීම හරහා, තැති ගැන්වීම් සහ තර්ජන ඔස්සේ ආණ්ඩුව බොලිවුඩයේ පාලනය ලබා ගන්න උත්සාහ කරනවා," යනුවෙන් 'ටයිම්ස් ඔෆ් ඉන්ඩියා' හි ලේඛිකාවක සහ තීරු ලිපි රචිකාවක වන ශෝභා දේ ලියා තිබේ. "ඉන්දියාවේ විචිත්‍රවත් විනෝදාස්වාද කර්මාන්තයේ ජීවිත සහ අන්තර්ගතය කපටි සගත ලෙස අත්පත් කරගැනීමේ දීර්ඝ කාලීන වාසි අමුතුවෙන් කිව යුතු නැහැ," යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කරයි. කන්ගනාගේ අභිලාෂයන් තවමත් පැහැදිලි වීමට ඉඩ තිබිය හැක. මේ මොහොතේ තමාම කොටස්කාරයෙකු වන සිනමා කර්මාන්තය උඩු යටිකුරු කිරීමට ඇය උත්සාහ ගන්නේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් ඇත්තේ බෙදුණු මතයන්ය. "ආරම්භයේදී කෙතරම් නරක ආකාරයට ඇයට සැලකුවේ ද යන්න ගැන ඇය කතා කර තිබෙනවා. සාධාරණව බැලුවොත් ඇය තවමත් ප්‍රබලයන් ඉදිරියේ නැගී සිටිනවා, ඇය තවමත් බොලිවුඩයේ ඥාති සංග්‍රහය විවේචනය කරනවා," "ඇයගේ අභිලාශය කුමක්ද? එදිරිය පිරිමහනවද? දේශපාලන භූමිකාවක් බලාපොරොත්තු වෙනවද? කවුද දන්නේ. නමුත් ඇය එය කරන ආකාරය ප්‍රශ්න සහගතයි. මම හිතන්නේ ඇය දුර ගියා වැඩියි," යනුවෙන් ෂයිලාජා බජ්පායි වැඩිදුරටත් කියා සිටියාය. (බීබීසී මාධ්‍යවේදිනී ගීතා පාන්ඩේගේ වාර්තාවක් ඇසුරෙනි) මේ ගැනත් කියවන්න:
"බලන්න අනේ අර ළමයාගේ හමේ කළු පාට. මට නම් හිතාගන්න බැහැ ඔය තරම් කළු අය මේ රටේ ඉන්නව ද කියලා."
"ඔව්, ඒක නම් ඇත්ත. මටත් හිතා ගන්න බැහැ. පව් කියලත් හිතෙනවා." ඒ දෙබස මගේ කන වැකුණු බව ගල්කිස්ස ප්‍රදේශයේ බස් නැවතුමක සිටි කාන්තාවන් දෙදෙනාට නොවැටහුණා විය නොහැකිය. නමුත්, දිගින් දිගට ම ඔවුන් මා දෙස බලා සිටීමෙන් ඉතා අපහසුතාවට පත් වූ නිසා, මහත් සිත් වේදනාවෙන්, ඉතා සෙමින් මම බස් නැවතුමෙන් ඉවතට ගියෙමි. මගේ ජීවිත කාලය පුරාවට මෙවැනි අවස්ථා බොහොමයකට මුහුණ දී ඇතත්, තවමත් මෙවන් වදන් පෙළක් ඇසෙද්දී මට සිත් වේදනා ඇති වේ. නමුත්, නව යොවුන් වියේ පසුවෙද්දී මෙවැනි සිද්ධියකට මුහුණ පෑ පසු ඇති වූ දැඩි නොසන්සුන්තාව වෙනුවට වයසින් මුහුකුරා ගිය මා දැන් ඉතා ඉවසීමෙන් කටයුතු කරමින් සිටිමි. මේ සියලු අපහාස සහ පීඩාවලට හේතුව මගේ සමේ වර්ණය යැයි කිවහොත් විටෙක එය ඔබ පුදුමයට පත් කරනු නිසැකය. උපතින් ම තද දුඹුරු පැහැති සමේ වර්ණයක් ලද මා වයසින් වැඩෙන විට වඩාත් "කළු" තැනැත්තියක් බවට පත් වීමි. නමුත්, මගේ වර්ණය හේතුවෙන් දෙමාපියන් හෝ සහෝදර සහෝදරියෝ කිසි දිනක මට වෙනස් කොට නොසැලකූහ. ඔවුන් සියල්ලන්ට ම මට වඩා ඉතා පැහැපත් සමේ වර්ණයක් හිමිය. දිවයිනේ උසස් පාසලක අධ්‍යාපනය ලැබූ මා අපොස සාමාන්‍ය පෙළ මෙන් ම, අපොස උසස් පෙළ විභාගය ද ඉතා විශිෂ්ට ලෙස සමත් වීමි. මා දැඩි කැමැත්තක් දැක්වූයේ විද්‍යා විෂයන්වලටය. නමුත්, රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමේ කඩඉම් ලකුණට ආසන්න වීමට මට නොහැකි විය. "අපෝ මෙයාගේ කළු පාට අපේ ඇඟේ ගෑවෙයි ද මන්ද," සම වයසේ පසු වන පාසල් මිතුරියක් දිනක් පන්ති කාමරයක් තුළදී මට කීවාය. ඒ වන විට මා දාහතර වියැති දැරියක වීමි. කෝපය පාලනය කරගත නොහැකි වූ මා ඇයට කෝප්පයක තිබූ ජලයෙන් දමා ගසා, "ගෑවෙනව නම් මේකෙන් හෝදගන්න" යැයි උස් හඬින් පවසා එම ස්ථානයෙන් ඉවතට දිව ගියෙමි. "එයා කියපු දේ සම්පූර්ණයෙන් වැරදියි. හැබැයි ඔයා අනිත් අය කියන දේට මේ විදියට හැසිරෙන්න ගියොත් වෙන්නේ ඔයා ඒ අයට අවශ්‍ය දේ කරන එක," පාසලේ පාළු මුල්ලකට වී මා ඉකි ගසා හඬමින් සිටියදී එම ස්ථානයට පැමිණි ඉතා හිතවත් මිතුරියක පැවසූ ඒ වදන් පෙළ මගේ දිවි ඇති තුරා අමතක නොවන්නකි. "තමන්ට තියෙන ලස්සන ගැන ආඩම්බර වෙන්න. අනිත් අයට ඕනේ විදියට ජීවත් වෙලා වැඩක් නැහැ." කෙසේ වෙතත්, වර්ණය නිසා සිදුවන හිරිහැර ඉවසාගත නොහැකිව මම දිනක් නිවසට නොකියා ම කොළඹින් මඳක් එපිට පිහිටි සම සුදු කිරීමට ප්‍රසිද්ධ යැයි පවසන මධ්‍යස්ථානයකට ගියෙමි. "ඔයාගේ හමේ පාට ගොඩක් කළු වැඩියි සුදු කරන්න සම්පූර්ණයෙන් ම. හැබැයි අපිට ටිකක් හම එළිය කරන්න පුළුවන්." "හම සුදු කරන එන්නත් ගන්න පුළුවන් නැත්නම් 'බ්ලීච්' කරලා තද පාට ටිකක් අඩු කරන්න පුළුවන්," යැයි සම පිළිබඳ විශේෂඥයෙකු ලෙස හැසිරුණ එහි සිටි පුද්ගලයා පැවසීය. එන්නත් විදීමට දැඩි බියක් දක්වන මා සැණින් එම ස්ථානයෙන් පිටත්වීමි. නමුත්, විවිධ ස්ථානවලට යද්දී ඇති වුණ සිත්තැවුල්වල නිමක් නොවීය. ඉතා හිතවත් පාසල් මිතුරියන් කීප දෙනෙකු සිටියත්, පාසල් කාලයෙන් පසු ඔවුන් ක්‍රමයෙන් වෙනස් වන්නට විය. අන් සියලු දෙනා සහභාගි වූ සාද, ප්‍රිය සම්භාෂණවලට මට ආරාධනා පවා නොලැබිණ. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔවුන් එකට සිට ලබාගත් ඡායාරූප නරඹමින් මා දින ගණන් හඬා වැළපුණෙමි. ඒ සියල්ලට ම හේතුව මගේ සමේ පාට දැයි කියා නොදන්නාමුත්, එය ප්‍රධාන හේතුවක් බව දිනක් එක් මිතුරියක මට පැවසූ වදන් පෙළකින් පසක් විය. "අරයගෙ මංගල උත්සවේ දෙවෙනි මනමාලියෝ විදියට අපි තුන් දෙනයි, එයාගේ වෙන යාළුවෙකුයි ගන්නවා කිව්වා. ඔයත් එන්න අපිට උදව් කරන්න. මේක් අප් එහෙම හොඳට දාන්න පුළුවන් මූණු තමයි එයා තෝර ගෙන තියෙන්නේ." ඔවුන්ට උදව් කිරීමෙන් පමණක් නොව, කොළඹ තරු පහේ හෝටලයක පැවති මංගල උත්සවයට සහභාගි වීමෙන් පවා මම වැළකී සිටියෙමි. මේ තොරතුරුද කියවන්න: යෙහෙළියන් හෝ පවුලේ කිසිවෙකුත් මා දෙවෙනි මනමාලිය ලෙස තෝරාගෙන නොමැත. එයට හේතුව තද කළු පැහැති සමේ වර්ණය බව මම හොඳාකාරව දනිමි. නමුත්, මිලියන ගණනක මුදලක් වැය කර අනර්ඝ ඇඳුම් ආයිත්තම්, රූපලාවණ්‍ය ආලේපන සහ සැරසිලිවලින් හැඩ වූ මංගල දිනයේ සියලු වැඩ කටයුතු අදාළ යුවළට අවශ්‍ය පරිදි සිදු කිරීම ඔවුන්ගේ අයිතියක් බව වයසින් මුහුකුරා යන විට මම තේරුම් ගත්තෙමි. වයස තිහ පසු වී ඇතත් තවමත් මා අවිවාහකය. විවාහ වීමට සිතා පිරිමි ළමුන් දෙදෙනෙකු සමග ප්‍රේම සබඳතා පැවැත්වුවත්, කලකදී ඔවුන්ට මගේ සමේ වර්ණය ගැටලුවක් බවට පත් විය. මේ වන විට ඔවුන් දෙදෙනා ම ඉතා පැහැපත් කාන්තාවන් දෙදෙනෙකු සරණ පාවාගෙන සිටිති. උසස් පෙළ විභාගයෙන් පසු මා කෙටි කලක් පෞද්ගලික ආයතනයක සේවය කළ නමුත්, වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමු වීම මගේ එක ම සිහිනය විය. ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ වැඩිදුර හැදෑරීමට කොළඹ, බම්බලපිටියේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයකට ගිය මට කිසිදු මිතුරෙකු හෝ මිතුරියක මුණ ගැසුණේ නැත. කුඩා කල සිට ඉගෙනීමට දක්ෂතා පෙන්වූ බැවින් ඔවුන් කීප දෙනෙකු මා සමග කතා බහ කළත්, කිසිවෙකුත් දැඩි මිත්‍රත්වයක් පිළිබිඹු නොකළහ. මාස කීපයක් ගත වන විට මට එහි අධ්‍යාපනය ලැබීම "වහ කදුරු" මෙන් එපා විය. "අර පන්තියේ කොනක ඉඳගෙන ඉන්න කළු ළමයා," නැත්නම් "අර කළු කෙල්ල," ලෙස සිසුන් මෙන් ම ගුරුවරුන් ද මා ආමන්ත්‍රණය කරනු කීප වතාවක් මා සවන් වැකිණි. එම ආයතනය තුළ තවදුරටත් අධ්‍යාපන කටයුතු කළ නොහැකි බව මම දෙමාපියන්ට දැන්වීමි. මගේ තීරණය පිළිබඳව ඔවුන් සිත් තැවුලට පත් වූවත්, මගේ අනාගතය වෙනුවෙන් ගන්නා වෙනත් ඕනෑ ම තීරණයකට ඔවුන් හැකි අයුරින් පිහිට වන බව පැවසූහ. ශ්‍රී ලංකාව තුළ නොහැකි වුණත්, සැවොම එක සමාන ලෙස සැලකුම් ලබන රටකට ගොස් වැඩිදුර අධ්‍යාපනයේ නියැලීමට මා අධිෂ්ඨාන කර ගත්තෙමි. ඒ අනුව, මාගේ දෙමාපියන්ට වියදම් දැරිය හැකි ප්‍රමාණයේ පිටරට විශ්වවිද්‍යාලවලට ඉල්ලුම් කර අවසානයේදී ව්‍යාපාර කළමනාකරණ උපාධිය සඳහා සිංගප්පූරුවේ විශ්වවිද්‍යාලයකට යෑමට මම ශ්‍රී ලංකාවෙන් පිටත්වීමි. එහි ගිය ප්‍රථම දින සිට මට විවිධ ජාතීන්වල සිසුන් හමු වූ අතර, දකුණු ඉන්දීය සහ බංග්ලාදේශ ජාතික සිසුන් කීප දෙනෙක් මාගේ හොඳ ම මිතුරන් බවට පත් වූහ. එහි සිටි කිසිවෙකුටත් මාගේ සමේ වර්ණය අරුමයක් නොවීය. විශ්වවිද්‍යාලයෙන් පිටත ඇවිද යන විට සමහර පුද්ගලයන් මා දෙස අසාමාන්‍ය ලෙස බැලුවත්, බොහෝ දෙනෙක් සිනාමුසු මුහුණින් මා පිළිගත්හ. තෙවසරක් පුරා පිටරටක තනිව ම වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමෙන් සහ දිවිය පුරා ලැබූ අත්දැකීම්වලින් මා ගැන ඇති ආත්ම විශ්වාසය වැඩි දියුණු කර ගැනීමට හැකි විය. පෙර කිසි දිනෙක නොවූ ලෙස සමේ වර්ණය ගැන ආඩම්බර වන්නට මම පුරුදු වුණෙමි. උසස් අධ්‍යාපනය හමාර කර රජයේ ආයතනයක රැකියාව ආරම්භ කළ මම, ඉතා අලංකාර ඇඳුම් ආයිත්තම්වලින් සැරසී, රූපලාවණ්‍ය ආලේපන ගල්වා ඉතා පිළිවෙළට රැකියාවට පිටත් වන්නෙමි. පෙර පරිදි ම පොදු ස්ථානවලදී සමහරු මා දෙස නෙතගින් බලා නොයෙක් දේ පැවසූව ද ඒ සියල්ල උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමට දැන් මම පුරුදු වී සිටිමි. නමුත්, තවදුරටත් කිසිදු වචනයකින් හෝ බැල්මකින් මා සිත්තැවුලට පත් වන්නේ ද නැත. නිතර සිනාමුසු මුහුණින් පසුවෙන මා හට දැන් බොහෝ මිතුරියන් සිටින අතර, ඔවුන් සමග නිතර ප්‍රිය සම්භාෂණවලට සහභාගි වීමෙන් මම මහත් සතුටක් විඳින්නෙමි. සමේ වර්ණය කිසිදු අයුරකින් වෙනස් කිරීමට උත්සහ නොදරන අතර, මේ වන විට නොබියව සමාජ මාධ්‍ය ජාලවල මාගේ ඡායාරූප පළ කරන්නෙමි. (සමේ වර්ණය නිසා ළමා වියේ සිට පීඩාවට පත්වූ නම හෙළි කිරීමට අකමැති වූ ශ්‍රී ලාංකික තරුණියකගේ අත්දැකීම් ඇසුරිනි) පුද්ගලයන්ගේ සමේ පැහැය වෙනස් වන්නේ ඇයි? "මෙලනින් වර්ණකය සෑම පුද්ගලයෙකුගේ ම සමේ අඩු වැඩි වශයෙන් පිහිටා තිබෙනවා. වැඩිපුර සම අඳුරු පැහැ වීම අතිශය සාමාන්‍ය තත්ත්වයක්. එය රෝගයක් හෝ පුද්ගලයෙකු සමාජයෙන් වෙන් කර තැබීමට කාරණයක් නොවේ," යනුවෙන් එම තරුණියගේ අත්දැකීම ගැන අදහස් දක්වමින් කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය පී ආර් ද සිල්වා බීබීසී සිංහල සේවය සමග පැවසීය. ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල දිවි ගෙවන පුද්ගලයන් නිතර හිරු එළියට නිරාවරණය වන බැවින්, අහිතකර හිරු කිරණවලින් සම ආරක්ෂා වීමට ස්වභාවයෙන් ම ඔවුන්ට මෙලනින් වර්ණකය වැඩි වශයෙන් ඇති සමක් පිහිටා තිබෙන බව වෛද්‍යවරිය පැවසුවාය. "හිරු එළිය ඉතා අඩුවෙන් ලැබෙන රටවල ජීවත් වන පුද්ගලයන්ට සමේ මෙලනින් වර්ණකය පිහිටන්නේ අල්ප වශයෙන්." "ඔවුන්ගේ සම හිරු එළියට ඕනෑවට වඩා නිරාවරණය වුණොත් පිළිකා ඇතුළු නොයෙක් සමේ රෝග හැදීමේ අවදානම වැඩියි. ඒ වගේ ම ඉතා ඉක්මනින් රැලි වැටෙනවා." සාමාන්‍යයෙන් දුඹුරු පැහැති සමක් සහිත පුද්ගලයන්ගේ සෛලවල න්‍යෂ්ටිය ආවරණය වී ඇති අතර, එවැනි සමක් ඇති පුද්ගලයන්ට හිරු එළියෙහි ඇති අහිතකර කිරණවලින් සිදු වන හානිය අඩුය. දුඹුරු සමක් සහිත පුද්ගලයන්ගේ සම රැලි වැටී මහලු පෙනුමක් ගෙන දීමට සහ සමෙහි පිළිකා ඇති වීමට ඇති අවදානම අඩු බව ද වෛද්‍යවරිය පැවසීය. "ඒ වගේ ම ජානවලින් පැවත එන සමේ පාට වෙනස් කරන්න බැහැ. තමන්ට උපතින් ලැබී තිබෙන සමේ පැහැය ගැන සතුටු වෙනවා වෙනුවට, එය වෙනස් කරන්න උත්සහ කිරීමෙන් වෙන්නේ නිකරුණේ රෝගියෙකු බවට පත් වීම," යැයි වෛද්‍යවරිය තවදුරටත් කියා සිටියාය. තවත් තොරතුරු:
පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ ඇළකට වැටී සිටි අලි පැටවකු ගම්වාසිහු සහ වනජීවි නිලධාරිහු එක්ව බේරා ගෙන තිබේ.
වයස අවුරුදු දෙකක් පමණ වන බවට විශ්වාස කෙරෙන අලි පැටවා කිලෝමීටර් 5 ක පමණ දුරක් දිය පහරට හසුව ගසා ගෙනවිත් ඇති බවයි ගම්වාසීන් පවසන්නේ. පැය 3 ක පමණ මෙහෙයුමකින් පසු පැටවා ඇළෙන් ගොඩ ගැනීමට හැකි වී තිබේ. පසුව අලි පැටවා මලින්ද රක්ෂිතයට පළවා හැර ඇත.
අද (ඔක්තෝබර් 15) ලෝක සුදු සැරයටි දිනයයි.
ජාත්‍යන්තර සුදු සැරයටි දින ජාතික සැමරුම් උත්සවය ඊයේ බත්තරමුල්ල 'අපේ ගම' පරිශ්‍රයේදී පැවැත්වුණේ සමාජ හා ශුභසාධන අමාත්‍යංශයේ ප්‍රධානත්වයෙනි. ජාත්‍යන්තර සුදු සැරයටි දිනය නම් කිරීම සඳහා ශ්‍රී ලංකාව පුරෝගාමී වූ බවයි ජාතික සැමරුම් උත්සවයට එක් වූ ශ්‍රී ලංකා අන්ධ ජන සේවා මණ්ඩලයේ ලේකම් ශාලිකා කරුණාරත්න කියා සිටියේ. 'රියෙන්සි අලගියවන්න මහත්මයා එවකට ශ්‍රී ලංකාවේ සිටි දෘශ්‍යාබාධිත පුද්ගලයෙක්. ඔක්තෝබර් පහළොව ජාත්‍යන්තර සුදු සැරයටි දිනය ලෙස නම් කරන මෙන් එතුමා තමයි පළමුවරට ලෝක දෘශ්‍යාබාධිත සමුළුව හමුවේ යෝජනා කළේ,' අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තවමත් දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට යම් ගැට‍ළුවලට මුහුණ පෑමට සිදු වන බවත් ශ්‍රී ලංකා අන්ධ ජන සේවා මණ්ඩලයේ ලේකම් ශාලිකා කරුණාරත්න වැඩිදුරටත් සඳහන් කළාය. අතීතය හා සැසඳීමේදී වර්තමානය වන විට දෘශ්‍යාබාධිත පුද්ගලයන් සම්බන්ධයෙන් සමාජය දක්වන ආකල්පයේ සාධනීය වෙනසක් සිදු වී ඇති බවයි උත්සවයට එක් වී සිටි දෘශ්‍යාබාධිත පුද්ගලයකු වන බර්නාඩ් ප්‍රනාන්දු කියා සිටියේ.
"හැමදාම හිසට තියන කොට්ටය උදේ අව්වට දානවා. ඒක කඳුළු වලින් තෙත් වෙනවා රෑ පුරාවට. මට රාත්‍රිය එළිවෙනකන් අදටත් නින්දක් නැහැ. මතක් වෙනවා මගේ දරුවෝ. ඒ දරුවන්ගේ දරුවෝ. මේ ගෙදර මම දැන් තනි වෙලා. කෑමක් බිමක් හදන්නවත් හිත දෙන්නේ නැහැ. කවුරු වෙනුවෙන්ද මේවා කරන්නේ කියල හිතෙනවා. මගේ පවුලේ හත් දෙනෙක් බෝම්බෙට බිලිවුණා" යැයි කටාන කටුවාපිටිය ශාන්ත ජූඩ් මාවතේ පදිංචි එච් .ඩී තෙරේසා පීරිස් (67) බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ කඳුළින් බර වූ නෙතිනි.
අදටත් රෑ නිදිවරා දරු මුණුපුරන් වෙනුවෙන් හඬන එච් .ඩී තෙරේසා පීරිස් 2019 අප්‍රේල් 21 වැනිදා උදෑසන හතයි තිහට පමණ තෙරේසා ගේ දියණිය සිය දරුවන් තිදෙනා ද සමඟ පාස්කු මංගල්‍ය පුජාවට සහභාගී වීමේ අරමුණින් පෙනෙන මානයේ වූ කටුවාපිටිය දේවස්ථානය කරා ගියේ යළි නොඑන බව නොදැන ය. ''දුව ජීවත්වුණේ මගේ ගෙදර. එදා ඇවිදගෙන පල්ලිගිය ඒ ගොල්ලෝ නැවත ගෙදර අවේ මිනී පෙට්ටිවල. එයාගේ සැමියාට එදා උදේ පුජාවට යන්න වුණේ නැහැ. ඒ නිසා ජීවිතය බේරුණා. එත් ඒ දරුවා ත් දැන් මේ ගෙදරටවත් එන්නේ නැහැ. ඇවිත් කොහොම ඉන්නද?" "මගේ පවුලටම ශක්තියක් වුණේ මගේ ලොකු පුතා. එයා, එයාගේ බිරිඳ දරුවන් දෙදෙනා එක්ක එදා පුජාවට ගියා. පුතයි දරුවෝ දෙන්නයි බෝම්බයට බිලි වුණා. ඒ දුව විතරක් බේරුණා. එයා දැන් මේ ගෙවල් අතහැර දාල ගිහින් නෑයෙකුගේ ගෙදරක ජිවත් වෙනවා. ඇත්තටම මේ දරුවෝ, දරු මුණුබුරන් තමයි මගේ ජීවිතය. ඔවුන් තමයි මාව බලාගත්තේත්. මේ ගෙවල් දෙකම දැන් සොහොන් පිට්ටනි වගේ පාලුවට ගිහින්," යැයි තෙරේසා පීරිස් කදුළු පිසදමමින් පැවසුවාය. තෙරේසා පිරිස්ගේ දියණිය වන තිස්පස් හැවිරිදි වූ රසිකා දිල්රුක්ෂි , මිණිබිරියන් දෙදෙනා වූ දාහතර හැවිරිදි හෂිනි ප්‍රවිෂා, නව හැවිරිදි ශලොමි හිමායා සහ මුණුබුරු හත් හැවිරිදි ශලොම් සතිෂ්ක කටුවාපිටිය දේවස්ථානයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වූහ. එසේම ඇගේ වැඩිමහල් පුත්‍රයා වන ජූඩ් මාවතේ ම පදිංචිව සිටි හතලිස් හත් හැවිරිදි දුලිප් ශාන්ත කුමාර, ඔහුගේ දියණිය වන විසිඑක් හැවිරිදි රජිනි විනූරා සහ දහසය හැවිරිදි විමුක්ති චතුරංග, තෙරේසා ගේ පවුලේ මියගිය අනෙකුත් සාමාජිකයෝ වෙති. "ගෝඨාභය ජනාධිපතිතුමා බලයට එන්න කලින් කිව්වනේ මේකට සාධාරණයක් කොයි වෙලාවක හරි ඉෂ්ඨ කරනවා කියල. මම පත්තර අරං තියලා තියෙනවා එතුමා කියපුව. දැන් ඔක්කොමලා අල්ලාගෙන තියෙන්නේ, මහ මොළ කාරයත් අල්ලගත්ත කියනවා. එහෙනම් කෝ ඉතිං ඒ අයට නීතිය ක්‍රියාත්මක කරනවා ද? අපිට සාධාරණයක් වුණේ නැහැ. කටුවපිටිය ජනතාව බලාගෙන ඉන්නවා අවරුදු දෙකක් කිට්ටුවෙන්න ආව මොකක්ද කරන සාධාරණය කියලා" යැයි තෙරේසා තවදුරටත් පැවසුවාය. මියගිය හතලිස් තුන් දෙනෙකුගේ සිරුරු මිහිදන් කෙරුනු කටුවාපිටිය පිහිටි සුසාන භූමිය කටුවාපිටිය දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 104 දෙනෙකු මිය ගිය බවට වාර්තා පළවූ අතර ඒ අතරින් මියගිය හතලිස් තුන් දෙනෙකුගේ සිරුරු මිහිදන් කෙරුණේ කටුවාපිටිය පිහිටි සුසාන භූමියකය. කටුවාපිටිය, කටාන, දිවුලපිටිය ආදී ප්‍රදේශ ගණනාවක කතෝලික බැතිමතුන් ප්‍රහාරය එල්ලවූ දින දේවස්ථානයට පැමිණ සිටි අතර ඇතැමුන්ගේ සිරුරු හඳුනා ගැනීමට නොහැකි පරිද්දෙන් විනාශවී තිබු බව ද ප්‍රදේශවාසීන් පැවසීය. ප්‍රහාරය හමුවේ කම්පනයට ලක්වීම, අස්ථි බිඳීම් හා බරපතල තුවාල ලැබීම්වලින් පීඩා විඳින පිරිස් කටුවාපිටිය හා ඒ ආසන්න ප්‍රදේශවල අදටත් ජිවත්වන අතර තිස්හය හැවිරිදි තිළිනා හර්ෂනී ද එවන්නිය කි. කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ඇය පදිංචිව සිටින්නේ කටුවාපිටිය කතෝලික දේවස්ථානයට පිවිසෙන සාන්ත සෙබස්තියන් මාවතේය. කොඳු ඇටපෙළ බිඳීමකට ලක්ව ශල්‍යකර්මයකට භාජනය කර සිටින හර්ෂනී මාස 14 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව දැන් නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය. මිගමුව විවිධ සේවා සමුපකාරයේ ගිණුම් අංශයේ සේවය කළ ඇය තිදරු මවකි. ඇය තම වැඩිමහල් දියණිය වන එකොළොස් හැවිරිදි ලයාරා පුබුදුලී, එවක අවරුදු 6 යි මාස පහක් වූ වැඩිමහල් පුතු දුලෝද් ප්‍රේමින සහ බාල පුතු සිව් හැවිරිදි දයෝද් කියෝෂ් හා තම මව සමග පාස්කු මංගල්‍ය සදහා දේවස්ථානයට ගොස් සිටියාය. බෝම්බකරු දේවස්ථානයට ඇතුළුවූ වම් දොරටුව ආසන්නයේ අසුන්ගෙන සිටි ඇය ඇතුළු පිරිස දැඩි කම්පනයකට ලක්වන විශාල ශබ්දයක් සමගින් පිපිරීමක් සිදුවූ බව හර්ෂනී පැවසීය. අස්ථි බිඳීමකට ලක්ව තවදුරටත් නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින තිළිනා හර්ෂනී ''පුජාව අවසන් වෙලා සුරෝලය (දේව ප්‍රතිමාව සහිත පෙරහැර) පිටත්ව යන්න කලින් මගේ අතේ ගැටගහල තිබුණ පාස්කු නූල ගැලවුණා. ඊට පස්සේ ඒක මම නැවත ගැටගහගන්න මගේ ලොකු පුතා ඔඩොක්කුවට ගත්ත. එයා ඔඩොක්කුවේ තියාගෙන මම නූල නැවත ගැටගැහුවේ. එතකොටම විශාල ශබ්දයක් පිටවුණා. නැවත ඇහුන ඒ ශබ්දය. එතකොට මට දැනුණා මගේ වම් ඇහෙන් වතුර ගලනවා වගේ. මගේ අත් දෙක කකුල් දෙක පණ නැතිව ගියා. මම එතැනම වැටුණා," යැයි ඇය එම අමිහිරි මතකයන් ආවර්ජනය කරමින් පැවසීය. "මිනිස්සු කෑගහන දේවල් වලින් දැන ගත්ත බෝම්බයක් පිපිරිලා කියල. මගේ අම්මට සුළු තුවාල සිදුවෙලා තිබුණා. දුව නැගිටලා තිබුණා. එයාගේ බෙල්ලට තුවාල වෙලා තිබුණා. පස්සේ මගේ අම්ම අනිත් දරුවන් දෙන්න හොයල තිබුණා. මගේ අතේ හිටපු වැඩිමහල් පුතා මිය ගිහින් කියල අම්මට දැනිල තිබුණා. ඊට පස්සේ පොඩි පුතා හොයද්දි එයා වැටිලා ඉද්දි අම්ම නැගිටවල තිබුණා. ඊට පස්සේ තමයි අම්ම මං ළඟට ඇවිත් බලල තිබුණේ. මං හුස්ම ගන්නවා කියල අම්ම දැනගෙන වටේ හිටපු අයගෙන් උදව් ඇතිව මාව මිගමුව රෝහලට ඇතුළත් කර තිබුණා ත්‍රිවිල් එකකින්." "මම නැවත ගෙදර ආවේ මාස 14 කට පසුව ජුනි 19 වැනිදා. ඒ එන්න ළංවෙද්දි තමයි මම දැන ගත්තේ මගේ ලොකු පුතා නැතිවෙලා කියල. මට ඒක දරා ගන්න අමාරුවුණා. මොකද එයා අවසන් වෙලාවේ හිටියේ මං ළඟ. එයා කඳාන අලුත් පාසලේ දෙවැනි පංතියට ඇතුළු කරා විතරයි එතකොට'' තිළිනා හර්ෂනී මාස 14 ක් මීගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබා තිබු අතර එම ප්‍රතිකාර කටයුතු සඳහා කතෝලික ප්‍රජාව මූලික වී ක්‍රියාත්මකවන සෙත්සරණ ආයතනය උදව් උපකාර කල බව ද ඇයට නිවසේ නවාතැන් ගැනීමට වෙනම කොටසක් ඉදිකර දීමට හා ප්‍රතිකාර සදහා පහසුකම් ලබා දීමට පරිත්‍යාගශිලින් කටයුතු කළ බව ද ඇය පැවසුවාය. තම දරුවා අහිමිව තමන් ද ඇඳකට සීමා කළ රෝගියෙකු බවට පත් කළ මේ අපරාධයේ වරදකරුවන්ට දඬුවම් කිරීමට රජය අපොහොසත්වීම පිළිබඳව හර්ෂනී කනස්සල්ලෙනි. ''මේ රජයෙන් සාධාරණයක් ඉෂ්ටවෙයි කියන බලාපොරොත්තුවෙන් මිනිස්සු රජයට බලයට එන්න සහය දුන්නා. ගිය අවුරුද්දේ අප්‍රේල් 21 වෙන්න කලින් සාධාරණය ඉටුකරනවා කියල කිව්වා. දැන් මේ අවුරුද්දේ අප්‍රේල් 21 ත් ඇවිත් තියෙනවා. වචනයක් පමණයි. ක්‍රියාවක් නැහැ. සාධාරණයක් අපි දකින්නේ නැහැ. හැමෝම කරන්නේ තමන්ගේ වැරදි අනුන් පිට පටවලා එයාලා නිදහස් වෙන එක," යැයි ඇය පැවසීය. "අඩුම තරමේ පාස්කු කොමිසමේ වාර්තාවට අනුවවත් ඒ අය ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. නම් වශයෙන් සඳහන් කරන පුද්ගලයින්වත් ඒ අය අධිකරණයට ගෙනල්ලා දඬුවම් කරන්නේ නැහැ. අපි පල්ලි ගියේ වඳින්න. හැබැයි මේ අපරාධය සිද්ධ වෙනවා කියල ඉහළ නිලධාරීන් මැති ඇමතිවරුන් දැන ඉඳළත් ඒක වලක්වන්න ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. අපි කියන්නේ මේකට ගෑවිච්ච හැමෝම නීතිය ඉදිරියට ගෙනැල්ල දඬුවම් කරන්න. ආයේ මේ වගේ දෙයක් නොවෙන්න''. දිවි බේරුණු, තිළිනා හර්ෂනී ගේ බාල පුත්‍රයා මේ සියල්ල දෙස නිසොල්මනේ අසල පුටුවක වාඩිවී බලා සිටියත් අපත් සමඟ එකදු වචනයක් හෝ කතා නොකිරීමට ඔහු වග බලාගත්තේය. කටුවාපිටිය ජූඩ් මාවතේ දෙවැනි පටුමගේ පදිංචි ජූඩ් ප්‍රසාද් අප්පුහාමි (43) එදින දේවස්ථානයේ මංගල්‍යට සහභාගී වී සිටියේ සිය බිරිය හා දියණියන් දෙදෙනා සමගයි. වසරක් පාසා මංගල්‍යයේ වීදි සංචාරය වෙනුවෙන් වාහන සුරුවම සුදානම් කරන ජූඩ්, පවුලේ උදවිය දේවස්ථාන පරිශ්‍රයේ සිටියදී පිටතට පැමිණ ලැගුම් ගෙය අසල සුරුවම් රථය නවතා සැරසිලි කටයුතුවල යෙදිණි. බෝම්බය පුපුරා ගොස් තිබුණේ ඒ අතරතුරයි. ජූඩ් ප්‍රසාද් අප්පුහාමි ''මගේ පොඩි දුවයි බිරිඳයි හිටියේ පොඩි පල්ලියේ. නමුත් ලොකු දුව හිටියේ ලොකු පල්ලියේ. එයා තමයි එදා පල්ලියේ යාඤාව කියෙව්වේ. ඒක කියවලා අල්තාරය ඉදිරිපිටම බංකුවක වාඩි වෙලා හිටියා. බෝම්බය පිපිරෙනකොට එයා හිටියේ ඒ ආසන්නයේ. වාසනාවකට ළමයාගේ ජිවිතයට හානියක් වුණේ නැහැ. හැබැයි අදටත් දුවගේ කන ඇහෙන්නේ නැහැ. අපි දෙයක් කියපුවහම එයා ඇඟිල්ලෙන් කන හොල්ලලා ඒක නැවත අහගන්නවා. මේවා අපිට විඳින්න පුළුවන් දේවල්ද? දුව අවරුදු 20 ක ගැහැණු දරුවෙක්. අපේ කාලය දැන් ඉවර නමුත් මේ දරුවන් තවම ජීවිතය පටන් ගත්තා විතරයි," යනුවෙන් ජූඩ් බීබීසී සිංහල සේවයට කියා සිටියේය. "අපි කියන්නේ වරද කරපු අයට නිසි දඬුවම් දෙන්න කියල. ඒ කියන්නේ උසාවි දාන්න කියල නෙමෙයි එල්ලලා මරන්න කියල අපි කියන්නේ. ඒ තරම් අපිට වේදනාවයි." කටුවාපිටියේ ඇති විරෝධතා පුවරුවක් කටුවාපිටිය මෙන්ම රටේ විවිධ ප්‍රදේශ වල විශාල පිරිසක් මෙසේ යුක්තිය අයැද සිටින්නේ වසර දෙකක් ගතවී ඇතත් තවමත් සාධාරණය ඉල්ලා ඔවුන් ලතැවෙන බැවිනි. 21ක් හැවිරිදි වත්තල ඔලියමුල්ලේ පදිංචි ග්ලෝරියා ජෝර්ජ් කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබුවා පමණක් නොව ඇයට සිය පියා ද අහිමි විය. වත්තල ඔලියමුල්ලේ පදිංචි ග්ලෝරියා ජෝර්ජ් ''යුක්තිය ඉටු උනත් නැතත් මගේ තාත්තව මට ලැබෙන්නේ නෑ. නමුත් එයා මැරුණේ අනතුරකින් නෙමෙයි. ඒක මිනීමැරීමක්. ඒ නිසා මට දැනගන්න ඕනා මගේ තාත්තව ඇයි මැරුවේ කියලා. ඒ වෙනුවෙන් මම නැගී සිටිනවා. මාත් එක්ක හැමෝම එකට හිටගන්න. මේ වගේ දෙයක් ආපහු වෙන්න හොඳ නෑ. මගේ හොඳම යාළුවා වෙච්ච මගේ තාත්තව නැති පාඩුව වචන වලින් කියලා නිම කරන්න බෑ. අද අම්මා හුගක් දුක් විඳිනවා නංගිටයි මටයි උගන්නන්න, කන්න බොන්න දෙන්න,'' යනුවෙන් ග්ලෝරියා ජෝර්ජ් පැවසීය. ''ත්‍රස්තවාදීන්ට පුළුවන් වුණා මගේ තාත්තාව නැති කරන්න. මටයි, මගේ නංගිටයි තුවාල කරන්න. ඒත් ඒ අයට බැරි වුණා මගේ සිහිනය විනාශ කරන්න. අපේ ශ්‍රී ලංකාවේ ඔක්කොම විනාඩි පහයි මතක. යමක් වුණ ගමන් ඒ ගැන හැමෝම කතා කරනවා. ඒත් ඊට පස්සේ ඒ ගැන මතක නෑ. පාස්කු ප්‍රහාරයත් ඒ වගේ. ඒ දවස්වල මාස තුන හතරක් වින්දිතයන් එක්ක කතා කළා. ඊට පසුව ඒක අමතකයි.ඒක එහෙම වෙන්න හොඳ නෑ. මම විතරයි දන්නේ මගේ තාත්තා නැති වේදනාව. ඒක වෙන කාටවත් තේරුම් ගන්න බෑ.''