data
dict
{ "Text": " එක් එක් ආගමික හා ජන කණ්ඩායම්වලට පමණක් නොව, ශ්‍රී ලංකාවේ එක් එක් පළාත්වලට ද ආවේණික වන විශේෂ වූ චාරිත්‍ර-වාරිත්‍ර තිබේ. කිරි පෝය යනු, ඇසළ පොහොයට දකුණු පළාතේ එක්තරා කොටසක් පමණක් විශේෂයෙන් සමරන එවැනි උත්සවයකි. එය හුදෙක් ම චාරිත්‍ර වාරිත්‍රවලින් ඔබ්බට ගිය සංස්කෘතික මංගල්‍යයක් ලෙස හැඳින්විය හැකි ය. කිරි ආහාරවලින් පිරුණු 'කිරි පෝය' දකුණු පළාතේ එක් කොටසක පමණක් සැමරෙන මෙම විශේෂ පොහොය පිළිබඳ ලද තොරතුරු අනුව බීබීසී සිංහල අප ගමන් කරමින් සිටියේ අහුංගල්ල ප්‍රදේශය බලා ය. අහුංගල්ල, බලපිටිය ආදී ප්‍රදේශවල මෙම චාරිත්‍ර වාරිත්‍ර වාර්ෂිකව ඇසළ පොහොය දිනයේදී සිදුකරන බව අපට දැනගැනීමට හැකි විය. 'කිරි පෝය' ලෙස හැඳින්වෙන මෙම උත්සවය සිංහල-හින්දු අලුත් අවුරුද්ද සේම එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාව සමරන සංස්කෘතික උත්සවයකි. අපගේ ගමනාන්තයට ළඟා වන විටත් ඒ අසල පිහිටි නිවෙස්වල ගෘහණියන් නිවසින් පිටත ලිප් බැඳ එම ලිප්වල විශාල වළං තබා, දිගු කිතුල්පත්තකින් කිරියා හැඳිගාන අයුරු දැක ගැනීමට අපට හැකි විය. පොල්කිරි, හාල් පිටි, සීනි හෝ හකුරු සහ වියළිමිදි, කජු ආදිය යොදා සකස් කරන කිරියා ඉතා ප්‍රණීත ආහාරයකි. එය බොහෝ ප්‍රදේශවල පැවැත්වෙන කිරි දාන සංස්කෘතියේ නොමැකෙන ආහාරයකි. සවස සිදුකිරීමට ඇති කිරි පෝය චාරිත්‍ර සඳහා එම ආහාර පිසින වග ගෘහණියෝ අපට පැවසූහ. 'කිරි පෝය' ඉතිහාසය මෙම කිරි පෝය චාරිත්‍රය අතීතයේ පටන් සිදු කරන චාරිත්‍රයක් බවට අප සමග අදහස් හුවමාරු කරගත් ගම්වැසියන් බොහෝ දෙනෙක් පැවසූහ. ඉර බැස ගොස් අදුර පැමිණෙත් ම නිවස තුළ කිරි පෝය චාරිත්‍ර සිදු කරන ගම්වැසියන් සවසට නැවත එකතු වන්නේ ගමේ පිහිටි දේවාලයට ය. කිරි පෝය, එසේත් නැතිනම් ඇසළ පොහොය දිනයේ සහ ඊට පසු දින විවිධ චාරිත්‍ර වාරිත්‍ර ඇතුළත් සංස්කෘතිකාංග රැසක් එම දේවාලයේදී සිදු කෙරේ. අහුංගල්ල ප්‍රදේශයේ පිහිටි \"තිලකමුණි කෝවිල\" එදින අපි මෙම චාරිත්‍රය නැරඹීමට තෝරාගත් ස්ථානයයි. එදින එම දේවාලය තුළ බොහෝ පිරිසක් එක් රැස්වී සිටියේ කිරි පෝයට අදාළ සංස්කෘතිකාංග සඳහා පසුබිම් සකස් කිරීමට ය. එම සංස්කෘතිකාංග රංග දැක්වීම සඳහා පැමිණ සිටි නැට්ටුවන්, බෙර වාදකයන්, මෙන් ම කපු මහතුන් යන සියලු දෙනා පාරම්පරිකව සිය ශාස්ත්‍රය ප්‍රගුණ කළ අය වේ. මෙම කිරි පෝය චාරිත්‍රය සිදු කරන්නේ පත්තිනි මෑණියන්ට, කතරගම දෙවියන්ට, සහ දෙවොල් යක්ෂයාට බව මෙම දේවාලයේ සිටි එක් කපු මහතෙකු වූ චතුරංග පැවසුවේ ය. පාරම්පරික නර්තන ශිල්පියෙකු සහ බෙර වාදකයෙකු වන ඔහු එදින රාත්‍රියේ සංස්කෘතිකාංග කිහිපයකට ම අදාළව නර්තනයේ යෙදීමට සූදානම්ව සිටියේ ය. \"කිරි පෝය චාරිත්‍ර සිදු කරලා මිනිස්සු පත්තිනි මෑණියන්ගෙන් ගම ආරක්ෂා කරලා දෙන්න, දරු සම්පත් ලබාදෙන්න වගේ දේවල් ඉල්ලනවා. ඒ වගේම ධීවරයෝ දෙවොල් යක්ෂයාට කන්නලව් කරනවා ඔවුන්ව මුහුදේදී ආරක්ෂා කරන්න කියලා. බහු දින ධීවර යාත්‍රා ඇරෙන්න අනෙකුත් ධීවර යාත්‍රා සාමාන්‍යයෙන් මේ දවසට මුහුදු යන්නේ නෑ,\" ඔහු විස්තර කළේ ය. පහතරට නර්තන සම්ප්‍රදායේ එක් ශාන්තිකර්මයක් වන්නේ 'පත්තිනි නර්තනයයි'. පත්තිනි දේවතාවිය නිරූපණය කරමින් මෙම නර්තනයේ යෙදෙන්නේ පිරිමි පුද්ගලයින් වීම විශේෂත්වයකි. පත්තිනි දේවතාවියගේ ආභරණ සහ ඇඳුම් මෙන් ම, දීර්ඝ කෙස් කළඹ පැළඳගෙන එම නර්තනයේ යෙදෙමින් ශාන්තිකර්මය කරනු ලබන්නේ පිරිමි නැට්ටුවෙකු විසින් ය. මේ සඳහා ද පාරම්පරික පහතරට නැට්ටුවෙකු වන ජානක සූදානම්ව සිටියේ ය. කිරි පෝය දිනයේදී කිරි ආහාර සකස් කිරීම සම්බන්ධයෙන් ජානක විස්තර පැහැදිලි කළේ ය. \"කතරගම දෙවියන් හෙවත් ස්කන්ධ කුමාරයා දඹකොළ පටුනෙන් ශ්‍රී ලංකාවට ගොඩ බැස්සට පසුව කතරගම දක්වා ගමන් කරන විට මේ ප්‍රදේශය හරහා ගමන් කරලා තියෙනවා. එතකොට බෙන්තර ගඟත් ගිං ගඟත් අතර ප්‍රදේශයේ ජනතාව කිරි ආහාර වලින් ඔහුට සංග්‍රහ කරලා තිබෙන බව ජනප්‍රවාදයේ සඳහන්. ඒ නිසා තමයි මේ උත්සවයට විශේෂයෙන් ම කිරි ආහාර සකස් කරන්නේ.\" කිරි පෝයට \"ජොරා මරන\" ගම්වැසියෝ රාත්‍රියේදී පැවැත්වන ශාන්තිකර්ම සඳහා පසුබිම් සකස් කරමින් සිටි සහ රාත්‍රියේ පැමිණෙන ගම්වැසියන්ට ලබා දෙන දානයේ කටයුතු සිදුකරමින් සිටි පිරිස් ඉර අවරට යත්ම \"ගෙදර ගිහින් ජොරා මරලා එන්නම්,\" යනුවෙන් පවසමින් නිවෙස් වෙත යාම අපගේ කුහුලට හේතුවක් විය. එදින අප සමග මෙම ගමනට එකතු වී සිටි අහුංගල්ලේ පදිංචිකරුවෙකු වන උදිත එම චාරිත්‍රය පිළිබඳව අපට පැහැදිලි කළේ ය. \"දවල් ඉඳන් හැඳිගාන කිරියා සහ කිරිබත් ගෙදර සාලයේ බිම වාඩිවෙලා කෙසෙල් කොළයක දාලා කන එකට තමයි ජොරා මරනවා කියලා කියන්නේ. මේ උත්සවයට කලින් දවස් තුනක විතර පටන් අපි මස් මාළු කන්නේ නෑ. ගෙවල් කහ වතුරෙන් සෝදනවා. කිරි පෝය දවසේ උදේ පටන් කිරියා හැඳි ගාන එක හැම ගෙදර ම වගේ කරනවා.\" \"ඉර බැහැලා අඳුර වැටීගෙන එනකොට පවුලේ හැමෝම නිවසේ සාලයේ බිම වාඩිවෙලා කෙසෙල් කොළ බිම අතුරලා ඒ කෙසෙල් කොළ උඩට කිරියා සහ කිරිබත් දාලා හැමෝම එකතුවෙලා කනවා. ඊට කලින් මිදුලේ ගොක්කොලවලින් පොඩි මල්පැලක් හදලා ඒ ඇතුලෙන් මේ කිරි ආහාරවලින් කොටසක් තියෙනවා. මේ විදිහට කිරි ආහාර කන එකට තමයි ජොරා මරනවා කියලා කියන්නේ,\" ඔහු පැහැදිලි කළේ ය. ගොක්කොල මල්පැලේ තබන කිරි ආහාර සොරකම් කිරීම ගමේ කොල්ලන් කුරුට්ටන්ගේ විනෝදාංශය බව ඔහු පැවසුවේ ය. නමුත් එදිනට තම මල් පැලේ ඇති කිරි ආහාර යම් තරුණයෙකු හෝ කුඩා පිරිමි දරුවෙකු සොරකම් කළත් නිවැසියන් ඔවුන් සමග අමනාප නොවේ. 'ජොරා මැරීමේ' චාරිත්‍රය අවසන් කර ගම්වැසියන් ටිකෙන් ටික දේවාල භූමිය කරා ඇදී එන ආකාරය අපට දැක ගැනීමට හැකි විය. මුළු ගමක් එක්තැන් කරන සංස්කෘතික මංගල්‍යය ගමේ සියලු දෙනා තරහ මරහ අමතක කර එකට එකතු වී සිදුකරන මෙම චාරිත්‍රයට දුරබැහැර රැකියා සඳහා ගොස් සිටින අය පවා පැමිණ තිබිණි. කිරි පෝය දිනයේ රාත්‍රිය පුරා දෙවොල්මඩුව, පත්තිනි නර්තනය, ගිනි පෑගීම, ගරා යකා නැටීම, කාවඩි නර්තනය මෙන් ම ජන ක්‍රීඩා වන අංකෙළිය, පොරපොල් ගැසීම වැනි ක්‍රීඩා ද සිදු කෙරෙයි. උත්සවය පැවැත්වෙන දෙදින පුරා දන්වේල් තුනක් ද ලබාදෙන අතර ශාන්තිකර්ම සිදුකිරීමට පැමිණ තිබෙන කපු මහතුන්ට මුලින් දානය පිළිගන්වා, ඉන්පසුව ගම්වැසියන් සියලු දෙනාට මෙම ආහාර ලබා දීම සිදුකරයි. එහි පළමු දානය වන කිරි පෝය දිනයේ රාත්‍රිය ලබාදෙන දානය ලබා ගැනීම සඳහා, ගම්වැසියන් පෝලිම්වල එකතු වී සිටින ආකාරය අපට දැක ගැනීමට හැකි විය. ඉන්පසු දින උදෑසන කිරි දානයක් ද, සවස හමාර දානයක් ද ලබා දෙන බව කපු මහත්වරු අපට පැවසූහ. මෙම දාන සියල්ල සඳහා වියදම් දරන්නේ ගම්වැසියන් සාමූහිකව ය. අතීතයේදී කුල වශයෙන් බෙදී තිබූ කාලයේදී සෑම කුලයක අයෙකුට ම වෙන් වූ විශේෂ රාජකාරියක් කිරි පෝය උත්සවය තුළ තිබූ බව කපු මහත්වරු කියා සිටියහ. වර්තමානය වන විට එවැනි කුල භේදයක් නොමැති වුවත්, සියලු ගම්වැසියන් එක් එක් වගකීම් බෙදාගෙන සාමූහිකව මෙම උත්සවය සංවිධානය කරන බව එහි සංවිධායකයෝ පැවසූහ. මෙම ශාන්තිකර්මය අතරතුරදී, මධ්‍යම රාත්‍රියේදී කොඩි වැල් එල්ලන ලද පුවක් ගසක් දේවාලයේ මිදුලේ සිටවනු ලබයි. එය හඳුන්වන්නේ \"කාල පන්දම\" ලෙසයි. හොඳින් වැඩුණු පුවක් ගසක් කපා එය ශුද්ධ කර කාල පන්දම සකස් කිරීම සඳහා යොදා ගනියි. එහි සතර දිශාවට කොඩිවැල් සතරක් එල්ලන අතර ගම්වැසියන්ගේ විවිධ බලාපොරොත්තු වෙනුවෙන් පඬුරු ගැට ගැසීම සිදුකරන්නේ එම කාල පන්දමේ ය. සතර කොනට එල්ලූ කොඩි වැල්වල මුදල් නෝට්ටු ගැටගසා, සිදුකරන ක්‍රීඩාවක් සම්බන්ධයෙන් ද එක් කපු මහතෙක් පැහැදිලි කළේ ය. \"මේ කොඩිවැල් හතරෙ සල්ලි කොල එල්ලනවා. ඊට පස්සේ කට්ටියට කියනවා උඩ පැනලා කකුලෙන් ගහලා ඒ කොඩිවැල් කඩන්න කියලා. ඒ විදිහට උඩ පැනලා කකුලෙන් කොඩිවැල කැඩුවොත් කොඩි වැලේ එල්ලලා තියෙන සල්ලි ඒ කෙනාට ලැබෙනවා,\" ඔහු පැවසුවේ ය. පරම්පරාවෙන් පැමිණෙන උරුමය ගිං ගඟත්, බෙන්තර ගඟත් අතර මුහුදුබඩ ප්‍රදේශයේ එක් එක් ගම්වල දේවාල මුල් කරගෙන පැවැත්වෙන මෙම සංස්කෘතික මංගල්‍යය පාරම්පරික දැනුම එක්තැන් කරන අවස්ථාවක් ලෙස නම් කළ හැකියි. අහුංගල්ලේ මෙම උත්සවය පැවැත්වුණු තිලකමුණි කෝවිලේ භාරකාරීත්වය ද එලෙස පාරම්පරිකව ලැබෙන හිමිකමකි. වර්තමානය වන විට එම දේවාලයේ භාරකාරීත්වය දරන්නේ එම පරම්පරාවේ දහතුන් වන පරම්පරාවයි. වර්තමානයේ එම දේවාලයේ භාරකරු වන දිනේෂ් වරින් වර විදෙස්ගත වන්නෙකු වුවත් මෙම උත්සවය සඳහා නොවරදවා ම ශ්‍රී ලංකාවට පැමිණෙන්නෙකි. \"මේ දේවාලයේ භාරකාරීත්වය මගේ තාත්තගෙන් මට ලැබුණේ. තාත්තට සීයගෙන්. මේ විදිහට පරම්පරාවෙන් ගලාගෙන ආව උරුමයක් තමයි මේ දේවාලය. මගේ කාර්යබහුල ජීවිතයත් එක්ක විදෙස්ගත වෙන්න සිදුවුණත් සාමාන්‍යයෙන් මම සෑම වසරක ම ලංකාවට ඇවිත් කිරි පෝය චාරිත්‍ර වාරිත්‍ර සිදුකරන්න අදාළ කටයුතු සංවිධානය කරලා දෙනවා. මගෙන් පසුව ඒ උරුමය යන්නේ මගේ පුතාට,\" දිනේෂ් පැවසුවේ ය. මෙම ශාන්ති කර්මය සඳහා පැමිණ සිටි නැට්ටුක්කරුවන්, බෙරකරුවන් ඇතුළු සියලු දෙනා ද එලෙස පාරම්පරිකව එම වෘත්තියේ නියැළෙන්නන් ය. දෙවොල්මඩු ශාන්තිකර්මයට සහ පත්තිනි නර්තනය ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටි කපු මහතුන් දෙදෙනා ම පාරම්පරික පහතරට නර්තන ශිල්පීන් වන අතර, ඔවුහු වයස අවුරුදු හතේ සිට නර්තනයේ යෙදෙන බව පැවසූහ. විදේශීය සංචාරකයන්ගේ ප්‍රතිචාරය සංචාරක කර්මාන්තය ද සිදුකෙරෙන ප්‍රදේශයක් වන අහුංගල්ලේ මෙම චාරිත්‍ර වාරිත්‍ර නැරඹීම සඳහා විදේශීය සංචාරකයෝ ද පැමිණ සිටියහ. එවැනි සංචාරකයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව බීබීසී සිංහල වෙත හිමි විය. ඇනට් මාක්ස් සහ ඈන්මාරි ලැන්ග්හේන් එලෙස ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණ සිටි ජර්මානු ජාතික කාන්තාවන් දෙදෙනෙකි. \"මේ උත්සවය හරිම වර්ණවත්. අපට හරිම වෙනස් අත්දැකීමක් ලැබුණා. මේ තැනට ආවට පසුව අපට ලොකු ආධ්‍යාත්මික සුවයක් දැනුනා. හැමෝම එකතු වෙලා මෙතන ඉන්නවා. ඒවගේ ම හරි ම ප්‍රියමනාපයි,\" ජර්මනියේ ගුරුවරියක ලෙස කටයුතු කරන ඇනට් මාක්ස් පැවසුවා ය. \"මම මේ ශ්‍රී ලංකාවට පැමිණි හත් වන අවස්ථාව. ඒ හැම අවස්ථාවකදී ම ශ්‍රී ලංකාවේ ලස්සන සංස්කෘතිය මට අමතක නොවෙන අත්දැකීමක් ලබා දුන්නා,\" ඈන් මාරි පැවසුවා ය.", "Title": "ගිං ගඟත් බෙන්තර ගඟත් අතර සැමරෙන 'කිරි පෝය'" }
{ "Text": " ශ්‍රී ලංකාවේ දේශපාලනය වර්තමානයේ දැඩි විපර්යාසයකට ලක්ව ඇති බව බොහෝ දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ. රටේ මුල් බැසගෙන තිබුණු දැවැන්ත පක්ෂවල ආධිපත්‍යය බිඳ වැටෙමින්, පක්ෂ මුල් කර ගත් දේශපාලනය මේ වන විට අහෝසි වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති. ඒ වෙනුවට, ස්වාධීන අපේක්ෂකයින් හෝ පක්ෂ කිහිපයක එකතුවක් නියෝජනය කරන අපේක්ෂකයින් මෙවර ජනාධිපතිවරණයේදී දක්නට ලැබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වසර 40කට අධික කාලයක් නියෝජනය කළ අලියා ලකුණ අතහැර මෙවර තරග කරන්නේ, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ය. ඔහු, ශ්‍රී ලංකාවේ පැරණිතම දැවැන්ත දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයෙන් තරග නොකර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූයේ, ඇයි? එය ඔහුට වාසි ද? අවාසි ද? මේ, ඒ පිළිබඳ විමසුමකි. \"රනිල් ස්වාධීන අපේක්ෂකයෙක් නෙවෙයි\" ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටිය ද, රනිල් වික්‍රමසිංහ සැබවින් ම ස්වාධීන අපේක්ෂකයෙකු නොවන බව දේශපාලන විශ්ලේෂකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක පවසයි. \"රනිල් ඇත්තට ම ස්වාධීන අපේක්ෂකයෙක් නෙවෙයි. එතුමා වටේ ඉන්නවා දේශපාලන පක්ෂ රැසක්. හැබැයි ඒ සියලු පක්ෂ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණ දුර්වල පක්ෂ.\" රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම ඔහුට යම් වාසිසහගත තත්ත්වයක් පවතින බව මතුපිටින් පෙනුණ ද එහි සත්‍යතාවක් නැතැයි ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දුන්නේ ය. \"එක්සත් ජාතික පක්ෂය කියන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු පක්ෂයක්. ඒ පක්ෂයෙන් රනිල් තරග කළා නම් ඔහුට ලොකු අවාසියක් වෙනවා. ඒ නිසා වෙන්න පුළුවන් ඔහු ස්වාධීනව ඉදිරිපත් වුණේ. ඒත් ඔහුට ඒකෙන් කිසි ම වාසියක් වෙන්නෙ නැහැ කියන එකයි මගේ අදහස. මොක ද ඔහු වටේ එකතු වෙලා ඉන්නෙ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලනික වශයෙන් අසමත් කණ්ඩායම් කිහිපයක්. ඒ නිසා ඔහුට ස්වාධීන අපේක්ෂකයෙකු වීම වාසියක් කියල මම හිතන්නෙ නෑ.\" 'මේකෙන් පේන්නෙ එක්සත් ජාතික පක්ෂයේ ඉරණම රනිල් පිළිගත්තා කියන එකයි' රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මහාචාර්ය ජයදේව උයන්ගොඩ දක්වන්නේ වෙනස් අදහසකි. ඔහු පෙන්වා දෙන්නේ, රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරග කිරීම තුළින් ඔහු නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය වැටී ඇති තැන පැහැදිලි වන බව ය. \"ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු විදිහට තරග කරන්නේ ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂය අතිශයින් දුර්වල තත්ත්වයක පවතින නිසයි. මේ මොහොතේ දුර්වල ම සංවිධානාත්මක ශක්තියක් පෙන්නුම් කරන පක්ෂය තමයි, එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා ඔහුගේ මේ අපේක්ෂකත්වයෙන් මට නම් පෙනෙන්නේ, ඔහුගේ පක්ෂය දුර්වල බව ඔහු ම පිළිගෙන තිබෙනවා කියන අදහස යි. ඒ නිසා ඔහු ස්වාධීනව තරග කිරීමෙන් සැලකිය යුතු වාසියක් අත්වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ.\" 'රනිල් ස්වාධීන වීම ඉතාමත් වාසිසහගත යි' - රුවන් විජේවර්ධන කෙසේ වෙතත්, මෙවර රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය වෙනුවට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීම ඉතාමත් වාසිසහගත බව පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසයි. බීබීසී සිංහල සේවය කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කළේ, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම නිසා රනිල් වික්‍රමසිංහට පාර්ශව රැසක සහයෝගය හිමි වී ඇති බව ය. \"රනිල් වික්‍රමසිංහ පසුගිය අවුරුදු දෙකේදී රට වෙනුවෙන් කරපු දේ ජනතාව දන්නවා. ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් තරග නොකර ස්වාධීනව ඉදිරිපත් වුණේ සියලු පාර්ශවවල සහය ලබා ගැනීමේ අරමුණින්. ඒක සාර්ථක පියවරක්.\" ඒ අනුව, ජනාධිපතිවරණයෙන් පසුව මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වශයෙන් තරග කරන්නේ ද, එසේ නැතහොත් සන්ධානගතව තරග කරන්නේ ද යන්න සලකා බලන බව ද නියෝජ්‍ය නායකවරයා පැවසීය. එක්සත් ජාතික පක්ෂය අද සිටින තැන මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දුන් පරිදි මෑත කාලීනව බරපතළ ම පරිහානියට ලක්වූ ප්‍රධාන දේශපාලන පක්ෂය, එක්සත් ජාතික පක්ෂය යි. එහි හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු බහුතර පිරිසක් පක්ෂය හැරගොස් සමගි ජන බලවේගය නමින් නව පක්ෂයක් පිහිටුවා ගත් අතර, ඉන්පසු පැවති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ, එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයක් පමණි. එම මන්ත්‍රී ආසනය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත්විය. ඉන්පසු, ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඇති වූ දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ, ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධූරය අත්හැරීමට සිදුවූ අතර, ඒ වෙනුවට පාර්ලිමේන්තුවේ තනි ආසනයකින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ 2022 වසරේදී ශ්‍රී ලංකාවේ 8 වන ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු බහුතරයකින් පත්විය. ඔහු පළමු වරට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වූයේ ද, අනපේක්ෂිත අයුරිනි. ", "Title": "රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු වූයේ ඇයි? එය ඔහුට වාසි ද? අවාසි ද?" }
{ "Text": " 2023 වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (අගෝස්තු 22 වැනිදා) තීන්දු කළේය. ඒ අනුව අදාළ ඡන්ද විමසීම නොපමාව පැවැත්වීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියෝගයක් කරනු ලැබීය. කෙසේ වෙතත් එම නියෝගය පිළිගනිමින් ආණ්ඩුව පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන්නේ ද? ඒ පිළිබඳ ව ආණ්ඩුව මෙතෙක් අදහස් දැක්වීමක් කර නොමැත. මේ අතර වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නියෝගය පිළිගත නොහැකි බව ආණ්ඩුව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නියෝග ක්‍රියාත්මක කළ නොහැකි බවට ආණ්ඩුව ප්‍රකාශ කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. එවැනි අවස්ථා 6ක් මෙරට ඉතිහාසයෙන් හමුවෙයි. 1. බ්‍රිගේඩියර් පැරී ලියනගේ මේජර් ජෙනරල් ධූරයට උසස් කරන ලෙස දුන් නියෝගය මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඇඹිලිපිටිය සිසු ඝාතන නඩුවේ විත්තිකරුවෙකු වශයෙන් නම් කර පසුව නිදොස් කොට නිදහස් කළ යුද්ධ හමුදා බ්‍රිගේඩියර් පැරී ලියනගේ, තමන්ව මේජර් ජෙනරාල් ධූරයට උසස් කරන ලෙස යුද්ධ හමුදාපතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කරන ලද නිර්දේශය ක්‍රියාත්මක නොකිරීමෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා 1999 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණි. එම මූලික අයිතිවාසිකම් පෙත්සම තුළින් බ්‍රිගේඩියර් පැරී ලියනගේ සඳහන් කර තිබුණේ, තමන්ව මේජර් ජෙනරල් ධූරයට උසස් කරන ලෙස යුද්ධ හමුදාපතිවරයා 1999 වසරේ මාර්තු මස 8 වන දා ආරක්ෂක ලේකම්වරයා වෙත නිර්දේශයක් ඉදිරිපත් කර තිබූ බව ය. එම නිර්දේශයට අනුකූලව තමන්ව මේජර් ජෙනරල් ධූරයට උසස් නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවටත් තමන්ව එම ධූරයට උසස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබිණි. එම පෙත්සම පිළිබඳ දීර්ඝ විභාගයක් පැවැත්වූ ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පැරී ලියනගේ මේජර් ජෙනරල් ධූරයට උසස් කරන ලෙස යුද්ධ හමුදාපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කරන ලද නිර්දේශය ක්‍රියාත්මක නොකිරීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි තීන්දු කළේය. ඒ අනුව, පැරී ලියනගේ මේජර් ජෙනරල් ධූරයට උසස් කිරීමේ නිර්දේශය ක්‍රියාත්මක කරන්නැයි ආරක්ෂක ලේකම්වරයා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබිණි. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද මෙම නියෝගය ආරක්ෂක ලේකම්වරයා ක්‍රියාත්මක කිරීම පැහැර හැර ඇතැයි පැරී ලියනගේ පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළේ ය. ඒ තුළින් රජය අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් සඳහන් කරමින් බ්‍රිගේඩියර්වරයා තවත් පෙත්සමක් ඉදිරිපත් කළේ ය. එහෙත් ඒ පිළිබඳ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ, අදාළ උසස් වීම සම්බන්ධයෙන් තීරණ ගත හැකි අවසන් බලධාරියා වන්නේ සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරිය බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පෙත්සම්කරු ඉල්ලා සිටින ආකාරයේ නියෝගයක් නිකුත් කළ නොහැකි බවත් අධිකරණය විසින් සඳහන් කර තිබිණි. පසුව මේ සම්බන්ධයෙන් එවක ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ පැරී ලියනගේ මේජර් ජෙනරාල් ධූරයට උසස් කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එවක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙත ඉදිරිපත් කරන ලද නිර්දේශය ක්‍රියාත්මක කිරීමට ඇය අකැමැත්ත පළ කර තිබීම හේතුවෙන් බ්‍රිගේඩියර්වරයාට අදාළ උසස්වීම ලබාදීමට නොහැකි වී ඇති බව ය. 2. අගවිනිසුරු සරත් එන්. සිල්වාට එරෙහි දෝෂභියෝගයට එරෙහිව දුන් අධිකරණ තීන්දුව ප්‍රතික්ෂේප කිරීම 2001 වසරේ එවක අග විනිසුරු සරත් එන්. සිල්වා එම ධූරයට නොහොබිනා විෂමාචාර ක්‍රියාවල නිරත වී ඇති බවත් එබැවින් ඔහු එම තනතුරෙන් ඉවත් කරන ලෙසත් ඉල්ලා එවකට විපක්ෂය වශයෙන් කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට දෝශාභියෝග යෝජනාවක් ඉදිරිපත් කළහ. එම දෝශාභියෝග යෝජනාව භාර ගත් එවක කතානායක අනුර බණ්ඩාරනායක, අගවිනිසුරු සරත් එන්. සිල්වාට එල්ල කර තිබූ චෝදනා විභාග කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද පත් කළේ ය. අග විනිසුරුවරයාට එරෙහිව චෝදනා විභාග කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට කතානායකවරයා ගත් තීරණය නීතියට පටහැනි බවත් එබැවින් අදාළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කෙරිණි. එම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්වලින් ඉල්ලා තිබෙන අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ නොවන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා ද අධිකරණය හමුවේ සඳහන් කළේ ය. ඒ අනුව, අග විනිසුරු සරත් එන්. සිල්වාට එරෙහි චෝදනා විභාග කිරීම සඳහා කතානායකවරයා විසින් පත්කරනු ලැබූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී. මෙම අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි සංවාදයක් හට ගැනිණි. ජ්‍යෙෂ්ඨ නීති විශාරදයින් පෙන්වා දී තිබුණේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බල බෙදීම් ප්‍රකාරව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව යි. මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ප්‍රතික්ෂේප කරන ලෙස පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විපක්ෂ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු මෙන් ම සෙසු පක්ෂවල මන්ත්‍රීවරුන් ද කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව, කතානායක අනුර බණ්ඩාරනායක සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ විධිවිධාන මෙන් ම පූර්වාදර්ශ හා මීට පෙර ලබා දුන් නඩු තීන්දු සැලකිල්ලට ගෙන තමන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද අතුරු තහනම් නියෝගය භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බව යි. පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුත්තක් සම්බන්ධයෙන් මැදිහත්වීමට අධිකරණයට බලයක් නොමැති බවත් කතානායකවරයා පෙන්වා දුන්නේ ය. නමුත්, කතානායකවරයාගේ තීන්දුව ප්‍රකාශයට පත්වී දින කීපයකින් එවක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා එම දෝෂාභියෝග යෝජනාව අහෝසි වී ගියේ ය. 3. පෙට්‍රල් මිල අඩු කිරීමට අදාළ නියෝගය ප්‍රතික්ෂේප කිරීම 2008 වසරේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ඉන්ධන මිල දී ගැනීම සඳහා ඇති කර ගත් හෙජිං ගිවිසුම තුළින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වන බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබිණි. එවක අගවිනිසුරු සරත් එන්. සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාගයට ගැනිණි. එම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී හෙජිං ගිවිසුම නිසා රටට සිදුවී තිබෙන හානිය පිළිබඳව පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළහ. එම කරුණු විභාගය අතරතුර අග විනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුණු මඩුල්ල තීන්දු කළේ, එම අවස්ථාවේ පැවති මිලට වඩා අඩු මිලකට පෙට්‍රල් විකිණීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හැකියාව තිබෙන බව යි. මේ පිළිබඳව විමසීම සඳහා එවක මුදල් අමාත්‍යාංශයේ ලේකම් සුමිත් අබේසිංහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවන ලදී. ඒ අනුව, අධිකරණය හමුවේ පෙනී සිටි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ, පෙට්‍රල් විකිණිය හැකි අවම මිල අධිකරණයට දැනුම් දෙන ලෙස යි. ඒ අනුව, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා අධිකරණයට දැනුම් දුන්නේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 100/- මුදලකට විකිණීමට හැකියාව පවතින බව යි. එම කරුණු සලකා බැලූ අගවිනිසුරු සරත් එන්. සිල්වා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙට්‍රල් මිල රුපියල් 100/- දක්වා අඩු කරන ලෙස රජයට නියෝග කළේ ය. එහෙත්, රජය එම තීන්දුව ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ මිලට පෙට්‍රල් අලෙවි කළහොත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පාඩු විඳීමට සිදුවිය හැකි බවත් ප්‍රකාශ කර තිබිණි. 4. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග චෝදනා විභාග කළ කමිටුවේ වාර්තාව බල රහිත කරමින් දුන් තීන්දුව ප්‍රතික්ෂේප කිරීම 2012 වසරේ එවකට අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය පාර්ලිමේන්තුවට දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කළේය. එම දෝෂාභියෝග චෝදනා විභාග කිරීම සඳහා එවක කතානායක චමල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද පත් කරන ලදී. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තමන්ට එරෙහි චෝදනා විභාග කිරීම නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කළා ය. එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් විභාගයක් පවත්වා ඉදිරිපත් කළ නිර්දේශය ඇතුළත් වාර්තාව බල රහිත කරමින් 2013 වසරේ ජනවාරි මස 7 වනදා තීන්දුවක් නිකුත් කළේ ය. එහෙත් එම තීන්දුව ප්‍රතික්ෂේප කළ එවක රජය අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි තේරීම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් දෝශාභියෝග යෝජනාව සම්මත කොට ඇය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී. 5. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කළ මුදල් රඳවා ගැනීම වළක්වාලමින් නිකුත් කළ තහනම් නියෝගය ප්‍රතික්ෂේප කිරීම 2023 වසරේ මාර්තු මස 09 වන දා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අයවැය යෝජනා තුළින් වෙන්කර තිබූ මුදල් ප්‍රතිපාදන තවදුරටත් රඳවා ගැනීම වළක්වාලමින් එම වසරේ මාර්තු මස 03 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී. පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට රජය ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගයක් නිකුත් කළේ ය. එම පෙත්සම දීර්ඝ ලෙස කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එය විභාගයට ගැනීමට අවසර දෙමින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අයවැය තුළින් වෙන් කර තිබෙන මුදල් ප්‍රතිපාදන තවදුරටත් රඳවා ගැනීම වළක්වාලමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. එහෙත් එම අතුරු නියෝගය රජය විසින් ක්‍රියාත්මක කළේ නැත. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුම් දී තිබුණේ රට තුළ හට ගෙන තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය වියදම් සඳහා පමණක් මුදල් ප්‍රතිපාදන මුදා හරින ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇති බවත් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ මුදල් ප්‍රතිපාදන එම අමාත්‍ය මණ්ඩල තීරණයේ සඳහන් \"අත්‍යාවශ්‍ය වියදම්\" යන්නට ඇතුළත් නොවන හෙයින් තමන්ට එම මුදල් ප්‍රතිපාදන මුදා හැරීමට හැකියාවක් නොමැති බවයි. අදාල ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව කටයුතු නොකිරීම තුළින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය මහලේකම් මද්දුම බණ්ඩාර තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. එහෙත් එම පැමිණිල්ල විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේය. 6. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් විධිමත් ආකාරයෙන් පත්කර නොමැති නිසා ඔහුගේ පත් කිරීම නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව නවයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළහ. දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව එම පෙත්සම් විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධූරයේ බලතල සහ රාජකාරී කටයුතු ඉටු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී. මෙම අතුරු තහනම් නියෝගය හේතුවෙන් පොලිස්පතිවරයාගේ රාජකාරී කටයුතු ආවරණය කිරීම සඳහා සුදුසුකම්ලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වැඩ බලන පොලිස්පතිවරයවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙන බවත් එම නඩු තීන්දුවෙන් සඳහන් විය. එහෙත් රජය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය රජය විසින් පිළි නොගන්නා බව සඳහන් කර තිබිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ව්‍යස්ථාදායකයේ කොටසක් බැවින් ඊට එරෙහිව නියෝග නිකුත් කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශයේ සඳහන් කළේ ය.", "Title": "ශ්‍රී ලංකාවේ ආණ්ඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගවලට පයින් ගැසූ අවස්ථා 6ක්" }
{ "Text": " ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයට හඳුන්වා දුන් එංගලන්තයේ ක්‍රිකට් කණ්ඩාමට එරෙහිව සහභාගි වූ සිය මංගල ටෙස්ට් තරගයේදී ම ටෙස්ට් ක්‍රිකට් වාර්තා දෙකක් පිහිටවූ ශ්‍රී ලංකා පිතිකරු මිලාන් රත්නායක ගැන ක්‍රිකට් ලෝකයේ ම අවධානය යොමුව තිබේ. ප්‍රබල එංගලන්ත පන්දු යවන්නන්ගේ අභියෝගය හමුවේ මිලාන් රත්නායක පළපුරුදු පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකා ඉනිම ලකුණු 200 සීමාව ඉක්මවා ගෙන යාමට කටයුතු කළේ, තරගය නැරඹීමට පැමිණි එංගලන්ත ප්‍රේක්ෂකයින්ගේ ද ආචාරය හිමි කර ගනිමිනි. සිය මංගල ටෙස්ට් තරගයේදී ම වාර්තා දෙකක් බිඳ හෙළූ මිලාන් රත්නායක යනු කවුද? මිලාන් රත්නායක සිය ටෙස්ට් හිස් වැසූම ලබා ගත්තේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාරගේ දෑතිනි. කවුද මේ මිලාන් රත්නායක? රත්නායක මුදියන්සේලාගේ මිලාන් ප්‍රියන්ත රත්නායක උපත ලැබුවේ, 1996 වසරේ අගෝස්තු මස 01 වන දා කුරුණෑගලදී ය. මිලාන් රත්නායක අධ්‍යාපනය හදාරා ඇත්තේ වාරියපොළ සුමංගල විදුහලෙනි. පාසල් අවදියේ සිට ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවූ මිලාන් දකුණතින් වේග පන්දු යවන්නෙකු ද වන අතර ඔහු පන්දුව මනා පාලනයකින් යුතුව දෝලනය කිරීමට ද හැකි අයෙකු ලෙස ද ප්‍රකට ය. අඩි 06ක් උසැති මිලාන්ට ඔහුගේ උසේ වාසියත් සමග පන්දුව මනා ඉපිලීමකින් යුතුව යොමු කිරීමට ද හැකිවීම නිසා පිතිකරුවන්ට ඔහු ප්‍රබල තර්ජනයක් ගෙන දෙන පන්දු යවන්නෙක් ලෙස පාසල් සමයේ සිට ප්‍රසිද්ධ වී සිටී. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත දේශීය තරග බිමේ දැක්වූ දක්ෂතා 2016 වසරේදී මිලාන් රත්නායක ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ අතර එහිදී ඔහු සිය මුල් පෙළ දේශීය තරග දිවිය ආරම්භ කළේ ය. දේශීය ක්‍රීඩා පිටියේදී මිලාන් රත්නායක මුවර්ස් ක්‍රිකට් සමාජය, කුරුණෑගල ක්‍රීඩා සමාජය මෙන් ම LPL තරගාවලියේදී ගෝල් ටයිටන්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් නියෝජනය කළේ ය. පළමු පෙළ තරග 40කදී කඩුලු 81ක් දවා ගෙන ඇති ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍යය 3.55ක් ලෙස සටහන් වෙයි. පළමු පෙළ තරග බිමේදී මිලාන් රත්නායකගේ හොඳ ම පන්දු යැවීම ලකුණු 36කට කඩුලු 05ක් දවා ගැනීම ය. දේශීය තරග බිමේදී ඔහු ක්‍රීඩා සමාජ, පළමු පෙළ සහ විස්සයි 20 තරගවලදී දවා ගෙන ඇති මුළු කඩුලු සංඛ්‍යාව 152කි. ජාතික කණ්ඩායමට ලැබුණු කැඳවීම ශ්‍රී ලංකා ඒ සංචිතයට නම් කෙරුණු මිලාන් රත්නායකට පළමු වරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට කැඳවීමක් ලැබුණේ, 2023 වසරේ පෙබරවාරි මාසයේ පැවති නවසීලන්ත සංචාරය සඳහා ය. ඉන්පසුව එම වසරේ අප්‍රේල් මාසයේදී පැවති අයර්ලන්ත ටෙස්ට් තරග සංචාරය සඳහා ද මිලාන් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නම් කෙරුණ ද ඔහුට ටෙස්ට් වරම් හිමි කර ගැනීමට එම අවස්ථා දෙකේදී ම අවස්ථාවක් හිමි නොවී ය. මංගල ටෙස්ට් තරගයේදී දැක්වූ දක්ෂතාව වසරකට අධික කාලයක් ජාතික කණ්ඩායමේ ටෙස්ට් සංචිතයට නම් කර සිටි මිලාන් රත්නායක අංක 09 පිතිකරුවා ලෙස තම මංගල ටෙස්ට් තරගයේදී ම පළපුරුදු පිතිකරුවෙකුගේ භූමිකාව නිරූපණය කරමින් පන්දු 135කදී ලකුණු 72ක් රැස් කිරීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අංක 09 පිතිකරුවෙකු හෝ ඊට පහළ පිතිකරුවෙකු සිය මංගල ටෙස්ට් තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කළ පළමු අවස්ථාව ලෙස එය සැලකෙයි. මිලාන් රත්නායක සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළේ, ෂොයිබ් බෂීර්ගේ පන්දුවකට හයේ පහරක් එල්ල කරමින් ය. ඔහුගේ එම ඉනිමට හයේ පහරවල් දෙකක් සහ හතරේ පහරවල් 06ක් ඇතුළත් විය. මිලාන් රත්නායක සිය මංගල ටෙස්ට් තරගයේදී ම වාර්තා පොත් අතරට ද එක්විය. ඒ, සිය මංගල ටෙස්ට් තරගයේදී ම අංක 09 පිතිකරුවා ලෙස වැඩි ම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා බවට පත් වෙමිනි. ඔහු බිඳ දැමුවේ මීට වසර 41කට පෙර එනම් 1983 වසරේදී පකිස්ථාන කණ්ඩායමට එරෙහිව ඉන්දීය ක්‍රීඩක බල්වින්දර් සන්ධු විසින් රැස් කරන ලද ලකුණු 71 වාර්තාව යි. ක්‍රිස් වෝක්ස්, ගස් ඇට්කින්සන්, මාර්ක් වුඩ් සහ ෂොයිබ් බෂීර් වැනි ප්‍රබල එංගලන්ත පන්දු යවන්නන් හමුවේ ඔහු පිතිකරණයේ යෙදුණේ, ශ්‍රී ලංකා පිලේ මුල් පෙළ පිතිකරුවන්ට ආදර්ශයක් ද ලබා දෙමිනි. නායක ධනංජය ද සිල්වා සමග ශ්‍රී ලංකා ඉනිමේ 08 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක සහ 09 වන කඩුල්ල වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු සමග ලකුණු 50ක සබඳතාවන් ගොඩ නැගීමට මිලාන් රත්නායක සමත් විය. ඔහුගේ එම ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්ත කණ්ඩායමට එරෙහිව සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 236ක් රැස් කිරීමට හැකි විය. මිලාන්ට අමතරව, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක ධනංජය ද සිල්වා ලකුණු 74ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 24ක් රැස් කිරීමට සමත් විය. \"මම පුළුවන් තරම් බෝල අතඇරලා සිටුවේෂන් එක අනුව සෙල්ලම් කළා\" තරගයෙන් පසුව මාධ්‍ය හමුවකට එක්වූ මිලාන් රත්නායක පැවසුවේ, මෙම තණතීරුවේ පිතිකරණයේ යෙදීම පහසු එකක් නොවූ බව ය. \" ඇත්තට ම සෙල්ලම් කරනවා කියලා දැන ගත්ත ම කලින් දවසේ රෑ නින්ද ගියේ නැහැ.\" \"මුලින් ම ටෙස්ට් කැප් එක මට ලැබුණේ කුමාර් සංගක්කාරගේ අතින්. ඒක මට ගොඩක් වාසනාවක්. ගොඩක් සතුටු යි මට.\" \"මැච් එක ගැන කිව්වොත් මට කරන්න තිබුණේ කැප්ටන්ට සපෝර්ට් කරන එක. මුලින් ම කැප්ටන්ට සපෝර්ට් කරලා සිටුවේෂන් එකේ හැටියට ප්‍රෙෂර් එක හැන්ඩ්ල් කරන එක. මගේ පැත්තෙන් කැප්ටන්ට වෙන්න ඕන දේ කරනවා කියලා හිතාගෙන යි මම බැට් කළේ.\" \"විකට් එක මම හිතුවේ ගොඩක් මූව් වෙයි කියලා. සමහර වෙලාවට ස්පින් එකට බොලේ පහතින් ආවා වගේ ම සමහර වෙලාවට බෝලේ උඩින් ගියා. විකට් එක ලේසි නැහැ සෙල්ලම් කරන්න. මගේ රෝල් එකේ හැටියට මම කළේ පුළුවන් තරම් බෝල අතඇරලා ටීම් එකට සපෝර්ට් කරන එක. විකට් එක ලේසි නැහැ සෙල්ලම් කරන්න. ඒ කට්ටිය දෙපැත්තට ම බොලේ යවනවා (දෝලනය). ඒක බලලා ඒ සිටුවේෂන් එකට සෙල්ලම් කළේ.\" \"අපි ලෝවර් ඕඩර් එක කතා වුණේ විකට් දෙන්නේ නැතුව පුළුවන් තරම් ලකුණු ගන්න එක ගැන. පළවෙනි විකට් 6-7 ගියාට පස්සේ පුළුවන් තරම් ඉඳල ලකුණු ගන්න එක ගැනයි අපි කතා වුණේ.\" \"අපි නෙට්ස්වල ගොඩක් බැට් කළා බෝලර්ස්ලා එහෙම. සාමාන්‍යයෙන් වැඩි වෙලාවක් බැට් කළා.\" \"මම හිතන්නේ නැහැ කලින් මට අවස්ථාවක් ලැබෙන්න තිබුණා, මම කාලයක් බලන් හිටියා කියලා. මම හිතන්නේ මට හොඳ ම දවසේ සෙල්ලම් කරන්න ලැබුණා කියලයි,\" මිලාන් රත්නායක පැවසුවේ ය.", "Title": "මංගල තරගයේදී ම පිත්තෙන් වාර්තා තැබූ පන්දු යවන්නා " }
{ "Text": " විසිවන ශතවර්ෂයේ පටන් පැවැත්වෙන මැතිවරණ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාවලියේ කශේරුකාවයි. 1977 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ආරම්භ වූ විධායක ජනාධිපති ධූරය සඳහා පළමු වරට ජනාධිපතිවරණයක් පැවැත්වූයේ 1982 වසරේදීයි. එම වසරේ පටන් ඇරඹි ජනාධිපතිවරණ බොහෝමයක් ශ්‍රී ලංකාව තීරණාත්මක තත්වයන්ට මුහුණ දෙමින් සිටියදී පැවැත්වූ ඒවා වේ. ජනතාවගේ පරමාධිපත්‍ය බලය අභ්‍යාස කිරීම සඳහා කලින් කලට පැවැත්වූ මෙම ජනාධිපතිවරණවල දී, ප්‍රජාතන්ත්‍රවාදය යන සාධකය විවිධාකාරයෙන් උස් පහත්වීම්වලට ලක්ව තිබේ. මැතිවරණ ඇරඹෙයි 1815 දී බ්‍රිතාන්‍ය පාලනයට මුළුමනින් ම නතු වූ ශ්‍රී ලංකාවේ පාලන කටයුතු සිදුකරගෙන යාම සඳහා වන පළමු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ගෙන එන්නේ කෝල්බෲක් ප්‍රතිසංස්කරණය ලෙසයි. දශක ගණනාවක් පැවති එම පාලන ක්‍රමය අවසන් වන්නේ ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් ප්‍රමාණය වැඩි කරන ලෙස පැමිණි ඉල්ලීම් සහ නිල නොලත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සීමිත ඡන්දයකින් තෝරා පත් කරගන්නා ලෙස පැමිණි ඉල්ලීම් නිසායි. එම ඉල්ලීම්වලට එකඟතාවය පළ කළ යටත් විජිත භාර ලේකම්වරයා කෲව්-මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ සීමිත ඡන්ද බලයෙන් නිල නොලත් සාමාජිකයන් හතරදෙනෙකු තෝරාගැනීමට අවස්ථාව ලබා දෙන ලදි. එලෙස සීමිත ඡන්දයෙන් ව්‍යවස්ථාදායක සභාවට පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ පොන්නම්බලම් රාමනාදන් ය. ඔහු 1911 දී පැවති ඡන්දයෙන් වෛද්‍ය මාකස් ප්‍රනාන්දු සමඟ තරගකොට වැඩි ඡන්දයෙන් ව්‍යවස්ථාදායක සභාවට තේරී පත්විය. ස්ත්‍රී-පුරුෂ භාවය, උගත්කම හා ආදයම වැනි සාධක මත තීරණය වූ ඡන්ද අයිතිය සියලු ලාංකික පුරවැසියන්ගේ අයිතියක් බවට පත්වන්නේ 1931 වසරේ දීයි. ඒ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේයි. එහි දී පළමු වරට ශ්‍රී ලාංකිකයන්හට ඡන්ද බලය අභ්‍යාස කීරිමේ අවස්ථාව හිමි විය. එම මැතිවරණයෙන් පසුව \"සරල බහුතර මැතිවරණ ක්‍රමය\" යටතේ අතුරු මැතිවරණ, මහමැතිවරණ කිහිපයක දී ම ජනතාව සිය ඡන්ද බලය භාවිත කල හ. මෙම මැතිවරණවලට වඩා වෙනස් මැතිවරණයකට පුරවැසියන් සිය ඡන්දය භාවිත කරන්නේ 1982 වසරේ දීයි. ප්‍රජා අයිතිය අහිමිවීම මැද පැවති පළමු ජනපතිවරණය 1977 දී පාර්ලිමේන්තු මැතිවරණයෙන් හයෙන් පහක බලයක් ලැබූ ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජය 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත් අතර, එම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායකය හෙවත් ජනාධිපතිවරයා මහජනතාව විසින් ඡන්දයෙන් තෝරා පත් කරගත යුතු ය. 1982 සැප්තැම්බර් මාසයේ දී මෙම පළමු ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම සිදුකළේ ය. ඒ වන විට විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරණායකගේ ප්‍රජා අයිතිය අහෝසි කර තිබීම නිසා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි විවාදයක් මතුව තිබුණි. අවසානයේ දී හිටපු අමාත්‍යවරයෙකු වූ හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රී.ල.නි.ප. අපේක්ෂකයා වශයෙන් නම් කරන්නේ එවන් පසුබිකදී ය. මෙම ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 6 දෙනෙකු ඉදිරිපත් වූ අතර, වාමාංශික හා කම්කරු නායකයන් කිහිපදෙනෙකුම මේ සඳහා ඉදිරිපත්ව තිබේ. 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලෙන් පසු ජාතික තලයේ දේශපාලනයට පිවිස සිටි එම පක්ෂයේ නායක රෝහණ විජේවීර ද මෙම ජනාධිපතිවරණයට තරගකර තිබේ. ඡන්ද මධ්‍යස්ථාන 6985ක පැවති මෙම ඡන්දයට ලියාපදිංචි ඡන්ද දායකයන් මිලියන 8.1ක් ලියාපදිංචි වී සිටිය ද ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ මිලියන 6.6කි. යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කීරිමේ කැපී පෙනෙන අඩුවක් තිබී ඇති අතර, මැතිවරණ කොමිසමේ දත්තවලට අනුව ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් ඡන්දය භාවිත කර තිබෙන්නේ 46.31%කි. එයට එක් හේතුවක් වූයේ උතුරේ ඒවන විට නැගී එමින් පැවති ව්‍යාපාර විසින් එම ඡන්දය වර්ජනය කරන ලෙස උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටීමයි. අවසානයේ දී මෙම මැතිවරණයේ ප්‍රකාශිත ඡන්දවලින් 52.91%ක් ලබාගත් ජේ.ආර්. ජයවර්ධන දෙවන වරටත් ජනාධිපතිධූරය හිමි කරගත්තේ ය. භීෂණය අතරතුර ජනාධිපතිවරණය 1988 දෙසැම්බර් මාසයේ දී පැවති ශ්‍රී ලංකාවේ දෙවැනි ජනාධිපතිවරණය ප්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත කළු පැල්ලම් රැසක් එක්කළ ජනාධිපතිවරණයකි. මැතිවරණය පැවැත්වීමටත් ප්‍රථම මැතිවරණය ප්‍රකාශයට පත් කළ කාලයේ පටන් ම ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් සිදු වී තිබේ. 1983 කළු ජූලියෙන් පසුව උතුරේ ව්‍යාප්ත වූ සටන්කාමී කණ්ඩායම් සහ පක්ෂ තහනමකට ලක් වූ ජනතා විමුක්ති පෙරමුණ විසින් මැතිවරණය වර්ජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිය හ. එයින් නොනැවතී ඡන්ද පත්‍රිකා ගබඩා කර තිබූ ස්ථාන වලට පහදීම් පමණක් නොව, ඡන්දය පැවැත්වූ දිනයේ දී ඡන්ද මධ්‍යස්ථාන අසල පිපිරීම්, වෙඩි තැබීම් සහ මාර්ගය අවහිර කිරීම් ද සිදු විය.මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පළමුවරට මැතිවරණ නිලධාරීන් ජීවිතක්ෂයට පත් වූයේ මෙම මැතිවරණයේදීයි. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය විමසීමට පවා නොහැකි වී ඇති අතර, මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියේ දැක්වෙන ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව ඇතැම් දිස්ත්‍රික්කවල ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 50%ක්වත් ඡන්දය ප්‍රකාශ කර නැත. මාතලේ, මාතර, හම්බන්තොට, යාපනය, වන්නි, පොළොන්නරුව සහ මොණරාගල එලෙස කැපී පෙනෙන ලෙස ඡන්දය භාවිත කිරීම අඩු වූ දිස්ත්‍රික්කයන් ය. එයින් ද වන්නි දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කර ඇති ප්‍රතිශතය මැතිවරණ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 13.79%ක් වන අතර, මොණරාගල දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය 17.01%කි. ලියාපදිංචි සමස්ත ඡන්දදායකයන්ගෙන් මෙම ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කර තිබෙන්නේ 55.32%ක් පමණකි. මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ශකයන් තිදෙනා අතුරින් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ආර්. ප්‍රේමදාස ජයග්‍රහණය කළ අතර, පළමු ජනපතිවරණයේ දී සිය ප්‍රජා අයිතිය අහිමිව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක ද මෙම ජනාධිපතිවරණයට තරග කිරීම විශේෂත්වයකි. කාන්තාවන් දෙදෙනෙකු අතර පැවති සටන ධූර කාලය අවසන් වීමටත් පෙර 1993 මැයි 01 වනදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස ඝාතනය වීමත් සමඟ එවකට අගමැති වූ ඩිංගිරි බණ්ඩා විජේතුංග අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් විය. 1994 ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පැවති මහමැතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කළ අතර එම වසරේ ම ඔක්තෝබර් 07 දින ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම සිදුවිය. පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂයෙන් ගාමිණී දිසානායක ඇතුළුව අපේක්ෂකයන් හය දෙනෙකු නාමයෝජනා භාර දී තිබුණි. කෙසේ නමුත් 1994 ඔක්තෝබර් මස 24 වැනිදා කොළඹ තොටළඟ පැවති දේශපාලන රැස්වීමක් අතරතුර දී බෝම්බ ප්‍රහාරයකින් ගාමිණී දිසානායක ඝාතනය වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ විකල්ප අපේක්ෂිකාව ලෙස ගාමිණී දිසානායකගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායක නම් කරන ලදි. ඒ අනුව මෙම ජනාධිපතිවරණය කාන්තාවන් දෙදෙනෙකු අතර පැවති තරඟයක් බවට පත් වූ අතර, ප්‍රධාන අපේක්ෂිකාවන් දෙදෙනාම දේශපාලන පසුබිමක් සහිත පවුල්වලින් සහ දේශපාලනයේ යෙදී සිටි සිය සැමියන් ඝාතනය වූ පසු දේශපාලනයට පැමිණි අය වීම කැපී පෙනෙයි. 1994 නොවැම්බරයේ පැවති මෙම ජනාධිපතිවරණයේ ඡන්දය භාවිත කළ පිරිස 1988 ජනාධිපතිවරණයට සාපේක්ෂව ඉහළ අගයක් ගත් නමුත් ලියාපදිංචි මුළු ඡන්දදායකයන් සංඛ්‍යාවෙන් ඡන්දය භාවිත කර තිබුණේ 70.47%කි. උතුරු පළාතේ මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි ඡන්දය භාවිත කර තිබූ ප්‍රතිශතය ඉතා අඩු වූ අතර, එයට ඒ වන විට තිබූ සිවිල් යුද්ධය හේතුවක් විය. යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් 596,366කින් ඡන්දය භාවිත කර තිබුණේ 17,716කි. එය ප්‍රතිශතයක් වශයෙන් 2.97%කි. වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ ද ඡන්දය භාවිත කර තිබුණේ ලියාපදිංචි සංඛ්‍යාවෙන් 22.41%කි. ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 62.28%ක ප්‍රතිශතයක් ලබා ගත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති ධූරයට පත් වූ අතර, එම ප්‍රතිශතය මෙතෙක් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයක දී ලබා ගත් වැඩිම ඡන්ද ප්‍රතිශතයයි. ජනපතිවරණය අභියස නැවතත් බෝම්බ පිපුරුම් උතුරු-නැගෙනහිර සිවිල් යුද්ධයේ උච්ඡතම කාලපරිච්ඡේදයක් වූ 1999 වසරේ දී නැවත ජනාධිපතිවරණයක් පැවැත්වුණේ එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ධූර කාලයෙන් පස් වසරක් ගත වූ තැනයි. පක්ෂ තහනම ඉවත් වීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙකු තරග කල පළමු ජනාධිපතිවරණය මෙය වූ අතර, 1982 රෝහණ විජේවීර තරග කිරීමෙන් පසුව ජනාධිපතිවරණයට එම පක්ෂයේ අපේක්ෂකයෙකු තරග කළ පළමු අවස්ථාව ද විය. අපේක්ෂකයන් 13 දෙනෙකු තරග කළ මෙම ජනාධිපතිවරණයේ ද අපේක්ෂකයන්ට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල විය. පොදුජන එක්සත් පෙරමුණේ අවසන් මැතිවරණ රැළිය අවසන් වී ආපසු යාමට සූදානම් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් ඇය දිවිගලවාගත් නමුත් ඇගේ ඇසකට හානි සිදුවිය. උතුරේ මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාවට සාපේක්ෂව මෙම ජනාධිපතිවරණයේ ද ඡන්දය භාවිත කර තිබුණේ ඉතා අවම ප්‍රතිශතයකි. අවම ඡන්ද පරතරයකින් ජයගත් ජනපතිවරණය එවකට ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ වසර හයක නිල කාලය 2005 දී අවසන් වීමත් සමඟ එම වසරේ දී ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරන ලදි. 1994 ජනාධිපතිවරණයෙන් පසු හිටපු ජනපතිනිය වසර හයක ධූර කාලය ගතවීමට පෙර නැවත 1999 දී ජනපතිවරණයක් කැඳවීම හේතුවෙන් ඇගේ මුළු ධූර කාලය අවසන් වන්නේ 2005 ද, නැතහොත් 2006 ද යන්න පිළිබඳ විවාදාත්මක තත්වයක් මතුව තිබූණි. ඒ සම්බන්ධයෙන් ඕමල්පේ සෝභිත හිමියන් අධිකරණය වෙත ගිය අතර, එහිදී අගවිනිසුරු ඇතුළු විනිසුරු මඬුල්ල එකමතිකව තීරණය කළේ 2005 දී ජනපතිනියගේ ධූරකාලය අවසන් වන බවයි. 2004 පැවති මහමැතිවරණයෙන් අගමැති ධූරයට පත් වූ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයා වූ අතර, එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළේ එවකට විපක්ෂ නායකවරයා වූ රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහයි. අපේක්ෂකයන් 13 දෙනෙකු ඉදිරිපත් වූ මෙම ජනාධිපතිවරණයට පෙර 2004 දී ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයට ගොදුරු වූ අතර, එම නිසා කඳවුරු වල සහ පදිංචි ස්ථානවලින් විතැන් වී සිටි ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මැතිවරණ කොමිසම විසින් සකස් කර තිබුණි. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම කරට කර ඡන්ද ලබාගත් මෙම ජනාධිපතිවරණයේ දී වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 50.29%ක් ලබා ගත් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළ අතර, එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වූ රනිල් වික්‍රමසිංහට වඩා ඔහු ලබාගෙන තිබුණේ ඡන්ද 180,786ක් වීම විශේෂත්වයකි. මෙම ජනාධිපතිවරණයේ ද උතුරේ ඡන්ද කැපී පෙනෙන ලෙස අඩු වූ අතර, යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කර තිබුණේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 1.21%කි. යාපනයේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 701,938ක් වූ අතර, එයින් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ 8524කි. යුද්ධය අවසන් වීමෙන් පසුව පැවති පළමු ජනපතිවරණය සිය පළමු ධූර කාලය අවසන් වීමට තිබුණේ 2011 වසරේ දී වුවත්, 2010 වසරේදී ජනාධිපතිවරණයක් කැඳවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කටයුතු කළේ ය. අපේක්ෂකයන් 22 දෙනෙකු ඉදිරිපත් වූ මෙම ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහි ප්‍රධාන තරගකරුවා වූයේ යුද්ධය අවසන් සමයේ යුධ හමුදාපතිවරයා ව සිටි සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වීම විශේෂත්වයකි. ඔහු එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක සන්ධානයක් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ ය. යුද්ධය නිසා අවතැන් කඳවුරුවල ජීවත් වූ ජනතාවට ද එවර සිය ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමිව තිබූ අතර, වන්නි සහ යාපනය මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි මින් පෙර ඡන්දය භාවිත කර තිබූ ප්‍රතිශතයන්ට වඩා වැඩි ප්‍රතිශතයක් මෙම ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කර තිබෙන නමුත්, තවදුරටත් ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 50%ක්වත් උතුරු පළාතේ ඡන්දය ප්‍රකාශ කර නොතිබුණි. උතුරු පළාතේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 2010 ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කර තිබුණේ 30.24%කි. එමෙන්ම යාපනය සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහිම 60%කට වඩා වැඩි ප්‍රතිශතයක් ලබාගෙන තිබුණේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විශේෂත්වයකි. මෙම ජනාධිපතිවරණයෙන් ද ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ දෙවන වරටත් ජනාධිපති ධූරයට පත් විය. 18 වන සංශෝධනය සහ තෙවන වරටත් ජනපති වීමේ සිහිනය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙකුගේ ධූර කාලය වසර හයකි. එමෙන් ම එක් පුද්ගලයෙකුට ජනාධිපති ධූරයේ රැඳී සිටිය හැකි වන්නේ ධූර කාල දෙකක දී පමණි. ඒ අනුව ධූරයේ රැඳී සිටිය හැකි උපරිම කාලය වසර 12කි. දෙවන වරටත් ජනාධිපතිධූරයේ වැඩ ඇරඹූ එවකට ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හිමිකරගෙන සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ඉහත කී ව්‍යවස්ථාමය සීමාවන් ඉවත් කිරීමට තීරණය කර, 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන ලදි. එයින් ජනාධිපතිවරයෙකුට ධූරයේ රැඳී සිටිය හැකි උපරිම වාර ගණන පිළිබඳ සීමාවන් ඉවත් කර විධායක ජනාධිපති ධූරයේ බලතල තවත් ඉහළ දැමුණි. ඒ වන විට රට තුළ ඇතිව තිබූ තත්වය සහ විධායක ජනාධිපති ධූරයේ බලතල වැඩිවීම පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් බොහෝ පාර්ශවයන්ගේ අවදානය යොමුව තිබුණි. මෙවැනි වාතාවරණයක් යටතේ 2015 දී පැවති ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවකට ලේකම් ව සිටි මෛත්‍රීපාල සිරිසේන තරග කිරීම දැඩි ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමකි. 2015 ජනාධිපතිවරණයේ දී උතුරු පළාතේ මැතිවරණ දිස්ත්‍රික්කවල ඡන්දදායකයන්ගේ ඡන්දය භාවිත කිරීමේ විශාල උනන්දුවක් ඇතිව තිබූ අතර, ඒ දක්වා ඉතිහාසයේ ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් වැඩිම ඡන්ද දායකයන් ප්‍රතිශතයක් උතුරු පළාතේ ඡන්දය භාවිත කර තිබුණේ එම වසරේදීයි. යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 66.28%ක් ඡන්දය භාවිත කර තිබූ අතර, වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය 72.57%කි. ජනාධිපතිවරණයේ දී උතුරු - නැගෙනහිර පළාත්වල ජය කාටද ? මෙම මැතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළ අතර, ඔහු බලයට පත් වීමෙන් පසු 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා නැවතත් එක් පුද්ගලයෙකුට ජනාධිපති ධූරයේ රැඳී සිටිය හැකි අවස්ථා ගණන දෙකක් ලෙස සීමා කළ අතර, ධූර කාලය වසර හයේ සිට පහ දක්වා අඩු කරන ලදි. අපේක්ෂකයන් 35ක් ඉදිරිපත් වූ ජනාධිපතිවරණය 2019 වසරේ ජනාධිපතිවරණය පැවැත්වූයේ එම වසරේ අප්‍රේල් මාසයේ දී සිදු වූ පාස්කු ඉරිදා දින බෝම්බ පිපිරීමෙන් අනතුරුවයි. එම ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු ඉදිරිපත් වී සිටි අතර, එතෙක් ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් ජනාධිපතිවරණයට එක් වූ ජනාධිපතිවරණය එයයි. අපේක්ෂකයන් වැඩිවීම හේතුවෙන් ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් දිගු වූ අතර, එම නිසාම මැතිවරණය සඳහා විකල්පයක් ලෙස ඝණ කාඩ්බෝඩ්වලින් සෑදූ ඡන්ද පෙට්ටි ද යොදාගන්නා ලදි. එම අපේක්ෂකයන්ගෙන් අපේක්ෂකයින් 15 දෙනෙකු ම ස්වාධීන අපේක්ෂකයන් විය. එමෙන් ම ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රතිශතයක් ඡන්දය භාවිත කළ ජනාධිපතිවරණය ද වන අතර, එම ප්‍රතිශතය 83.72%කි. උතුරු පළාතේ වාර්තාගත ඡන්දහිමියන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කර තිබූ 2019 ජනාධිපතිවරණයේ, ලක්ෂ හැටනවයකට ආසන්න ඡන්ද ලබාගෙන ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ ලබාගෙන තිබුණේ, යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයෙන් 6.24%ක් සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙන් 12.27% ක් වැනි කැපී පෙනෙන අඩු ඡන්ද ප්‍රතිශතයකි. යාපනය දිස්ත්‍රික්කයෙන් 83.86%ක් සහ වන්නි දිස්ත්‍රික්කයෙන් 82.12%ක් ඡන්ද ලබා ගනිමින් එම දිස්ත්‍රික්ක දෙක ම වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කළේ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාසයි. රුවන්වැලිසෑය අසල පැවැත් වූ සිය ජනාධිපතිධූරයේ දිවුරුම්දීමේ උත්සවයේ දී ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ තමා 'සිංහල-බෞද්ධ ජනතාවගේ ඡන්දවලින් පත් වූ ජනාධිපතිවරයෙකු' බවයි. කෙසේනමුත් සිය ධූරකාලයේ තෙවන වසරේ දී රට තුළ ඇති වූ විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස ඔහුට රටින් පළායාමට සිදු වූ අතර ඉන්පසු ඔහු ඉල්ලා අස්විය. මහජනතාව විසින් නෙරපා දැමූ එකම විධායක ජනාධිපතිවරයා වන්නේ ද ඔහුයි. 2024: ඉතිහාසගත අපේක්ෂකයන් සංඛ්‍යාවක් 2024 ජනාධිපතිවරණය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරණය එළැඹෙන සැප්තැම්බර් මස 21 වන දින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර ඇත. මුල් කාලීන ජනාධිපතිවරණ හා සැසඳීමේ දී 21 වන සියවසේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා අඩු සහ ප්‍රජාතන්ත්‍රවාදය පියවරයන් වශයෙන් වර්ධනය වූ ඒවා බව නිරීක්ෂණය වේ. පැවති යුධමය වාතාවරණය අවසන් වීමත් සමඟ උතුරු පළාතේ ද ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශත ඉහළ ගොස් තිබෙන බව ජනාධිපතිවරණ ප්‍රතිඵල නිරීක්ෂණයේ දී පෙනී යයි. 2024 ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට මේ වන විට අපේක්ෂකයන් 39 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර, ඉතිහාසයේ වැඩිම ජනාධිපති අපේක්ෂකයන් සංඛ්‍යාවක් තරග කරන්නේ මෙවරයි. ආසන්න ජනාධිපතිවරණවල ක්‍රම ක්‍රමයෙන් අපේක්ෂකයන් වැඩිවීම, මැතිවරණයේ වියදම් වැඩිකරන්නේ ද යන්න පිළිබඳව මේ වන විට සමාජයේ කතාබහක් මතුව තිබේ. මෙම අපේක්ෂකයන් 39ට බෞද්ධ භික්ෂූන්වහන්සේලා දෙදෙනෙකු ද ඇතුළත් වන අතර, එකදු කාන්තාවක් හෝ ඇතුළත් නොවීම විශේෂත්වයකි.", "Title": "දශක හතරක ජනපති සටනේ මං සලකුණු" }
{ "Text": " ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග 03කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය බදාදා (අගෝස්තු 21) ආරම්භ වීමට නියමිත ය. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කරනු ලැබුවේ මීට වස 42කට ඉහතදී ය. එංගලන්ත කණ්ඩායම හමුවේ අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූයේ 2014 වසරේදී ය. ක්‍රීඩා ලෝලීන්ට මෙන් ම ක්‍රිකට් විචාරකයින්ට ද සුවිශේෂී මතක සටහන් ගෙන දුන් ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ සිදුවූ සුවිශේෂී සිදුවීම් මොනවා ද? මේ, ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සිදුකළ කරුණු සොයා බැලීමකි. පළමු ටෙස්ට් තරගයේදී දැක්වූ දක්ෂතා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වූ පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙකු අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනෙන සිදුවීමක් විය. එහිදී රංජන් මඩුගල්ල, අර්ජුණ රණතුංග සහ රෝයි ඩයස් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ. එම තරගයේ පළමු ඉනිමේදී රංජන් මඩුගල්ල ලකුණු 65ක්, අර්ජුන රණතුංග ලකුණු 54ක් සහ රෝයි ඩයස් ලකුණු 77ක් රැස් කිරීමට සමත් වූහ. පන්දු යැවීමේදී අසන්ත ද මෙල් එංගලන්ත කණ්ඩායමේ පළමු ඉනිමේදී කඩුලු 04ක් දවා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව සමග පැවති මංගල ටෙස්ට් තරගයෙන් එංගලන්ත කණ්ඩායමට කඩුලු 07ක ජයක් හිමි විය. ලෝඩ්ස් පිටිය වර්ණවත් කළ සිදත්ගේ ඉනිම ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්තය සමග දෙවන වරට ටෙස්ට් තරගයකදී හමුවන්නේ 1984 වසරේදී ය. ඒ, එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ය. එම තරගය පුරාවට ශ්‍රී ලංකා පිතිකරුවෝ ප්‍රබල එංගලන්ත පන්දු යවන්නන්ට එරෙහිව දක්ෂතා දැක්වීමට සමත් වූහ. ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ආරම්භක පිතිකරු සිදත් වෙත්තමුණි පන්දු 471කට මුහුණ දෙමින් හතරේ පහරවල් 21ක් සමගින් ලකුණු 190ක් රැස් කිරීමට සමත් විය. ලෝඩ්ස් පිටියේදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු විසින් වාර්තා කරන ලද පළමු ටෙස්ට් ශතකය ලෙස එය ඉතිහාසයට එක්විය. ඉයන් බොතම්, ජොනතන් ඇග්නිව් සහ රිචර්ඩ් එලිසන් වැනි ප්‍රබල පන්දු යවන්නන් හමුවේ සිදත් වෙත්තමුණි ගොඩ නැගු එම ඉනිම බොහෝ ක්‍රීඩා ලෝලීන් සහ ක්‍රිකට් විචාරකයින්ගේ කතාබහට ලක්වූ ඉනිමක් බවට පත්විය. සිදත් වෙත්තමුණිට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු ඉනිමේදී දුලිප් මෙන්ඩිස් ලකුණු 111ක් රැස් කළ අතර අර්ජුණ රණතුංග ලකුණු 84ක් රැස් කළේය. එංගලන්ත කණ්ඩායමේ පළමු ඉනිමේදී ඇලන් ලෑම්බ් ලකුණු 107ක් රැස් කළ අතර පන්දු යැවීමේදී අසන්ත ද මෙල් සහ විනෝදන් ජෝන් කඩුලු 04 බැගින් බිඳ හෙලීය. ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී අමල් සිල්වා නොදැවී ලකුණු 102ක් රැස් කළේ ය. දුලිප් මෙන්ඩිස් නැවත වරක් ලකුණු අතරට පැමිණෙමින් එම ඉනිමේදී ද ලකුණු 94ක් රැස් කළේ ය. ඉයන් බොතම් ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී කඩුලු 06ක් දවා ගැනීමට සමත් විය. එංගලන්තය සමග පැවති දෙවන ටෙස්ට් තරගාවලියේදී වැඩි ගෞරවය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් විය. එංගලන්තයට එරෙහිව ලද පළමු ටෙස්ට් ජයග්‍රහණය එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව සිය පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූයේ, 1993 වසරේදී ය. කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවති එම ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව කඩුලු 05ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය. එම තරගයේදී ශ්‍රී ලංකාවේ පළමු ඉනිමේදී පිතිකරුවන් 05 දෙනෙකු අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වීම කැපීපෙනෙන සිදුවීමක් විය. රොෂාන් මහානාම, චන්දික හතුරුසිංහ, අරවින්ද ද සිල්වා , අර්ජුණ රණතුංග සහ හෂාන් තිලකරත්න එහිදී අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයනන්ද වර්ණවීර ඉනිම් දෙකේදී එංගලන්ත කණ්ඩායමේ කඩුලු 08ක් දවා ගැනීමට සමත් විය. එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කළ පළමු ටෙස්ට් තරගයේදී තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස හෂාන් තිලකරත්න සම්මානයට පාත්‍ර විය. ඕවල් පිටියේ දී මුරලි - සනත් සිදුකළ වික්‍රමය 1998 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම, එංගලන්තයට එරෙහිව වාර්තා කළ එම තරග ජයග්‍රහණය ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවන තරගයක් විය. ඒ, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව එංගලන්තයේදී ම පළමු වරට ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත්වීම හේතුවෙනි. තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 445ක් රැස් කළේ ය. එංගලන්ත කණ්ඩායමේ ග්‍රැහැම් හික් ලකුණු 107ක් සහ ජෝන් ක්‍රොව්ලී නොදැවී ලකුණු 156ක් රැස් කළහ. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මුත්තයියා මුරලිදරන් පන්දු වාර 59 යි පන්දු 03ක් යවමින් ලකුණු 155කට කඩුලු 07ක් දවා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 591ක් රැස් කිරීමට සමත් විය. එහිදී සනත් ජයසුරිය ලකුණු 213ක් සහ අරවින්ද ද සිල්වා ලකුණු 152ක් රැස් කිරීමට සමත් වූහ. එංගලන්ත කණ්ඩායමට සිය දෙවන ඉනිම සඳහා රැස් කර ගැනීමට හැකි වූයේ, ලකුණු 181ක් පමණි. මුත්තයියා මුරලිදරන් එම ඉනිමේදී ලකුණු 65කට එංගලන්ත පිතිකරුවන් 09 දෙනෙකු දවා ගත්තේ ය. තරගයේ ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබු ලකුණු 36ක ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවී පසුකර යෑමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. එංගලන්තයේදී ලැබූ පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාව, එංගලන්ත කණ්ඩායමට එරෙහිව පළමු වරට එංගලන්තයේදී ම ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ 2014 වසරේදී ය. තරග දෙකකින් සමන්විත එම ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවති පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් විය. දෙවන ටෙස්ට් තරගය ලීඩ්ස්හිදී පැවති අතර පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 257ක් රැස් කළේ ය. එංගලන්ත කණ්ඩායමේ ලියම් ප්ලන්කට් ලකුණු 64කට කඩුලු 05ක් දවා ගැනීමට සමත් විය. එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 365ක් රැස් කළ අතර එහිදී සෑම් රොබ්සන් ලකුණු 127ක් වාර්තා කරන ලදී. පන්දු යැවීමේදී ශමින්ද එරංග සහ ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 04 බැගින් දවා ගත්හ. ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමේදී ලකුණු 457ක් වාර්තා කිරීමට සමත් වූ අතර, එහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 160ක් සහ මහේල ජයවර්ධන ලකුණු 79ක් රැස් කිරීමට සමත් වූහ. තරගයේ ජයග්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායමට ලකුණු 350ක ඉලක්කයක් හිමි විය. ධම්මික ප්‍රසාද් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් විසින් එංගලන්ත කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගනු ලැබුව ද මොයින් අලී නොදැවී ලකුණු 108ක් රැස් කළේ ය. දෙවන ටෙස්ට් තරගයේ අවසන් පන්දු වාරය තුළදී තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙමින් ශමින්ද එරංග විසින් එංගලන්ත කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස ජේම්ස් ඇන්ඩර්සන් දවා ගැනීමට සමත් විය. එහිදී, අවසන් කඩුල්ල ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි වෙහෙසක් දැරූ ජේම්ස් ඇන්ඩර්සන් එකදු ලකුණක් හෝ නොලබා පන්දු 55කට මුහුණ දුන්නේ ය. කෙසේ වෙතත්, තරගයේ අවසන් පන්දු වාරයේ 5 වන පන්දුවේදී ඔහු දැවී ගියේ ය. ඒ අනුව පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදී ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය. 1982 වසරේ සිට මේ දක්වා දෙරට අතර ටෙස්ට් තරග 36ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 17ක ජයග්‍රහණය එංගලන්ත කණ්ඩායමත්, තරග 08ක ජයග්‍රහණය ශ්‍රී ලංකාවටත් හිමිව තිබේ. එමෙන් ම, තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.", "Title": "එංගලන්ත - ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ අමතක නොවන සිදුවීම් 5ක්" }
{ "Text": " ආර්ථික අර්බුදය හේතුවෙන් ජීවන වියදම ඉහළ යාමත් සමග ඊට සරිලන අයුරින් සිය වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා වතු කම්කරු ජනතාව අරගලයක නිරත වී සිටිති. අවස්ථා කිහිපයකදී වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් රජය මගින් ගැසට් නිවේදන නිකුත් කෙරුණු අතර විවිධ අවස්ථාවලදී එම ගැසට් නිවේදන රජය විසින් නැවත හකුළා ගනු ලැබීය. එවන් පසුබිමක වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ නව ගැසට් නිවේදනයක් ඉකුත් අගෝස්තු මස 13 වන දා නිකුත් කෙරිණි. එලෙස නිකුත් කළ ගැසට් නිවේදනය අනුව වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලුවට විසඳුමක් හිමි වේ ද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනා දෑස් යොමා සිටියි. වතු කම්කරුවන්ගේ ඉතිහාසය වතු කම්කරු ප්‍රජාව යනු බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ කෝපි වගාව සඳහා මෙරටට ගෙන එන ලද ඉන්දියානු කම්කරුවන් ය. 19 වන ශත වර්ෂයේදී මන්නාරම දක්වා මුහුදු මාර්ගයෙන් ද, ඉන්පසුව මධ්‍යම කඳුකරයේ ඇති වතු දක්වා දුෂ්කර පාගමනකින් මෙම වතු කම්කරුවන් රැගෙන විත් තිබේ. වතු කම්කරුවන් ශ්‍රී ලංකාවේ සේවයට පැමිණ වසර 200ක් සම්පූර්ණ වීම හේතුවෙන් 2023 වසරේදී දීර්ඝ පාගමනක් ද පවත්වන ලදී. අර්ධ වැඩවසම් ක්‍රමයක ඇරඹුම බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාවේ කෝපි සහ තේ වගාව ඇරඹීමත් සමග ඒ සඳහා අවශ්‍ය ශ්‍රමය සපයා ගැනීමේ අර්බුදයක් නිර්මාණය වන්නේ, පාරම්පරික ඉඩම් හිමිකම් දරනු ලැබූ සහ ගොවිතැනේ නියැළී සිටි සිංහල ස්වදේශික ජනතාව ඒ සඳහා ශ්‍රම දායකත්වය සැපයීමට කැමැත්තක් නොදැක්වීම හේතුවෙනි. ඒ අනුව, දකුණු ඉන්දියාවේ ඉඩම් අහිමි අඳ ගොවියන් සහ ගොවි බිම්වල වැඩ කළ කම්කරුවන්, මෙරට වතුකරයේ ශ්‍රම බලකායේ තිබූ හිඩැස පිරවීමට ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබිණි. මෙම කම්කරුවන්, කංකානිවරුන් හරහා මෙරටට ගෙන්වා ඇති අතර, සිය වාසභූමිවල සිට ඉන්දියානු වෙරළ දක්වා දීර්ඝ ගමනක් ද, බෝට්ටුවෙන් ශ්‍රී ලංකාවට ළඟා වූ පසු කඳුකරයට ළඟා වීම සඳහා සැතපුම් 150ක පමණ දුරක් ද පයින් ගමන් කිරීමට ඔවුන්ට සිදු වී තිබිණි. මෙම ගමන අතරතුරදී බොහෝ දෙනෙකු මැලේරියාවට ගොදුරුවී මිය ගොස් ඇති අතර, ජීවිත බේරාගත්තවුන්ගෙන් ඇතැමෙකු තමන්ට නුපුරුදු කඳුකරයේ සීත කාලගුණය හේතුවෙන් මිය ගොස් ඇත. මෙම වතු කම්කරු කණ්ඩායම් වතු හිමිකරුවන් වෙත ගෙන ආ කංකානිවරුන්ට ඔවුන් ගෙන ආ කම්කරුවන් වෙනුවෙන් මුදලක් ගෙවා ඇති අතර, සෑම කම්කරුවෙකු සඳහා ම දෛනික ප්‍රසාද දීමනාවක් ද කංකානිවරයෙකුට හිමිව තිබී ඇත. වතු කම්කරුවන්ගේ මුල් කාලීන වැටුප ගෙවීම සිදුව ඇත්තේ ද කංකානිවරුන් හරහා යි. මෙම කංකානිවරුන් වැටුපේ කොටසක් ලෙස සහල් බෙදා දීමේ වගකීම හිමිව තිබූ අය වන අතර, ඔවුන් ක්‍රම ක්‍රමයෙන් එම වතු ආශ්‍රිත වෙළඳසැල් හිමිකරුවන් බවට පත් ව තිබේ. මහාචාර්ය කුමාරි ජයවර්ධනගේ \"ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැගීම\" නමැති කෘතියේ පෙන්වා දෙන්නේ කංකානම් සහ ඔහුගේ කම්කරු කණ්ඩායම් අතර බැඳීම “ණයගැතිභාවය” මත නිර්මාණය වූවක් බව යි. බොහෝවිට වතු කම්කරුවන්ට මුදලින් වැටුප් ගෙවනවා වෙනුවට කංකානිවරයාගේ කඩයෙන් බඩු සැපයීම සිදු කර ඇත. එමෙන් ම, මුදලින් වැටුප් ලැබුවේ නම් කම්කරුවා බඩු මිලට ගත යුත්තේ තමාගේ කංකානිවරයාගේ වෙළඳසැලෙන් පමණි. අවම වශයෙන් ආහාර අවශ්‍යතාව හෝ සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන වැටුප් හේතුවෙන් කංකානිවරයාගේ වෙළෙඳසලෙන් ණයට භාණ්ඩ මිලට ගැනීමට සිදු වූ වතු කම්කරුවන් සදාකාලික ණයකරුවන් ලෙස ජීවිතය ගෙවා මිය ගිය බව මහාචාර්ය කුමාරි ජයවර්ධනගේ ග්‍රන්ථයේ සඳහන්ව ඇත. එම ග්‍රන්ථය රචනා කිරීමේදී මහාචාර්යවරිය විසින් පී.ඩී. මිලී නමැති වතු හිමිකරුවෙකුගේ \"Thirty Years Ago\" නමැති පොතක් ද පරිශීලනය කර ඇති අතර, එයින් ගත් උපුටනයක දැක්වෙන්නේ, අවුරුද්දකට සිව් වරකට වඩා වතුකම්කරුවන්ට වැටුප් නොගෙවූ බව යි. ඒ, 1873 කාලවකවානුවේදී ය. ඔහුගේ සටහන් අනුව සාමාන්‍ය වැටුප් ගෙවීම වසරකට තුන් වරක් වූ අතර ඇතැම්විට එය දෙවතාවකි. වතුකරයේ කම්කරුවන්ට ගෙවූ වැටුප් නාගරික නුපුහුණු කම්කරුවගේ වැටුප්වලට ද වඩා අඩු වූ බව ඔහු සිය ග්‍රන්ථයේ සඳහන් කර තිබේ. ක්‍රමානුකූලව කලට වේලාවට වැටුප් නොගෙවීම, වැටුප කංකානි අතට ලබා දීම, වැටුප් කප්පාදුව වැනි අසාධාරණකම්වලට 19 වන ශත වර්ෂයේදී වතු කම්කරුවන් මුහුණ දුන් බව මහාචාර්යවරිය සිය ග්‍රන්ථයේ පෙන්වා දී තිබේ. වතු කම්කරුවාගේ වැටුප පිළිබඳව \"ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැගීම\" ග්‍රන්ථයෙන් උපුටා ගැනීමක් පහතින් දැක්වේ. \"වතු කම්කරු ක්‍රමය බොහෝ අතින් අර්ධ වැටුප් කම්කරු ක්‍රමයක් වූයේ ය. පඩියෙන් කොටසක් සහල්වලින් ගෙවීම, සේවය හා සම්බන්ධ නිවාස සැපයුම, වත්තට හෝ කංකානමට අයත් කඩය, ණයගැතිකමේ බැමි, සංචලනයට තිබූ අවහිරකම් බඳු වූ, ඇතැම් ‘වැඩවසම්’ භාවිතයන් මඟින් මේ කම්කරුවන්ගේ නිදහස දරුණු ලෙස සීමා කරනු ලැබිණ.\" ඉන්දියානු රජයේ බලපෑම මත 1929 දී ශ්‍රී ලංකා රජයට වතු කම්කරුවන් වෙනුවෙන් අවම වැටුප් ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමට සිදු වූ අතර ඒ සඳහා, ඉන්දියානු රජයේ බලපෑම හේතුවෙන් 1926 දී පවත්වන පරීක්ෂණයකින් කම්කරුවන් 40%කට ජීවිතය ගැටගසා ගැනීමට අවශ්‍ය වැටුපක් උපයාගත නොහැකි බව සොයා ගැනීම හේතුවක් විය. නීත්‍යනුකූල අඩු කිරීම් (සහල්) හැර සම්පූර්ණ වැටුප ම කම්කරුවාගේ අතට ලබා දීම සහ එක් මාසයක වැටුප අනෙක් මාසයේ දස වන දාට පෙර ගෙවන ලෙස එහිදී නියම විය. ඒ අනුව, 1929 දී දිනකට උඩරට කම්කරුවෙකු සත 54ක් ද, මැදරට කම්කරුවෙකු සත 52ක් ද, පහතරට කම්කරුවෙකු සත 50ක් ලෙස ද වැටුප් ලබා තිබේ. නමුත් 1931න් පසු ඇති වූ ආර්ථික පරිහානිය හේතුවෙන් නැවත එම වැටුප් අඩු කිරීමක් සිදු කර ඇත. එනිසා 1933 වන විට උඩරට කම්කරුවෙකු ලබා ඇති වැටුප සත 41කි. හිමිකම් නොමැති සියවස් දෙකක් සේවයට නොගියහොත් වැටුප අහිමි වන නිසා රෝගාතුරව, මන්දපෝෂණයෙන් සිටියදී පවා සේවයට යාමට මුල් කාලයේදී වතුකම්කරුවන්ට සිදු වූ අතර, එනිසා ම 19 වන සියවසේ අග භාගයේදී වතු කම්කරුවන්ගේ මරණ අනුපාතිකය ද ඉහළ ගොස් තිබේ. 20 වන සියවසේ මුල් කාලයේදී ද මෙම තත්ත්වය නොවෙනස් වී ඇති අතර නිසි වැටුපක් සහ අනෙකුත් සියළුම අයිතිවාසිකම් ඔවුන්ට හිමි නොවී ය. 1931 දී ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය හිමිවන විටත් වතුකම්කරුවන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස නොසැලකූ නිසා ඔවුන්ට ඡන්ද බලය හිමි නොවී ය. 20 වන සියවසේ මැද භාගයේදී මෙම කම්කරුවන්ගේ පුරවැසිභාවය ඇතුළු ගොඩ නැගුණු ප්‍රශ්නවලට විසඳුමක් ලෙස ‘සිරිමා- ශාස්ත්‍රී ගිවිසුම’ ලෙස ප්‍රසිද්ධ ‘1967 අංක 14 දරන ඉන්දු ලංකා ගිවිසුම’ මගින් ඉන්දියානු කම්කරුවන් 600,000ක් නැවත ඉන්දියාවට යැවීමට තීරණය වී ඇත. එයින් 94,000ක් ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඉතිරි 506,000 ක්වූ පුද්ගලයින් අතරින් 342,000ක පමණ පිරිසක් 1983 දක්වා කාලය තුළ ආපසු ඉන්දියාවට යවා ඇත. වතු කම්කරු වැටුපේ මෑතකාලීන ප්‍රවණතා මෑත කාලීන වසර 20ක කාලය තුළ වතුකම්කරුවන්ගේ වැටුප් වරින් වර වෙනස් වී ඇති නමුත් වතුකම්කරු ප්‍රජාව සහ ඔවුන් නියෝජනය කරන සංවිධාන දිගින් දිගට ම පෙන්වා දෙන්නේ එම වැටුප ජීවන වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බව යි. වතු කම්කරු වෘත්තීය සමිති සහ සංවිධාන රැසක් මේ සඳහා ඉල්ලීම් සිදු කළ අතර, 2018 - 2019 කාලයේදී වතු කම්කරුවන්ගේ දිනක මූලික වැටුප රු. 1000ක් දක්වා වැඩි කර ගැනීම වෙනුවෙන් නිර්මාණය වූ විරෝධතා ව්‍යාපාරයක් වූ \"1000 ව්‍යාපාරයේදී\" වතුකරයෙන් ඔබ්බ්ට ගොස් කොළඹදී දැවැන්ත විරෝධතා රැලි කිහිපයක් ද සංවිධානය කරන ලදී. 2021 වසරේදී පළමු වරට වතු කම්කරුවන්ට රුපියල් 1000ක දෛනික වැටුපක් හිමිවන්නේ මූලික වැටුප රු. 900ක් ලෙස යි. මෙම කාලය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඇති වූ මුල් වකවානුව යි. 2022 වසර වන විටත් වැටුප නොවෙනස්ව පැවතියෙන් අමතර දලු කිලෝග්‍රෑමයකට හිමි වන මුදල හැර, කම්කරුවෙකු දින 2ක් වැඩ කළේ නම් ඔහු ලැබූ වැටුප රු. 21,000.00ක් විය. දින 30 ම වැඩ කළේ නම් රු. 30,000ක් ඉපැයූහ. එම වසරේදී දෛනික ආදායම අනුව දින 21ක ආදායම ගණන් හැදූ විට රු. 55,100.ට අඩු වූවන් දිළිඳු ප්‍රජාව ලෙස සැලකූ අතර, ජාත්‍යතර දිළිඳු රේඛාවට අනුව රු. 53,743.00ට අඩු දින 21ක ආදායමක් ඇති අය දිළින්දන් ලෙස සැලකිණි. ඒ අනුව, වතු කම්කරුවන්ගේ මාසික ආදායම තිබෙන්නේ එම දිළිඳු රේඛාවලටත් වඩා ඉතා පහළ මට්ටමක ය. වසර ගණනාවක ඉල්ලිම් සලකා බැලීමෙන් පසුව වතු කම්කරු ජනතාවගේ වැටුප් වැඩීවීමක් ජනාධිපතිවරයා විසින් නිවේදනය කරන්නේ එවැනි පසුබිමකයි. කෙසේ වෙතත්, වතු හිමිකරුවන් පෙන්වා දෙන්නේ මෙම රු. 1700.00ක දෛනික වැටුපක් ගෙවීම කර්මාන්තය බිඳ දමන බව යි. ආදායමෙන් වැඩි කොටසක් රටට ගෙන එන තේ අපනයන වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තේ වගා කර ඇති භූමි ප්‍රමාණය අක්කර 660,232.24කි. එයින් 74%ක් කුඩා තේ වතු වන අතර, 26%ක ප්‍රමාණයක් මහා පරිමාණ තේ වතු යි. මෙවැනි කුඩා හා මහා පරිමාණ වතු ඒකක 421,452ක් ශ්‍රී ලංකාව තුළ පවතින බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් බීබීසී සිංහල වෙත පැවසීය. 2017, 2018, 2019 වසරවල නිමි තේ කිලෝග්‍රෑම් මිලියන 300 ඉක්මවා ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කර ඇති නමුත් 2020 කොවිඩ් වසංගත සමයේ පටන් එය බිඳ වැටීමකට ලක්ව තිබේ. මෑත කාලීන අවම නිමි තේ නිෂ්පාදනය 2022 වසරේ දී වාර්තා වී ඇති අතර, එය කිලෝග්‍රෑම් මිලියන 251.50කි. නැවත එය 2023 දී සුළු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. මෙම නිෂ්පාදනයන්ගෙන් වැඩි කොටස අපනයනය කරන අතර සාමාන්‍යයෙන් නිමි තේ නිෂ්පාදනයෙන් 90%කට වැඩි ප්‍රමාණයක් අපනයනය කරනු ලබයි. 2023 වසර ආරම්භයේ දී ගෝලීය තේ වෙළෙඳපොළේ ශ්‍රී ලංකාව පස් වන ස්ථානයේ රැඳී සිටි අතර වසර අවසානයේ එය තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබුණි. එමෙන් ම තේ අපනයන යනු ශ්‍රී ලංකාවට වැඩි ම අපනයන ආදායමක් ද ගෙන එන්නකි. ශ්‍රී ලංකාව සෑම වසරක ම ඇමෙරිකානු ඩොලර් බිලියනයකටත් වඩා ආදායමක් උපයා ගන්නේ තේ අපනයනයෙන් ය. මෑත වසර දහය තුළ වැඩි ම ආදායමක් ලබා ඇත්තේ 2014 වසරේදී වන අතර එය ඩොලර් බිලියන 1.6කි. එය, එම වසරේ සමස්ත අපනයනයන්ගෙන් 14.74%ක ප්‍රතිශතයකි. මෑත කාලීනව 2020 හා 2022 වසරවල යම් පසුබෑමක් තිබුණ ද 2023 වසරේ දී ඩොලර් බිලියන 1.3ක් තේ අපනයනයෙන් උපයා තිබේ. එය සමස්ත අපනයනයන්ගෙන් 11.26%කි මෙම වසරේ අප්‍රේල් දක්වා කාලය තුළ අපනයන ආදායම ලෙස ඩොලර් මිලියන 450.23ක් උපයා තිබේ. කෙසේ නමුත්, වතුහිමිකරුවන් පෙන්වා දෙන්නේ මෙම ආදායම වතුකම්කරු වැටුප් ගෙවීමට ප්‍රමාණවත් නොවන බව යි. වර්තමානය වන විට වතුකම්කරුවෝ දළ වශයෙන් 300,000ක් පමණ සෙවයේ යෙදී සිටිති. ඔවුන්ට රු. 1700.00 ක වැටුපක් ගෙවීමට නම් වාර්ෂිකව රු. බිලියන 6.12ක් වැය වේ. එය මෙම ලිපිය සම්පාදනය කරනවිට පවතින විනිමය අනුපාතිකයන්ට අනුව, ඇමරිකානු ඩොලර් මිලියන 20කට ආසන්න මුදලකි. කම්කරු හිඟයකට පාර කපන අවම වැටුප වතු කම්කරුවන්ට හිමිවන අවම වැටුප ප්‍රමාණවත් නොවන හෙයින් බොහෝ පුද්ගලයන් වෙනත් රැකියාවලට යොමු වීමේ ප්‍රවණතාවක් තිබේ. වතුවල සේවය කරන කම්කරුවන් සංඛ්‍යාව දළ වශයෙන් 300,000ක් පමණ වුවත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සංඛ්‍යාව 900,000කට වැඩි ය. මෙම තත්ත්වය නිසා බොහෝ විට එම පවුල්වල පිරිමි පුද්ගලයන් නගර ආශ්‍රිත රැකියාවලට යොමු වන අතර, කාන්තාවන් අඛණ්ඩව වතුවල සේවය කිරීම සිදුවේ. එම ස්ත්‍රීන් දරුවන් රැක බලා ගැනීම ඇතුළු ගෘහ කාර්යයන් ද සිදු කරමින් සේවයේ නිරතවන්නේ ඉතා ම අවම පහසුකම් යටතේ අඩු වැටුපකට යි. මෑතකදී කොළඹදී පැවැත්වුණු වතුකම්කරුවන් පිළිබඳ වැඩසටහන් කිහිපයකදී යෝජනා වූයේ, ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද රු. 1700ට වඩා වැඩි වැටුප් වැඩිවීමක් වතු කම්කරුවන්ට අවශ්‍ය බව යි. වතුකම්කරුවන් ශ්‍රී ලංකාවේ වතු ආර්ථිකයට සේය කිරීම අරඹා වසර දෙසීයක් ගත වුවත් තවමත් ජීවත්වීමට සුදුසු නිවාස, සනීපාරක්ෂක පහසුකම් මෙන් ම, සේවය කරන ප්‍රදේශවල අවම වශයෙන් පිරිසිදු පානීය ජලයවත් සපයා ගැනීමට නොහැකි වීම පිළිබඳව එහිදී සාකච්ඡා විය. ඔවුන් ඉල්ලා සිටියේ රටේ අනෙකුත් වෘත්තීන් සේම වතුකම්කරුවන්ට ද ජීවන වියදමට සරිලන වැටුපක් සහ ගෞරවණීය ජීවිතයක් ලඟා කරගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසයි. කම්කරු ඉල්ලීම් වලට ලැබූ පිළිතුර වසර ගණනාවක් පුරා සිදුකළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස තේ සහ රබර් වතු සේවක කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700.00ක් දක්වා ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය කම්කරු දෙපාර්තමේන්තුව විසින් 2024 අගෝස්තු 13 වන දා නිකුත් කළේ ය. එහිදී දෛනික අවම ගෙවීම රුපියල් 1350ක් ලෙසත්, එලදායිතාවය මත පදනම් වූ දිරි දීමනාව ලෙස රුපියල් 350.00ක් කම්කරුවන්ගේ වැටුපට දෛනිකව එකතු වන අයුරින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය විසින් සංවිධානය කළ ඉකුත් මැයි දින රැලියට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ වතු කම්කරු දෛනික අවම වැටුප රු. 1700.00 දක්වා ඉහළ දමන බව යි. ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති අතර, වතු හිමියන් එම තීන්දුවට විරෝධය පළ කරමින් එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් වාරණයක් ඉල්ලා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කළ ද අභියාචනාධිකරණය විසින් එලෙස වාරණයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන ලදී.", "Title": "වතු කම්කරු වැටුප ඉහළ දැමූ ගැසට් නිවේදනය යථාර්ථයක් වෙයි ද?" }
{ "Text": " ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනෙන 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට තවත් ඉතිරිව ඇත්තේ මාසයක කාලයකි. ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා බවට පත්වීමේ අරමුණින් අපේක්ෂකයින් 39 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. මීට පෙර පැවති ජනාධිපතිවරණවලදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු වටා ජයග්‍රහණය දෝලනය වන බවක් දක්නට ලැබුණ ද මෙවර තත්ත්වය වෙනස් මුහුණුවරක් ගෙන ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මේ අතර, 50% ඡන්ද ප්‍රතිශතයක් එක් අපේක්ෂකයෙකුට ලබා ගත හැකි ද යන්න පවා මේ වන විට ප්‍රශ්නකාරී තත්ත්වයක් බවට පත්ව තිබේ. මේ සියලු අභියෝග මැද මෙවර ජනාධිපතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයාට බරපතළ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇත. ආර්ථික අභියෝගය මීළඟට පත්වන ජනාධිපතිවරයාට ඇති අභියෝගවලින් ප්‍රධානතම අභියෝගය ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමේ අභියෝගය බව බොහෝ විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් බීබීසී සිංහල සේවයට පැවසුවේ, රාජ්‍ය වියදම් කළමනාකරණය කර ගැනීම සහ රාජ්‍ය ආදායම් උත්පාදනය ඉහළ නංවා ගැනීම ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයා මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන බව ය. \"බරපතළ ම අභියෝගය තමයි, මේ ආර්ථිකය කොහොම ද යථා තත්ත්වයට පත් කරන්නෙ කියන කාරණය,\" ඔහු පැවසීය. ඔහු පෙන්වා දුන්නේ, ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීම අභියෝගයක් වනු ඇති බව ය. \"මූලික දෙයක් තමයි, ඉදිරියේදී පත්වන ඕනෑ ම ආණ්ඩුවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අනිවාර්යයෙන් ම වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒක පවතින යථාර්ථයක්. නමුත්, ඒ ඒ දේශපාලන පක්ෂවලට තමන්ගේ ප්‍රතිපත්ති අනුව යම් වෙනසක් කර ගන්න අවශ්‍ය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආයෙත් සාකච්ඡා කරන්න පුළුවන්. ඒකට අවස්ථාව තියෙනවා. යම් යම් කොන්දේසි වෙනස් කර ගන්න කතා කරන්න වෙයි. හැබැයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන එකඟතාව ක්‍රියාත්මක කරගෙන යන්න සිද්ධ වෙනවා.\" ශ්‍රී ලංකාවේ දරිද්‍රතා රේඛාව 2019 වසරට සාපේක්ෂව දෙගුණයකට අධික අගයකින් ඉහළ ගොස් තිබේ. දරිද්‍රතා රේඛාව යනු පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා පිරිමසා ගනිමින් මසක කාලයක් ජීවත් වීම සඳහා වැය වන අවම මුදල් ප්‍රමාණය යි. 2019 වසරේදී දරිද්‍රතා රේඛාව රු. 6966.00ක් ලෙස සටහන් වූ අතර, 2024 මැයි මාසය වන විට එම අගය රු. 16,326.00ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය ආසන්න වශයෙන් තුන් ගුණයකට ආසන්න ඉහළ යාමකි. 2019 වසරේ සිට දරිද්‍රතා රේඛාව ඉහළ ගොස් ඇති ආකාරය පහත ප්‍රස්ථාරයෙන් පැහැදිලි වෙයි. ආචාර්ය අතුලසිරි සමරකෝන් පෙන්වා දෙන්නේ, ඉහත දක්වා ඇති ආර්ථික ගැටලු කළමනාකරණය කර ගැනීමේ අභියෝගය ඉදිරි ජනාධිපතිවරයා හමුවේ පවතින බව ය. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨාධිපති මහාචාර්ය නලින් අබේසේකර පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමට නම් නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම නතර කළ යුතු බව ය. එළඹෙන ජනාධිපතිවරණයෙන් ජය ගන්නා තැනැත්තා ජය ගත යුතු දැවැන්ත ම අභියෝගය එය බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය. \"1965 ඉඳලා අපි 17 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය අරගෙන තියෙනවා. ඊළඟට පත්වෙන ජනාධිපතිවරයා ඉදිරියේ තියෙන ප්‍රධාන ම අභියෝගය වෙන්නේ, 18, 19, 20 වෙනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්නවා ද? කියන එක. ණය මත යැපෙන්නෙ නැතුව රාජ්‍ය ආදායම් උත්පාදනය කර ගන්න එක ලොකු අභියෝගයක්.\" මෙවර ජනාධිපතිවරණයෙන් තේරී පත්වන ජනාධිපතිවරයෙකු මුහුණ දෙන ප්‍රධාන අභියෝගය ආර්ථිකය නොවන බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ අදහස යි. බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් මහාචාර්යවරයා ප්‍රකාශ කළේ, රටේ මේ වන විට පවතින දැවැන්ත ම අර්බුදය අභ්‍යන්තර දේශපාලන අර්බුදය වන බව ය. දේශපාලන අස්ථාවරභාවය පිළිබඳ අභියෝගය \"රටේ මේ වෙනකොට තියෙන ප්‍රධාන ම ප්‍රශ්නය තමයි, දේශපාලනික අවිනිශ්චිතභාවය පිළිබඳ ගැටලුව. ආර්ථික ගැටලුව ගැන ගොඩක් අය කතා කළාට ඒක විසඳන්නත් දේශපාලනික ස්ථාවරභාවයක් අවශ්‍ය වෙනවා,\" මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. ඔහු පෙන්වා දුන්නේ, මේ වන විට පක්ෂවල බලය මත පදනම් වී පැවති දේශපාලන ක්‍රමය වෙනස් වී ඇති අතර, ඒ හේතුවෙන්, රාජ්‍යය සහ ජනතාව අතර සම්මුතියක් ඇති කර ගැනීමට අභියෝගයක් එල්ල වී ඇති බව ය. \"දේශපාලන පක්ෂවලට සමාජයේ තිබුණ ආධිපත්‍යය ගොඩක් දුර්වල වෙලා තියෙනවා. 2022 මහජන නැගිටීමත් එක්ක ඒ තත්ත්වය තවත් තීව්‍ර වෙලා තියෙනවා. දැන් සාම්ප්‍රදායික පක්ෂ නෙවෙයි, ගොඩක් වෙලාවට ජනප්‍රිය වෙලා තියෙන්නේ. පක්ෂ කිහිපයක් එක් වෙලා හදපු සන්ධාන තමයි තියෙන්නේ.\" ප්‍රධාන අපේක්ෂකයින් වන රනිල් වික්‍රමසිංහ මෙවර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන අතර, සජිත් ප්‍රේමදාස සමගි ජන සන්ධානය නමැති පක්ෂ එකතුව නියෝජනය කරයි. මේ අතර, අනුර කුමාර දිසානායක ද ජාතික ජන බලවේගය නමැති සන්ධානයෙන් තරග කරයි. ඒ අනුව, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආදී ප්‍රධාන පක්ෂවලින් අපේක්ෂකයින් ඉදිරිපත් වී නැත. අනෙක් අතට, මීට පෙර ජනාධිපතිවරණවලදී පැවති කඳවුරු දෙකක් අතර දෝලනය වූ තරගය, මෙවර අවම වශයෙන් කඳවුරු තුනක් අතර සිදුවන බවක් පෙනේ. \"මීට කලින් තිබුණෙ කඳවුරු දෙකයි. දැන් කඳවුරු ගණනාවක් තියෙනවා. ප්‍රධාන අපේක්ෂකයින් තුන් දෙනෙක් අතරේ ඡන්ද බෙදිල යයි. මේක ලොකු රෝග ලක්ෂණයක්. ඉදිරි දේශපාලනයේ ලොකු ම අභියෝගය මේක තමයි. ඉදිරි පාර්ලිමේන්තුව බොහොම දුර්වල පාර්ලිමේන්තුවක් වෙයි. ඒ දේශපාලන අස්ථාවරභාවය කළමනාකරණය කර ගන්න එක ලොකු අභියෝගයක්,\" මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පෙන්වා දුන්නේ ය. සමාජ අතෘප්තිකරභාවය සමාජයේ පවත්නා අතෘප්තිකරභාවයට මුහුණ දීම, මීළඟ ජනාධිපතිවරයා හමුවේ ඇති තවත් අභියෝගයක් බව ආචාර්ය අතුලසිරි සමරකෝන් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වත්මන් රජය ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් සමාජයේ බොහෝ දෙනෙකු අතෘප්තියකින් පසු වන බව ය. \"සමාජයේ පවතින අතෘප්තිකරභාවයත් දැන් තියෙන ලොකු ප්‍රශ්නයක්. ආර්ථික යුක්තිය හිමි නොවුණ ජනතාව අතර පවතින අතෘප්තිකරභාවයට විසඳුම් දෙන බවක් පේන්නෙ නෑ. ආණ්ඩුව කරන්නෙ ජාත්‍යන්ත මූල්‍ය අරමුදලේ දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීම විතර යි. එහෙම නැතුව සමාජ සාධාරණත්වය ගැන ගැඹුරින් සොයා බලා විසඳුම් ලබා දීම දැවැන්ත අභියෝගයක්.\" දරිද්‍රතා රේඛාව තුන් ගුණයකට ආසන්න අගයකින් ඉහළ යාම හේතුවෙන් රට තුළ වෙසෙන සෑම තරාතිරමක ම ජනතාව දැඩි අතෘප්තිකරභාවයකින් පසු වන බව ද ඔහු පෙන්වා දුන්නේ ය. විදේශ ප්‍රතිපත්තිය නව ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලනික තත්ත්වය වර්ධනය කර ගැනීමේ අදහස පෙරදැරිව සිය විදේශ ප්‍රතිපත්තිය හසුරුවා ගත යුතු බව ආචාර්ය අතුලසිරි සමරකෝන් පවසයි. \"ඉන්දියාව, චීනය සහ ඇමෙරිකාව යන බලවතුන් තුන් දෙනා ඉදිරියේ හැසිරෙන්න ඕන කොහොම ද කියන එක අලුත් ජනාධිපතිවරයා තීරණය කළ යුතු යි. ඔහුට සිද්ධ වෙනවා, අනිවාර්යයෙන් ම ඉන්දියාව සමග සමීපව කටයුතු කරන්න. ඒ අතරේ, චීනය අමනාප කර ගන්නත් බැහැ. ඇමෙරිකාවත් වැදගත්. මධ්‍යස්ථභාවයකින් යුතුව රටවල් ඇසුරු කිරීමේදී සමදුර පවත්වා ගන්න එක අභියෝගයක්.\" මේ අතර, මහාචාර්ය නලින් අබේසේකර ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් වැඩි වන ආකාරයට විදෙස් රටවල් සමග ගනුදෙනු කළ යුතු බව ය. අධ්‍යාපනය ඉදිරි ජනාධිපතිවරයෙකුගේ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය දැවැන්ත පරිවර්තනයකට ලක් විය යුතු බව මෙහිදී අප කරුණු විමසූ විද්වතුන් තුන් දෙනාගේ ම අදහස විය. පවත්නා අධ්‍යාපන ක්‍රමය මුළුමනින් ම වෙනස් විය යුතු බව මහාචාර්ය නලින් ද අබේසේකර පැවසීය. ව්‍යවසායකත්වය කේන්ද්‍ර කර ගත් ආර්ථිකයක් වෙනුවෙන් අධ්‍යාපනය සකස් විය යුතු බව ඔහුගේ අදහස යි. \"අපේ රටේ අධ්‍යාපන ක්‍රමය නිර්මාණශීලී නැහැ. ඒ නිසා අධ්‍යාපනය ලබපු ජනතාව ගොඩක් රටේ හිටියට රටේ ප්‍රගමනයට ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නෙ නෑ. ඒ නිසා කටපාඩම් ක්‍රමය වෙනුවට නිර්මාණශීලී අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි.\" එමෙන් ම, රාජ්‍ය සේවකයින්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, දූෂණ අවම කිරීමටත් පියවර ගත යුතු බව මහාචාර්යවරයා ප්‍රකාශ කළේ ය. \"මේ ගැටලු ටික විසඳ ගත්තොත් අපට පුළුවන් ලෝකයේ හොඳ ම පාස්පෝට් එක තියෙන රටවල් 10 අතරට යන්න.\" ජාත්‍යන්තර ව්‍යවසායකත්වය ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට සාම්ප්‍රදායික අපනයන භාණ්ඩ වෙළෙඳාම පමණක් ප්‍රමාණවත් නොවන බව මහාචාර්ය නලින් අබේසේකර පවසයි. \"දැන් ඉස්සර වගේ තේ, පොල්, රබර් අපනයනය කරලා ආර්ථිකය ගොඩ ගන්න අමාරු යි. ඒ වෙනුවට අපි කළ යුත්තේ, සිනමාව, ගේමිං, සංගීතය ආදිය ජාත්‍යන්තර තත්ත්වයකට ඔසවා තැබීම යි.\" දැන් ලෝකයේ රටවල් මුදල් උපයන්නේ, ඉහත කී ක්‍රම ඔස්සේ බව මහාචාර්යවරයා පැවසීය. \"ව්‍යවසායකත්වය ගැන පාසල් අධ්‍යාපනයේ සිට ම ඉගැන්විය යුතුයි. මේ රට ගොඩගන්න නම් ව්‍යවසායකයන් අවශය යි. මේකත් අලුත් ජනපති ජය ගත යුතු අභියෝගයක්.\" මානව හිමිකම් අභියෝගය ඉදිරියේදී තේරී පත් වන ජනාධිපතිවරයෙකු මුහුණ දෙන තවත් ප්‍රධාන අභියෝගයක් වන්නේ, මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් විශ්වාසයක් ඇති කර ගැනීම ය. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පෙන්වා දෙන්නේ, මානව හිමිකම් ගැටලුව ජය ගැනීම ඉදිරි ජනාධිපතිවරයා ඉදිරියේ ඇති බරපතළ ම අභියෝගයක් බව ය. ඔහු එම අභියෝග ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වයි. ආචාර්ය ප්‍රතිභා මහානාම පැවසූ පරිදි ජාත්‍යන්තර මානව හිමිකම් අභියෝග මෙසේ ය. ඊට අමතරව, මානව හිමිකම් උල්ලංඝණය වීම අවම කිරීම සඳහා දේශීය වශයෙන් ගත යුතු පියවර රැසක් ද ඇතැයි ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැවසීය. \"අලුතින් පත් වෙන ජනාධිපතිවරයාට මේ සියලු අභියෝග ජය ගන්න සිද්ධ වෙනවා. එහෙම නැති වුණොත් අනාගතයේදී ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක වගේ බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්,\" ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැඩිදුරටත් පැවසීය.", "Title": "ජනාධිපතිවරණයෙන් දිනන අලුත් ජනපතිට මේ අභියෝග දිනන්න හැකි වෙයි ද?" }
{ "Text": " ලොව ප්‍රථම අගමැතිනිය බලයට පත් කළ ඉතිහාසයකට උරුමකම් කියන, ජනාධිපතිවරියක විසින් දෙවරක් පාලනය හෙබවූ ශ්‍රී ලංකාවේ ජනපතිවරණයට තරග කිරීමට මෙවර එක ම කාන්තාවක හෝ ඉදිරිපත්ව නැත. ජනගහනයෙන් 52% වැඩි කාන්තාවන් සිටින ශ්‍රී ලංකාවේ, එකම කාන්තාවක්වත් ජනාධිපතිවරණයට තරග නොකළද ඊට ඉදිරිපත්ව සිටින පිරිමි අපේක්ෂකයන් ගණන 39ක් වන අතර එය මෑත ඉතිහාසයේ වැඩිම පිරිසක් අපේක්ෂකත්වය දරන ජනාධිපතිවරණය යි. මෙරට ඉතිහාසය තුළ ජනාධිපතිරණය සඳහා අවස්ථා කිහිපයක දී කාන්තාවන් හතර දෙනෙකු තරග කර ඇති අතර ඉන් එක් අපේක්ෂිකාවක් දෙවතාවක්ම රටේ පාලන බලය ලබා ගැනීමට සමත් විය. ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂිකාවන් කවුද? 1988 පැවති ජනාධිපතිවරණයට සිරිමාවෝ බණ්ඩාරනායක අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වූ අතර 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා ශ්‍රීමතී දිසානායක ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂිකාවන් ලෙස තරග කළ අතර ඉන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජයග්‍රාහණය කළාය. 1999 පැවති ජනාධිපතිවරණයට ද ඉදිරිපත්වී ජය ලැබූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 2005 වසර දක්වා රටට නායකත්වය දුන් අතර ඉන් පසුව තත්ත්වය වෙනස් විය. 2005 වසරේ සිට 2015 දක්වා ම කිසිදු අපේක්ෂිකාවක ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවූ අතර 2019 පැවති ජනාධිපතිවරණයට ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂිකාව ලෙස ආචාර්ය අජන්තා පෙරේරා ඉදිරිපත් වූයේ විසි වසරකට පසු තරග කළ එක ම කාන්තාව ලෙසයි. එහෙත් දශක දෙකක් පුරා ජනාධිපතිවරණවල පැවති අපේක්ෂිකාවක නොමැති තත්ත්වය යළිත් වරක් උදාවී ඇත. 'හබලක් නැති ඔරුවක්' කාන්තා ඇමැතිනිය කනස්සල්ලෙන් දිර්ඝ ජනාධිපතිවරණ අපේක්ෂක ලයිස්තුව තුළ එක් හෝ කාන්තා නියෝජනයක් නොමැතිවීම ගැන ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ කනස්සල්ල පළ කර තිබුණේ, එම අපේක්ෂක ලැයිස්තුව “හබලක් නැති ඔරුවක්” ලෙස හඳුන්වමිනි. කාන්තාවන්ට නිසි තැන, සම තැන දිය යුතු යැයි පක්ෂ නායකයින් උජාරුවෙන් කතා කළ ද පාර්ලිමේන්තුවේ ද ඇත්තේ 6%කට අඩු කාන්තා නියෝජනයක් බව ද ඇය මාධ්‍ය වෙත පවසා තිබිණි. බෞද්ධ භික්ෂූන් වහන්සේ දෙනමක් මෙන් ම හිටපු ජනාධිපතිවරුන්ගේ පුතුන් දෙදෙනෙකු තරග බිමට පිවිස ඇති මෙවර ජනාධිපතිවරණයට එකදු හෝ කාන්තාවක් ඉදිරිපත් කිරිමට දේශපාලන පක්ෂ අසමත් වූයේ ඇයි? ස්වාධීන අපේක්ෂිකාවක ලෙස හෝ කාන්තාවක් මැතිවරණයට ඉදිරිපත්ව නැත්තේ ඇයි? යන්න අද රටේ හමුවේ ඇති ප්‍රශ්නයි. දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය 2018 සිට පළාත් පාලනය ආයතනවලට කාන්තාවන් සඳහා වන 25%ක කෝටා ක්‍රමය හැර ඔවුන්ව දේශපාලනිකව සවිබල ගැන්වීමට ආයතනික හෝ නීත්‍යනුකූල පියවරක් ගෙන නොමැති බව කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ක්‍රිෂ්ණි සිල්වා බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවාය. ජාතික නායකත්වයට සුදුසු හෝ යෝජනා කළ හැකි කාන්තාවක වර්තමාන දේශපාලන පරිමණ්ඩලය තුළ නොමැති බව මේ හරහා අදහස් වන බව කී කථිකාචාර්යවරිය ඉන් ගම්‍ය වන කරුණු කිහිපයක් විග්‍රහ කළාය. “අපි ගත්තොත් හැම පක්ෂයක ම කාන්තා බල මණ්ඩලයක් ඉන්නවා නමුත් මේ කාන්තාවන් සම්බන්ධව නාම යෝජනා ලබා දීමේදී හා ජාතික වශයෙන් වැදගත් තනතුරුවලට පත් කිරිමේදී සාධනීය දායකත්වයක් ලබා ගන්නේ නැහැ. හැම මණ්ඩලයක ම ඉන්නේ පිරිමි. ඒ වගේ ම කාන්තාවන් සම්බන්ධව පසුගිය කාලේ අපි කරපු පර්යේෂණයකදී අහපු ප්‍රශ්නකයට ගොඩක් පිළිගත් දේශපාලන පක්ෂවලට කිසි ම කාන්තාවක මේ කාර්ය සඳහා ඇතුළත් කර ගැනීමට යෝජනාවක් හෝ අදහසක් පිළිබඳව සාධනීය ප්‍රතිචාරයක් තිබුණේ නැහැ.” යැයි මෙරට පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන සඳහන් කරමින් ඇය පැවසුවාය. සමාජ සංස්කෘතික සාධක හේතුවෙන් ද කාන්තාවන් දේශපාලනයට නොපැමිණෙන බව කථිකාචාර්ය ක්‍රිෂ්ණි සිල්වා පැහැදිලි කළාය. දේශපාලනය පිරිමින්ට අයිති දෙයක් ද? “තවමත් ශ්‍රී ලංකාවේ බහුතරයක් දෙනා කල්පනා කරනවා දේශපාලනය කියන්නේ පිරිමින්ට අයිති දෙයක් කියලා. කාන්තාව පුද්ගලික පරිමණ්ඩලයටත්, පුර්ෂයා ප්‍රසිද්ධ පරිමණ්ලයටත් වෙන් කර කටයුතු කිරිමේ රටාව ලංකාවේ තවමත් වෙනස් වෙලා නැහැ. මේකේ ඉතාම නරකම තත්ත්වය තමයි කාන්තාවන් දේශපාලනයට නුසුදුසුයි කියලා කාන්තාවන් ප්‍රතික්ෂේප කරන්නේ කාන්තාවන් විසින්ම වීම.” “ඒ වගේම තමයි ගොඩක් අයගේ අදහසක් තියෙනවා කාන්තාවට දේශපාලනය ආරක්ෂිත නෑ. දැන් තියෙන දේශපාලනය ජරාජීරණ වෙලා, පාදඩ දේශපාලනයක් තියෙන්නේ, පිරිමි කෙනෙකුටත් ඒ දේශපාලනය තුළ ආරක්ෂා වෙන එක ඉතාම අමාරු කාර්යයක්. ඉතින් කාන්තාව කොහොමද මේ දේශපාලන පොර පිටියට ඇවිල්ලා තරග කරන්නේ කියලා. විශේෂයෙන්ම ගොඩක් දේශපාලනයට එන කාන්තාවන්ට මඩ ගැසීම, අවලාද නැගීම සහ අපහාස කිරීම තුළ කාන්තාවන් සහ ඔවුන්ගේ පවුලේ අය ගොඩාක් අකමැතියි මේ දේශපාලනයට පය තියන්න. මොකද ඔවුන් කල්පනා කරනවා ඔවුන්ගේ වැදගත් ජීවිතය එතනින් අවසන් වෙලා ඔවුන් ඉතාමත්ම නරක අනාරක්ෂිත තත්වයකට පය තියෙනවා කියලා.” “අපේ රටේ කාන්තාවෝ කියන්නේ දුවන්න බැරි අශ්වයෝ” කාන්තාවන්ගේ දේශපාලන දැනුවත්භාවය සම්බන්ධයෙන් මෙන් ම ආර්ථික ශක්තිය ගැන ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ක්‍රිෂ්ණි සිල්වා අදහස් පළ කළාය. “කාන්තාව ස්වාභාවයෙන් ම කල්පනා කරනවා දේශපාලනය ඔවුන්ට අයිති විෂයක් නෙමෙයි කියලා. ඉතින් ඒ නිසා කිසි ම අවස්ථාවක කාන්තාවන් විශේෂ උනන්දුවක් දක්වන්නේ නැහැ පුරුෂයන්ට සාපේක්ෂව දේශපාලනය සම්බන්ධයෙන් හදාරන්න සහ කියවන්න. ඉතින් කාන්තාව ස්වේච්ඡාවෙන්ම මෙතනින් අයින් වෙලා තියෙනවා. ඒ නිසා කාන්තාවෝ කල්පනා කරනවා රටේ නායකත්වය දැරීම, තීරණ ගැනීම වගේ දේවල් පුරුෂයන්ට හිමි වෙන්න ඕන දේවල් හැටියට. ඒකත් එක හේතුවක් කාන්තාවෝ දේශපාලනයට එන්නේ නැති වෙන්න.” “ඊළඟ කාරණය තමයි වර්තමානයේ දේශපාලනයේ නිරත වෙන්න විශාල දේශපාලන ආර්ථික සවියක් අවශ්‍යයි. ලංකාවේ කාන්තාවෝ පුර්ෂයන්ගේ ආර්ථිකයත් එක්ක සංසන්දනය කර බැලිමේ දී ඔවුන් පුර්ෂයන්ට වැඩිය ඉතාම පහළ මට්ටමක ආර්ථික වශයෙන් ඉන්නේ. ආර්ථික ශක්තිය මැන බැලුවොත් එහෙම පුර්ෂයන්ගේ ආර්ථික ශක්තිය හැම වෙලාවෙදිම කාන්තාවන්ට වැඩිය දෙගුණයක් ඉස්සරහින් තියෙනවා. ඒ නිසා මේ වගේ කාන්තාවන්ව බල ගන්වලා, අර්ථික වශයෙන් සවියක් වෙලා ඔවුන්ව දේශපාලනයේ ඉදිරියට ගෙන ඒමට කවුරුත් උත්සාහ කරන්නේ නැහැ. සරලවම කියනවා නම් අපේ රටේ කාන්තාවෝ කියන්නේ දුවන්න බැරි අශ්වයෝ.” කාන්තාවන් හුදෙක් දේශපාලනයට ගෙන ඒමෙන් ඵලක් නැතැයි කී කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ක්‍රිෂ්ණි සිල්වා යෝජනා කරන්නේ ඔවුන් ගුණාත්මක ලෙසත් දේශපාලනිකවත් සංවර්ධනය කළ යුතු බවටයි.", "Title": "කාන්තා ජනගහනය වැඩි ශ්‍රී ලංකාවේ ජනපතිවරණයට කාන්තාවන් ඉදිරිපත් නොවන්නේ ඇයි?" }
{"Text":" ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ආදළ ඡ(...TRUNCATED)

No dataset card yet

New: Create and edit this dataset card directly on the website!

Contribute a Dataset Card
Downloads last month
2
Add dataset card